මේඝ සිනාසෙමින් ඇසූ පැනයට සියල්ලෝම සිනාසනු නමුත් ශෙනෝලි සහ රිහාන් එම සිනහවට එකතු වූයේ නැත.
” මං ඇහුවෙ ඔය දෙන්න නිකං ඩිවෝස් වෙච්ච කපල් එකක් වගේ දෙන්නා දිහා බලන් ඉන්නේ මොකද කියලා ? ”
මේඝ නැවත ශෙනෝලි දෙස හැරුනේ තමා සහ අශේන්ගේ පැමිණීමට පෙර රිහාන් සහ ශෙනෝලි නිරත වී උන්නේ යම් බරපතල කතා බහක බැව් ඔවුන්ගේ මුහුණුවල ඉරියව් වලින්ම හඳුනාගත් බැවිනි.
” කරුණාකරලා ඔය දෙන්නට පර්සනල් ලයිෆ් එක පැත්තක තියලා මේ ෆෙස්ටිවල් එකේ වැඩ වලට ෆෝකස් කරන්න පුළුවන්ද ? “
මේඝ සිනාවෙන්ම පැවසූ නමුත් ශෙනෝලි එය විහිළුවක් ලෙස බාරගන්නට සූදානම් වූයේ නැත.
” පර්සනල් ලයිෆ්? කවද ඉඳලද මේ දෙන්නට එහෙම එකක් තියෙන්නේ ? “
අශේන් එසේ ඇසුවේ සියල්ලන් දෙසම මාරුවෙන් මාරුවට බලමිනි. ශෙනෝලි වහාම laptop තිරය වෙත දෑස යොමු කළේ වැඩ කෙරෙහි අවධානය යොමු කරන බව පෙන්වීමටය.
” Enough. අපිට ගොඩක් දේවල් තියෙනවා ෆෝකස් කරන්න ”
ශෙනෝලි නැවත සියල්ලන් දෙස බලා පැවසුවේ නීරස සහ අනවශ්‍ය කතාබහක අවසානය සනිටුහන් කරන්නටය.
රිහාන් පෙර සිටි අසුනට ගොස් වාඩි වී ගිටාරය අතට ගත්තද ඔහු උන්නේ ශෙනෝලි පිළිබඳව අවධානයෙනි. ඇය තුළින් පැහැදිලිවම වෙනසක් දක්නට තිබේ. ඇය කතා කරන්නේ සාමාන්‍ය ලෙසය. හැසිරෙන්නේද සාමාන්‍ය ලෙසය. තමාට පිළිතුරු දුන්නේ ද සාමාන්‍ය ලෙසය.
නමුත් කෙසේ හෝ ඒ සියල්ල තුළම ඇත්තේ දුරස්ථභාවයකි.ආගන්තුක බවකි. එය පෙරදී ඇය වෙතින් දක්නට ලැබූ යමක් නොවේ.
රිහාන් බලා උන්නේ අශේන් සහ මේඝ එහා මෙහා වනතුරුය. ඒ මොහොත උදා වූයේ තවත් පැය භාගයකට පමණ පසුවය.
” ශෙනෝලි ”
රිහාන් ශෙනෝලි වෙත පැමිණියේ දෙගිඩියාවෙනි. ඇය පෙර පරිදිම ලැප්ටොප් තිරය වෙත මුහුණ යොමා ගෙන පමණක් යන්තමින් රිහාන් වෙත හැරෙව්වාය.
” yes ? ”
” Are you sure you’re okay? “
ශෙනෝලි මදහසක් පෑවාය. තමා තම සීමාවන් රකිනා බව රිහාන්ට දැනෙන්නට ආරම්භ වී ඇත.
” Yes I am ”
” ඔයා උදේ ඉඳලම මාව avoid කරනවා “
” කවුද කියන්නේ ? ”
” මම කියන්නේ ශෙනෝලි ”
ශෙනෝලි නැවත යන්තමින් සිනාසුනාය. රිහාන් තමාගේ හැසිරීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන් වියවුලට පත්විය යුතු නැත. එය සෘජුවම බලපාන්නේ පුහුණු වීම් සහ සංගීත කණ්ඩායමේ කටයුතු කෙරෙහිය.
” එහෙම දෙයක් නෑ රිහාන්.මම උදේ ඉඳලම බිසී කියලා ඔයා දන්නවනේ. අනික ඉතින් කොන්සර්ට් එකක් එනකොට කොහොමත් මෙහෙමනේ මම”
” ඔයා වෙනදට ඔහොම නෑ ”
මේ කතාබහ තවදුරටත් ඉදිරියට රැගෙන යාමට ශෙනෝලි හට උවමනා වූයේ නැත. එයින් සිදුවන්නේ කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ගේ අවධානය ද මේ කතාබහ කෙරෙහි යොමු වීමය.
” රිහාන්. අපේ කට ලඟටම මියුසික් ෆෙස්ටිවල් එකක් ඇවිල්ලා තියෙන්නේ. අපි හැමෝටම වොරි වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. ඒ නිසා අනවශ්‍ය දේවල් හිතන්න එපා, complicated කරගන්නත් එපා “
එතැනින් එහා යමක් විමසන්නට ශෙනෝලි රිහාන් හට ඉඩ තැබුවේ නැත. එහෙත් නොකියනා, නොහඟවනා යමක් ඇය තුළ ඇතැයි සිතමින් රිහාන් හදවතින් බොහෝ සේ වද වූයේය. එය වචන වලට පෙරලා ගන්නටද ඔහු අසමත් වූයේය.
සවස් වරුව ගෙවෙමින් පැවතියේ 5th Avenue ස්ටූඩියෝව බොහෝ කාර්ය බහුල කරමිනි. විවේක වේලාවන් අඩුවෙන් ලබා ගනිමින් පුහුණුවීම් වල නිරත වන්නට සියලු දෙනාම උනන්දු වූයේ සංගීත උළෙල සඳහා ඉතිරිව ඇත්තේ සතියක් පමණ වුවත් පුහුණුවීම් වලින් පසුව නුවරඑළිය බලා පිටත්වීමටට පෙර අවම වශයෙන් දින දෙකක් වත් විවේක ගැනීමත් කළ යුතු බැවිනි.
පුහුණුවීම් වල අවසාන කොටස පැවැත්වෙමින් සියල්ලෝම අතිශය කාර්ය බහුල වී හුන් මොහොතක ස්ටූඩියෝවේ දොරටුව විවෘත වූයේ සියල්ලන්ගේම අවධානය ඒ වෙත යොමු වෙමිනි.
විශාල ලිලී මල් පොකුරක් අතැතිව විවෘත වූ දොරෙන් ඇතුළු වූයේ ඉශිනි ය.
වේගයෙන් වැටෙන්නට පටන් ගත් හුස්ම පහළට දමන්නට මොහොතකට අමතකව යද්දී සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට ශෙනෝලි විශාල උත්සාහයක් දැරුවාය.
” Hi everyone “
ස්ටූඩියෝවේ කෙළවරක වාඩි වී සිටි මේඝ ඉදිරියට පැමිණියේ පුදුමයෙනි.
” ඔයා මෙහේ මොකද ඉශිනි ”
ඉශිනි සිනාසුනාය.අනතුරුව සියල්ලෝම දෙස බලා අවසානයට රිහාන් දෙස බැලුවාය. ඔහු උන්නේදද පුදුමයෙනි.
” ඔයාලා නුවර එළියේ music festival එකට යනවා කියලා fb දාල තියෙන පෝස්ට් එක දැක්ක මං. ඉතින් මං ආවා ඔයාලට විශ් කරලා යන්න ”
” So sweet. තැන්ක් යූ ඉශිනි ”
මේඝ ඉශිනි ගේ අතවූ මල් කළඹ දෙස බැලුවත් ඇය තවදුරටත් එය තම දෑතෙහිම දරාගෙන උන්නාය.
” Thank you. We definitely need some luck.”
අශේන් කීවේ සියල්ලන්ගේම මුවගට සිනහවක් නංවමිනි.එහෙත් ඒ සිනහවට රිහාන්වත් ශෙනෝලි වත් එකතු වූයේ නැත.
” ඔයාලා හැමෝටම හරි මහන්සි පාටයි “
ඉශිනි එවර ශෙනෝලි වෙත හැරුනාය. ශෙනෝලි බොහොම සාමාන්‍ය ආකාරයෙන් සිනාසී ලැප්ටොප් පරිගණකය සෝෆාව මත තබා ඉශිනි කෙරෙහි වැඩි අවධානයක් යොමු කළාය.
” අපි ෆෙස්ටිවල් එකට දවස් දෙකකට කලින් යන්න ඉන්න නිසා ටිකක් බිසී ඉශිනි ”
” ඊට පස්සේ මගේ වැඩෙත් අමතක කරන්න එපා හරිද ? “
ඉශිනි සිනාසුනේ සියල්ලන්ගේම අවධානය ලබා ගනිමිනි. උදෑසන සිට කිහිප වරක් තමා ඇමතූ ආකාරයත්,තමා එම ඇමතුම් වලට ප්‍රතිචාර නොදී කෙටි පණිවිඩ කිහිපයක් පමණක් යැවූ ආකාරයත් දැන සිටි නිසා රිහාන් කිසිවක් නොකියා බලා උන්නේය.ඉශිනි මේ ආකාරයට ස්ටූඩියෝව වෙත පැමිණෙන්නට ඇත්තේ මෙහි පුහුණුවීම් පැවැත්වෙන නිසා යැයි ඔහු අනුමාන කළේය.
” රිහාන් ? ”
ඉශිනි සෘජුවම රිහාන් දෙස හැරී ඔහු ඇමතූ අතර කල්පනාවේ නිමග්නව සිටි රිහාන් තිගැස්සුනේය
” ආ? ”
” මං මේක ගෙනාවේ ඔයාට “
රිහාන් ඇය අතවූ මල් කළඹ දෙස බැලුවේ පුදුමයෙනි. සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනාම සිටියදී තමාට පමණක් මල් කළඹක් රැගෙන ඒම සුදුසු නොවන බව ඔහු සිතුවේය.
” මට ? ”
රිහාන් පෙරලා විමසා සිටියේ ඇය පැවසූ කාරණාව පැහැදිලි කර ගන්නටය.එහෙත් එහි වෙනසක් ඇති බව පෙනෙන්නට තිබුණේ නැත.ඉශිනි මල් කළඹ රැගෙන රිහාන් වාඩිවී සිටි අසුන වෙත අඩියට දෙකට පැමිණ නතර වී මල් කළඹ ඔහු වෙත දිගු කළාය.
“Good luck for the festival. I hope you have an amazing performance.”
ශෙනෝලි අහක බලා ගත්තාය.තමා මේ කිසිවකට රිදවා ගත යුතු නොවේ.මේවා ඔවුන්ගේ පෞද්ගලික කාරණාය. තමා සිටිය යුතු වන්නේ ඒවාට බොහෝ ඈතිනි.
” Thank you ඉශිනි “
සියල්ලෝම ඉදිරියේ බැවින් රිහාන් හට ඉතා සාමාන්‍ය ලෙස මල් කළඹ පිළිගත යුතුව තිබිණි.
” Looks like someone got a special good luck wish ”
අශේන් හඬ නගා සිනා සී කියද්දී සියල්ලෝම සිනාසුනාහ.
” ඒක පොඩි ගිෆ්ට් එකක් විතරයි අනේ ”
ඉශිනි රිහාන් ගෙන් මෑත්වී ශෙනෝලි වාඩිවී සිටි සෝෆාවට බර වූයේ ඇයට ස්ටූඩියෝව ඉතා හුරුපුරුදු තැනක් සේය.
” පොඩි ? හොඳ පොඩි ? මෙච්චර fansලා ඉන්න මටවත් කොන්සර්ට් එකකට කලින් මෙහෙම ගිෆ්ට් හම්බවෙන්නේ නැහැ “
සියල්ලන්ගේම සිනහවට එකතු වෙන්නට ශෙනෝලි ට උවමනා වුවත් ඇයට හදවතින් එසේ කළ හැකි වූයේ නැත.කෙතරම් උත්සාහ කළද හදවතේ ගැඹුරු කොනක් යන්තමින් වේදනාවට පත් වෙමින් තිබූ නිසා ශෙනෝලි නැවත පසෙක වූ ලැප්ටොප් පරිගණකය උකුල මත තබා ගත්තාය.
තවත් සුළු වේලාවක් සංගීත උළෙල පිළිබඳව කතාබහ කරමින් සිටි ඉශිනි සියල්ලන්ටම නැවත සුබ පතා සමුදී ස්ටූඩියෝවේන් පිටවූවාය. ඇය පිටවන තෙක් බලා සිටි අශේන් එක එල්ලේම ඒ වන තුරුත් මල් කලඹ අතැතිව සිටි රිහාන් දෙස බලා යමක් කියන්නට මුව විවර කළේය. එහෙත් රිහාන් ඉස්සර වූයේය.
” ප්ලීස් කටවහන් ඉඳපන් ”
අශේන් යන්තමින් සිනාසුනේය.
” හරි හරි මං මුකුත්ම කියන්නෑ “
අශේන් සෝෆාව වෙත පැමිණ ශෙනෝලි අසලින් වාඩි වී ඇය දෙස බැලුවේය.
” ඔයාට මොනවා හරි කියන්න තියෙනවද ශෙනෝලි ? “


