5th Avenue – 58

0
216

රාත්‍රිය ගෙවී යමින් තිබුණද රිහාන්ගේ සිතට සැනසීමක් වූයේ නැත. ඉශිනිව මුණගැසී පැමිණි පසු ඇයගෙන් කිසිදු පණිවිඩයක් නොලැබුණු බැවින් ඔහු කිහිප වතාවක්ම ඇගේ දුරකථනයට ඇමතුම් ගත් අතර දුරකථනය ක්‍රියා විරහිත වී තිබූ බැවින් ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක වෙමින් තිබිණි. වෙනදා නිවසට පැමිණි පසු හෝ රාත්‍රියේ නින්දට යාමට පෙර කෙටි පණිවිඩයක් හෝ එවන ඉශිනිගේ නිහඬතාවය හේතුවෙන් රිහාන් හට දැනුනේ විශාල අමුත්තකි. 

රිහාන්ට ඒ මොහොතේ ඇයව සම්බන්ධ කරගැනීමට වෙනත් මාර්ගයක්ද තිබුණේ නැත.ඒ වන විට ඉශිනි ගේ දෙමව්පියන්ව ද හඳුනාගෙන නොතිබුණු බැවින් ඔවුන්ගෙන් විමසීමටද හැකියාවක් නොමැතිකම පිළිබඳව රිහාන් බොහෝ වේලාවක් කල්පනා කළේය. සාමාන්‍යයෙන් සුළු දෙයකට පවා කලබල නොවීම තමාගේ පුරුද්දක් නොවන බැවින් ඉශිනි ගේ දුරකථනය ක්‍රියා විරහිත වීමට හේතුවක් තිබිය හැකි බව සිතා ඇය අමතන තුරු බලා හිඳීමට තීරණය කර රිහාන් දුරකථනය පසෙක තැබුවේ මධ්‍යම රාත්‍රිය ද ගෙවී යන විටය.

පසුදා උදෑසන රිහාන්ගේ දුරකථනය නාද වූයේ ඔහු අවදි වී පුහුණුවීම් සඳහා යාමට සූදානම් වෙමින් සිටියදීය. තිරය මත දිස් වූ ඉශිනිගේ නම දුටු සැණින් ඔහු ඇමතුමට සම්බන්ධ වූයේ තරමක නොසන්සුන් බවකිනි

“හෙලෝ රිහාන් “

“ගුඩ් මෝනිං, ඉශිනි. ඊයේ ෆෝන් එක ඕෆ් වෙලා තිබුනේ ඇයි ? මං කීප සැරයක්ම කෝල් කළා “

“අනේ සොරි රිහාන්. මං ගෙදර ඇවිල්ලා පොඩි වැඩ වගයකට හිර වුණා. ඊට පස්සේ මට නින්ද ගිහින්. ෆෝන් එකත් එහෙමම ඕෆ් වෙලා බැට්‍රි ලෝ වෙලා ” 

ඉශිනිගේ පැහැදිලි කිරීම අසා රිහාන් මොහොතක් නිහඬ වී උන්නේය. එහි අසාමාන්‍ය දෙයක් ඇතැයි නිශ්චිතව පැවසිය  නොහැකි වුවත්, පසුගිය දින කිහිපයේ සිදුවීම් සමඟ සසඳන විට ඇගේ හැසිරීමේ යම් වෙනසක් ඔහුට දැනෙමින් තිබිණි.

“ආහ් හරි. කමක් නෑ. මං දැන් ප්‍රැක්ටිස් යන්න ලෑස්ති වෙනවා. මං ඔයාට දවල් වෙලා කෝල් එකක් දෙන්නම් “

ඇමතුම අවසන් කළ රිහාන් දුරකථනය පසෙකින් තබා මොහොතක් කල්පනා කළේය. පෙර දිනයේ ඉශිනි ප්‍රසංගයට නොපැමිණීමත්, තමන් විවාහය පිළිබඳව කතා කළ අවස්ථාවේ ඇය එතරම් උනන්දුවකින් ප්‍රතිචාර නොදැක්වීමත්, ඉන්පසු තමා හමුවී ගිය පසුව කිසිදු පණිවිඩයක් නොඑවීමත් අතර යම් සම්බන්ධයක් ඇතැයි ඔහුට සිතිණි.

එහෙත් ඒ සියල්ල එකිනෙකට සම්බන්ධ කරමින් නිගමනවලට එළඹීම සාධාරණ නොවන බවද,ඇතැම්විට ඉශිනි සැබැවින්ම කාර්යබහුල වන්නට ඇතැයිද යනුවෙන් සිතුවිල්ලක් රිහාන් තුළ ඊළඟ මොහොතේදී ඇති විය. ඇගේ හැසිරීම පිළිබඳව අනවශ්‍ය ලෙස විමසිලිමත් වීමත්, කිසිදු හේතුවක් නොමැතිව ඇයව ප්‍රශ්න කිරීමත් තවත් ගැටලුවක ආරම්භයක් විය හැකි නිසා කරුණු කාරණා එතනින් අතහැර දැමූ රිහාන් සූදානම් වී පහත මාලයට පැමිණියේය.

සාලයේ කොනකට වන්නට තිබූ කෑම මේසයේ වාඩි වී රොහාන් එදිරිසිංහ පුවත්පතක් කියවමින් උන්නේය. තම පුතු පැමිණෙනවා දුටු සැණින් ඔහු පුවත්පත පසෙක තබා අසළ වූ තේ කෝප්පය අතට ගත්තේය.

“පුතාට අද දවස මතකද?”

රිහාන් පියා දෙස බැලුවේ මඳක් විමතියෙනි. විශේෂ යමක් තමාට අමතක වී ඇත්දැයි යන හැඟීම ඒ බැල්ම තුළ විය.

“අද ශෙනෝලිගේ අම්මගෙයි තාත්තගෙයි ඩෙත් ඇනිවසරි එක “

එවදන් ඇසුණු සැණින් රිහාන්ගේ මුහුණ වෙනස් වී ගියේ පසුතැවීමක හැඟීම් සටහන් වෙමිනි.

“අනේ, මට අමතක වුණානේ තාත්තා “

“කමක් නෑ. අපි කම්පැනි එකෙන් පොඩි ඩොනේෂන් එකක් ලෑස්ති කරලා තියනවා. ඊයේ හවස මං ශෙනෝලිටත් ඒ ගැන කිව්වා “

රිහාන් තම පියාට යාබදව වූ අසුනේ වාඩි වුයේ දුරකථනය සහ මුදල් පසුම්බිය මේසය මත තබමිනි.

“මං මේ දැන් ප්‍රැක්ටිස් යන්න ලෑස්ති වුණේ තාත්තා. ශෙනෝලිත් ඔය ඩොනේෂන් එකට එනවද?”

රිහාන්ගේ ප්‍රශ්නයට පිළිතුර ලැබීමට පෙර ශ්‍යාමලී රිහාන්ගේ කෝපි කෝප්පය ගෙනවිත් ඔහු ඉදිරියෙන් තබා අසුන් ගත්තාය.

“ශෙනෝලි කෑම පාර්සල් වගයක් හදලා බෙදන්න ලෑස්ති කරගන්නව කිව්වා අද . ඔයාලගේ ප්‍රැක්ටිස් තියෙන නිසා එයාට එන්න වෙලාවක් නැති වෙයි කියලා හිතලා තාත්තට සල්ලිත් දීලා තිබුණා ඩොනේෂන් එකට දාන්න “

වසර තුනක් ගතවී තිබුණද දෙමාපියන්ගේ වියෝව දියණියකගේ සිතෙන් පහසුවෙන් මැකී යන මතකයක් නොවන බැවින් මෙවැනි දිනයක ශෙනෝලි ඒ සියල්ල තනිවම දරාගන්නේ කෙසේදැයි රිහාන් හට සිතිණි. පෙර දිනයේදීත් පුහුණුවීම්වලදී ඇයව මුණගැසුණද ඇය ඒ පිළිබඳව වචනයක් හෝ නොපැවසීම අනෙක් අතට රිහාන්ගේ සිතට එකතු කළේ පුදුමයකි.

“ඒ ළමයා ගැන මට පුදුම හිතෙනවා. තමන්ට කොච්චර අමාරු දවසක් වුණත් එයා හිතන්නේ එයාට තියෙන responsibilities ගැන. වෙන කෙනෙක් නම් මේ වගේ දවසක් නිවාඩුවක් ගන්න excuse එකක් කරගන්නවා . ඒත් මේ ළමයා බලන්නකො”

රොහාන් කල්පනාකාරීව පවසන අතරතුර රිහාන් එයට පිළිතුරු නොදුන්නේ එය සත්‍යයක් බව ඔහුද දැන සිටි බැවිනි. ශෙනෝලිගේ ශක්තිමත් බව ඔහු හට අලුත් දෙයක් නොවුණත්, ඒ ශක්තිය පිටුපස ඇය නිහඬව දරාගන්නා වේදනාව කොතරම්දැයි සිතන විට ඔහුගේ සිත බර වී ගියේය.

ශෙනෝලිගේ නිවසේ මුළුතැන්ගෙය පුරා උදෑසනින්ම පිසූ ආහාර වල සුවඳ පැතිර තිබිණි. මේසය මත පිළිවෙළට තබා තිබූ බත් සහ ව්‍යංජන වලින් ඇය එකින් එක බත් පාර්සල් සකස් කරමින් හුන් අතර දෑස් කඳුළින් පිරී තිබුණද, ඒවා පිස දමමින් නැවතත් තම කාර්යය කෙරෙහි අවධානය යොමු කරන්නට ඇය නැවත නැවතත් උත්සාහ කළාය.

තම ආදරණීය දෙමව්පියන්ව තමන්ට අහිමි වී ගොස් මේ එළඹෙන්නේ තෙවන වසරය. මවගේ හඬ, පියාගේ ආදරණීය බැල්ම සහ රැකවරණය ඇතුළු ඉතා කුඩා මතකයන් පවා, ශෙනෝලිගේ සිත තුළ පැහැදිලිව ඒ මොහොතේදීත් රැඳී තිබිණි. 

ඔවුන් දෙදෙනාව අහිමි වූයේ අනපේක්ෂිතවය. එහෙත් තමන්ගේ ජීවිතය එතනින් නතර වූයේ නැත. අහිමිවීමේ වේදනාවත් සමඟම ඉදිරියට යමින්, තමන් වෙනුවෙන් තීරණ ගන්නටත්, වැරදීම්වලින් නැවත නැඟිටින්නටත්, කිසිවකුගේ උපකාරයක් නොමැතිව ඇතැම් දුෂ්කරතා ජයගන්නටත් තමන් පුරුදු වූයේ කාලයත් සමඟය. එහෙත් සෑම අවස්ථාවකදීම ජීවිතයට දැනෙන හිස්කම මගහැර හිඳින්නට තමාට හැකි වූයේ නැත.

බත් පාර්සලයක කෙළවර නමමින් සිටි ශෙනෝලි ගේ දෑසින් කඳුළක් ගිලිහී ගියේ නොදැනුවත්මය . එය පිස දමා ගැනීමටවත් නොසිතූ ඇය මොහොතකට නතර වී සාලයේ බිත්තියේ එල්ලා තිබූ ඡායාරූපය දෙස බැලුවාය.

“අද ඔයාලා හිටියා නම් “

ශෙනෝලි ගේ මුවින් පිටවූ ඒ වචන කිහිපය සමඟම උගුරේ සිරවී තිබූ හැඟීම් තවදුරටත් දරාගෙන හිඳීම ඇයට පහසු වූයේ නැත. සෙමෙන් ඉකි ගසමින් ඇය අවසාන බත් පාර්සල් කිහිපය ද සූදානම් කර අවසන් කලාය.

බත් පාර්සල් සියල්ල සකස් කර අවසන් කළ ශෙනෝලි ඒවා බෑග්වලට අසුරන්නට පටන් ගත්තේ බිත්ති ඔරලෝසුව දෙස බලමිනි. පැමිණීමට යම් වේලාවක් ප්‍රමාද විය හැකි බව මේඝ හට පෙර දිනයේදී දැනුම් දී තිබුණු නිසාත්, අද දිනයට නියමිතව තිබූ රාජකාරී බොහෝමයක් පෙර දිනයේම අවසන් කර තිබුණු නිසාත් ශෙනෝලි හට රැකියාව පිළිබඳව එතරම් බරක් ඒ මොහොතේදී දැනුනේ නැත.

බත් පාර්සල් බෙදා දීම සඳහා නිවාස සංකීර්ණය ආසන්නයේ ඇති ත්‍රිරෝද රථ ගාලෙන් ත්‍රී රෝද රථයක් කතා කර ගත යුතු බව සිතමින් සිටි මොහොතක ශෙනෝලි ගේ දුරකථනය නාද විය. එය මේඝ ගෙන් විය හැකි යැයි සිතමින් ශෙනෝලි කථනය අතට ගත්තද තිරය මත දිස් වෙමින් තිබුණේ බලාපොරොත්තු නොවූ නමකි.

“හෙලෝ,  good morning රිහාන් “

“ශෙනෝලි, ඔයා හොඳින්ද?”

අනපේක්ෂිත ලෙස රිහාන් ඇසූ ප්‍රශ්නයෙන් ශෙනෝලි ගේ දෑස් නැවතත් තෙත් වී ගිය නමුත් හඬ වෙනස් නොකර පිළිතුරු දෙන්නට ඇය උත්සාහ කළාය.

“ඔව් රිහාන්. මං හොඳින්. හැබැයි මට ප්‍රැක්ටිස් වලට එන්න නම් ටිකක් පරක්කු වෙයි. අද මට පොඩි වැඩක් තියෙනවා.”

ඇය වෙනදා මෙන්ම තමන්ගේ අපහසුතාවක් පිළිබඳව හෝ නොකියා, අනෙක් අයගේ වැඩකටයුතුවලට බාධා නොවන ආකාරයෙන් සියල්ල කළමනාකරණය කිරීමට උත්සාහ කරන ආකාරය පිළිබඳව රිහාන් හට දැනුනේ පහන් හැඟීමකි.

“මං දන්නවා ඔයාට තියෙන වැඩේ මොකක්ද කියලා. තාත්තා උදෙන්ම මට ඒ ගැන මතක් කළා “

ශෙනෝලි කිසිවක් පැවසුවේ නැත. දුරකථනය කනට තද කර ගෙන ඇය නිහඬව උන්නේ තවත් වචනයක් හෝ පැවසුවහොත් හඬා වැටෙන්නට සිදුවනු ඇතැයි බියෙනි.

“ශෙනෝලි ඔයා ඔය කෑම ටික බෙදන්න යන්නේ කොහොමද?”

ශෙනෝලි නිහඬ බැවින් රිහාන් නැවත ඇසුවේ හදිසියේ යමක් සිහිපත් වීමෙනි.

“මං හිතාගෙන ඉන්නේ ටුක් එකක් කතා කරගෙන ගිහින් හිමීට බෙදලා එන්න. අර පන්සල හරියේ එහෙම මිනිස්සු ඉන්නවනේ “

රිහාන් මොහොතක් කල්පනා කළේය. ඇය සැලසුම් කර ඇති ආකාරයට කෑම පාර්සල් රැසක් තනිවම රැගෙන ගොස් බෙදා අවසන් කිරීමට ශෙනෝලි හට සැලකිය යුතු වෙහෙසක් දැරීමට සිදුවන බව පැහැදිලිය. 

“ශෙනෝලි මං එන්නම්. මගේ වාහනේ ගිහින් මේ ටික බෙදමු නේද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here