5th Avenue – 18

0
163

” සමහර දේවල් තියෙනව රිහාන් අපි කොහොමටවත්ම පරක්කු වෙන්න හොඳ නැති. මේකත් එහෙම දෙයක් “

මොහොතකට පෙර ඉශිනි ගෙන් පිටවූ ඒ වචන රිහාන් තවදුරටත් කල්පනා කළේය. එය නිකමට මෙන් පිටවූ වචන කිහිපයක් නොවේ.තේරුම් ගත යුතු ගැඹුරු අර්ථයක් එහි අනිවාර්යයෙන්ම තිබෙනවා විය යුතුය.

” ඔයා මොකද්ද කියන්න හදන්නේ? ” 

ඉශිනි තත්පර කිහිපයකට ඉවත බලා නැවත රිහාන් දෙසට දෑස් යොමු කළාය.

” මුකුත් නෑ ” 

රිහාන් ඒ මොහොතේ එවැනි පිළිතුරක් බලාපොරොත්තු වූයේම නැත. ඔහුට අවශ්‍ය වූයේ පැටලිලි සහගත බවෙන් මිදෙන්නටය.

” ඔයා මොකක් හරි ලොකු දෙයක් කියන්න ගිහින් දැන් කියනවා මොකුත් නෑ කියලා ” 

ඉශිනි යන්තමින් සිනාසුනාය. ඒ සිනහවේ තිබෙන හැඟීම පවා තේරුම් ගන්නට බැරි අපහසුවකින් රිහාන් පෙළෙමින් උන්නේය.

” මං හිතන්නේ ඒක ඔයා තේරුම් ගන්න ඕන දෙයක් රිහාන් ” 

රිහාන් තුල වූ නොසන්සුන් බව ක්ෂණයකින් ඉහළ ගියේය. ඔහු තොල්පට තද කරගෙන ඉශිනි දෙස බලා යමක් කියන්නට සැරසුණේය.

” ඉශිනි ” 

එහෙත් ඉශිනි ඊළඟ තප්පරයේදීම ඔහු වැළැක්වූවාය.

” මං දන්නවා, ඔයාට මේ වෙලාවේ අහන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා.”

” එහෙනම් ඒවට උත්තර දෙන්න “

රිහාන්ගේ හඬෙහි වූයේ රළු බවකි. එහෙත් ඔහු තුළ වූ නොසන්සුන් බවෙන් සහ කලබලයෙන් බිඳක් වත් ඉශිනි තුළ දක්නට තිබුණේ නැත.

” හැමදේටම අදම උත්තර දීලා ඉවර කරන්න ඕන කියල එකක් නෑ රිහාන් “

ඉශිනි එවන් පිළිතුරක් දුන්නද රිහාන් හට උවමනා වූයේ සියල්ලටම මේ මොහොතේ පිළිතුරු ලබා ගන්නටය. 

” එහෙනම් ඇයි ඔයා මට අර ෆොටෝ එක පෙන්නුවේ ? ” 

ඉශිනි සියුම් මදහසක් මුවගට නංවාගෙන රිහාන් දෙස තප්පර කිහිපයක් බලා උන්නාය. වේදිකාව මත සංගීතයෙන් මුසපත් වී එහි ජීවත් වන කඩවසම් තරුණයා බොහෝ නොසන්සුන් බවකින් යුතුව තමා දෙස බලා හිඳීමම අරුමයකැයි ඇය කල්පනා කළාය.

” මට ඕන උනා ඔයාට දෙයක් මතක් කරලා දෙන්න ” 

” මොකද්ද ? ” 

ඉශිනි දිගු හුස්මක් ගත්තාය.සමහර මොහොතවල් නිරායාසයෙන් එළඹෙන්නේ නැත.ඒවා එළඹෙනතුරු බලා සිටිය යුතුද නැත. එවන් මොහොතවල් ඇත්තේ උදාකර ගැනීමටය. මේ ද එවැන්නකි.

” ඔයා අවුරුදු ගානක් තිස්සේ හොයන කෙනා,සමහර විට ඔයා හිතනවටත් වඩා ඔයාගේ ළගින් ඉන්න පුලුවන් කියලා රිහාන් ” 

රිහාන්ගේ මුහුණෙහි වූ කුතුහලය මුසු හැඟීම් වේගයෙන් වෙනස් වූයේ ඉශිනි බලා සිටියදීමය. අඩ අඳුරේ වුවද ඒ හැඟීම් ඇය පැහැදිලි ලෙසම දුටුවාය.

” ඔයා මොනව ගැනද ඉශිනි මේ කියවන්නේ ? ” 

” ඔයාට හැමදේම තේරුම් ගන්න කියලා මං කියන්නේ නෑ රිහාන්. හැබැයි… ටිකක් හිතන්න කියලා විතරක් මං ඔයාට කියනවා ” 

රිහාන් තවදුරටත් බලා උන්නේය.ඉශිනි බොහෝ වේලාවක් තිස්සේ පවසනා සියල්ලම පැටලිලි සහගතය. යමක් ඉවෙන් මෙන් දැනුනත් එය එසේමැයි අනුමාන කර වචන පිට කරන්නට හිත ඉඩ දෙන්නේ ද නැත. 

” ඔයා දන්නව රිහාන්,අපි.. කවදාවත් මෙච්චර ක්ලෝස්ලි කතා කරලා නැහැ කියලා ” 

” then, why now ? ” 

ඉශිනි පියවරක් ඉදිරියට තැබුවාය. තමා බලාපොරොත්තු වූවාට වැඩිය ඇය ඍජු තරුණියකි. ඒ ඇගේ රැකියාවේ ස්වභාවය නිසාද එසේත් නැත්නම් ඒ ඇයගේම ස්වභාවය නිසාදැයි රිහාන් මොහොතකට කල්පනා කළේය.

” සමහර වෙලාවට අපිට හම්බ වෙනවා සාමාන්‍යයෙන් අපිට කාත් එක්කවත් කියන්න බැරි කාත් එක්කවත් කතා කරන්න බැරි හැමදේම බෙදා ගන්න පුළුවන් කෙනෙක්ව.එතකොට ඉතින් ඒ ගැන දෙපාරක් හිතන්න ඕන නෑනේ ? ” 

” ඔයා කියන්නේ ඔයාට මාත් එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන් කියලද ? I mean.. මං ඒකට සුදුසුයි කියලද ? ” 

” Of course you are ” 

එසේ පවසා ඉශිනි ඉවත බලා ගත්තාය. නිර්නාමික ලෙස තමා වෙත මල් එවූ යුවතිය, අනතුරුව මල් රැගෙන තමා හමුවීමට තමාගේ දෑස් අභියසටම පැමිණි යුවතිය , දෑසින් බොහෝ දේ පවසා මුවගින් කිසිවක්ම නොපැවසූ යුවතිය හිටි හැටියේම පැමිණ බොහෝ දේ පවසමින් හිඳී. ප්‍රශ්නය ඇත්තේ ඒ බොහෝ දෑ ගලපා ගැනීමට නොහැකි වීම පමණි.

ප්‍රථම වතාවට දෙදෙනාම වෘත්තිමය කාරණා වලට මෙහායින් වූ යමක් පිළිබඳව කතාබහ කරන මොහොතකට පැමිණ තිබිණි.

” මං යනවා රිහාන් ” 

නිහඬ බව බිඳිමින් පැවසූ ඉශිනි පිටව යන්නට සූදානම් වූවාය. ඒ බොහෝ පැනයන් රිහාන් ගේ හදවතේ ඉතිරි කර තබාය. ඒ පිළිබඳව රිහාන් තුළ වූයේ තරමක අපැහැදීමක් වුවත් ඔහු නිහඬව බලා උන්නේය. යන්නට හැරුණු ඉශිනි නැවත නතර වී රිහාන් දෙසට හැරුණේ ඔහු බිඳක්වත් නොසෙල්වී බලා සිටින විටය.

” රිහාන් “

රිහාන් තවදුරටත් බලා උන්නේය.ඒ දහසකුත් ප්‍රශ්න සමඟය.

” මං කියපු දේවල් ගැන ඒ තරම් හිතන්න යන්න එපා. “

” ඔයා දන්නව දැන් ඒක කරන්න බෑ කියලා”

රිහාන් ගේ හඬෙහි පෙරවූ රුදු බව තැවරී තිබුනත් ඉශිනි ඒ පිළිබඳව තැකීමක් කලේ නැත.

” වෙන්න පුලුවන් “

මදහසක් පෑ ඉශිනි බොහෝ සන්සුන් ආකාරයෙන් පියවර තබා ඇගේ වාහනය අසලට ගොස් නතර වී නැවත හැරී බැලුවාය. කඩවසම් දේහධාරී තරුණයා ඒ වන තුරුත් නොසෙල්වී තමා දෙස බලා හිඳිනු දුටුවද ඉශිනි කිසිවක්ම නොකියා තම වාහනයට නැග්ගාය.

ඉශිනි වාහනය පණ ගන්වා ගෙන ප්‍රධාන පාරට අවතීර්ණ වී නොපෙනී යන තුරුම රිහාන් ඒ ආකාරයෙන්ම මදක් වත් නොසෙල්වී බලා උන්නේය.කුමක් හෝ හේතුවකට මද වේලාවකට පෙර ඉශිනි සමග කෙරුණු සංවාදය නැවත නැවත ඔහුගේ මනස තුළ දිගහැරෙමින් තිබිණි.

” ඔයා අවුරුදු ගානක් තිස්සේ හොයන කෙනා,සමහර විට ඔයා හිතනවටත් වඩා ඔයා ගේ ළගින් ඉන්න පුලුවන් කියලා රිහාන් “

රිහාන් වාහනයට නැග්ගේය. නිවසට පිටත්ව යාමට තරම් නිරවුල් බවක් නොවූයෙන් මද වේලාවක් රැඳී සිටින්නට ඔහු තීරණය කළේ අසුනට හිස තබා ගෙන බර වන අතරේය.

සංගීත කණ්ඩායමේ ආරම්භය සනිටුහන් කරන්නට පෙර තමා හට තිබුයේ ප්‍රේම සම්බන්ධතා දෙක තුනක් පමණි.ඒ බොහෝ ඒවා බිඳී ගියේ පවුලේ එකම දරුවා ලෙස තමා තුළ තිබෙන තද ගති සහ හිතුවක්කාරකම් නිසාය. එකී පෙම්වතියන් තමාට චෝදනා කළේම තමා හදවතේ කිසිදු තෙතමනයක් නැති තරුණයකු බව කියමින්ය. සංගීත කණ්ඩායම ආරම්භ කළ පසු දිගින් දිගටම කාර්යබහුල වීමත්, ඕනෑවටත් වඩා තරුණියන්ගේ ආකර්ෂණය හිමි වීමත් යන හේතු මත විශේෂයෙන් අවධානය යොමු කර කල්පනා කරන්නට තරම් තරුණියක් තමාගේ ජීවිතයේ මෙතෙක් කාලයකට උන්නේ නැත.සමීපව ඇසුරු කළා නම් ඒ ශෙනෝලි පමණි. ඇය කෙරෙහි තමා තුළ ඇති හැඟීම ද මේ යයි කියා වචනයෙන් විස්තර කළ නොහැකි එකකි.

එහෙත් ඉශිනි !

ඇය සියළු සීමාවන් බිඳ දමමින් ඉදිරියට පැමිණෙමින් හිඳීයි. ඒ කෙසේදැයි කියා වත් සිතා ගත නොහැකි කමකින් පෙළෙමින් රිහාන් බොහෝ සේ හදවතට වද දෙමින් කල්පනා කළේය. ඉශිනි ප්‍රථම වතාවට තම හදවතට එබිකම් කළේ නිර්නාමිකව මල් කළඹ එවූ දිනයේය.අනතුරුව සැබෑවටම ඇය ප්‍රසංගයක් අවසානයේදී තමා අභියසටම පැමිණීමද බලාපොරොත්තු නොවූ එකක් වුවත් දිනෙන් දින ඇය තමා වෙත පියවර තබා පැමිණීම පුදුම සහගත කාරණාවකි. 

ජීවිතයේ සිදුවන සියලු මුණගැස්වීම් සිදුවන්නේ දෛවයට අනුවය. ඇයද එවැන්නක් බව සිතන්නට රිහාන් උත්සාහ ගත්තේය.

දෑස් පියාගෙන කල්පනා කරමින් හිඳී රිහාන් දෑස් විවර කළේ දුරකථනය නාද වන හඬටය.ඇමතුම පැමිණෙමින් තිබුණේ මොහොතකට පෙර පිටව ගිය ඉශිනි ගෙනි.

” හෙලෝ “

රිහාන් දුරකථනය කනේ තබා ගත්තේය.

“Rihan, I forgot to tell you something.”

ඇයට තවදුරටත් කියන්නට ඇත්තේ කුමක්දැයි සිතමින් රිහාන් මුනිවත රැක්කේය.

” Tomorrow. Just the two of us.”

රිහාන් ආයාසයෙන් මුහුණට සිනහවක් නඟා ගත්තේය.

“Ok where ? ” 

” මං හෙට කියන්නම් “

රිහාන් කෝප නොගත්තේය. ඒ සිදුවන දෙයකට සිදුවන්නට හැර බලා හිඳිය යුතු යැයි සිතමිනි.

” You really like keeping things a secret, don’t you?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here