පසළොස්වක මල් – 33

0
196

” අස්නක..!” 

” භරණ..! සොරි මං කතා කරන්න එන්න හිටියේ.”

” නෑ.. නෑ.. ඒකට කමක් නෑ. මෙතන බිසීනේ. මේ.. අපි යන්න කියලා අස්නක “

” මේ දැන්ම ?” 

” හෙට උදේ මං පේරා යුනි එකේ ඉන්න ඕනේ අස්නක. මට ලෙක්චර් එකක් තියනවා. දැන් ගිහින් ඒකට ලෑස්ති වෙන්නත් ඕනේ. “

” භරණලා ලන්ච් ගත්තද ?” 

” ඒවා ඔක්කොම හරි අස්නක. ” 

භරණ තරුණයාගේ බාහුවට තට්ටුවක් දමමින් ප්‍රශංසා ස්වරයෙන් පැවසූ අතර ඔහු පෙරළා ඊට මඳ සිනහවක් පෑවේය.

” පුතා..!”

පසෙකින් ඇවිද ආ විශාඛාත් ඇගේ අතෙහි එල්ලී සිටි තරුණියත් දෙස බැලූ අස්නක කලාතුරකින් මුවඟ නඟන සිනහව සිතා මතාම පුළුල් කරමින් විශාඛා දෙස බැලුවේය. 

” අපි ගිහින් එන්නං දරුවෝ..”

” තෑන්ක්ස් ආන්ටී ආවට. “

ඔහු එසේ පවසා ඇගේ දෙපා නැමඳ නැඟී සිටි අතර කුඩා එකිය තව දුරටත් වංශක්කාරයාගෙන් දෑස ඉවතට කොට සිටියාය. 

” ඔයා සෑහෙන්න හොඳට අෂ්මිලගේ වැඩේ කරලා තියනවා. මට මහීකා කිව්වා ඔක්කොම බර ඔයා කරට අරන් කළේ කියලා. අයියලා උනාම එහෙම තමයි ඉන්න ඕනේ. ඇත්තු වගේ පුත්තු හදන්නේ රටක් රාජ්‍යයක් ඉස්සරහට ගෙනියන්නනේ. අම්මලට කවදාවත් එහෙම දරුවන්ගෙන් දුකක් , කරදරයක් ලැබෙන්නෑ. මහීකා හරී වාසනාවන්තයි. ඒ වගේම කවදහරි දවසක ඔයාට ලැබෙන ගෑනු දරුවත් සෑහෙන්න වාසනාවන්තියක් වෙන්නම ඕනේ. “

පහත් කළ හිස මත සුරත තැබූ විශාඛා හදවතින්ම තරුණයා වෙත ප්‍රශංසා මුඛයෙන් කතා කළාය. 

” ඕගොල්ලෝ හරි නරකයි අනේ..”

රථ වාහන අංගනය වෙත පැමිණීමෙන් පසුවද මවටත් , භරණටත් සමුදීමට නොහැකි වූ තරුණිය ඇඹුල් කරගත් නෝක්කාඩු බස් පවසමින් උන්නාය. 

” දැන් එතකොට අපේ වැඩ ඔක්කොම පැත්‍තකින් දාලා මෙයාට තනි රකින්න ඕනේද ?” 

ඇඹුල්ව තිබූ උවන මතින් භරණ වෙත රැවුමක් පා වුණි. 

” පරිස්සමින් ඉන්න දුමී.. ! මෙහෙම දකිනකොට මටත් ඔයාව දාලා යන්න ලෝබයි. “

” අනේ.. ඇයි අම්මා ?” 

” මගේ කෙල්ල දැන් ලස්සන වැඩි වෙලා. ගෑනු දරුවෝ ලස්සන වැඩි වෙනකොට අම්මලගේ පපුවල් බර වෙනවා පුතේ. “

කඳුළු පිරි දෙනෙතින් විශාඛා හට තුරුළු වූ තරුණිය ඈ තදින් වැළඳ ගත්තාය. 

” මං ගැන බය වෙන්නෙපා අම්මා. ඔයාලා කියන එක වචනෙකටවත් පිටින් මං යන්නෑ. “

” මං ඒක දන්නවා පුතේ…”

මවගේත් , මාමාගේත් ආදරණීය සිප වැළඳ ගැනීම් රැසකට මැදිව උන් කුඩා තරුණිය රථ ගාලේ බලා සිටියදීම භරණගේ මෝටර් රථය හෝටල් පරිශ්‍රයෙන් නික්ම ගියේය. සුසුමක් හෙළූ ඈ නැවතත් උත්සව ශාලාව වෙත ඇවිද ආවාය. 

” මිහිදුමී…!” 

” ආ.. දිහස් අයියා..!” 

” ඔයාව සෑහෙන්න වෙලාවක ඉඳන් අල්ලගන්න බලන් හිටියේ. “

” ආහ්.. අපේ අම්මලා ආවනේ දිහස් අයියා. “

” ගියා නේද ?” 

” ඔව්. වේලපහම ගියා. “

” ඔයා අද මාර ලස්සනයි . ඉන්දියන් ගර්ල් කෙනෙක් වගේ. “

” තැන්ක් යූ..”

උත්සව ශාලාවේ ඇතුළේ සිට පුපුරු ගසන දෑසක වේදනාව දෙස නෙත් කොනින් බැලූ තේජ් තමාට පසෙකින් උන් බිරිය දෙස බලා එළිමහනේ උන් තරුණිය දෙස බැලුවේය. සැමියාගේ දෑස් ඉඟිය වටහා ගත් උමන්දා උත්සව ශාලාවෙන් පිටතට අඩි තැබුවාය.

” දුමී..!” 

” එනවා අක්කේ.. යන්නං දිහස් අයියා.. “

” මිහිදුමී..! රෑ පාටි එකට එනවා නේද ?” 

” ශුවර් නෑ.. “

” ආ.. එහෙම කියලා බෑ. “

” බලමුකෝ..”

තව දුරටත් ඔහු අසල නොරැඳුණු ඈ ඉක්මන් අඩි තබා උමන්දා අසලට දිව ගියාය. 

” දකින දකින එකා එක්ක කියවන්න යන්න එපා බං. මෙතන අපිවයි ඇස් වලින් පුච්චන්නේ. “

” ඈ..?” 

” නෑ.. නෑ.. මුකුත් නෑ. යං. බඩගිනියි. “

” අනේ.. මටනං බඩගිනි නෑ අක්කේ. දැන් කීයක් ජාති කෑවද ?” 

” මෙන්න මෙහෙ වරෙං බං “

උත්සව ශාලාවේ භෝජනාගාරය වෙත පැමිණි උමන්දා පිඟානක් ගෙන පළමුව තේජ් හට ආහාර බෙදීමට පටන් ගත්තාය. අත රැඳි සුදු පැහැ පිඟාන එලෙසම තබා මිහිදුමී දෑස වටපිටාවට කරකැවූවාය. 

” මොනාද හොයන්නේ ?” 

පසුපසින් ඇසුණු තේජ්ගේ හඬටත් ඔහු පසුපසින් උන් රුවටත් තිගැස්සුණු ඈ වහා කල්පනාවෙන් මිදුණාය.

” නෑ.. මේ.. තේජ් අයියා.. මේ.. මහීකා ආන්ටිව බැලුවේ. කෑවද දන්නෑ. “

” ආන්ටී කෑවා නංගි. අපි විතරයි කන්න ඉන්නේ. අනේ ඔහොම්මම මේ ලොකුවටත් ප්ලේට් එකකට කෑම බෙදන්නකෝ. “

” මගේ අත පණ නෑ කියලා හිතුවද ?”

තරුණියට නෑසෙන්නට තේජ්ගේ සවන අසල කෙඳිරූ ඔහු පූර්ණ රැවීමක් මිතුරා හට හෙළුවේය. 

” අනේ.. මේහ්.. උඹේ ලොකුකම තියන් හිටහන්.”

” ලොකූ.. ! ඔයා කෑවද ?” 

රන් නූලෙන් වැඩ දැමූ තද කහ පැහැ සාරියකින් සැරසුණු මීෂා පසෙක සිට එසේ අසමින් ඇවිද ආ අතර තේජ්ගේ මුහුණ වහා ඇදවී ගියේය. 

” නෑ… මීෂා කන්න හැදුවේ. “

” මං බෙදලා දෙන්නද ?” 

සුදු පැහැ පිඟනක් අතට ගන්නාතුරම ඈ ඔහු දෙස බලා ඇසුවාය.

” ශුවර්..!” 

රන්වන් පැහැ සිරුර කැපී පෙනෙන ලෙස හැඳ උන් තදපැහැ වර්ණිත සාරිය ඇගේ සිරුරේ හැඩය ඉතා මනස්කාන්තව පෙන්නුම් කරන බව මිහිදුමී තනිවම සිතුවාය. කුලයද , පෙළපතද , මව් පිය පාර්ශවයද ඉතා උසස් කුටුම්භයද , වත් පොහොසත්කමද යන සියල්ලම එකට එක්වූ විට හා තරුණියක් සතු විය යුතු සියලුම පංචකල්‍යාණයන් නිසි පරිදි වාත්තු කළාක් මෙන් ඇති ඇගේ රුව ඇගේ ස්ත්‍රී දේහයේ අලංකාරය මෙන්ම තත්වයද උසස් කර පෙන්වන බවද ඇගේ සිත අවිවාදයෙන්ම පිළිගත්තාය. මහවලතැන්න වාසගම යටතේ තමා දැන් එහි අයෙකු වුවද තමාගේ අක් මුල් ඉහලට ආ කළ ඈ අසල තමා කිසිදු වටිනාකමක් නොමැති දූලි පොඳක් බව ඈට තව දුරටත් දැනුණාය. 

” මං ඔයාව දැන් පැය භාගෙකට කලිනුත් බැලුවා උමන්දා. ” 

හනි හනික ඔහු වෙනුවෙන් බෙදන ආහාර පිඟානද අතැතිව නිහඬව ආහාර බෙදා ගනිමින් උන් උමන්දා දෙස බලමින් මීෂා පැවසුවාය. 

” මං බබාට ෆීඩ් කරන්න රූම් එකකට ගියා මීෂා.”

” ආ.. එහෙනං ඒ වෙලේ තමයි.  ආ.. ලොකූ.. “

බෙදාගත් ආහාර පිඟාන තරුණයා අත තබමින් හැරුණු ඇගේ දෑස හිස් පිඟානක් අත තබා ගෙන විසල් කල්පනාවක ගැටී උන් තරුණිය වෙතට වැටිණි. 

” බෙදා ගන්නැද්ද නංගි ?” 

” ආ..?” 

ඈ තිගැස්සී මෙන් මීෂා දෙස බැලුවාය. 

” බෙදාගන්නැද්ද ?” 

” මං.. මේ මට.. දැන්ම කන්න බෑ. උමන්දා අක්කේ.. ඔයා කන්න. මං එතකන් බබා ලඟට යන්නං “

කිසිවෙකුත් කිසිවක් පැවසීමට පෙරම අතැති පිඟාන යළි තැබූ ඈ එතනින් පිටව ගියාය.

” චූටි උනාට කෙල්ල හරි ලස්සනයි නේද ? බෝනික්කෙක් වගේ. “

එසේ පැවසූ මීෂා යළිත් පිඟානක් අතට ගෙන තමන් හට ආහාර බෙදා ගැනීමට අනෙක් පස හැරුණු අතර දුර කල්පනාවක ගිලී උන් මිතුරා දෙස බැලූ තේජ් යන්තමින් හිස දෙපසට සැලුවේය. 

සැඳෑව ඇරඹුණේ ප්‍රිය සම්භාෂණයට තිත තබමිනි. පවුලේ  ඥාතීන් , හිතවතුන් , මිතුරන් , ව්‍යාපාර සගයින් , රාජකාරී සගයින් පිරිවරා ගත් හෝටල් පරිශ්‍රයේ පැවති මංගල උත්සවය සතුටු සිනා පිරී ඉතිරී ගොස් නිමාවක් වූ අතර බාල , මහලු , වැඩිහිටි සැමට වඩා තරුණ පිරිස රාත්‍රිය එළැඹෙන තෙක් කල් මරමින් සිටියහ. 

සියල්ල සංවිධානය කර තිබූ ආකාරයට හෝටල් පරිශ්‍රයේ උත්සවයෙන් අනතුරුව රාත්‍රියේ තෝරා ගත් සමාජ ශාලාවක හුදෙක් තරුණ තරුණියන්ගේ විනෝදාස්වාදය උදෙසා පමණක් තවත් උත්සවයක් සූදානම් කර තිබිණි. 

” නංගි ..! අපි හත වෙද්දි එනවා. රෙඩි වෙලා ඉන්න. “

උමන්දා කීප සැරයක්ම මතක් කොට පිටව යාමට ආසන්නයේ යළිත් හැරී විත් මිහිදුමී හා පැවසුවාය. නමුදු පුරුදු ආකාරයටම ඈ එය ප්‍රතික්ශේප කළාය. 

” අනේ.. අක්කේ. මං ආන්ටි එක්ක ගෙදර ඉන්නං. ඔතන ඉන්න අයව මං වැඩිය අඳුරන්නෙත් නෑනේ. මාත් එක්ක ගිහින් ඔයාලටත් කම්මැලි හිතෙයි “

” මොකද්ද ළමයෝ..? මෙච්චර කියලත් එන්න බෑ කියන්නේ ? අනේ ආන්ටී.. මේ බලන්නකෝ..”

” යන්න දුමී..! ගිහිල්ලා පොඩ්ඩක් එන්ජෝයි කරලා එන්න.” 

මහීකාද උමන්දාගේ කතාව අනුමත කරමින් තරුණිය වෙත පැවසුවාය.

” එක්කෝ ඔයා එන්නැත්‍තං , මං යන්නෙත් නෑ. “

” අනේ.. අක්කේ. “

” බෑ අනේ. ඔයා හරි නරකයි. කියන කිසි දෙයක් අහන්නෑ. අනික ඉතිං ඔයා නැතුව මං ඔතනට ගිහින් වැඩක් තියනවද ?  අපේ මිනිස්සු ටික ගිය වෙලාවේ ඉඳන් බොයි. මට ක්ලබ් එකක් ඇතුළට ගිහින් පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නයෑ..?   අනේ.. යන්කෝ. දුමී.. ප්ලීස්.. ප්ලීස්.. !” 

” හරි.. හරි.. මං ලෑස්ති වෙලා ඉන්නං. “

” උම්මාහ්..!” 

තදකර ඇගේ කොපුලක් සිප ගත් උමන්දා විගසින් දුව ගොස් තේජ්ගේ මෝටර් රථයට නැංඟාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here