ශෙනෝලි උදෑසන හයට පමණ අවදි වී යහනේ ඒ මේ අත පෙරළෙමින් කාලය ගත කළේ ශරීරයට ඒ තරම් සුවදායී බවක් ඒ වන තුරුත් නොදැනෙමින් තිබුණු නිසාය.එළඹෙමින් පවතින දිනයේදී රාජකාරී කටයුතු ද නොයෙදී ඇති බැවින් සහ හෙට දිනයේදී නුවරඑළිය බලා පිටත්ව යාමට යෙදී ඇති බැවින් අද දිනය විවේකීව ගත කිරීමට ශෙනෝලි තීරණය කළාය.
ඇය දෑස් හැරියේ හදිසියේ යමක් මතක් වීමෙනි.
” ශෙනෝලි.මං උදේ හත වෙද්දි ඔයාට බ්‍රෙක්ෆස්ට් අරන් එනවා “
ශෙනෝලි වහාම අසල වූ දුරකථනය අතට ගෙන වෙලාව පරීක්ෂා කළාය.උදෑසන හයයි දහය ලෙස දුරකථන තිරයේ සටහන්ව තිබුණු බැවින් ඇය දුරකථනය පසෙක තබා යහනෙන් බැස නාන කාමරය වෙත පැමිණියේ රිහාන් පැමිණීමට පෙර දවස ආරම්භ කිරීමටය.
ස්නානය කර නාන කාමරයෙන් පිටතට පැමිණි ශෙනෝලි කණ්නාඩිය ඉදිරිපිටට වී හිස කෙස් වියලනයෙන් හිස කෙස් වියලමින් කල්පනා කළේ පෙර දිනය පිළිබඳවය. තමා දෑස් හැර බලන විට ඒ අභියස හුන් රිහාන්ගේ බියපත් වූ දෑස් වල සටහන් වී තිබුයේ කුමන ආකාරයේ හැඟීමක් දැයි ශෙනෝලි හට ඒ වනතුරුත් තේරුම් ගැනීමට හැකිව තිබූයේ නැත
දුරකථනය වෙත කෙටි පණිවිඩයක් පැමිණි බවට ශබ්දයක් නැගුනු බැවින් ශෙනෝලි වහාම පැමිණ යහන මත තිබූ දුරකථනය අතට ගෙන පරික්ෂා කලාය.
” I’m downstairs “
කෙටි පණිවිඩය පැමිණ තිබූයේ රිහාන්ගෙනි.ඒ උදෑසන 6.47 ට ය. පොරොන්දු වූ වේලාවටත් කලින් ඔහු පැමිණ තිබේ.ශෙනෝලි ගේ මුහුණේ සිනහවක් ඇඳුනේ ඉබේටමය.ඇය තෙවන මහලට පැමිණෙන ලෙස රිහාන් හට ඒ ඇසිල්ලේම පිළිතුරක් යැවූයේ දෙවරක් නොසිතාමය.
” No. It’s not good for a boy to come into a girl’s apartment when she lives alone ”
එම පණිවිඩය පැමිණි විගස ශෙනෝලි ගේ මුහුණේ ඇඳී තිබුණු සිනහව ක්‍රමයෙන් අතුරුදහන් වී ගියේය. මේ තමා අවුරුදු කිහිපයක් තිස්සේ දැන ඉන්නා සාමාන්‍ය තරුණයාය. තරුණියන්ගේ ආකර්ෂණය නොමදව දිනා සිටින ආඩම්බරකාර තරුණයාය. තමාට උදව් කිරීමට පැමිණ සිටින ඔහුව තව දුරටත් අපහසුතාවයට පත් නොකළ යුතු බැවින් ශෙනෝලි නිවසින් පිටතට පැමිණ එය යතුරුලා විදුලි සෝපානය ඔස්සේ බිම් මහලට පැමිණියාය.
අමුත්තන් සඳහා වෙන්කර ඇති වාහන අංගනයේ නවතා තිබූ රිහාන්ගේ වාහනය වෙතට ශෙනෝලි පියවර තබද්දී ඇය එනු දුර තියා දුටු රිහාන් වාහනයෙන් බැස්සේ බෑග් කිහිපයක් අතැතිවය. ඔහුට අඩි කිහිපයක් නුදුරින් නැවතුණු ශෙනෝලි තප්පර කිහිපයකට ඔහු දෙස බලා උන්නේ පෙර දිනයේ පොරොන්දු වූ පරිදි සැබවින්ම ඔහු පැමිණ සිටින පුදුමයෙනි.
ශෙනෝලි නැවතුනු බව දුටු රිහාන් ඇය දෙසට පැමිණ නැවතී මෘදු ලෙස සිනාසුනේය.
” ගුඩ්මෝනින් ශෙනෝලි. දැන් අවුලක් නෑ නේද ?”
ශෙනෝලි දෑස් යොමු කළේ රිහාන් අත වූ බෑග් කිහිපය දෙසටය.
” ගුඩ්මෝනින්.මොනාද මෙච්චර ? “
රිහාන් තම අත තිබූ බෑග් කිහිපය ශෙනෝලි වෙත දිගු කළාය.
” කෑම ”
ශෙනෝලි හඬ නගා සිනාසුනේ සැහැල්ලුවෙනි.
” මට ඒක පේනවා “
ඇය එක් බෑගයක් යන්තමින් විවෘත කර බැලුවේ කුතුහලයෙනි. එහි ඇය ප්‍රිය කරන වර්ගයේ සැන්විච් දෙකක්ද, ඇගේ ප්‍රියතම කෝපි වර්ගයද ඇතුලත් වී තිබිණි. ශෙනෝලි ඊළඟ තප්පරයේදී හිස ඔසවා රිහාන් දෙස බැලුවේ ස්තුති පූර්වකවය. ඔහු ඒ වන විටත් බලා උන්නේ ශෙනෝලි දෙසය. ඒ පිළිබඳව නොතැකූ ශෙනෝලි රෙදි වලින් නිමවන ලද කුඩා රවුම් බෑගය විවෘත කළාය.
එහි වූයේ උණුසුම රඳවන ආකාරයේ කෑම පෙට්ටියකි. ශෙනෝලි නැවත හිස ඔසවා රිහාන් දෙස බැලුවේ යමක් අසන්නටය.
” මං අපේ අම්මට කිව්වා ඔයා අසනීප වුණා කියලා.අම්මා තමයි ඔයාට ලන්ච් හැදුවේ “
එවදන් කා වැදුනේ ශෙනෝලි ගේ හදවතේ ගැඹුරකටය.යමෙක් තමා වෙනුවෙන් දහවල් ආහාරයක් සූදානම් කර එවූ දිනයක් මතකයේ කොනකවත් නොතිබේ.දෙමව්පියන් මියගිය දා සිට කිසිවෙකුත් තමා වෙත මේ තරම් පිළිවලින් සහ උනන්දුවෙන් ආහාර වේලක් එවා නැත. රිහාන්ගේ මව විසින් එවන ලද දහවල් කෑම පෙට්ටිය මේ තරම් විශේෂ වන්නේ එබැවිනි.
” දැං ඔය ඔක්කොම දිග ඇර ඇර මෙතන බලන් නැතුව උඩට ගිහින් බලන්න ශෙනෝලි . මේ අව්ව පායන වෙලාවේ ඔයා එළියේ ඉන්න එපා “
රිහාන් කීවේ පිටව යන්නට සූදානමිනි.
” හැමදේටම තැන්කියු රිහාන්.අම්මටත් ගොඩක් පින් කියලා කියන්න “
” ඔයාට ඩිනර් ඕනේ කීයටද ?”
ශෙනෝලි නැවත තම දෑත් පිරෙන්නට ඇති බෑග් කිහිපය දෙස බලා සිනාමුසුව රිහාන් දෙස බැලුවාය.
” මේ හොඳටම ඇති අද දවසටම “
එවර රිහාන් සිනාසුනේය. ශෙනෝලි ඒ දෙස බලා උන්නේ පිරුණු හැඟීමෙනි.
” මොනාහරි ඕන වුනොත් මට කෝල් කරන්න.මං යාලුවෙක් හම්බ වෙන්න යනවා මෙහෙම්ම. කොහොමත් අද මම එළියෙ ඉදියි.”
ශෙනෝලි ගේ මතකය වෙත ක්ෂණයකින් පැමිණියේ ඉශිනි ය. විවේකී දිනයක් නිසා රිහාන් උදෑසනම ඇය හමුවීමට යනවා විය යුතුය.
පෙර දිනයේ වූ ශෝකී හැඟීම ශෙනෝලි වෙත නැවත පැමිණියේ තප්පර කිහිපයක් ඇතුළත දීය. මොහොතකට හෝ තමා මේ සතුටු වීමට උත්සාහ කරන්නේ මිරිඟුවක් ඉදිරියේය. ගැඹුරු තුවාලයකට පැලැස්තර ඇලවූවා කියා එය සදාකාලිකව සුව වන්නේ නැත.
” මං යනවා ශෙනෝලි. ඔයා උඩට යන්න “
රිහාන් තම වාහනයට නැගී නොපෙනී යනතුරු බලා හුන් ශෙනෝලි නැවත විදුලි සෝපානයට නැගී තෙවන මහල වෙත පැමිණ නිවසට ඇතුළු වූවාය.අනතුරුව දෑතේ දරාගෙන හිඳි බෑග් සියල්ල කෑම මේසය මත තබා ඒවායේ වූ දෑ එකින් එක පිටතට ගත්තාය.
උදෑසන ආහාරයක් දහවල් ආහාරයත් හැරුණු කොට තවත් බෑගයක වැඩිපුර අයිස් කෝපි බෝතලයක්ද, පලතුරු වර්ග කිහිපයක් සහ බිස්කට් වර්ග කිහිපයක් ද විය.ඒවා මේසය මතින් තබා ශෙනෝලි ඒ දෙස බලා උන්නේ හිස් හැඟීමකිනි. රිහාන් තමා වෙනුවෙන් මෙතරම් දෑ ගෙනවිත් තිබෙන්නේ කුමක් අරමුණු කරගෙන දැයි දෙගිඩියාවෙන් යුතුව ශෙනෝලි බොහෝ වෙලාවක් කල්පනා කළාය.
රිහාන් උදෑසන අට වන විට කොළඹ නගරය ආසන්නයේ පිහිටි කැෆේ එකක් වෙත පැමිණියේ ඉශිනි මුණගැසීමටය. උදෑසන අට වන විට පැමිණ සිටීමට පොරොන්දු වූ ඇය පැමිණ නොසිටි බැවින් ඇය වාහන තදබදයට හසුවී ඇතැයි සිතා රිහාන් කැෆේ එකට ඇතුළු වී කෙළවර මේසයක වාඩිවී බලා උන්නේය.
ඉශිනි ගෙන් දුරකථන ඇමතුමක් පැමිණියේ තවත් විනාඩි දහයකට පමණ පසුවය.තමා සිතූ පරිදිම ඇය වාහන තදබදයට හසුවී ඇති බව කියමින් තවත් විනාඩි පහක් ඉල්ලා සිටියාය.
තමා නුවර එළියට පිටත්ව යාමට පෙර මුණ ගැසිය යුතු යැයි ඇය පැවසුවේ පෙර දින රාත්‍රියේය. ඒ මුණගැසීම සඳහා තමා තුළ විශේෂ අකමැත්තක් නොවූ බැවින් තමා පැමිණි මේ ගමන පිළිබඳව රිහාන් බිඳක් වත් පසුතැවුණේ නැත.එහෙත් විස්තර කළ නොහැකි තරමේ කුමක්දෝ දෙගිඩියාවක් ඔහුගේ සිතට දැනෙමින් තිබුණි.පෙර දිනයේදී රිහාන් තුළ ඉශිනි කෙරෙහි පැන නැගුණු නොරිස්සුම ඒ වනවිට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබිණි.
ඉශිනි කැෆේ එක වෙත පැමිණෙන විට උදෑසන 8.30ට ආසන්න විය. ඇය පැමිණ සිටියේ කාර්යාලයට ද යාමට සූදානමින් වූ අතර ඇය වෙතින් පළවෙනි දිනයේ දුටු සුන්දරත්වයම ඒ මොහොතේදී ද නො අඩුවම පෙනෙන්නට තිබිණි. රිහාන් කෙළවර මේසයක වාඩි වී සිටිනු දුටු ඉශිනි පිරුණු සිනාවක් සහිතව පැමිණ ඔහු ඉදිරියේ වාඩි වූවාය.
” ගුඩ්මෝනින්. සොරි රිහාන් මං ටිකක් පරක්කු වුනා “
කිසිම අවස්ථාවක කිසිවෙකුත් වෙනුවෙන් බලා නොසිට ඇති රිහාන් ඉශිනි ගේ ප්‍රමාදය පිළිබඳව කෝපයට පත් වූයේ නැත.
” No worries. මම හිතන්නේ මම ටිකක් කලින් ආවා “
” කොහෙද ගියේ ඔයා උදෙන්ම ? “
” ශෙනෝලි ගේ ගෙදර “
ඉශිනි තප්පර කිහිපයකට ගල් ගැසී බලා උන්නාය. රිහාන් ඒ පිළිතුරු දුන්නේ ඉතාම සාමාන්‍ය ලෙසය. සමහර විට ඔහු ශෙනෝලි පෙර දිනයේ අසනීපයෙන් පසු වූ නිසා ඇයගේ සුව දුක් විමසන්නට ගොස් පැමිණියා විය හැකිය.
” ඊයේ බෑන්ඩ් මෙම්බර්ස්ලා කතා උනා අද ශෙනෝලි ගේ මීල්ස් ටික අපි ගිහින් දෙමු කියලා. අපේ අම්මා එයාට ලන්ච් හදලා දුන්නා.මං මේ ඒක දීලා එන ගමන් “
” අම්මාත් ශෙනෝලිව දන්නවද එතකොට ?”


