5th Avenue – 61

0
249

රිහාන් නැවතත් ස්ටූඩියෝව තුළට පැමිණියේ ඉශිනි සමඟ මොහොතකට පෙර සිදු වූ දුරකථන සංවාදය නිසා සිත තුළ ඇති වූ නොසන්සුන්තාවයත් සමඟය. උදෑසන සිට ඔහුගේ සිතේ රැඳී තිබූ සැහැල්ලුව ඒ වන විට පහව ගොස් තිබුණු අතර තම බේස් ගිටාරයේ තත් මත ඇඟිලි තුඩු යවමින් පුහුණුවීම්වලට අවධානය යොමු කිරීමට උත්සාහ කළද, ඉශිනිගේ වචන සිතෙන් ඉවත් කරගැනීම ඔහු බලාපොරොත්තු වූ තරම් පහසු වූයේ නැත.

“ඔයාගේ තාත්තා වුණත් ශෙනෝලිගේ පේරන්ට්ස්ලගේ ඩෙත් ඇනිවසරි එකට කම්පනි එකෙන් ඩොනේෂන් එකක් ලෑස්ති කරලා තියෙන්නේ මොනවා හිතේ තියාගෙනද දන්නේ නෑනේ රිහාන්?”

ඉශිනිගේ හඬ නැවතත් ඔහුගේ සිත තුළ දෝංකාර දුන්නේය.

“ශෙනෝලි කියන්නේ අහිංසක ළමයෙක්. අපි දෙන්නගේ ප්‍රශ්නවලට අපි එයාව ගාව ගන්නේ නැතුව ඉන්නවනම් මම කැමතියි, ඉශිනි.”

ඉශිනි තුළ වූ සැකය පිළිබඳව තවදුරටත් සිතන්නට අකමැති වුවත් ඒ පිළිබඳව රිහාන්ගේ සිත තුළ ඇතිවී තිබුණු අප්‍රසන්න හැඟීම මුළුමනින්ම පහව ගොස් තිබුණේ ද නැත.

රිහාන් ගිටාරයේ තත් කිහිපයක් වාදනය කර බැලුවේය. ඒ සමඟම ස්ටූඩියෝවේ අනෙක් පස හුන් ශෙනෝලි ඔහු දෙස බැලු අතර රිහාන්ගේ මුහුණේ වූ වෙනස ඇගේ අවධානයට ලක් වූයේ නිරායාසයෙනි. එහෙත් ඒ පිළිබඳව සිතන්නට නොනැවතුණු ඇය නැවතත් තම ලැප්ටොප් පරිගණකය වෙත අවධානය යොමු කරමින් තම වැඩකටයුතුවල නිරත වීමට උත්සාහ කළාය.

ඒ අතරේ මේඝගේ ජංගම දුරකථනය නාද විය.

“කියපන් ” 

ඇමතුමට සම්බන්ධ වූ ඔහු මුලින්ම සාමාන්‍ය පරිදි කතා කළත් අනෙක් පසින් කියැවුණු යමක් නිසා ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වූයේ වේගයෙනි. 

“මොකක්? කොහෙද?”

මේඝගේ හඬ ඇසුණු පසුව තම දුරකථන තිරයේ දෑස් රඳවාගෙන ගීතයක පද කෙරෙහි අවධානය යොමු කරමින් සිටි අශේන් හිස ඔසවා ඔහු දෙස බැලුවේය. රිහාන් ද ගිටාරයෙන් දෑත් ඉවත් කර මේඝ දෙසට හැරුණු අතර අනෙක් සාමාජිකයන් කිහිප දෙනාගේ අවධානය ද මේඝ වෙත යොමු වූයේ තප්පර කිහිපයක් ඇතුලත දීය.

“හරි, මට ලින්ක් එක එවපන්. මම බලන්නම්.”

ඇමතුම අවසන් කළ මේඝ දුරකථනය අතේ තබාගෙන මොහොතක් නිහඬව උන්නේය. ඔහුගේ මුහුණේ තිබූ බැරෑරුම් බව දුටු රිහාන්ට සිදුවී ඇත්තේ සාමාන්‍ය දෙයක් නොවන බව වැටහිණි.

“මොකද බං?” 

මේඝ දුරකථනයේ තිරය දෙස තවත් වරක් බලා අනතුරුව මිතුරාගෙන් ලැබුණු සබැඳිය කණ්ඩායමේ වට්සැප් ගෲප් එක වෙත යොමු කර නැවත ඒ දෙස බලා උන්නේය.

“ගොසිප් සයිට් එකක අපේ ෆොටෝ එකක් දාලා. නුවරඑළියේදී ගත්ත එකක් “

“මොන ෆොටෝ එකක්ද?”

රිහාන් දුරකථනය අතට ගෙන සබැඳිය විවෘත කළේය. තිරය මත දිස් වූ ඡායාරූපය දුටු සැණින් ඔහු හිස ඔසවා දුරකථනය පරීක්ෂා කරමින් හිඳී ශෙනෝලි දෙස බැලුවේය.

ඡායාරූපයේ උන්නේ ශෙනෝලි සහ අශේන්ය.

ඡායාරූපය යටින් පළ කර තිබූ සටහන කියවූ රිහාන්ගේ මුහුණ තවත් දැඩි විය. එම සටහන ලියා තිබුනේ ශෙනෝලි සහ අශේන් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින්නේද යන සැකය පාඨකයන් තුළ ඇති වන ආකාරයට වූ අතර එය ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව අනවශ්‍ය කුතුහලයක් ඇති කිරීමට සමත් වී තිබිණි.

ඒ වන විටත් සටහනට ලැබී තිබූ ප්‍රතිචාර සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි.

“මොන විකාරයක්ද මේ?”

අශේන්ගේ හඬ ස්ටූඩියෝව පුරා පැතිර ගියේය.

” මේක ෆෙස්ටිවල් එක තිබ්බ තැනදී ගත්ත ෆොටෝ එකක්නේ.ඔය පේජ් එක report කරානම් හරි “

සිහින පැවසුවේ තවත් වරක් ඡායාරූපය දෙස අවදානයෙන් යුතුව බලමිනි. රිහාන් තවදුරටත් දුරකථන තිරය මත බලා උන්නේය.සටහන ඉවත් කරගැනීමට හැකි වුවත්, ඒ වන විටත් ඡායාරූපය වෙනත් අය අතර හුවමාරු වී තිබුණහොත් තත්ත්වය පාලනය කිරීම පහසු නොවනු ඇති අතර මුල් සටහන මකා දැමීමෙන් පසුව වුවද එහි පිටපත් වෙනත් අය සතුව තිබීමේ හැකියාවද ඇත.

සියල්ල දෙස බලා හිඳී ශෙනෝලි දුරකථනය අතට ගත්තේ නොවිය යුතු යමක් වී ඇතැයි දැනුනු නොසන්සුන් හැඟීමෙනි. ඡායාරූපය දුරකථන තිරය මත දිස් වූ සැණින් ඇගේ දෑස් එහි නතර විය. මොහොතකට ඇයට එය කියවා තේරුම් ගැනීමට පවා නොහැකි වූවාක් මෙන් දැනුණු අතර නැවතත් සටහන කියවූ ඇය දුරකථනය තදින් අල්ලාගත්තාය.

තමන් සහ අශේන් පිළිබඳව කිසිවක් නොදන්නා පිරිසක්, ඡායාරූපයක් පමණක් බලා මෙවැනි අසත්‍ය පුවතක් ගොඩනඟා තිබීම ඇයට අදහාගත හැකි වූයේ නැත.

“මේක කොහොමද මෙහෙම දැම්මේ?”

ඇගේ හඬින් පිට වූයේ පුදුමය සහ අප්‍රසාදය  එකට මුසු වූ වේදනාවකි. සටහනට ලැබී තිබූ ප්‍රතිචාර අතරින් කිහිපයක් ශෙනෝලි ගේ නෙත ගැටුණද, ඒවා කියවීමට තරම් ශක්තියක් ඒ මොහොතේදී ඇය තුළ වූයේ නැත. අශේන් විසින් පළ කළ ඡායාරූපයකට පෙරදීද බොහෝ දෙනකු විසින් අදහස් පළ කර තිබුණද මෙවර ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය පිටුවක මෙවැනි ආකාරයේ පුවතක් ගොඩනඟා තිබීම ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබිණි.

“ෆොටෝ එකක් දැක්ක ගමන් මිනිස්සුන්ට ඕන ඕන දේවල් ලියන්න පුළුවන්ද?”

අවසන් වචන කිහිපයේදී ශෙනෝලි ගේ හඬ මඳක් බිඳී ගියේය. කණ්ඩායම් සාමාජිකයන් ඇය දෙස සංවේගයෙන් බැලුවේ ඇයගේ දරා ගැනීමේ සීමාව ඉක්ම ගොස් ඇති බව ඔවුන්ටද පැහැදිලිව පෙනෙන්නට තිබුණු බැවිනි.

“කවුරුහරි හිතාමතාම මේක කරලා තියෙන්නේ. නිකම්ම ෆොටෝ එකක් දාලා නෙවෙයිනේ. ඒකට කතාවකුත් හදලා “

අශේන් උන්නේ කෝපයෙනි. මේඝ නැවතත් දුරකථනය අතට ගෙන අදාළ සමාජ මාධ්‍ය පිටුව පරීක්ෂා කළේය. ඒ අතරතුර කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ ද සටහන වාර්තා කිරීමටත්, හැකි අයුරින් එය ඉවත් කරගැනීමටත් කළ හැකි දෙයක් පිළිබඳව සොයමින් උන්නේ හිතවතුන් කිහිප දෙනෙකුටම දුරකථන ඇමතුම් ද ලබා ගනිමිනි.

ශෙනෝලි අශේන් දෙස බැලුවේ හිස්බැල්මකිනි.ඔහු විසින් කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු හිතාමතාම මෙවැන්නක් සිදු කළාදැයි සැකයක් ඇය තුළ මතු වූයේ නිරායාසයෙනි. එහෙත් තමන් තුළ එවැනි සිතුවිල්ලක් ඇතිවූ පමණින් ඔහුට චෝදනා කිරීමද කළ නොහැකි බැවින් ශෙනෝලි  ඔහු දෙස මඳ වේලාවක් බලා උන්නාය.

අශේන් තම දුරකථනයේ යමක් පරීක්ෂා කරමින් උන්නේය. ඔහුගේ මුහුණේ කෝපය පැහැදිලිව දක්නට ලැබුණද, එයින් ඔහු මෙම සිදුවීමට සම්බන්ධ නැති බව තහවුරු කරගැනීමට ශෙනෝලි හට හැකි වූයේ නැත. ඒ නිසා ඇය කිසිවක් නොපවසා ඇතිවූ සැකය සිත තුළම සඟවා ගත්තාය.

“ශෙනෝලි, ඔයා ඕක ගැන වැඩිය හිතන්න එපා. මේ වගේ දේවල් අපි කාට වුනත් වෙන්න පුළුවන්. කලිනුත් මේ වගේ කමෙන්ට්ස් වැටුනා, මටත් ඉතින් ඔහොම දෙයක් උනානේ. අපි මේක ඉග්නෝර් කරලා හිටියහම දවස් දෙක තුනකින් මිනිස්සුන්ට අමතක වෙයි “

රිහාන්ගේ වචනවල තිබුණේ ඇයව සන්සුන් කිරීමට ගත් අවංක උත්සාහයකි. මෙවැනි සටහන්වලට ප්‍රතිචාර දැක්වීමෙන් ඒවා තවදුරටත් ප්‍රචාරය විය හැකි බව ඔහු හිතූ අතර ශෙනෝලිගේ සිතේ ඇති වී තිබෙන  වේදනාව එතරම් පහසුවෙන් පහව යනු නොයන බවද ඔහු දැන උන්නේය.

“මිනිස්සුන්ට අමතක වෙයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ රිහාන්. ඒත් මං ගැන නොදැන මේ වගේ දෙයක් තැන් තැන්වල දාන්න කිසි කෙනෙකුට අයිතියක් නෑ නේද ? ” 

රිහාන් ඇය දෙස බැලු අතර ඇගේ ප්‍රතිචාරයට විරුද්ධ වීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. මේ සිදුවීමෙන් වැඩිපුරම අපහසුතාවට පත්ව සිටින්නේ ඇයය. ඇය වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය වී තිබුණද සියලු දෙනාම පත්ව උන්නේ මේ පිටුපස සිටින්නේ කවුරුන්දැයි නොදැන කිසිදු තීරණයක් ගැනීමට නොහැකි තැනකටය.

ඒ සමඟම රිහාන්ගේ සිතට පැමිණියේ උදෑසන ඉශිනි සමඟ සිදු වූ සංවාදයය.

ඇය ශෙනෝලි පිළිබඳව දැක්වූ සැකයත්, තමන් සමඟ ඇති වූ නොසන්සුන්තාවයත් සිහිපත් වන විට ඒ සිතුවිල්ල නැතිවීම ඔහුට වළක්වා ගත හැකි වූයේ නැත. ශෙනෝලි පිළිබඳව ඇයට ඇති වූ සැකය නිසා හෝ තමන් සමඟ ඇති වූ ගැටුම නිසා හෝ ඇය මෙවැනි දෙයක් කිරීමට පෙළඹුණාදැයි රිහාන් කල්පනා කළේය. 

යොමු විය හැකි ක්‍රියාමාර්ගයන් වලට යොමු වී පුහුණුවීම් ආරම්භ කලද වෙනදා මෙන් සංගීතයට අවධානය යොමු කිරීම කිසිවකුටත් පහසු වූයේ නැත. ගීතයක කොටසක් අවසන් වන විටම සාමාජිකයෙකුගේ දුරකථනය නාද වූ අතර, තවත් අයකුට ඡායාරූපය පිළිබඳව පණිවිඩයක් ලැබිණි. සියලු දෙනා හටම ඒවාට පිළිතුරු දීමට සිදු වූ බැවින් පුහුණුවීම්වල රිද්මය නැවත නැවත බිඳ වැටිණි.

අවසානයේ සියලු දෙනාම දුරකථන පසෙක තබා පුහුණුවීම් කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කලද ස්ටූඩියෝව තුළ පැතිර තිබූ නොසන්සුන්තාව ඒ තරම් පහසුවෙන් පහව ගියේ නැත.

සාමාජිකයන් පුහුණුවීම් සිදුකරන අතරතුර මේඝ කිහිප වතාවක්ම ඡායාරූපය පළ කළ සමාජ මාධ්‍ය පිටුව සමග සම්බන්ධ වීමට උත්සාහ කළ අතර මිතුරෙකුගේ මාර්ගයෙන් හෝ සටහන ඉවත් කරගත හැකිදැයි උත්සාහ කර බැලුවේය.

ශෙනෝලි තමන්ගේ වැඩකටයුතු අවසන් කිරීමට උත්සාහ කළද ඇයට සම්පූර්ණයෙන්ම තමන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කර ලබා ගැනීමට හැකිවූයේ නැත.දුරකථනයට අලුත් පණිවිඩයක් ලැබෙන සෑම විටම එය විවෘත කර බැලීමට ඇයට සිතුනු අතර ඒවා කියවීමෙන් තමන්ගේ සිත තවත් අවුල් වන බව වැටහුණු නිසා අවසානයේ ඇය දුරකථනය පසෙකින් තැබුවාය. තමන් නොකළ දෙයක් වෙනුවෙන් අන් අයට පිළිතුරු දීමට සිදුවීම පිළිබඳව ඇගේ සිතේ තිබුණේ දැඩි කලකිරීමකි.

සවස 6 වන විට පුහුණුවීම් නිම වූයේ සියලු දෙනාගේම සිත්වල බරක් ඉතිරි කරමිනි. වෙනදා පුහුණුවීම් අවසන් වූ පසුවත් තවත් වේලාවක් රැඳී සිටිමින් කතාබහ කරන පිරිස එදින ඉක්මනින් පිටත්වීමට සූදානම් වූයේ දැඩි වෙහෙසකාරී බවකිනි. රිහාන් ස්ටූඩියෝවෙන් පිටතට පැමිණ වාහන අංගනයේ නවතා තිබූ වාහනයට නැගීමට සූදානම් වූ අතර ඊට පෙර ඔහුගේ අවධානය යොමු වූයේ නුදුරින් සිටි අශේන් වෙතය.

අශේන් දුරකථන ඇමතුමක හිඳි අතර ඔහුගේ හඬ පැහැදිලිව නොඇසුණද, ඔහුගේ මුහුණේ ඉරියව්වලින් ඔහු කිසියම් බරපතළ කාරණයක් පිළිබඳව කතා කරමින් සිටින බව පෙනෙන්නට තිබිණි.හදිසියේ ඇතිවූ සිතුවිල්ලක් මත රිහාන් මොහොතකට එතැනම නතර වී ඔහු දෙස මොහොතක් බලා උන්නේය.

අශේන් ඇමතුම අවසන් කරන තුරු බලා හිඳි රිහාන් පියවර තබා ඔහු වෙත පැමිණ නතර වූයේ අනතුරුවය. 

“අශේන්.”

රිහාන්ගේ හඬ ඇසුණු පසු අශේන් හිස ඔසවා බැලුවේය.

“ඇයි බං?”

රිහාන් මොහොතක් අශේන් දෙස බලා උන්නේය.තමන් අසන්නට යන ප්‍රශ්නය සරල එකක් නොවන බව දැන හුන් ඔහු එයට ලැබෙන පිළිතුර කුමක් වුවත්, සන්සුන්ව සිටීමට උත්සාහ කළේය. 

“මට ඇත්ත කියපන් අශේන්. මේ ගොසිප් එක පිටිපස්සේ උඹ නැහැ නේද? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here