පසළොස්වක මල් – 30

0
152

” එහෙනං ගමේද ?” 

” නෑ අක්කේ. “

” එහෙනං ?” 

” එහෙම එෆෙයාර් එකක්ම නෙමෙයි ඒක. “

මිහිදුමීගේ කෙඳිරිලි පිළිතුරු ස්වරයට සුභාවීගේ මුව  මඳ හසරැල්ලකින් පිරිණි.

” එහෙම එකක් නෙමෙයි නං කොහොම එකක්ද?” 

” එහෙම දෙයක් තියෙන්නේ මගේ පැත්තෙන් විතරයි , එයාගේ පැත්තෙන් එහෙම එකක් නෑ. “

උවන අහේතුකවම බිමට බරවූ අතර සුභාවීගේ උවනද අඳුරු වළාවකින් පිරිණි.

” අනේ ඇයි ඒ ?” 

” අවුරුදු දහයකට විතර කලින් එෆෙයාර් එකක් තිබිලා එයාට. ඒ ගර්ල්ව අමතක කරන්න බෑලු  “

” අනේ නංගි..!”

” මාත් එක්ක එහෙම වැඩිය කතා කරන්නෙවත් නෑ අක්කේ. අඩුම මූණවත් බලන්නෑ. ඒ උනාට ඔක්කොම තේරුම් අරන් මට කිව්වා මගේ ජීවිතේ විනාස කරගන්න එපා කියලා. කවදාවත් නැතුව ඊයේ මහ රෑ කෝල් කළා. හොඳටම බීලා. කෑවද ඇහුවම නෑ කිව්වා. මට.. මට දුක හිතුණා අක්කේ. ඒකමයි අද ආවේ. එද්දි සනීප නෑ. ඔලුව උස්සගන්නවත් බෑ. ලඟට එනවටවත් කැමති නැති කෙනා ඔලුව අත ගානකන් සද්ද නැතුව හිටියා.  මං.. මං හරි ආදරෙයි අක්කේ. එහෙම එකක් මීට කලින් කා ගැනවත් දැනිලා නෑ. අද අසනීපෙන් ඉද්දි පපුව පිච්චුණා වගේ දැනුණා. අතට දීපු තේ එකත් බීලා නිදාගන්න ඕනේ කිව්ව නිසයි මං මෙහෙ ආවේ. ශුවර් නෑ. ඒත්.. නැඟිටපු වෙලාවක කෝල් එකක් දෙයි කියලා හිතෙන නිසයි දිගටම ෆෝන් එක දිහා බලන් හිටියේ. එක්කෝ නැඟිටලා නැතුව ඇති. “

බිම බලාගෙන උන් උවනේ දෑසින් ගලා යන කඳුළු වැල් එකිනෙක පිසදා ගත් තරුණිය දිගටම හිස ඔසවා ගත නොහැකිව සිටි අතර ඈ පැවසූ සියල්ල හේතුවෙන් අදහාගත නොහැකි අයුරින් ගොලු වී ගිය සුභාවී එක දිගට පොළොවට බර වූ මුහුණ දෙස බලා සිටියාය.

” ඔ..ඔයා.. මේ.. කවුරු ගැනද කියන්නේ නංගි ?” 

” අස්නක අයියා..” 

පෙර සියල්ලටම වඩා මිමිණූ ස්වරයකින් පිටවූ වචනය හමුවේ සුභාවී තව දුරටත් වික්ෂිප්තව උන්නාය.

” se.. seriously ..? ආහ්… ! අස්නක..? ඔය යකා ඒ කාලෙත් ඔහොම්මමයි. පුදුම ලොකු ලයින් එකක් තිබ්බේ. ඒ පාර මේ චූටි කෙල්ලටත් ඒ සත්තමම දානවද ?” 

බිමට බර කර තිබූ තරුණියගේ කොපුලකට අතක් තැබූ ඈ යළිත් වතාවක් සිනහවක් නැඟුවාය. මඳ වේලාවකින් හිස එසවූ මිහිදුමී ඈ දෙස බලා සුරුස් ගා නාසය ඉහලට ඇද්දාය.

” දැන් මොකටද මේ අඬන්නේ ?” 

” දන්නෑ අනේ.. නිකන්ම ඇඬෙනවා. “

කඳුළු අතරින් ඈ සිනාසෙමින් එසේ පැවසූ අතර සුභාවී යළිත් වරක් ඈ හා සිනාසුණාය.

” දැන් මොකද ලොකු මහත්තයට වෙලා තියෙන්නෙ ?” 

” ඔලුවෙ කැක්කුමක් “

” උණක් තිබ්බද ?” 

” නෑ ලොකුවට නෑ.. “

” එහෙනං ඉතිං අවුලක් නෑ. හරි හරි.. දැන් එහෙනං යං. ඊලඟට මට දොස් කියයි ගමේ ගිහින් ඉඳලා ඉඳලා ආපු කෙල්ලව මං මෙහෙ නවත්තගත්තා කියලා. “

” අක්කා ඕනේ නෑ. මං පික් මී එකක් දාගන්නං “

කඳුළු පිරි වතින් ඈ නැවතත් සිනහවක් නැඟුවාය.

**************************************

” නැඟිට්ටද දන්නෑ. ? කෑවද දන්නෑ. ? හිසේ කැක්කුම එක්ක උණ ගන්න ආවොත් නං කන්න පිරියක් නැතුව ඇති. ම්ම්.. මොකද කරන්නේ ? කෝල් දෙකක් දීලා අහන්නත් බෑ. තාම නිදිනං ? පව්.. කෝල් එකේ සද්දෙට ඇහැරෙයි. ආන්ටිට කතා කරලා අහන්නත් බෑ. මොකද කරන්නේ ?  “

ප්‍රශ්න රාශියක් හදවත තුළ පෙරළි නඟද්දී සුපුරුදු මාර්ගයේ වඩේ කඩය දුටු ඈ වහා ත්‍රී රෝද රථය එහි නතර කර ගත්තාය. විගසින් ඉන් බැසි ඈ වඩේ , පූරි , රොටි අඩංගු උණු උණු කෑම මලු කිහිපයක්ම මිලදී ගත්තාය. තව දුරටත් ඔහුගේ ගාම්භීර බව පළා ගොස් තිබු මැළවුණු මුහුණ මතකයට නැඟීමෙන් රිදෙන හදවත හේතුවෙන්ම ඈ ඊලඟ මොහොතේ සුපිරි වෙළඳසැළක් අසල නතර වූවාය.

කවුරුහරි දුකින් ඉන්නවනං , ලෙඩින් ඉන්නවනං , හිත් පීඩාවෙන් ඉන්නවානං මලක් දෙන්න. මලක පෙනුමට පුලුවන් ඕනෙම බරපතල හැඟීමකින් හිතක් නිදහස් කරන්න. මලක සුවඳකට පුලුවන් හිත් ඇතුළේ අඳුරු තැන් අතුරුදහන් කරවන්න. මලකට පුලුවන් හිතක් නිවන්න. මලකට පුලුවන් කෙනෙක්ට අලුතින් බලාපොරොත්තුවක් දෙන්න. කාටහරි ආදරෙයි නං මලක් දෙන්න. වචනෙකින් නොකිව්වත් මලකින් තමන්ගේ හිතේ තියන ආදරේ , කරුණාව අපිට ඕන කෙනෙක්ට පෙන්නන්න පුලුවන් . “

කුඩා කල විශාඛාගේ පාඩමකට සිත දිව ගිය තරුණිය දැක්මෙන් පවා හදවත නිවෙන සුදු පැහැ ගත් Chrysanthemums මල් සහ ලා නිල් පැහැ ගත් කුඩා Baby’s Breath’ මල් වලින් පිරුණු මල් කලඹක් මිලදී ගත්තාය. ඊට අමතරව ඇපල් යුෂ බෝතලයක් හා චීස් හා නියුටෙල්ලා බෝතල් ද්විත්වයක්ද මිලදී ගත් ඈ වෙනම පලතුරු කූඩයක්ද මිලදී ගෙන හනි හනික විජේසිංහ නිවස වෙත පා එසවුවාය.

ගෙමිදුලේ වෙනදා නුපුරුදු මෝටර් රථයක් ඇස ගැටුණත් එය මායිම් නොකළ ඈ ත්‍රී රෝද රථයෙන් බැස එක පිම්මේ නිවසේ උඩු මහලේ ඔහුගේ නිදන කාමරය වෙතට දිව ගියාය. නින්දට බාධා නොකරන මෙන් පැවසූ විට තමනුත් , මහීකාත් ඉන් පිටට පැමිණියේ කාමරයේ ද්වාරය වසා බවත් , මේ මොහොතේ එය විවරව පවතින්නේ ඔහු අවදිව විය යුතුබව දැනුණු නිසාම ඈ තම පා තවත් ඉක්මන් කළාය. එක පිම්මේ දිව ආ ඈ ඒ පිම්මේම ඔහුගේ කාමරයට එබුණු අතර දුටු දර්ශනයෙන් එක්වරම දෙකකුල් සීතව පොළොවට බර විය. 

කෙටි කලිසමක් පමණක් හැඳ සිටි ඔහු උඩුකය නිරුවත්ව යහන අසල බිම හිඳගෙන සිටි අතර ඔහුගේ දෑස් පියාගත් උවනත් , හිසත් තම උකුළට බර කර ගනිමින් එහි හිඳ සිටියේ දුටු වනම ඕනෑම අයෙකුගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වන අතිශය සුරූපි පෙනුමකින් යුත් තරුණියකි. ඈ සෙමින් සෙමින් දෑතින්ම ඔහුගේ හිස පිරිමදිමින් සිටි අතර ඔහු එකී ස්පර්ශයට දැහැන් ගත වී මෙන් දෑස් පියා ඇගේ උකුළ මතට හිස බර කරගෙන සිටියේය. 

” දුමී…!” 

පසුපසින් ඇසුණු මහීකාගේ හඬට ඈ පමණක් නොව කාමරයේ උන් දෙදෙනාද තිගැස්සී ගියහ. හේ ක්ෂණිකව දෑස ඔසවා කාමරයේ ද්වාරය අසල සිට ගෙන අවුල් වූ කෙස් කළඹින් සේම, නළල දෙපසින් රූරා වැටෙන දාබිඳු වලින්ද , වෙව්ලන හා කඳුළු පිරෙමින් ඇති දෑසින්ම තමා දෙස බලා උන් ඈ දෙස බැලුවේය. 

” එක පාරට දුවගෙන ආපු විදිහට මං බැලුවා කවුරුහරි පස්සෙන් එළවන් ආවද කියලා. ?” 

මහීකාගේ හඬට පියවි සිහියට ආ තරුණියගේ දෑසින් එක දිගට කඳුළු බිඳු රූරා වැටුණු අතර මහීකා ඈ දෙසත් කාමරයේ වූ අනෙක් දෙදෙනා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය.

” ඇ.. ඇයි දුමී.. අඬන්නේ.. ? මොකක් හරි කරදරයක් උනාද ?” 

” න්.. නෑ.. නෑ.. ආන්ටී..”

අපහසුවෙන් මුව විවර කර ගත් ඈ උපදවාගත් ධෛර්යයකින් වචන ඇහිළුවාය. 

” ට්‍රයි ශෝ එකෙන් බැහැලා එද්දි ඇහැට රොඩ්ඩක් ගියා. ඒකයි මේ.. මේ .. මං හිතුවා ආන්ටී මේ රූම් එකේ කියලා. ආ.. මේ ..මේ ටික ආන්ටිට ගෙනාවේ. “

එතෙක් වේලා බර දරා උන් බඩු මළු සියල්ල මහීකා අත තැබූ ඈ වෙව්ලමින් එසේ පැවසුවාය.

අත රැඳි මල් කළඹත් , බෑග් මලු කිහිපයත් දුටු මහීකා එය කිසිසේත්ම තමා වෙත නොවන බවත් , කවුරුන් උදෙසාද බවත් තේරුම් ගෙන සිටි අතර සීමා මායිම් රහිතව ගලා යන කඳුළු වල බරද අහක තිබූ රොඩ්ඩක නොවන වග වටහා ගත්තාය.

” ආ.. දුමී.. මේ මීෂා.. මගේ අයියගේ දුව. මීෂා.. මේ මිහිදුමී.. මං කිව්වේ. මෙහෙ නැවතිලා ඉන්නේ. “

” හායි..!”

වහ වහා සිතට දැනුණු පැනයට මහීකා එලෙස පිළිතුරු බැඳි අතර හිඳ සිටි තැන සිටම පියකරු සිනහවක් පෑ යුවතිය අත ඔසවා මිහිදුමී හට ආචාර කළාය. පිළිතුරු ලෙස ඈ වෙත මඳ සිනහවක් තිළිණ කළ ඈ යළි මහීකා වෙත හැරුණාය.

” මූණ සෝදන් එන්නං ආන්ටී.. “

මහීකාගෙන් ප්‍රති පිළිතුරක් බලාපොරොත්තු නොවූ දෝමනස්සකාරිය වහා තම කාමරයට වැද එහි දොරගුලු ළා ගත්‍තාය. 

දැක්මෙන් පමණක් නොව බැල්මකින් පවා ස්ත්‍රී , පිරිමි දෙපාර්ශවයම අවුළුවා ලිය හැකි අන්දමේ වශීකෘත වූ රන් පිළිමයක් බඳු තරුණිය කුඩා යුවතියව ගිනි ළා හමාර කොට අවසන්ය. හදවත තුළින් නැඟෙන පිළිස්සුම් සහගත වේදනාව දරාගත නොහැකිම තැන වහා නාන කාමරයට වැදුණු ඈ වතුර මල විවර කොට හැඳ උන් ඇඟලුම් පිටින්ම එයට හිස ඇල්ලුවාය. හදවත තුළ රිදුම් දෙන ඊ තුඩු මෙන් වේදනාව හදවත පසාරු කර ගනිමින් පිටතට ඒමට දඟලන සෙයක් දැනුණු ඈ දෝතම ළමැද මත තද කර ගනිමින් ටයිල් පොළොව මත බිමට රූරා වැටුණාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here