පසළොස්වක මල් – 39

0
996

” දුමී.. ! දුමී…!” 

සෙමින් සෙමින් කොපුලකට නැඟුණු තට්ටුවෙන් දෑස විවර කළ ඈ සිහින් කෙඳිරියක් නැඟුවාය. 

” දුමී.. ! ඔයාට කොහොමද ?” 

” සු..සුදු .. අයියේ..!”

” මොකෝ උනේ ?” 

වෙද නළාව යහන පසෙකින් තැබූ අෂ්මිල මුව පුරා සිනහවක් නඟමින් ඇසුවේය. වැතිර උන් යහනෙන් නැඟී සිටීමට වෙර ගත් තරුණියට උදව් දුන් මහීකා ඈ අසලම හිඳ සෙමින් සෙමින් ඇගේ හිස පිරි මැද්දාය. යහන අසලම වූ පුටුව තවත් ළං කොට හිඳ ගත් අෂ්මිල සීරුවට තරුණියගේ අතකින් අල්ලා ගත්තේය.

” නංගි ..! කැම්පස් එකේ මොනාහරි ප්‍රශ්නද ?” 

ඈ සෙමින් හිස සළා නැත යැයි පැවසුවාය.

” රැග් සීසන් එකත් ඉවරනේ ?” 

ඈ එයටද ඔව් යැයි පවසමින් හිස සැළුවාය.

” එහෙනං ..? මොකක්ද ප්‍රශ්නේ ?”

පිළිතුරු වෙනුවට දෙනෙතින් කඳුළු බිඳුවක් රූරා වැටුණි. අෂ්මිල මව දෙසට හැරුණු අතර ඈ දුක්මුසු බැල්මකින් දිගටම තරුණියගේ හිස පිරි මැද්දාය.

” ප්‍රශ්නයක් තියනවනං කියන්න නංගි. ඔයාට අපි පිට මිනිස්සු නෙමෙයිනේ..? මං බේත් ටිකක් දෙන්නං. දවස් දෙක තුනක් යනකන් රෙස්‍ට් කරන්න ඕනේ හොඳද ? “

වචනයෙන් පිළිතුරක් නුදුන් ඈ එයටද හිස සළා එකඟ වූවාය.

” අම්මට කෝල් එකක් දෙමුද පුතේ ?” 

” අනේ.. එපා ආන්ටී.. ! ඊට පස්සේ ඒ දෙන්නා ඔක්කොම වැඩ පැත්තක දාලා හෙට උදෙන්ම මෙහෙ දුවන් එයි. මං සුදු අයියා කිව්වා වගේ ටිකක් රෙස්ට් කරන්නං. ටිකක් නිදාගත්තනං හරි යයි” 

” මොනාහරි තිබ්බොත් ඕන වෙලාවක කතා කරනවා හරිද ?” 

මිහිදුමීගේ අතට තට්ටුවක් දැමූ අෂ්මිල හිඳ උන් අසුනෙන් නැඟිට සදළුතලය දෙසට අඩි තැබුවේය. 

” ලොකූ..!” 

” ආ..?” 

සදළුතලයේ සිට නිදන කාමරයේ වූ සියලු කතාබහට සවන් දී සිටි වැඩිමහලු සොහොයුරාගේ උවන දෙස බැලූ ඔහු සුසුමක් හෙළුවේය.

” ලොකු අවුලක් නෑ. “

” බෙහෙත් මොනාහරි පිටින් ගේන්න තියනවද?” 

” ඕන වෙන එකක් නෑ.. ඇඟේ ලෙඩ වලට නං කොයි ලෝකෙන් හරි බේත් ගෙනත් දෙන්න බැරියෑ. හිතේ ලෙඩ වලට තමා අපි ලඟ බේත් නැත්තේ. “

තම මුව දෙස කෙලින් බැලීමට අපහසුව සිටිනා සහෝදරයාගේ හැඟීම් හොඳින්ම තේරුම් ගත් ඔහු , නැවත යෑමට අඩිය ඔසවා යළිත් අස්නක දෙසට හැරුණේය.

” ලොකූ..!” 

”  ම්ම්..?” 

” අවුරුදු ගාණක් ලොකූ.. දැන්වත් ඇති නැද්ද? අඩු ගාණේ අම්මා වෙනුවෙන්වත් ? “

පිළිතුරක් නොදීම සෙල් පිළිමයක් සේ ගන අන්ධකාරය දෙස බලා සිටින ඔහුගෙන් තවත් වචනයක් බලාපොරොත්තු නොවූ අෂ්මිල සඳලුතලයට සමු දුන්නේය.

******************************************

” අක්කී…!” 

” චූටි පැටියෝ..! අනේ.. ඔයා ආවද?” 

වේගයෙන් දිව ආ කේලී වහා යහන මත වැතිර උන් මිහිදුමීගේ ඇඟට පැන්නාය.

” හා.. හා.. බබා..අක්කිට සනීප නෑ. ඇඟෙන් බහින්න.”

වහා යහන මත හිඳ ගත් මිහිදුමී නිදන කාමරයට පිවිසි උමන්දා දෙසත් තේජ් දෙසත් බලා සිනාසුණාය.

” ලඟට ආවට කමක් නෑ අක්කේ.. ඒ උණාට මට උණනේ. බබාට බෝ වෙයි” 

” ආ.. ඔය උණේ නං බෝ වෙන එකක් නෙමෙයි. ඒකත් මේ පොඩි එකීට කොහොමටවත් බෝ වෙන එකක් නෑ. “

මුව ඇද කර එසේ පැවසූ උමන්දා යහන මත හිඳ ගත් අතර අසල තිබූ පුටුව යහන අසලට ඇද ගත් තේජ් ඊට බර වුයේය.

” ඒ.. ! මොකෝ කේස් එක ?” 

තේජ්ගේ මුව දෙස එක එල්ලේ බැලීමට නොහැකි වූ මිහිදුමී වහා හිස බිමට බර කර ගත්තාය.

” මුකුත් නෑ අයියේ.. ටිකක් අසනීප උනා. “

” අසනීපයි කියලා ඉතිං අපිටත් පේනවනේ.. හදිස්සියෙ මොකද්ද උනේ කියලා අහන්නේ ?” 

පිළිතුරක් නුදුන් ඈ උමන්දා දෙස බලා නැවත උවන බිමට බර කර ගත්තාය.

” ඔයාලා කොහොමද දන්නේ මං අසනීපෙන් කියලා ?” 

” එක්කෙනෙක් වෙව්ල වෙව්ල කෝල් කළා. ඇවිල්ලා පොඩ්ඩක් හිත හැදෙන්න කතා කරන්න කියලා. “

උමන්දා ඇසක් ඉඟි මරමින් එසේ පැවසූ අතර මිහිදුමී තම තුරුළට වූ සිඟිත්තියගේ හිස පිරි මැද්දාය.

” නංගි..! වහලා ගහන්න දෙයක් නෑනේ? තමුසේ අපේ ලොකූට ලව්ද? “

තිගැස්සුණු විසල් දෙනෙතින් මඳක් ඉදිරියට ආ ඈ පැනය ඇසූ තේජ් දෙසත් උමන්දා දෙසත් බියෙන් මෙන් බැලුවාය.

” මොකද්ද අනේ ඔහොම අහන්නේ ? මේ කෙල්ල බය වෙනවනේ ?” 

” හරි .. හරි කියනවකෝ.. එහෙම දෙයක් තියනවද ?” 

” අ.. අයියේ.. මේ.. මං,.. මේ .. “

තේජ්ගේ පැනයට දිය යුතු වන්නේ එකම පිළිතුරකි. ඒ නම් ඔව් ය. එහෙත්.. මේ කිසිවෙකුත් නොදන්නා බරපතල කාරණයක අක් මුල් යළි යළිත් ඇගේ ගෙල මිරිකමින් සිටියේය.

” හරි.. හරි.. මේ අහනවකෝ..! ලොකුයි මායි පොඩි කාලේ ඉඳන් හැදුණේ එකට. අපි දෙන්නා ඉස්කෝලේ ගියේ එකට. ඌ කැම්පස් ගියා. මට යන්න බැරි උනේ ඒකට විතරයි. එහෙම උනා කියලා අපේ යාලුකමේ කිසි අඩුවක් උනේ නෑ නංගි. එදත් , අදත් , හෙටත් ඒක එහෙම්මම තමා. ඌ ගැන මං තරම් දන්න වෙන කෙනෙක් නෑ. ඌට කැම්පස් කොක්කක් හිටියා. “

හෘදස්පන්දනය වේගයෙන් වැඩි විණි. යළිත් වතාවක් සිහිමූර්ජා විය හැකි යැයි බිය වූ තරුණිය ආයාසයෙන් තේජ් දෙස හිස ඔසවා බැලුවාය.

” හැබැයි ඒක මහ ටොක්සික් කෑල්ලක්. “

ගැහෙන ළමැද මත දෑත තද කර ගත් ඈ බොහෝ අපහසුවෙන් තේජ්ගේ කතාවට සවන් දුන්නාය.

” මූව තියන් හිටියේ බෙල්ලට ලණුවක් දාලා. ඌට කාත් එක්කවත් කතා කරන්න බෑ. ,හිනා වෙන්න බෑ. , කොල්ලො එක්ක සෙට් වෙන්න බෑ. , කෙල්ලෙක් දිහා බලන්න බෑ. මේ යකා එක පාරක් බැච් ටොප් උනා. නංගි දන්නවද තමන්ගේ කොල්ලා බැච් ටොප් උනාම කෙල්ලෙක් කොච්චර සතුටු වෙන්න ඕනෙද කියලා ? ඒත්.. ඒකිට එහෙම කිසි හැපි එකක් තිබ්බේ නෑ. මූට සක්සස් වෙන්න ලැබෙන හැම පාරකටම ඒකි අකමැති උනා. වෙන මොකටවත් නෙමෙයි. මූට ඒකිව අතෑරෙයි කියලා. කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි වේවා තමන්ගේ පාට්නර් අඩියක් හරි ඉස්සරහට යනවා බලලා සතුටු වෙන්න ඕන එකේ ඒ කෙල්ල කළේම මූව ඒ හැමදේකින්ම පස්සට ඇදපු එක. ඒකිට ඕන උනේ මූව ඒකිගේ අල්ලේ නටවන්න. මේ ගොනා ඒකිට අහුවෙලා හිටියේ. කියන කියන විදිහට නැටුවා. කියන කියන විදිහට වියදම් කළා. ඕක පටන් ගත්තු මුල් කාලෙම අපි මූට කිව්ව ඕක හරියන මඟුලක් නෙමෙයි කියලා . 

ඒත් මුළු කැම්පස් එකේම කෙල්ලෝ මූට මැරෙද්දි මූ අර ටොක්සික් කෑල්ලට මැරෙන්න ගියා . මුගේ මොකක් හරි වාසනාවකට ඒ කෙල්ලව මොකෙක් හරි එකෙක් මැරුවා. ඒකිව විතරක් නෙමෙයි ඒකිත් එක්ක හිටපු කීප දෙනෙක්වම. ඒවට හේතු නං මං දන්නෑ. හැබැයි මේ හරකා ඒකෙන් සෑහෙන්න වැටුණා. එදා ඉඳන් ඉන්න විදිහ තමා ඔය. බොරු කියන්න ඕනේ නෑනේ.. අපි හැමෝම මූට කොහෙන්හරි කෙල්ලෙක් සෙට් කරන්න බැලුවා. ඒත්.. මූ අවුරුදු දහයක් තිස්සේ කෙල්ලෙක් දිහා බැලුවේවත් නෑ. පොඩි හරි ලයින් එකක් පෙන්නුවේ ඔයාට විතරයි. “

මිට මොළවාගත් දෑත තව තවත් තද කරමින් දෑසට උනන කඳුළු බොහෝ අපහසුවෙන් දරා උන් තරුණිය තේජ්ගේ වචන අවසිහියෙන් මෙන් අසා සිටියාය.

” ඒ කෙල්ල ඉන්නකනුත් මූව කාලකණ්නියෙක් කළා. මැරිලත් කරන්නේ ඒක. මේ බූරුවත් ඒකෙන් ගැලවෙන්න ට්‍රයි නොකර ඒකේම ගිලි ගිලි ඉන්නවා. “

” තේජ්..!” 

තේජ්ගේ කෝපය දෙගොඩ තලා යද්දී උමන්දා සීරුවට ඔහුගේ බාහුවට තට්ටුවක් දැමුවාය.

” තමුසේ ඌට කැමතියිනං කියනවා නංගි. අපි ඔක්කොමලා එකතු වෙලා තමුසෙට උදව් කරනවා. ඔයාට හිතෙන්න පුලුවන් අපි මේ අපේ එකාව ගොඩ දාන්න හදනවා කියලා. ඒත්.. ලොකූ කියන්නේ දාහකින් හොයාගන්න බැරි හොඳ කොල්ලෙක් නංගි. ඔයාට මේ ගැන කියන්නේ නිකන්ම නිකන් දේවල් නිසා නෙමෙයි. ඔයා අර ගමේ ගිය දවස් දෙක තුනෙත් මූ සෑහෙන්න අප්සට් එකේ හිටියේ. ඊටත් පස්සේ ඔයා මීෂා ගැන හිතලා මෙයා එක්ක කතා නොකර ඉන්නකොට මූ කළේම මහ රෑ වෙනකන් ක්ලබ් එකට ගිහින් බීපු එක. සිද්ධිය මොකද්ද කියලා නොදැන මං ගිහින් කීප සැරයක්ම මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවම මට දීපු උත්තරේ මොකද්ද දන්නවද ?

කතා කරන්නෑ මචං.. 

ඔන්න ඕක තමා කිව්වේ. අනික තව දෙයක්.. මේ ගැනනං ඔය දෙන්නා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් දැනගන්න බෑ. ආන්ටී මහීකාවත් බෑ.. තේරුණාද ? “

සැක සංකා පිරි දෑසින් තේජ්ගෙන් දෑස ඉවතට ගත් තරුණිය කලබලයෙන් උමන්දා දෙස බැලුවාය.

” එදා කේලිගේ කොන්සර්ට් එකට ගිහින් එනගමන් පොඩි අවුලක් ගියේ. ඊට පස්සේ ඔයාලා හැමෝවම ගෙදරට දාලා මූ ආයේ ඌව හොයන් ගියා. මොකක් හරි මඟුලක් තමයි කියලා හිතිච්ච නිසයි ගෙදරින් බහින්නැතුව මාත් මූ එක්කම එල්ලිලා ගියේ. මූ උගේ අත කැඩුවා නංගි. “

විසල් කරගත් දෙනෙතින් මිහිදුමී වහා උමන්දාගේ අත අල්ලා ගත්‍තාය.

” මුගේ අතින් ගහලමයි කැඩුවේ. අන්න එදයි මං මුගේ වෙනස දැක්කේ.. “

කඳුළු බිඳු කොපුල පුරා රූරා වැටෙද්දී ඈ අයා ගත් මුවින් වේගයෙන් හුස්ම ඉහල පහල දැම්මාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here