පසළොස්වක මල් – 32

0
618

” දෙයි හාන්දුරුවනේ …! තේජ්..! අම්මපා කියපන්..!” 

” ඕකට මොකටද සුදූ අපේ අම්මාව ගාව ගන්නේ ? ඔයාට මේ මාව විශ්වාස නැද්ද ?” 

මහීකාගේ දිළිසෙන දෑස නැටවෙමින් තිබුණි. 

” දුමී හිතන් ඉන්නෙ වැරදියටනං මං දුමී එක්ක කතා කරන්නං තේජ්. “

” ඔන්න ඔන්න ඉතිං ඔයා වැඩේ අල කරන්න යනවනේ. මම , ඔයා , අපි කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන්නෑ. කොටින්ම අපි මේවා දන්නෙත් නෑ , දැක්කෙත් නෑ.. එච්චරයි. “

” ඉතිං බං ? කෙල්ල අවුලෙන්නං ඉන්නේ. අපි ඒක තේරුම් කරන්න එපාද ?” 

” මහීකා..! මහීකා..! මුලින්ම පොඩ්ඩක් හුස්මක් ගන්නකෝ..”

” අයියෝ.. තේජ්.. හුස්ම ගන්න නෙමෙයි , මේ සතුටට මගේ පපුව පැළෙයි කියලා මට බයයි “

මහීකා දිළිසෙන දෑසින් ගලා යන කඳුළු වැල් දෝතින්ම පිස ගත්‍තාය. 

” මට තේරෙනවා අනේ.. ඒ උනාට මේ වෙලාවේ අපි ඒ දෙන්නට වඩා කල්පනා කරන්න ඕනේ. අපි කොයිම වෙලාවකදිවත් ලොකුවා අවුරුදු ගාණක් හිටපු විදිහ අමතක කරන්න නරකයි ආන්ටී.. අර කෙල්ලගේ මරණෙන් පස්සේ ඌ ජීවත් උනේ වෙනම ලෝකෙක. කෙල්ලෙක් ගැන කතා කරන්න තියා කෙල්ලෙක් දිහා හැරිලාවත් බලපු එකෙක්ද ආන්ටී මූ මෙච්චර කාලෙකට.? ඔයා , අපි හැමෝම මූව ඒ දේවල් වලින් ගොඩ ගන්න මොන තරම්නං දේවල් කළාද? කෙල්ලෝ කී දෙනෙක්ව අඳුන්නලා දෙන්න, යාළු කරලා දෙන්න උත්සාහ කළාද ? ඒ එක කෙල්ලෙක් දිහාවත් මූ හැරිලාවත් බැලුවද ? අන්තිමේ අපිටම එපා වෙලා නෙමෙයිද දමලා ගහලා හිටියේ. මූ මේ අවුරුදු ගාණම විඳවපු තරමට මට අර කෙල්ල එක්ක එන්නෙ පුදුම කේන්තියක් ආන්ටි. මට මතක් වෙද්දිත් කේන්තියි. ඒ කෙල්ල ඉන්නකන්ම මූව මැඩෙව්වා. පුදුම ටොක්සික් කෙල්ලෙක්. මූ දිහා කෙල්ලෙක් බැලුවත් මූව මරන් කන්න හැදුවා. අඩුම.. අඩුම යාළුවෝ වෙච්ච අපිවවත් ආශ්‍රය කරන්න දුන්නද ?  දෙන්න පුලුවන් උපරිම වද ටික දීලා මැරිලා ගියාට පස්සෙත් මුගේ ජීවිතේ අවුරුදු ගාණක් ඒකි ගැනම හිත හිත නාස්ති කර ගත්‍තා. දැන් ඇති ආන්ටි.. දැන් හොඳටම ඇති.

මෙච්චරකල් කෙල්ලෙක් ගැන වචනෙකින්වත් කතා කරපු නැති එකා දැන් අඩුම කෙල්ලෙක් ගැන කතා කරනවා. ඒ කෙල්ල මඟ අරින එක ගැන හිත යටින් දුක් වෙනවා. ඌ.. ඌ විහින්ම උගේ පපුවට දාගෙන තිබ්බ යකඩ පටි ටික දැන් ගැලවෙන්න පටන් අරන් ආන්ටී. මිහිදුමීට ආදරෙයිද කියලා ඇහුවම නෑ කිව්වා. ඒකිව ඕනෙද ඇහුවම එපා කිව්වා. හැබැයි ඌ හිත ඇතුළෙන් ඒකි ගැන දුක් වෙනවා. ගල් පිළිමයක් වගේ හිටපු එකාගේ පපුව උණු වෙනවා ආන්ටි. ඒ ඔයාවත් , මමවත් නිසා නෙමෙයි අර පොඩි කෙල්ල නිසා. මෙච්චර දවස් අපි මුකුත් කළේ නෑනේ. මේ දේවල් මේ විදිහට උනේ තනිකරම මිහිදුමී නිසා. ඒ නිසා කිසිම දෙයක් උවමනාවෙන් හදන්න යන්න එපා. මේ වෙන දේවල් ඒ විදිහටම වෙන්න දෙන්න. මෙච්චර අවුරුදු ගාණක් බලන් හිටපු එකේ අපිට තව කාලයක් බලන් ඉන්න එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ ?  කිසිම දෙයක් දැක්කෙ නෑ , දන්නේ නෑ වගේ අපි බලන් ඉමු. මිහිදුමී හැමදේම ලස්සනට කරයි. තරහා උනත් , කතා නොකළත් අපේ එකා ඒ කෙල්ල ගැන ඔහොම හරි හිතන එක කොච්චර දෙයක්ද ?  ඒ කෙල්ල කොහෙන් කොහොම ආපු කෙල්ලෙක් උනත් මේ වැඩේදී මං අපේ එකාව අතාරින්නෑ ආන්ටී.. ඌ ජීවත් වෙන්න ඕනේ. ලස්සනට ජීවත් වෙන්න ඕනේ. “

මහීකා දෝතම ළැම මත තද කරමින් කඳුළු වගුරුවද්දී තේජ් සෙමින් ඇගේ හිස පිරි මැද්දේය.

******************************************

අග නගරයේ සුන්දර මුහුදු තීරයට මුහුණළා තිබු සුප්‍රසිද්ධ හෝටල් පරිශ්‍රයක අෂ්මිලගේ හා ශනුලිගේ විවාහ ලියාපදිංචි කිරීමේ උත්සවය ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්වෙමින් තිබුණි. 

උමන්දා හා එක්ව රූපලාවණ්‍යයාගාරයකට ගොස් සැරසුණු කුඩා තරුණිය නිල් ,කොළ මිශ්‍ර මොණර පැහැයෙන් ගත දැවටුණු සාරිය හැඳි තමා දෙසම විසල් කැඩපත තුළින් එක දිගට බලා සිටියාය. 

” oh .. my god..! you are so gorgeous නංගි…!” 

ඈ දෙස එක එල්ලේ බලා සිටි උමන්දා මුව පුරා සිනහවක් නඟා පැවසුවාය.

” මොණර පැහැ සාරියට බෙල්ල මුලටම ගෙඩියක් සේ බැඳි කොණ්ඩය වටා පිරුණු පිච්ච මල් මාලාවක් රැඳවූ රූපලාවන්‍ය ශිල්පිනිය කුඩා නිල් පැහැ මොට්ටුවක් ඇගේ නළල මැද තැබුවාය. කොළ සහ රන් පැහැය මිශ්‍ර ජුම්කා යුවළත් , වළලු කිහිපයත් දැමූ පසු ඒ පමණක් ඇති යැයි පැවසූ මිහිදුමී හිතාමතාම ගෙල හිස්ව තැබුවාය. 

”  Tamil actress කෙනෙක් වගේ අනේ..!” 

” බෙල්ලට චූටි නෙක්ලස් එකක් දානවද මිස් ? හැබැයි හිස්ව තියෙද්දි සරලයි , චාම්.. “

” ඔව්. ඕනෑවට වඩා වැඩි උනොත් කැත වෙනවා.”

උමන්දා හරි හරියට රූපලාවන්‍ය ශිල්පිණිය හා එක්ව තරුණියගේ හැඩ බැලුවාය. 

” අපි යමුද අක්කේ ?  අම්මලා ඉක්මනට යන්නත් ඕනේ කිව්වා.,”

” යමු.. යමු.. තේජ් මට කෝල් කරලා කිව්වා ශනුත් හෝල් එකට ආවා කියලා.. “

මිනිත්තු කිහිපයක් ඇතුළත උත්සවය පැවති හෝටල් පරිශ්‍රය වෙතට තරුණියන් දෙදෙනා පැමිණෙන විටත් දෙපාර්ශවයේම සියලුම අමුත්තන් එහි ලඟා වී තිබූ අතර හෝටල් ද්වාරයෙන් ඇතුළට පිවිසෙන මොණරිය දැක බොහෝ දෑස් ඈ මතටම වශීකෘතව වැටෙමින් පැවතුණේය. 

” සමන් දෙයියනේ…! මගේ කෙල්ල…!” 

හිඳ උන් අසුනෙන් නැඟී සිටි විශාඛා තමා ඉදිරියට ආ දියණිය දැක ඉහ වහා ගිය සතුටින් ඈ තදින් වැළඳ ගත්තාය. 

” ලස්සනයි මැණිකේ.. මොණරියක් වගේ.. “

” දැන් නං මෙයාව පරිස්සම් කරගන්න බැරි වෙනවා අම්මා..! ” 

” මාමේ..!” 

පසුපසින් ඇසුණු හඬට වහා හැරී භරණගේ ගෙලේ එල්ලුණු තරුණිය තමා හිඳින ස්ථානය පවා අමතක කොට දැමුවාය.

” ගෙදර නෙමෙයි බං. ඇඟේ එල්ලෙන්නැතුව හිටහං. “

” මොනාද අනේ..!” 

තොල් පට නොපිටට පෙරළූ ඇගේ මුහුණ දෙස බලා භරණ නැවතත් ඈ දෙසට ආදරණීය බැල්මක් හෙළුවේය. 

” තමුසේ ඔච්චර ලස්සන උනාට කමක් නෑ හරිද ? මෙතන ඉන්න කොල්ලෝ දිහා එහෙම බලන්නෑ. “

” අනේ.. මොනාද මාමේ..?” 

” මොනවද නෙමෙයි ඇත්ත කිව්වේ. “

භරණ එසේ පවසා ඇගේ නාසය මිරිකුවේය.

” නංගි..! අපි ශනූට කතා කරලා එමු. “

භරණ හා විශාඛා වෙතින් මිදුණු මිහිදුමී උමන්දා සමඟ ගොස් අෂ්මිල හා ශනුලි සමඟ සිනහව වපුරවමින් කතා බස් කළ අතර ඒ අතරතුරදී මිහිදුමීගේ දෑස හෝටල් පරිශ්‍රයේ හතර කොන සිසාරා එහා මෙහා දුවන බැව් උමන්දා යටැසින් බලා සිටියාය. 

” කාවද හොයන්නේ ?” 

” ආ.. අක්කේ..?” 

” මං ඇහුවේ කාවද හොයන්නේ කියලා ?” 

” කවුරුත් නෑ අක්කේ.”

” බොරු කියන්නෙපා. මං ආපු වෙලාවේ ඉඳන් බලන්. ඇස් දෙක කරකව කරකව කාවහරි හොයනවා. “

” අම්මී…! “

තේජ් හා පැමිණි කේලී වහා දුව විත් උමන්දාගේ අතේ එල්ලී ඒ සැණින් මව අසල උන් මිහිදුමී දෙසට හැරුණාය.

” අක්කී..!” 

” ඔයා මාව අඳුරගත්‍තේ නෑ නේද ?” 

පහත් වී කුඩා සිඟිත්තිය දෝතට ගත් මිහිදුමී තදින් ඇගේ කොපුලක් සිප ගත්තාය.

” ඔව්.. ඔව්.. එක පාරට අඳුරගත්තේ නෑ. ඔන්න ඔයාව බිම තියන්න නංගි. ඔයාගේ සාරියත් පොඩි වෙනවා. “

” අනේ මට බෑ . මං අක්කි එක්ක ඉන්නවා. “

” අනේ හිටපුදෙන් අක්කේ. මං බලාගන්නං “

” ශාහ්.. මෙයා අද Tamil actress කෙනෙක් වගේනේ ?” 

මිහිදුමී දෙස බලා යළි උමන්දා දෙස බැලූ තේජ් එසේ පැවසූ අතර උමන්දා ඔහුගේ අතකින් අල්ලාගෙන මඳක් පසෙකට ගියාය. 

” ලොකු මහත්තයා කෝ..?” 

” ඇයි මොකෝ ?” 

” ආපු වෙලාවේ ඉඳන් ඇස් දෙක කරකව කරකව හොයනවා. “

” උඩ ඉන්නවා. ඔය දෙන්නා වාහනෙන් බැහැලා එන තැන ඉඳන් බලන් හිටියේ”

” අම්මටසිරි. මෙයත් ඔය ඇස් දෙක කරකවා කරකවා හොයන්නේ එයාව තමයි. “

” මුං දෙන්නම උගුරට හොරා බේත් බොනවා. දැන් එයා අද දවසම උඩට වෙලා හැංගිලා ඉන්නවද ?” 

” මාත් ඕක ඇහුවා. එහෙම ඉන්න බෑනේ. සයින් කරන වෙලාවට ඌ පහලට එන්න එපැයි. “

” අෂ්මිලගේ පැත්තෙන් සයින් කරන්නේ අස්නකද ?” 

” හ්ම්ම්.. “

උමන්දාගේත් , තේජ්ගේ කතාව අතරමැදම විවාහ ලියාපදිංචිය සඳහා සියල්ල සූදානම් වූ අතර එතෙක් ඇසි පිය නොහෙළා පහත මහලේ උන් රණ මොණරියගේ වත කිසිදු ලෝබකමකින් තොරවම දෑසින් විඳගනිමින් උන් වංශවත් තරුණයා තරප්පු පෙළ බසිමින් උත්සව ශාලාව වෙත බර අඩි තබමින් ඇවිද එමින් සිටියේය. තනි කළු පැහැ කමිසයකින් , බ්ලේසරයකින් හා කලිසමකින් සැරසී සිටි සන්සුන් හා ප්‍රතාපවත් කඩවසම් සිරුර උත්සව ශාලාවේ හිඳි මනාලයාට වඩා රැස්ව උන් පිරිසගේ අවධානයට භාජනය වෙමින් සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here