යමෙකු තමාගේ නම අමතනවා ඇසුණු සැණින් ඒ දෙස හැරී බැලූ ඉශිනීගේ මුහුණේ ඇඳී ගියේ මොහොතකට පෙර තිබූ සියලු නොසන්සුන්කම් අමතක කරවන තරමේ පුළුල් සිනහවකි. ඇය තමන් ඉදිරියේ සිටගෙන සිටි තරුණයා දෙස මොහොතක් විමතියෙන් බලා සිටියේ ඒ හඬත්, ඒ මුහුණත් එකවර හඳුනාගැනීමට ඇගේ මතකයට මඳ වේලාවක් ගත වූ නිසාය. එහෙත් ඊළඟ මොහොතේම ඔහුව හඳුනාගත් ඉශිනී අසුනින් නැඟිට ඔහු වෙත ගොස් සතුටින් ඔහුව වැළඳ ගත්තේ වසර ගණනාවකට පසුව තමන්ගේ පැරණි මිතුරකු අනපේක්ෂිතව මුණගැහුනු සතුටිනි.
” අනේ ඩියෝන්! ඔයා කවදද ලංකාවට ආවේ ? දෙයියනේ, කොච්චර කාලෙකට පස්සෙද අපි මේ හම්බවෙන්නේ! “
ඉශිනීගේ හඬේ වූ උද්යෝගයත් මුහුණේ ඇඳී තිබූ සතුටත් දුටු ඩියෝන් සිනාසුණේය.
” මං ලංකාවට ඇවිල්ල නම් දැන් මාසයක් විතර වෙනවා. මං හිතුවෙවත් නෑ අද මෙහෙම ඔයාව හම්බවෙයි කියලා. මං මේ කොෆි එකක් ගන්න ආපු ගමන්. ඇතුළට එනකොට තමයි ඔයාව දැක්කේ. මුලින්ම දැක්ක වෙලාවෙත් පොඩ්ඩක් සැක හිතුණා. ඒත් ළඟට ආවම තමයි හරියටම අඳුරගත්තේ”
” අනේ ඉතින් එහෙම දැකලත් කතා නොකර යන්නද හිතුවේ? එන්නකෝ, අපිත් එක්ක වාඩිවෙලා කෝපි එකක් බොමු “
ඉශිනී එසේ පවසමින් ඩියෝන් හට අසල වූ අසුන පෙන්වූවාය. ඉන්පසුව ඇය රිහාන් දෙසට හැරුණේ ඔහු වෙත ඩියෝන්ව හඳුන්වා දීමටය. ඒ වන විටත් ඔහු මුහුණේ සුහද සිනහවක් රඳවාගෙන ඔවුන් දෙස බලා උන්නේය.
” රිහාන්, මේ ඩියෝන්. අපි ඉස්කෝලේ යන කාලේ එකට ක්ලාස් ගිය යාළුවෙක්. ඩියෝන්, මේ රිහාන්. මගේ බෝයිෆ්‍රෙන්ඩ් “
ඉශිනීගේ අවසන් වචන කිහිපයත් සමඟ ඩියෝන්ගේ මුහුණේ තවත් පුළුල් සිනහවක් ඇඳී ගියේය. ඔහු රිහාන් දෙස බැලුවේ අලුත් උනන්දුවකිනි.
” එහෙනම් මෙයා තමයි එයා නේද ? “
ඩියෝන්ගේ ඒ ප්‍රතිචාරය ඇසුණු ඉශිනී මඳක් විමතියෙන් ඔහු දෙස බැලුවාය.
” ඇයි? මොකද ඒ? “
” නෑ නෑ, මුකුත් නෑ. ඔයා ගැන ඉතින් අපිට දැන් හුඟක් දේවල් දැනගන්න පුළුවන් වෙයිනේ “
ඩියෝන්ගේ කතාවට ඉශිනී සිනාසුණද, ඔහුගේ අවසන් වචනවලින් අදහස් කළේ කුමක්දැයි ඇයට සම්පූර්ණයෙන්ම පැහැදිලි වූයේ නැත.
” රිහාන් බෑන්ඩ් එකක බේස් ගිටාර් ප්ලේ කරනවා “
ඉශිනී නැවතත් ඔහුව හඳුන්වා දුන්නේ යම් ආඩම්බරයක්ද මුසු වූ හඬකිනි. ඩියෝන් රිහාන් දෙස බලා හිස සැලුවේ ඔහු පිළිබඳව තවදුරටත් දැනගැනීමට උනන්දුවක් ඇති වූ ආකාරයෙනි.
” එහෙමද? මරුනේ. මියුසික්වලට මං පොඩි කාලේ ඉඳන්ම ආසයි. ඒත් ඉතින් මට නම් ඔය වගේ දෙයක් කරන්න හැකියාවක් තිබුණේ නෑ”
” හැකියාව තිබුණත් වෙලාව නැතුව ඇති “
ඉශිනී සිනාසෙමින් පැවසුවාය.
” වෙලාව තිබුණත් මට ඒක හරියට කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ “
ඩියෝන්ගේ පිළිතුරට තිදෙනාම සිනාසුණහ. ඒ අතර සේවකයා පැමිණි විට ඩියෝන් තමන්ට අවශ්‍ය කෝපි වර්ගය ඇණවුම් කළේය. ඔහු නැවතත් ඉශිනී දෙසට හැරුණේ ඇයගේ ජීවිතය ගැන බොහෝ දේවල් අසා දැනගැනීමට බලා සිටි අයකුගේ ස්වභාවයෙනි.
” ඉතින් ඉශිනි. මොකද දැන් වෙන්නේ? වැඩ කරනවා, ලව් කරනවා, ජීවිතේ හොඳට ගෙවනවා. ඔක්කොම හරි වගේ නේද? “
” ඔව් ඉතින්, ඔයාට ආරංචි වෙනවාත් ඇතිනේ ලංකාවේ හිටියේ නැතිවුණාට “
“ආරංචි නම් තියෙනවා. ඒත් ඔයාගේ කටින්ම අහන එක වෙනම දෙයක්නේ “
ඉශිනී සිනාසෙමින් රිහාන් දෙස බැලු අතර ඔහුද ඇය දෙස බලා සිනහවක් පෑවේ මේ කතාබහේදී ඔහුට වැඩි යමක් පැවසීමට නොමැති බැවිනි සිතමිනි. එහෙත් ඩියෝන් ඊළඟට පැවසූ වචන කිහිපයත් සමඟ ඒ සැහැල්ලු වාතාවරණය වෙනස් වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.
” කොහොම වුණත් උඹ සෙට්ල් වෙච්ච එක ගැන නම් මට මාර සතුටුයි, ඉශිනී. නැත්තං ඉතින් ඒ කාලේ උඹ පිස්සු නටපු හැටියට අපිට හිතාගන්නවත් බැරි වුණා උඹ කවදා හරි එක කොල්ලෙක් එක්ක සෙට්ල් වෙයිද කියලාත් “
ඩියෝන් එය පැවසුවේ පැරණි මතකයක් සිහිපත් කරමින් සිනාසෙන ආකාරයෙනි. ඔහුගේ හඬේ කිසිදු විශේෂ අරමුණක් හෝ ඉශිනීව අපහසුතාවට පත් කිරීමේ අදහසක් නොතිබුණද, ඔහුගේ වචන රිහාන්ගේ සිතට කා වැදුනේ අනපේක්ෂිත ලෙසය.අනතුරුව ඔහුගේ මුහුණේ තිබූ සිනහව මොහොතකට වෙනස් වූ නමුත්, ඒ වෙනස ඉශිනීට හෝ ඩියෝන්ට පැහැදිලිව නොපෙනෙන සේ ඔහු නැවතත් සාමාන්‍ය ලෙස සිටීමට උත්සාහ කළේය.
” අනේ මේ, පරණ කතා ඇදලා ගන්න එපා ඩියෝන්. කොච්චර කාලෙකට පස්සෙද අපි මේ හම්බවෙන්නේ? “
ඉශිනී සිනාසෙමින් පැවසුවේ ඩියෝන්ගේ කතාව එතැනින් නතර කිරීමට උත්සාහ කරමිනි
” ඇයි ඉතින්? මං කියන්නේ ඇත්තනේ. උඹෙන් බූට් කාපු කොල්ලෝ කී දෙනෙක් හිටියද ඒ කාලේ? එකෙක් ගැන හිතලා ඉන්නකොට උඹ තව එකෙක්ට කැමති වෙනවා. ඊට පස්සේ ඒක නතර වෙනවා. අපිටත් ඉතින් උඹේ ආදර කතා අහලා ඇති වෙලා තිබුණේ “
ඩියෝන් නැවතත් සිනාසුණේ ඒ සියල්ල අතීතයේ සිදුවූ සාමාන්‍ය සිදුවීම් ලෙස සලකමින් වුවත් රිහාන් හට ඒ වචන සමඟ සිනහවකට එක්වීමට හැකි වූයේ නැත. ඔහු තම කෝපි කෝප්පය අතට ගෙන නිහඬව එයින් උගුරක් පානය කරමින් ඒ කතාවට සම්බන්ධ නොවී සිටීමට උත්සාහ දැරුවේය . සෑම කෙනකුටම තමන්ගේම වූ අතීතයක් තිබෙන බව සහ එම අතීතය මත පමණක් කෙනකුගේ වර්තමානය තීරණය කළ නොහැකි බව ඔහු විශ්වාස කළත් තමන් ආදරය කරන කෙනකුගේ ජීවිතයේ මෙතෙක් තමන් නොදැන සිටි පැතිකඩක් වෙනත් අයකුගේ මුවින් මෙලෙස අසන්නට ලැබීම ඔහු බලාපොරොත්තු නොවූ දෙයක් විය.
“ඒ කාලේ එහෙම තමයි ඉතින්. හැමෝම එක වගේ හිතන්නේ නෑනේ. මං කැමති වුණ අයත් එක්ක ඉස්සරහට යන්න බැරි වුණා කියලා මං මොනවා කරන්නද? “
ඉශිනී එසේ පැවසුවේ තමන්ගේ අතීතය පිළිබඳව තවදුරටත් කතා කිරීමට ඇති අකමැත්ත සඟවාගනිමින් වූ අතර ඇගේ හඬේ වූ වෙනස ඩියෝන්ට එතරම් නොදැනුනත්, රිහාන් හට එය පැහැදිලිවම දැනිණි.
” හරි හරි, දැන් ඉතින් උඹට හොඳ කෙනෙක් හම්බවෙලා උඹ සෙට්ල් වෙලානේ ඉන්නේ “
ඩියෝන් රිහාන් දෙස බලමින් එසේ පැවසු අතර රිහාන් එයට පිළිතුරු ලෙස සිනහවක් පෑවේය. එහෙත් ඒ සිනහව පිටුපස තිබූ නොසන්සුන්කම ඔහුගේ සිතෙන් පහව ගොස් තිබුණේ නැත.
ඉශිනීද එය වටහාගෙන උන්නාය. ඩියෝන් පැවසූ වචන ඔහුට කෙසේ බලපා තිබේදැයි ඇයට සිතාගත හැකිව තිබුණේ නැති බැවින් ඇය වෙනත් මාතෘකාවක් ආරම්භ කරමින් සංවාදය වෙනත් මඟකට යොමු කර කරගත්තාය.
ඉන්පසුව තිදෙනාම පැරණි මිතුරන්, රැකියා සහ වර්තමාන ජීවිතයේ සිදුවීම් පිළිබඳව තවත් ටික වේලාවක් කතාබහ කළ අතර ඩියෝන්ගේ කෝපි කෝප්පය හිස් වන විට ඔවුන්ගේ සංවාදයද ක්‍රමයෙන් අවසන් විය. සමුගැනීමට පෙර නැවතත් ඉශිනීගේ දුරකථන අංකය ලබාගත් ඩියෝන්, ඉදිරියේදී හමුවී තවත් කතාබහ කිරීමට පොරොන්දු වී පිටත්ව ගියේය.
” අපි දෙන්නත් යමුද රිහාන් ? “
ඇය එසේ ඇසූ විට රිහාන් හිස ඔසවා ඇය දෙස බැලුවේය.
” යමු. ඔයාගේ වාහනේ අද නැහැනේ. මං ඔයාව ඩ්‍රොප් කරන්නම් “
රිහාන්ගේ හඬේ වෙනස ඇයට දැනී තිබුණද, ඒ ගැන නැවතත් ඔහුගෙන් විමසීමට ඇය ඒ මොහොතේ ඉක්මන් වූයේ නැත. බිල් පත ගෙවා අවසන් කර පැමිණ වාහනයට නැඟී ගමන ආරම්භ කළ පසු රිහාන් වෙනදා මෙන් කතාබහ කළේ නැත. මාර්ගයේ ගමන් කරන වාහනවලට අවධානය යොමු කරමින් ඔහු නිහඬව රිය පැදවූ අතර, ඉශිනීද එම නිහඬභාවය බිඳීමට උත්සාහ කළේ නැත. එහෙත් මිනිත්තු කිහිපයක් ගතවෙද්දී ඔහුගේ නිහඬභාවය සාමාන්‍ය වෙහෙසක් නිසා ඇති වූවක් නොවන බව ඇයට පැහැදිලි විය.
” රිහාන් “
ඇගේ හඬට රිහාන් මොහොතකට ඇය දෙස බැලුවේය.
” ඔයා ඩියෝන් කියපු දේවල් ගැන අවුලෙන් නේද ඉන්නේ ? “
රිහාන් වහාම පිළිතුරු දුන්නේ නැත. ඔහු නැවතත් මාර්ගය දෙස බලා වාහනය ඉදිරියට පැදවූයේය.
” මට තේරෙනවා ඔයා වෙනදා වගේ නෙමෙයි කියලා. ඔයා ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැති වුණාට, ඩියෝන් කියපු දේවල් ඔයාගේ හිතට වැදුණා කියලා මට හිතෙනවා රිහාන් “
රිහාන් නිහඬව හුන් අතර ඔහුගේ නිහඬභාවය ඉශිනීගේ සිතේ තිබූ නොසන්සුන්කම තවත් වැඩි කළේය. ඇය මොහොතක් ජනේලයෙන් පිටත බලා සිට නැවතත් ඔහු දෙසට හැරුණාය.
” ඒ කාලේ මං හිතන්නේ නැතුව කරපු දේවල් ගැන ඔයා ඔච්චර හිතන්න එපා, රිහාන්. ඒ කාලේ මං පොඩි වැඩියි. මට ඕන වුණේ මට ආදරය කරන, මාව තේරුම්ගන්න කෙනෙක්ව හොයාගන්න. ඒත් මං හිතපු විදිහට ඒ දේවල් වුණේ නැහැ “
ඇයගේ හඬේ තිබුණේ තමන්ගේ අතීතය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට ඇති උවමනාව පමණක් නොවූ අතර රිහාන්ගේ සිතේ ඇති හැකි වැරදි වැටහීමක් ඉවත් කිරීමට තිබූ නොසන්සුන් උත්සාහයක්ද ඒ තුළ සැඟවී තිබිණි.
” මං දැන් එහෙම කෙනෙක් නෙමෙයි රිහාන්. මං දැන් ඉස්සර වගේ නෙමෙයි හිතන්නේ. මට හරි යන කෙනෙක් හම්බවුණා නම් මට එහෙම affairs නතර කරන්න සිද්ධ වෙන්නේ නැහැනේ “
රිහාන් ඇය දෙස මොහොතකට බැලූ අතර ඇය පැවසූ දේවල් තුළින් ඔහුට තේරුම්ගත හැකි වූයේ ඇය තමන්ගේ අතීතය ගැන ඔහුට යමක් පැහැදිලි කිරීමට උත්සාහ කරන බව පමණි.
” ඉශිනි, මං ඔයාගේ අතීතය ගැන ඔයාට දොස් කියන්නේ නැහැ. ඒත් මං ඒ ගැන හිතනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මං ඔයා ගැන වැරදි විදිහට හිතනවා කියලා.මොකද හැමෝටම අතීතයක් තියෙනවා. ඒ අතීතය නිසාම ඔයාව ජජ් කරන්නත් මට ඕන නැහ “
ඔහු මොහොතකට ඇය දෙස බලා නැවතත් මාර්ගය දෙසට අවධානය යොමු කළේය.
” හැබැයි මං හිතන්නේ අපි දෙන්නා අපිව මීට වඩා හොඳට තේරුම්ගන්න එක වැදගත් “
ඉශිනී ඔහුගේ වචනවලට සවන් දෙමින් නිහඬව උන්නාය. ඔහු තමන්ට දොස් නොකියන බව පැවසුවත් ඔහු තමන් පිළිබඳව වෙනදාට වඩා යමක් සිතන බව ඇයට දැනෙමින් තිබිණි .එම නිසා එය ඇය බලාපොරොත්තු වූ පිළිතුරක් නොවූ අතර, ඔහු වෙතින් පෙනෙන්නට තිබුණේ තමන්ගේ පැහැදිලි කිරීමෙන් ඔහුගේ සිතේ තිබූ නොසන්සුන්කම පහව ගොස් නැති බවය.
” මං ඔයාට ආදරෙයි රිහාන්. මට ඕන නැහැ අපි දෙන්නා අතර පුංචි දෙයක්වත් ප්‍රශ්නයක් වෙනවට “
ඇය එසේ පැවසුවේ ඔහුගේ අත අල්ලාගැනීමට සිතමින් වුවත් ඇය එසේ නොකර නිහඬ වූවාය. රිහාන් ඒ වචනවලට පිළිතුරු ලෙස ඇය දෙස බලා මෘදු සිනහවක් පෑවේය.
” මං දන්නවා ඉශිනි “
ඉන්පසුව ඔවුන් දෙදෙනා අතර වැඩි කතාබහක් ඇති වූයේ නැත. ඉශිනී ජනේලයෙන් පිටත බලාගෙන සිටියේ රිහාන් තමන් ගැන කුමක් සිතනවාදැයි අනුමාන කිරීමට උත්සාහ කරමිනි. තමන්ගේ අතීතය ගැන පැහැදිලි කිරීමක් කළ පසු සියල්ල යථා තත්ත්වයට පත්වේවි යැයි ඇය සිතා සිටියද, ඔහුගේ පිළිතුරෙන් ඇගේ සිතේ ඇති වූ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳී ගොස් තිබුණේ නැත.
රිහාන් උන්නේද තමන්ගේ සිතේ වූ හැඟීම් නිශ්චිතව හඳුනාගත නොහැකි තත්ත්වයකය. ඉශිනීගේ අතීතය ඇයට එරෙහිව යොදාගැනීමට ඔහුට අවශ්‍ය නොවූවත් ආදරය කරන කෙනකු පිළිබඳව සම්බන්ධතාවය තුළදී දැනගන්නට ලැබෙන සෑම දෙයක්ම ඔවුන් දෙදෙනාගේ අවබෝධය පුළුල් කළ යුතු බව ඔහු විශ්වාස කළේය.
වාහනය ඉශිනීගේ නිවස අසල නතර වූ පසු ඇය ආසන පටිය ගලවා ඔහු දෙසට හැරුණාය.
“මං යන්නම්, රිහාන්. පරිස්සමෙන් යන්න “
” හරි. ඔයත් පරිස්සමෙන් “
ඉශිනී වාහනයෙන් බැස නිවස දෙසට පියවර තැබුවාය.නිවසට ඇතුළු වීමට පෙර ඇය නැවතත් හැරී වාහනය දෙස බැලු අතර ඇය දෙස බලා සිටි රිහාන් ඇය සිනහවක් පෑ පසු හිස සලා ඇයට සමු දුන්නේය. ඒ සිනහවෙන් සියල්ල යථා තත්ත්වයට පත්වී ඇති බව පෙන්වීමට දෙදෙනා විසින්ම උත්සාහ කළද, දෙදෙනාගේම සිත්වල තවමත් නොවිසඳුණු යමක් ඉතිරිව තිබිණි.
” මේක red flag එකක්ද ? “



