5th Avenue – 59

0
259

පොරොන්දු වූ පරිදිම පැය භාගයක් ඇතුළත රිහාන් ශෙනෝලිගේ නිවාස සංකීර්ණය අසලට පැමිණියේය. ඔහු එන බව දැනගත් මොහොතේ ශෙනෝලිට ඉශිනිව සිහිපත් වුවද, රිහාන් මේ ගමන ගැන ඇයට පවසා ඇතිවා විය හැකි යැයි සිතමින් ඇය ඒ ගැන වැඩිදුර සිතන්නට ගියේ නැත. සූදානම් කර ගත් කෑම පාර්සල් සියල්ල විශාල බෑග් දෙකකට දමාගත් ශෙනෝලි, නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකුගේද සහාය ඇතිව ඒවා රැගෙන පහළට පැමිණියේ රිහාන් විසින් තමා පැමිණි බවට ඇමතුමක් ලබා දුන් පසුවය.

රිහාන් වාහනයෙන් බැස කෑම පාර්සල් ඇතුලත් බෑග් දෙක වාහනයේ පිටුපස අසුන මත ප්‍රවේසමෙන් තබා ශෙනෝලි දෙස බැලුවේය.

” මෙතන කෑම කීයක් විතර තියෙනවද, ශෙනෝලි? “

” හතළිහක් විතර ඇති “

“හතළිහක්? ඔයා තනියම මෙච්චර කෑම හැදුවද? ” 

රිහාන් පුදුමයෙන් එසේ විමසන අතරේ ශෙනෝලි දෙස බැලු අතර ඇය එයට පිළිතුරු දුන්නේ සිහින් සිනහවකින් පමණි. එහෙත් ඒ සිනහව තුළ සැඟවී තිබූ වේදනාව තේරුම් ගැනීමට ඒ මොහොතේදී රිහාන් හට අපහසු වූයේ නැත. වෙනදා ඇය සමඟ කතාබහ කරන විට ඇය තුළින් දකින්නට ලැබෙන සැහැල්ලුව දක්නට නොලැබුණත් ඔහු ඒ පිළිබඳව තවත් ප්‍රශ්න නොකර උන්නේ ඇයට මේ මොහොතේ අවශ්‍ය වන්නේ යමෙක් ඇය අසලින් සිටීම පමණක් බව හැඟුණු නිසාය. 

දෙදෙනාම වාහනයට නැගී පිටත් වී ටික වෙලාවකට පසුව පසු ශෙනෝලි ඉදිරියෙන් තිබූ සුපිරි වෙළෙඳසැල රිහාන් වෙත පෙන්වූයේ හදිසියේමය.

” අනේ කරදරයක් නැත්නම් මෙතනින් පොඩ්ඩක් නවත්තනවද රිහාන් ? “

රිහාන් වාහනයේ වේගය බාල කරමින් ශෙනෝලි දෙස බැලුවේය.

” මේ හැම කෑම පාර්සලයක් එක්කම වතුර බෝතලයකුත් දෙන්න ඕනේ නේද? මට වතුර බෝතල් ටිකක් ගන්න ඕනේ “

කෑම පිළියෙළ කිරීමේ සිට ඒවා බෙදාදීම දක්වා අවශ්‍ය සියලු දේ ගැන සැලකිලිමත් වූ ශෙනෝලි , කෑම පාර්සලයක් සමඟ පානය සඳහා අවශ්‍ය ජලයද ලබාදීමට අමතක කර නොතිබීම පිළිබඳව රිහාන් හට නැවත දැනුනේ පුදුමයකි. 

” ඒ ටික මං අරන් දෙන්නම්, ශෙනෝලි”

රිහාන් සුපිරි වෙළඳ සැලෙහි වාහන අංගනය වෙත වාහනය හරවමින් පැවසුවේ වාහනය නැවැත්වීමට තැනක් පිළිබඳව සැලකිලිමත් වෙමිනි.

“නෑ, නෑ. මං ඒ ටික ගන්නම්. ඔයා වාහනේ පොඩ්ඩක් නවත්වන්නකෝ. මං ටක් ගාලා අරගෙන එන්නම් “

” ඇයි, ඔයා කැමති නැද්ද මාත් ඉඳලා හිටලා හරි පිනක් දහමක් කරගන්නවට? “

රිහාන් සිනාසෙමින් අසමින් වාහනය නතර කර මුදල් පසුම්බිය ගෙන වාහනයෙන් බැස සුපිරි වෙළඳසැල වෙත පියවර තැබුවේ ශෙනෝලි කිසිවක් නොකියා බලා සිටින අතරතුරදීය.විනාඩි ගණනාවකට පසුව රිහාන් වතුර බෝතල් විශාල සංඛ්‍යාවක් කරත්තයකට දමාගෙන පැමිණ ඒවා වාහනයට දැමුවේ සුපිරි වෙළඳ සැලෙහි සේවකයෙකුගේද සහය ඇතිවය. 

ශෙනෝලි තවදුරටත් නිහඬවම බලා සිටින අතරතුර රිහාන් නැවත වාහනයට නැග වාහනය බෙල්ලන්විල විහාරස්ථානය කරා ධාවනය කළේය. විනාඩි පහළොවකට පමණ පසුව ඒ වෙත ළඟා වූ රිහාන් විහාරස්ථානය පෙනෙන දුරින්  වාහනය නතර කර දුරකථනය අතට ගෙන යමෙක් වෙත ඇමතුමක් ලබා ගෙන ඇමතුම සම්බන්ධ වනතුරු බලා උන්නේය. 

” අපි ඇවිල්ලා ඉන්නේ “

රිහාන් දුරකථන ඇමතුම අවසන් කරන තුරු ශෙනෝලි පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා උන්නාය. ඇය කිසිවක් අසන්නටත් පෙර තවත් වාහන දෙකක් පැමිණ රිහාන්ගේ වාහනය ඉදිරියෙන් නතර කලේ අනපේක්ෂිත ලෙසය. කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පරිදි කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනා ඒවායෙන් බැස එද්දී ශෙනෝලි ගල් ගැසී මෙන් මොහොතක් ඒ දෙස බලා හිඳ නැවත පුදුමයෙන් රිහාන් දෙස බැලූ විට ඔහු ඇයට පිළිතුරු දුන්නේ මෘදු සිනහවකිනි.

” බහින්න “

ශෙනෝලි වහාම වාහනයෙන් බැස කණ්ඩායම් සාමාජිකයන් වෙත පියවර තැබුවේ බොහෝ හැඟීම්බර වෙමිනි. 

” අපි ආවේ ඔයාට උදව් කරන්න. අද අපි හැමෝම priority එක දෙන්නෙ ඔයාගේ වැඩේට තමයි “

මේඝ ඇය අසලට පැමිණ නතර වූයේය. ශෙනෝලි වචන එක් රැස් කර ගැනීමට නොහැකිව ඔහු දෙස බලා උන්නේ ස්තුති පූර්වක බැල්මකිනි.

” ඔයාගේ ගෙදරට එන ගමන් තමයි රිහාන් අපිට මෙසේජ් එක දුන්නේ . ඒ නිසා අපිත් රෙස්ටුරන්ට් එකකින් කෑම ටිකක් අරගෙන ආවා “

සිහින පැවසුවේ ඔවුන් රැගෙන ආ කෑම පාර්සල් ඇතුළත් බෑග් පෙන්වමිනි.

“ප්‍රැක්ටිස් ටිකක් පරක්කු වුණාට කමක් නෑ, ශෙනෝ . අපි මේ ටික හෙමින් සැරේ බෙදලා ස්ටූඩියෝ එකට යමු. අද අපිට ප්‍රැක්ටිස් කරන්න කිසිම හදිසියක් නැහැ “

අශේන් ද ඉදිරියට පැමිණියේ සිනාසෙමිනි.සියලු දෙනාම තමන් වෙනුවෙන් පැමිණ සිටින බව තේරුම් ගත් මොහොතේ ශෙනෝලි හට තවදුරටත් හැඟීම් පාලනය කර ගත හැකි වූයේ නැත. එතෙක් වේලා සිත තුළ තද කර ගෙන හිඳි වේදනාව මුසු හැඟීම් බොහෝමයක් කඳුළු ලෙසින් පිටතට ගලා එද්දී ඇය මුහුණ අනෙක් පසට හරවා ගනිමින් ඒවා සඟවා ගැනීමට උත්සාහ කළාය. තමන්ට අවශ්‍යම වූ මොහොතක කිසිදු පැකිළීමකින් තොරව මෙසේ තමා වෙත පැමිණ සිටින කණ්ඩායම් සාමාජිකයන් දෙස බැලූ විට ඇගේ සිතට දැනුණේ තවදුරටත් වචන වලින් විස්තර කළ නොහැකි හැඟීම් සමුදායකි.

” අයියෝ, අඬන්න එපා ශෙනෝ. අපි ඔයාට ඉන්නවනේ “

අශේන් තවත් පියවරක් ඉදිරියට තබමින් පවසද්දී මේඝ ශෙනෝලි වෙත පැමිණ ඇයව වැලඳගත්තේය.ඒ සමගම අනෙක් සාමාජිකයන් කිහිප දෙනාද ඇය අසලට ළං වෙද්දී ශෙනෝලි හට දැනුණේ තමන්ගේ දුකේදීත්, සතුටේදීත් එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින පවුලක සාමාජිකාවක් ලෙස ඔවුන් අතර තමන්ටත් යම් ඉඩක් හිමි වී තිබෙන අයුරුය . ඒ මොහොතේ ඔවුන් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් පමණක් නොව, තමන් වෙනුවෙන් වෙහෙසෙන්නටත් තමන්ගේ කඳුළු පිසදමන්නටත් සූදානම්ව සිටින තමන්ගේම පිරිසක් බව ඇයට හැඟුණු අතර ඇය කඳුළු පිසදාගෙන ඔවුන් දෙස බැලුවේ සිත තුළ ඇති වූ ඒ උණුසුම් හැඟීමත් දරා ගෙනය.

සියල්ල දෙස නිහඬව බලා සිටි රිහාන් අනතුරුව මඳක් ඉදිරියට පැමිණියේය.

” එහෙනම් අපි ආපු වැඩේ පටන් ගමුද? දැන් එකොළහයි වෙලාව “

“අපිත් කෑම පාර්සල් විස්සක් විතර ගත්තා. දෙහිවල පැත්තටත් ගියොත් මේ ඔක්කොම ටික බෙදලා ඉවර කරන්න පුළුවන් වෙයි නේද ? මදි වුනොත් තව කෑම ටිකක් මගින් අරගමු “

මේඝ යෝජනා කල අතර සියලු දෙනාම එයට එකඟ වූ පසු ඔවුහු කෑම පාර්සල් සහ වතුර බෝතල් බෙදා ගනිමින් පැමිණි කාර්යය ආරම්භ කළහ. බෙල්ලන්විල විහාරස්ථානය අසලින් ආරම්භ කළ ඔවුන්ගේ ගමන අතරමඟ හමු වූ යාචකයන්ට, ගොඩනැගිලි ඉදි කරන ස්ථානවල සේවකයන්ට සහ තවත් කිහිප දෙනෙකුට කෑම පාර්සල් බෙදා දෙමින් ඉදිරියට ගිය අතර එකිනෙකාගේ සහයෝගය නිසා ඔවුන් බලාපොරොත්තු වූ පරිදිම පැය දෙකක් පමණ ඇතුළත සියලුම කෑම පාර්සල් බෙදා අවසන් කිරීමට හැකියාව ලැබිණි.

අවසාන කෑම පාර්සලයද යාචකයෙකු වෙත ලබා දී අවසන් වූ පසු ශෙනෝලි සියලු දෙනා දෙසම බැලුවේ ස්තුති පූර්වක බැල්මකිනි.බොහෝ හැඟීම් කැටි වී තිබුණු ඒ බැල්ම සියලු දෙනාගේම හදවත් වලට ඇය තුළ සැඟවී ඇති වේදනාව තේරුම් කර දීමට සමත් වූයේය.

ඒ වනවිට දහවල් එකට ආසන්න වී තිබුණු බැවින් සියලු දෙනා උන්නේ තරමක කුසගින්නකිනි.එම නිසාම අවන්හලකට ගොඩ වැදුණු ඔවුන් දහවල් ආහාරයද ලබා ගෙන පුහුණු වීම් සඳහා ස්ටූඩියෝවට යාමට සැලසුම් කර ගත්තේ බලාපොරොත්තු වූ පරිදි ශෙනෝලි හට සහයෝගය දැක්වීමට හැකිවීමේ පහන් හැඟීම ද සිත් වල දරා ගෙනය.

දහවල් ආහාරය ගෙන අවසන් වී අවන්හලෙන් පිටතට පැමිණ ශෙනෝලි රිහාන් ගේ වාහනයට නැඟ අසුන් ගත්තේ දිගු වේලාවකට පසු සිතට දැනුණු සැහැල්ලුවත් සමඟය. උදෑසන සිට ඇගේ සිත මත බරක්ව පැවති ශෝකී බව මුළුමනින්ම පහව ගොස් නොතිබුණද, එය තනිවම දරා ගෙන සිටීමට තව දුරටත් සිදු නොවන බව ඇයට දැනෙමින් තිබිණි. ඇගේ මුහුණේ ඇඳී තිබූ ඒ සැහැල්ලුව මුසු වූ සිනහව දුටු රිහාන් වාහනයට නැග මොහොතක් ඇය දෙස බලා උන්නේය.

” ඔයාට සතුටුයිද  ශෙනෝලි? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here