නිවසට පැමිණි ඉශිනි නිදන කාමරය වෙත පැමිණ අත්බෑගය කන්නාඩි මේසය මත තබා යහන මතට වැටුණේ දවස පුරාම ගත කළ වෙහෙසකර කාලයෙන් මඳක් නිදහස් වීමටය. මඳ වේලාවක් දෑස් පියාගෙන හිඳ ඇය මගහැරුණු පණිවිඩ පරීක්ෂා කිරීමට සිතා දුරකථනය අතට ගත්තාය.
ඩියොන් විසින් තම නම සටහන් කර එවන ලද වට්සැප් පණිවිඩය දුටු සැනින් ඉශිනිගේ සිතට පැමිණියේ සවස හමුවීම අතරතුර සිදු වූ කතාබහය. ඩියෝන් පැවසූ ඇතැම් දේවල් රිහාන්ගේ සිතට බලපා ඇති බැවින් ඒ පිළිබඳව ඩියෝන් සමඟ කතා නොකර සිටීමද ඉශිනි හට කළ නොහැකි දෙයක් විය. මඳ වේලාවක් කල්පනා කළ ඇය ඔහුගේ අංකයට ඇමතුමක් ගත්තේ අනතුරුවය.
“හෙලෝ, ඉශිනී “
ඉශිනී මොහොතක් නිහඬව උන්නේ තමන්ට පැවසීමට අවශ්‍ය දේ කෙසේ ආරම්භ කළ යුතුදැයි සිතමිනි
“අද ඔයා කියපු සමහර දේවල්වලට රිහාන් අවුල් ගියාද කියලත් මට හිතෙනවා ඩියෝන් “
දුරකථන ඇමතුමේ අනෙක් පසින් ඇසුණේ සැහැල්ලු සිනහවකි.
“අනේ මං හිතන්නේ නෑ ඉශිනි. පොර ටිකක් සයිලන්ට් කැරැක්ටර් එකක් වගේ උනාට අනිත් අයව ජජ් කරනවා කියලා නම් මට හිතෙන්නේ නැහැ “
“ඒ වුණාට කමක් නෑ ඩියෝන් . ආයෙ කොහේදි හරි අපි දෙන්නා හම්බවුණත් ඔය වගේ කතා නම් කියන්න එපා “
ඉශිනී එය පැවසුවේ සැහැල්ලු සිනහවකින් වුවද , ඇගේ හඬේ වූ බැරෑරුම් බව හඳුනා ගැනීමට ඩියොන් හට අපහසු වූයේ නැත.
“හරි, හරි. හැබැයි ඉශිනී, මං ඔයාට දෙයක් කියන්නද?”
ඩියොන්ගේ හඬ තුළ පෙර තිබූ සැහැල්ලු බව සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් තිබිණි
“මොකක්ද?”
“ඔයා ඉස්සර හිටියා වගේ චිල් එකේ ඉන්න. ඔයාට දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා ඔයාගේ ජීවිතේ එන්ජෝයි කරන්න තියෙන චාන්සස් නැති කරගන්න එපා. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච පලියට ඔයාට හැමදේම වෙනස් කරගන්න ඕන නෑනේ. ඔයාට වෙනදා වගේ ඉන්න බැරි නම්, ඔයා වෙනමම විදිහක් ලෝකෙට පෙන්නන්න හදනවා නම් ඒකෙන් වෙන්නේ ඔයාට ඔයාව නැති වෙන එක”
ඉශිනී කිසිවක් නොකියා දුරකථනය කනට තද කරගෙන අසා උන්නාය.
“මං මේ සීරියස් කියන්නේ ඉශිනී. ඔයා දැන් සතුටින්ද කියන එක ඔයාම හිතලා බලන්න. රිහාන් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. එයා ඔයාට ආදරේ කරනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ වෙනුවෙන් ඔයා ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලා නීතියක් නෑනේ. ඔයාට ඕන දේවල් කරන්න, ඔයාට සතුටු දේවල් කරන්න. ඒවා නතර කරලා හොඳ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් විතරක් වෙන්න ට්‍රයි කරන්න එපා “
“මං එහෙම කරනවා කියලා ඔයා හිතනවද?”
ඉශිනීගේ ප්‍රශ්නයට ඩියෝන් වහාම පිළිතුරු දුන්නේ නැත.
“මං දන්නේ නෑ. ඒක හරිද වැරදිද කියලා තීරණය කරන්න පුළුවන් ඔයාට විතරයි. මං අවුරුදු ගානකට පස්සේ ඔයාව දැක්කේ අද. ඒත් ඉස්සර මං දැනගෙන හිටපු ඉශිනීට වඩා අද ඉශිනී ටිකක් වෙනස් වගේ කියලා මට දැනුණා. ඒ වෙනස හොඳ එකක්ද නරක එකක්ද කියලා මං දන්නේ නෑ. ඒත් ඔයා ඇත්තටම සතුටින් ඉන්නවා නම් no worries “
ඩියෝන් ඇයව විනිශ්චය කිරීමට උත්සාහ නොකරන බව ඇයට වැටහුණත් ඔහු පැවසූ දේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමටද නොහැකි වූ බැවින් ඩියෝන් හට එකවරම පිළිතුරක් දීමට ඉශිනි ට හැකි වූයේ නැත.
“හරි, ඩියෝන්. මං ඔයාට පස්සේ කෝල් එකක් දෙන්නම්කෝ “
ඇමතුම අවසන් වූ පසු ඉශිනී දුරකථනය අතේ තබාගෙන බොහෝ වේලාවක් නිහඬව උන්නාය. ඩියෝන් පැවසූ දේවල් ඇගේ සිතේ නැවත නැවතත් දෝංකාර දුන් අතර තමා වෙනස් වී තිබේදැයි නැතහොත් තමා රිහාන් නිසා වෙනස් වී තිබේදැයි කල්පනා කළත් ඉශිනි හට ඒ කිසිවකට පැහැදිලි පිළිතුරක් තිබුණේ නැත.
ඩියෝන් පැවසූ දේවල් නිවැරදි විය හැකිය. එසේත් නැත්නම්, වසර ගණනාවකට පසු තමන්ව හමුවූ පැරණි මිතුරකුට තමන්ගේ වර්තමාන ජීවිතය නිවැරදිව වටහාගැනීමට නොහැකි වූවා විය හැකිය.
ඉශිනි තීරණයකට එළඹීමට ඉක්මන් නොවූවත් එදින රාත්‍රියේ නින්දට යන තුරුම ඒ ප්රශ්නය ඇගේ සිතේ කුඩා සෙවණැල්ලක් මෙන් ඉතිරිව තිබිණි.
ඊළඟ සති දෙක ගෙවී ගියේ වෙනදා මෙන්ම කාර්යබහුල වූ දින වලිනි. සංගීත කණ්ඩායමේ පුහුණුවීම් නියමිත පරිදි පැවැත්වුණු අතර, ඒ අතරතුර ඔවුන්ට සංගීත ප්‍රසංග දෙකකටද සහභාගී වීමට ද නියමිත වී තිබුණු බැවින් සියලු දෙනාගේම කාලය සැලකිය යුතු ලෙස කාර්ය බහුල වී තිබිණි. කණ්ඩායමේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදුවුවද ශෙනෝලිගේ හැසිරීමේ තිබූ වෙනස ඒ වන විටත් පැහැදිලිව දකින්නට ලැබිණි. සියලු දෙනා එක්ව සිටින බොහෝ අවස්ථා වලදී ඇය අශේන් සමඟ මුහුණට මුහුණ හමුවීමට ඇති ඉඩකඩ අවම කරගැනීමට උත්සාහ කළ අතර අවශ්‍යම කාරණාවකට හැරුණු කොට ඔහු සමඟ කතාබහ කිරීමට නොගිය ඇය, ඔහු අසල සිටින විට වෙනත් කාර්යයක නිරත වීමට හෝ කණ්ඩායමේ වෙනත් අයකු සමඟ කතා කිරීම කෙරෙහි අවධානය යොමු කළාය.
එහෙත් අශේන්ගේ හැසිරීම ඊට වඩා වෙනස් වූ අතර ශෙනෝලි තමන්ව මඟහැරීමට උත්සාහ කරන බව ඔහු වටහාගෙන උන්නේය. නමුත් ඒ පිළිබඳව ඇයගෙන් සෘජුව විමසීමට ඔහු ඉක්මන් වූයේද නැත. ඒ වෙනුවට, පුහුණුවීම් සම්බන්ධයෙන් යම් දෙයක් විමසීමට, කණ්ඩායමේ ඉදිරි වැඩකටයුත්තක් ගැන කතා කිරීමට හෝ ඇයට පැවසීමට යමක් ඇති බව කියමින් ඔහු සෑම විටම ශෙනෝලි සමග කතාබහ කිරීමට හේතුවක් සොයා ගත්තේය.
ශෙනෝලි හැකි සෑම විටම ඒ කතාබහ කෙටි කර ගත් අතර ඇයගේ ප්‍රතිචාර වලින් තමන් බලාපොරොත්තු වූ සමීප බව නොලැබෙන බව අශේන්ට දැනුණත්, ඔහු එය පිළිගෙන පසුබසින්නට සූදානම් වූයේ නැත. ඒ නිසාම කණ්ඩායමේ අනෙක් අයට පැහැදිලිව නොපෙනුනු ඔවුන් දෙදෙනා අතර පැවති නිහඬ දුරස් බව දෙදෙනාටම නොසලකා හැරිය නොහැකි තත්ත්වයකට පත්වෙමින් තිබිණි.
රිහාන් සහ ඉශිනී අතරද සියල්ල පෙර පරිදිම සාමාන්‍ය ලෙස සිදුවෙමින් පැවති අතර දුරකථනයෙන් සම්බන්ධතාවය පවත්වාගෙන යමින් සිටි ඔවුන් දෙදෙනා හැකි සෑම අවස්ථාවකදීම හමුවීම සඳහා කාලය වෙන් කර ගත්හ. රිහාන්ගේ කාර්යබහුල දිනවලදී ඉශිනී ඔහුට බාධා කිරීමට උත්සාහ නොකළ අතර, ඉශිනි රැකියාව සමග කාර්යබහුල වූ විට රිහාන්ද ඇයට අවශ්‍ය ඉඩ ලබා දුන්නේය.
එවැනි කාර්යබහුල දින ගණනාවකට පසුව රිහාන් ඉශිනි හමුවීමට කාල වේලාවක් වෙන් කර ගත්තේ එක් හවස් යාමයකය
“ඊයේ කොන්සර්ට් එකට ඉන්විටේෂන් එවලත් ඔයා ආවේ නැහැනේ ඉශිනි. අපරාදේ “
ඉශිනී මඳ සිනහවක් පෑවාය.
” අනේ ඔව් රිහාන් . මං ටිකක් බිසී උන හින්දා වෙලාව හදාගන්න බැරි වුණා මට “
” ඒකට කමක් නෑ.මං වගේම ඔයත් බිසී වෙනවා කියල ඉතින් මං දන්නවනේ “
රිහාන් එසේ පැවසුවේ අවංකවම ඇයගේ රැකියාවේ ස්වභාවය ගැන සිතමිනි. මාධ්‍ය ආයතනයක රැකියාව කරන විට කලින් සැලසුම් කළ දේවල් පවා අවසන් මොහොතේ වෙනස් විය හැකි බව ඔහු හොඳින්ම දැන උන්නේය. එහෙත් ඉශිනී සම්බන්ධය ආරම්භ වූ කාලයේදී සෑම ප්‍රසංගයකට සහභාගී වීමට කෙසේ හෝ කාලය සොයාගත්තාය. ඒ තමා විසින් ඇරයුම් කර හෝ කිසිදු බලපෑමක් කිරීමකින් තොරවය. එම නිසාම පෙර දිනයේ පැවති ප්‍රසංගය ඇය මඟහැරීම පිළිබඳව රිහාන්ගේ සිත තුළ තරමක කනස්සල්ලක් ඇති කළද ඒ පිළිබඳව තවදුරටත් විමසීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. ඇය වෙනස් වී ඇති බව සිතමින් නිගමනයකට එළඹීමට වඩා, ඇය සැබැවින්ම කාර්යබහුල වී සිටින්නට ඇතැයි සිතීම යහපත් බව ඔහු සිතුවේය.
“ඉශිනී, මං ඔයාට දෙයක් කියන්න හිටියේ “
“මොකක්ද?”
“අපේ අම්මයි තාත්තයි දෙන්නම ඔයා ගැන දැනටමත් දන්නවනේ. ඉතින් මං හිතුවා අපි දෙන්න ගැන ටිකක් seriously එයාලත් එක්ක කතා කරන්න “
ඉශිනි ඔහු දෙස බලා උන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ කතාවක් ඔහු වෙතින් නික්මුණු බැවිනි.
“ඊට පස්සේ ඔයාටත් පුළුවන්නේ ඔයාගේ අම්මටයි තාත්තටයි මං ගැන කියන්න. අපි දෙන්නා ගැන ගෙවල්වල අය දැනගෙන ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා “
“ඒ කියන්නේ ඔයාට දැන්ම මැරි කරන්න ඕනද?”
රිහාන් මෘදු ලෙස සිනාසුනේ තමන් පැවසූ දෙය ඉශිනි වරදවා වටහාගෙන ඇති බව සිතමිනි.
“නෑ, නෑ. දැන්ම මැරි කරන්න නෙමෙයි.මං කියන්නේ අපි දෙන්නා ගැන ගෙවල් වලින් දැනගෙන තිබුණොත් හොඳයි කියලා. එතකොට අපිටත් කිසිම දෙයක් හංගගෙන ඉන්න ඕන නැහැනේ.”
රිහාන් මොහොතකට නතර වී නැවත කතාව ආරම්භ කළේය.
“අපි දෙන්නා හෙමින් සැරේ ස්ටේබල් වෙමු. ඊට පස්සේ මැරේජ් එකක් ගැන හිතන්න පුළුවන්නේ “
රිහාන් ඒ සියල්ල පැවසුවේ බලාපොරොත්තු සහගතවය. තමන් ආදරය කරන සහකාරිය සමඟ අනාගතයක් ගොඩනඟා ගැනීම පිළිබඳව ඔහු තුළ පැහැදිලි අදහසක් තිබුණු අතර එය කිසිසේත්ම හදිසි තීරණයක් නොවීය.
රිහාන් තමන් සමඟ අනාගතය ගැන සිතන බව දැනගැනීම සතුටු විය යුතු කාරණයක් බව ඉශිනි දැන උන්නාය. ඔහු තමන්ව ජීවිතයේ වැදගත් තැනක තබාගෙන සිටින බව පැහැදිලි වුවත් ඔහු පැවසූ දේවල්වලට එකවරම එකඟ වීමට තමන්ගේ සිත සූදානම් නොවන්නේ මන්දැයි ඇයට තේරුම් ගත හැකි වූයේ නැත.
“ඒක ගැන මං ටිකක් හිතන්න ඕන රිහාන් “
ඉශිනි පැවසූ වචන කිහිපයත් සමඟ රිහාන්ගේ මුහුණේ තිබූ බලාපොරොත්තු සහගත සිනහව සම්පූර්ණයෙන්ම මැකී ගියේය.
” Alright “
රිහාන් එවැනි පිළිතුරක් දුන්නේ ඉශිනි හට බලපෑමක් කිරීමට අවශ්‍ය නොවූ බැවිනි. එහෙත් තමන් බලාපොරොත්තු වූ තරම් උනන්දුවකින් ඉශිනී තමන්ගේ අදහස පිළිනොගත් බව ඔහුට දැනී තිබිණි.
“මං දැන් යන්න ඕන රිහාන්. ඔෆිස් එකේ වැඩ වගයක් ඉවර කරන්න තියෙනවා මට ගෙදර ගිහිල්ලා “
ඉශිනි රිහාන්ගෙන් සමුගෙන පිටත්ව ගියේ තමන්ට දැනුණු හැඟීම් පිළිබඳව තවදුරටත් කල්පනා කරමිනි. රිහාන් සමඟ අනාගතයක් ගැන සිතීමට ඇයට අවශ්‍ය වුවත් එම අනාගතය පිළිබඳව ඔහු කතා කරන විට තමන් තුළ ඇති වූ නිහඬ පසුබෑමට හේතුව කුමක්දැයි ඇයට වටහාගත හැකිව තිබුණේ නැත.
ඉශිනි තම වාහනයට නැගී දුරකථනයට පැමිණ තිබූ කෙටි පණිවිඩයකට පිළිතුරු යවා වාහනය ප්‍රධාන මාර්ගයට ගෙන ටික දුරක් නිහඬවම එය ධාවනය කළාය. ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයා මාර්ගය අයිනේ සිටින ආකාරය දුටු පසුව ඇය වාහනය නතර කර ඔහු වාහනයට නගින තුරු බලා උන්නාය.
“සොරි, මං චුට්ටක් පරක්කු වුණා “
ඇය මාර්ගය දෙස අවධානය යොමු කරගෙන පැවසූ අතර ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයා වාහනයට නැගී දොර වසා ගත්තේය
“ඔයා මේ රිහාන්ව හම්බවෙලා එන ගමන් නේද?”



