පසු දින උදයේ රොහාන් එදිරිසිංහ විසින් 5th Avenue සාමාජිකයන් සමඟ රැස්වීමක් කැඳවා තිබිණි. උදෑසන ස්ටූඩියෝවට පැමිණි රිහාන්ට එය දැනගන්නට ලැබුණේ ද මේඝගෙනි.
“අද රොහාන් අන්කල්ගේ ඔෆිස් එකේ මීටින් එකක් තියෙනවා. හැමෝටම එන්න කියලා තියෙන්නේ “
“මොකක් හරි විශේෂ දෙයක්ද?”
“එහෙම දෙයක් කිව්වේ නැහැ. ඉස්සරහ වැඩ ගැන කතා කරන්න වෙන්න ඇති.”
රිහාන් හිස සැලුවේය. රොහාන් තමන්ගේ පියා වුවද, කණ්ඩායමේ කටයුතුවලදී ඔහු තමා සමඟ ගනුදෙනු කළේ අනෙක් සාමාජිකයන් සමඟ කටයුතු කරන ආකාරයෙන්මය. එම නිසා මේ රැස්වීම පිළිබඳව විශේෂයෙන් සිතන්නට රිහාන්ට හට හේතුවක් වූයේ නැත.
නියමිත වේලාවට සියලුදෙනාම රොහාන් එදිරිසිංහගේ කාර්යාලයට පැමිණියේ සාමාන්‍යයෙන් ඔහු කලට වේලාවට වැඩ කරන පුද්ගලයෙකු වූ බැවිනි. එම නිසා සාමාජිකයන් සියලු දෙනා කල් වේලා ඇතිව රැස්වීම් කාමරයට ඇතුළු වී අසුන්ගෙන බලා සිටියේ දැනුම් දී තිබුණු වේලාවටත් විනාඩි දහයකට පමණ පෙරය. මේඝ සහ ශෙනෝලි මේසයේ ඉදිරිපස අසුන් ගත් අතර, අශේන් ඇතුළු සෙසු සාමාජිකයෝ ඔවුන් දෙපසින් වාඩි වූහ.
උදෑසන 11 එළඹීමට විනාඩි දෙකක් ඉතිරිව තිබියදී රොහාන් රැස්වීම් කාමරයට ඇතුළු වූ අතර සියලු දෙනාම තම අසුන් වලින් නැගිට ඔහුට සුබ උදෑසනක් පතා නැවත අසුන් ගත්හ.
ඔහු සුපුරුදු සන්සුන් ඉරියව්වෙන් මේසයේ හිස පැත්තේ අසුන් ගෙන අතේ තිබූ ලිපිගොනුව මේසයේ පසෙකින් තබා කණ්ඩායමේ සාමාජිකයන් දෙස බැලූ අතර ඔහුගේ මුහුණේ මෘදු සිනහවක් රැඳී තිබිණි.
“හරි, එහෙනම් අපි පටන් ගමු “
මාස ගණනාවකට පසුව පැවැත්වෙන සාකච්ඡාවක් බැවින් සියලු දෙනාම අනතුරුව රොහාන් එදිරිසිංහ වෙත අවධානය යොමු කළේ උනන්දුවෙනි.
“ඔයාලා පහුගිය මාස ටිකේ මහන්සි වෙලා වැඩ කරපු එක ගැන මට ගොඩක් සතුටුයි. ඕගොල්ලෝ සෑහෙන්න කොන්සර්ට් ප්‍රමාණයකට ගිහින් තියෙනවා, programs කරලා තියෙනවා . ඒ හැම දෙයක්ම අපේ ගමනට වැදගත්. හැබැයි මට හිතෙනවා, මේ වැඩ අතරේ අපිට අමතක වෙලා ගිය දෙයක් විශේෂ දෙයක් තියෙනවා කියලා “
ඔහුගේ හඬෙහි චෝදනාවකට වඩා තිබුණේ කණ්ඩායම ඉදිරියට ගෙන යාම පිළිබඳ බලාපොරොත්තුවකි.
“අපි අන්තිමට 5th Avenue එක විදිහට අපේම අලුත් සින්දුවක් කළේ කවද්ද ? ”
සියලු දෙනාම එකිනෙකාගේ මුහුණු දෙස වරදකාරී හැඟීමෙන් බැලූ අතර එක්වරම පිළිතුරක් දීමට කිසිවකුටත් හැකි වූයේ නැත. රිහාන්ගේ සිතට පසුගිය මාස කිහිපයේ සිදුවීම් එකින් එක නැඟී ආවේය. වේදිකා මත ගෙවුණු රාත්‍රීන්, අවසන් මොහොතේ වෙනස් කළ පුහුණුවීම්, වෙනත් කලාකරුවන්ගේ ප්‍රසංග වෙනුවෙන් කළ සූදානම් කිරීම්,ඒ සියල්ල අතරේ තමන්ගේම නිර්මාණයක් වෙනුවෙන් එකට හිඳ කාලය ගත කළ දවසක් සිහිපත් කරගැනීමට ඔහුට අපහසු වූයේය.
මේඝ මේසය මත වූ පෑන අතට ගෙන නැවත තැබුවේය.
“ඇත්තටම ඒ ගැන ශෙනෝලියි මමයි මේ ගැන කිහිප වතාවක්ම කතා වුණා අන්කල් . ඒත් හැමෝගෙම වැඩ එක්ක වෙලාවක් හදාගන්න බැරි වුණා අපිට “
රොහාන් සාවධානව ඔහුට සවන් දුන්නේය.
“මට තේරෙනවා. හැබැයි අපිට හැමදාමත් ඔය හේතුව කියන්න බැහැ මේඝ. වැඩ තියෙන එක හොඳයි. ඒත් අපි අනිත් අයගේ කොන්සර්ට්ස් වලට බැක් කරන බෑන්ඩ් එකක් විදිහට විතරක් නතර වෙන්න හොඳ නැහැ. 5th Avenue කියන නම ඇහුණම මිනිස්සුන්ට මතක් වෙන්න ඕනේ අපේම originals ටිකක් තියෙන්නත් ඕනේ “
රොහාන්ගේ කතාවට එකඟව රිහාන් හිස සැලුවේය. කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස ඔහුටත් තමන්ගේම නිර්මාණවල අවශ්‍යතාව හොඳින් දැනී තිබුණද පුහුණුවීම් සහ ප්‍රසංග අතර ඒ වෙනුවෙන් කාලය වෙන් කරගැනීම ඔහුටත් පහසු වී තිබුණේ නැත.
“අශේන්, ඔයාටත් තනියම සින්දුවක් කරන්න idea එකක් තිබුණා නේද?”
“ඔව්, අන්කල්. මම කාලෙක ඉඳන් ඒ ගැන හිතනවා. ඒත් හරියට වැඩේ පටන් ගන්න බැරි වුණා.”
“එහෙනම් ඒකත් දැන් පටන් ගමු. හැම දෙයක්ම එකපාර කරගන්න බැරි උනත් පටන් ගන්න එක හරි වැදගත් “
අශේන්ගේ මුහුණේ සතුටු සිනහවක් ඇඳිණි. තමන්ගේම ගීතයක් නිර්මාණය කර ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාම ඔහුගේ පෞද්ගලික බලාපොරොත්තුවක් වූ අතර, ඒ සඳහා අවස්ථාව ලැබීම ඔහුට දැනුණේ අලුත් ආරම්භයක් ආකාරයෙනි.
අනතුරුව රොහාන් එදිරිසිංහ හැරුනේ ශෙනෝලි දෙසටය.
“ශෙනෝලි, ඔයාට පුළුවන්ද මේ වැඩ දෙකම ප්ලෑන් කරලා ඉස්සරහට අරගෙන යන්න? බෑන්ඩ් එකේ සින්දුවයි, අශේන්ගේ solo එකයි ?”
ශෙනෝලි මොහොතකට නිහඬව හුන් අතර ඇය තුළ එම වගකීම බාර ගැනීම සඳහා අකමැත්තක් වූයේ නැත.
“හරිඅන්කල්. මම මේඝ එක්ක කතා කරලා මුලින්ම වැඩ දෙකේම ප්ලෑන් එක හදාගන්නම්. ඊට පස්සේ හැමෝම එක්ක කතා කරල බලල වැඩේ පටන් අරගන්න පුළුවන්නේ “
“හොඳයි. මට ඕනේ වැඩ දෙකම හොඳට ප්ලෑන් වෙනව දකින්න වගේම ඒවා ඒ විදිහටම ඉස්සරහට යනවා දකින්නත් “
රොහාන්ගේ පිළිතුරත් සමඟ මේඝ තම සටහන් පොත විවෘත කළේය. ශෙනෝලි ඔහු සමඟ මුල් අදහස් කිහිපයක් සාකච්ඡා කළ අතර, අශේන් තමන්ගේ ගීතය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටි අදහස් ද කෙටියෙන් පැහැදිලි කළේය. එතෙක් රැස්වීම ආරම්භයේ පැවති අවිනිශ්චිත බව වෙනුවට ඒ වනවිට පැතිරෙමින් තිබුණේ අලුත් සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ උනන්දුවය.
ටික වේලාවකට පසුව කාර්යාලයේ සේවකයෙකු කෝපි කෝප්ප කිහිපයක් රැගෙන කාමරයට ඇතුළු වූ අතර සියලු දෙනාම එය රසවිඳින අතරතුරේදී ලද අවස්ථාවෙන් අලුත් සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේ වෙනදා නොවූ ප්රබෝධයකිනි.
රොහාන් නැවතත් කණ්ඩායම් සාමාජිකයන් සමඟ එක්වෙමින් ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අදහස් කිහිපයක් ඉදිරිපත් කළ අතර කණ්ඩායමේ සෑම සාමාජිකයකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබිණි. අවසානයේ අලුත් ගීත දෙකේ වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබිණි.
“මට ඔයාලට කියන්න තව දෙයක් තියෙනවා.”
රොහාන් යලිත් එසේ පැවසූ විට සියලුදෙනාගේ අවධානය ඔහු වෙත යොමු විය. ඔහුගේ හඬෙහි වූ බැරෑරුම් බව නිසා කුමක් හෝ වැදගත් දෙයක් ගැන කතා කිරීමට සූදානම් වන බව ඔවුන්ට වැටහිණි.
“ඉඳලා හිටලා සෝෂල් මීඩියා වල යන දේවල් ගැන ඔයාලා ඒ තරම් ලොකුවට හිතන්න එපා. ඔයාලගේ නමට හානියක් වෙන විදිහේ දේවල් ඔයාල කවුරු හරි ඇත්තටම කරන එක වෙනම දෙයක්. හැබැයි නොකරපු දෙයක් ගැන ගොසිප් එකක් යන එක ඊට වඩා වෙනස් “
රොහාන් මොහොතකට නතර වූයේය.
“ඒ නිසා ඔය වගේ දේවල් ගැන හිත හිත ඉන්න එපා. ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නේ දවස් කිහිපයයි. අද එක දෙයක් ගැන කතා කරයි. තව දවසකින් වෙන දෙයක් ගැන කතා කරන්න පටන් ගනියි. ඒ නිසා ඒ දේවල්වලට ඔයාලගේ වැඩවලට බාධා කරන්න ඉඩ දෙන්න එපා “
ඉන්පසු ඔහු නැවත ශෙනෝලි දෙස බැලුවේය.
“විශේෂයෙන්ම ශෙනෝලි, ඔයා මේ බෑන්ඩ් එක ඇතුළේ වැඩ කරන එකම ගෑනු ළමයා. ඒ නිසා ඉස්සරහට ඔයාට මේ වගේ දේවල්වලට විතරක් නෙවෙයි, මීට වඩා දේවල්වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම හිතට අරගෙන කලබල වෙන්න ගියොත් ඔයාගේ වැඩ කරගන්න බැරි වෙනවා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ඔයාගේ වැඩ හරියට කරගෙන යන්න “
ශෙනෝලි මඳ සිනහවක් පමණක් පෑවාය.
“හරි අන්කල් “
ඇය එසේ පැවසුවද, පෙර දිනයේ සිදු වූ දේ ඇගේ සිතෙන් සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබුණේ නැත. එහෙත් රොහාන් පැවසූ දේ ඇයට යම් සහනයක් ගෙන ආ අතර තමන් කළ යුත්තේ කටකතා ගැන සිතමින් කාලය ගත කිරීම නොව, තමන්ගේ වැඩකටයුතු හොඳින් කරගෙන යාම බව ඇය නැවත තේරුම් ගත්තාය.
රැස්වීම අවසන් වන විට දහවල් කාලය ළඟා වෙමින් තිබිණි. කෝපි කෝප්ප හිස් වී තිබූ අතර, මේසය මත විසිරී තිබූ සටහන් සහ ලිපිගොනු නැවත පිළිවෙලින් එකතු කෙරිණි. අනතුරුව මේඝ ශෙනෝලි සමඟ ඉදිරි සැලසුම් ගැන තවත් වචන කිහිපයක් හුවමාරු කරගනිමින් නැඟී සිටියේය. අශේන් ද තම දුරකථනය දෙන අසුනින් නැගිටිද්දී රිහාන් පුටුව පසුපසට තල්ලු කර නැඟී සිටිමින් මේසය මත වූ තම වතුර වීදුරුව පසෙකට කළේය.
“හරි අන්කල් එහෙනම්. ප්ලෑන් කරපු විදිහට අපි වැඩ ටික පටන් ගන්නම්.”
මේඝගේ කතාවට රොහාන් හිස සැලුවේය.
එක් එක් සාමාජිකයා රොහාන්ට සමුදී කාමරයෙන් පිටව ගිය අතර ශෙනෝලි ද තම ලැප්ටොප් එක සහ සටහන් පොත ගෙන මේඝ සමඟ පිටව යද්දී අශේන් ද ඔවුන් අනුගමනය කළේය.
“පුතා, පොඩ්ඩක් ඉන්න “



