5th Avenue – 26

0
222

උදෑසන ආහාරයෙන් පසුව තේ පානය සඳහා තවත් වරක් නැවතී, අනතුරුව සමාජ මාධ්‍ය වල පළ කිරීම සඳහා ඡායාරූප කිහිපයක්ද ගෙන 5th Avenue සාමාජිකයන් නුවරඑළියට ළඟා වූයේ තවත් පැය කිහිපයකට පසුවය. පැය ගණනාවක වෙහෙස මහන්සිය සියලු දෙනා වෙතින් අතුරුදහන්ව ගියේ නුවරඑළියේ සීතල කාලගුණයත් සමගය. සංගීත උළෙලේ සංවිධායකවරුන් විසින් 5th Avenue සාමාජිකයන් සඳහා සූදානම් කර තිබුණු සුවිසල් හෝටලය ඉදිරිපිට නතර වූ වෑන් රථයෙන් සියලු දෙනාම බැසගත්තේ අවට පරිසරයේ වූ සීතල, පිරුණු හැඟීමකින් විඳ ගන්නා අතරේය.

” I don’t think my back is going to forgive me after this journey “

අශේන් දෑත් දෙපසට විහිදමින් වටපිට බැලුවේය. සුපුරුදු පරිදි සියල්ලෝම සිනාසනු අතර කලබලකාරී කොළඹ නගරයට වඩා හාත්පසින්ම සුන්දර වූ පරිසරය කාගෙත් සිත් ගත්තේ එසැණිනි. 

කණ්ඩායම් සාමාජිකයන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සංවිධායකවරුන් හෝටලයේ පහත මාලයේ බලා සිටි අතර ඔවුන් නැවුම් මල් කළඹවල් කිහිපයක් පිළිගන්වමින් සියලු දෙනාවම පිළිගත්තේ ඉතා උණුසුම්වය. අනතුරුව ඔවුන් විසින් කණ්ඩායම් සාමාජිකයන්ව කෝපි පානය සඳහා කැටුව ගියේ නුවරඑළියේ සීතල පරිසරයට ඉතා ඉක්මනින් හුරු වීම අසීරු බැව් දන්නා නිසාය.

5th Avenue සාමාජිකයන් කල්වේලා ඇතිව  නුවරඑළිය බලා පැමිණි බැවින් පෙර පුහුණුවීම් සහ සූදානම් වීම් සඳහා ඔවුන්ට ඕනෑවටත් වඩා කාලය හිමි වී තිබිණි. එබැවින් කිසිදු කලබලයකින් තොරව විවේක ගෙන ඉදිරි කටයුතු වෙත යොමුවීම සියලු දෙනාගේම සැලසුම විය.

” Please change and come down for lunch. We have arranged everything for you ” 

සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායකයකු මේඝ වෙත පැමිණ ඉතා මිත්‍රශීලී ලෙස පැවසූ අතර ඔහු එම ආරාධනාව පිළිගත්තේ ද ඉතා සතුටිනි. සියල්ල සැලසුම් කිරීමේ සිට මේ දක්වාම සංවිධායක මණ්ඩලය විසින් දැක්වූ සහයෝගය පිළිබඳව මේඝ ඇතුලු සියලු දෙනාම උන්නේ අතිශය පැහැදීමෙනි.

” Of course ” 

හෝටලයේ සේවකයන් කිහිප දෙනෙකු පැමිණ කණ්ඩායම් සාමාජිකයන්ගේ බඩු බාහිරාදිය ඔවුන් වෙනුවෙන් වෙන් කෙරුණු කාමර වෙත රැගෙන යාම සඳහා සහයෝගය ලබා දුන් අතර ශෙනෝලි ද ඇය වෙනුවෙන් වෙන් කෙරුණු කාමරය වෙතට යන්නට සූදානම් වූවාය.

” ශෙනෝලි අපි එන්නද ඔයාව රූම් එකට දාන්න ? ” 

හෝටලයේ සේවිකාවක් සමග කාමරය වෙතට යන්නට හැරුණු ශෙනෝලි නැවතී බැලුවේ මේඝ ගේ හඬටය. ඔහුට එහායින් සිට ගෙන රිහාන් ඇය දෙස බලා උන්නේ පිළිතුරක් බලාපොරොත්තු වෙනි.

” I can manage. Thank you Megha “

” ඒ උනාට අපිට ඔයා ගැන responsibility එකක් තියෙනවා “

මේඝ රිහාන් දෙස බලා නැවත ශෙනෝලි දෙස බලමින් පවසා අනවසරයෙන්ම ඉස්සර වූයේය. කොළඹින් පිට පැවැත්වෙන මෙවැනි සංගීත ප්‍රසංග වලදී සියලු දෙනාම එක්ව තමා පිළිබඳව මේ ආකාරයෙන් සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක් වූ බැවින් ශෙනෝලි මේඝ ගේ පැමිණීම වැළැක්වීම සඳහා ඉක්මන් වූයේ නැත. ඔහු හෝටලයේ සේවිකාව සමග කොරිඩෝව දිගේ ඉදිරියට පියවර තබා ගිය අතර ශෙනෝලි ඔහු පසු පසින් පියවර තබද්දී ඇයට සමාන්තරව පියවර තබමින් නිසොල්මනේ කාමරයේ දොර අසලට පැමිණ නැවතුනේය.

” මොන හරි තිබුණොත් ලෑන්ඩ් ලයින් එකෙන් කෝල් කරන්න මැඩම් “

සේවිකාව කාමරයෙන් නික්ම ගියේ ශෙනෝලි ගේ ගමන් මල්ලත් අත් බෑගයත් බෑග් තැබීම සඳහා වෙන්කර ඇති අවකාශයේ තැබීමෙන් පසුවය. 

මේඝ ජනේලය වෙත පැමිණ එය විවෘත කර අවට බැලුවේ උද්‍යෝගයෙනි.

” වාව්. ශෙනෝලිට නම් මරු විව් එකක් තියෙනවා. අපේ ඒවා කොහොමද දන්නේ නැහැ”

මේඝ ජනේලය එසේම තිබෙන්නට හැර කාමරය පුරා ඇවිද බැලූ අතර රිහාන් ජනේලය වෙත පැමිණ එය වසා දැම්මේය.

” ඔයා මේ සීතලට ටිකක් හුරු වෙනකන් දැනට ජනෙල් වහගෙන ඉන්න “

රිහාන් කාමරයෙන් පිටවන්නට සූදානම් වූ අතර ශෙනෝලි කිසිවක් නොකියා බලා උන්නාය. රිහාන් පිටව යන්නට සූදානම් වෙනු දුටු මේඝ ද ඔහු පසුපස පියවර තැබුවේය.

” මොනවා හරි තිබ්බොත් ටක් ගාලා කෝල් කරන්න ශෙනෝලි.චේන්ජ් කර ගෙන ටිකක් රෙස්ට් කරලා පැය දෙකකින් වගේ පල්ලෙහාදි හම්බවෙමු ලන්ච් වලට “

මේඝ එසේ පවසා කාමරයේ දොර වසා ගෙන රිහාන් සමග පිටව ගියේය. තමන් ඇතුළු කණ්ඩායම් සාමාජිකයන් නුවරඑළියට පැමිණි වග ඉශිනි හට කෙටි පණිවිඩයකින් සඳහන් කර යැවිය යුතු බවට රිහාන් හට සිහිපත් වූයේ ඒ මොහොතේදීය. ඒ වන විටත් ඇගෙන් කෙටි පණිවිඩ කිහිපයක්ම පැමිණ තිබුණු අතර ගමන ඇතුලතදී අඩ නින්දේ පසුවූ බැවින් දුරකථනය පරික්ෂා කිරීමට නොහැකි වීම පිළිබඳව රිහාන් තමා වෙතම දොස් පවරා ගත්තේය.

කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනාම වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් කාමර වෙන් කර තිබීම සියලු දෙනාටම ගෙන ආවේ පහසුදායක හැඟීමකි. මේඝ ඔහුගේ කාමරයට ඇතුළු වී දොර වසා ගත් පසුව රිහාන් තම කාමරයට පැමිණ ඉශිනි හට කෙටි පණිවිඩයක් යවා තබා නාන කාමරය වෙතට යාමට සූදානම් වන විටම යහන මත තබා තිබූ දුරකථනය නාද විය.

ඇමතුම පැමිණෙමින් තිබුණේ ඉශිනි ගෙනි.

” අනේ ඔයා කොහෙද රිහාන් හිටියේ ? “

” එනකොට ටිකක් නිදා ගත්තා ඉශිනි. දැන් තමයි අපි ශෙනෝලිවත් එයාගේ රූම් එකට දාලා අපේ රූම්ස් වලට ආවේ. හරිම ටයර්ඩ් ” 

ශෙනෝලි යන නාමය රිහාන්ගේ මුවින් පිටවීම පිළිබඳව ඉශිනි කිසිවක් කීවේ නැත. එය රිහාන්ගේ අපැහැදීමට ලක්වීමට හේතුවක් යැයි සිතමින් ඒ වෙනුවට ඇය කතාව වෙනතකට යොමු කරන්නට උත්සාහ කළාය.

” ඔහේ කොහොමද ? ” 

” Climate එක නම් මරු ” 

ගමන පිළිබඳව විස්තර රිහාන් ඉශිනි සමග බෙදා ගත්තේ වසර ගණනාවකට පසුව යුවතියක සමග තම පෞද්ගලික තොරතුරු බෙදා ගැනීමට හේතුව කුමක්දැයි කියා වත් හරිහැටි නොදැනය.ඉශිනි සමග ගොඩනැගෙමින් පවතින මේ බැඳීමට නමක් තැබීමට වුවමනා වුවත් එයට තව කාලයක් ගත කළ යුතු යැයි සිතමින් රිහාන් දුරකථන ඇමතුම අවසන් කළේ විවේක ගැනීමට තිබුණු දැඩි උවමනාව නිසාය.

පැයක් පමණ උණුසුම් වතුරෙන් ස්නානය කළ ශෙනෝලි නාන කාමරයෙන් පිටතට පැමිණියේ සැහැල්ලු හැඟීමෙනි. කාමරයේ වූ උණු වතුර කේතලය ක්‍රියාත්මක කර ඒ අසල වූ කෝපි පැකට්ටුවක් ගෙන කඩා කෝප්පයට දැමූ ඇය ජනේලය අසලට පැමිණියේ තුවායෙන් හිස පිහිදමිනි. 

බැලූ බැලූ අත පෙනෙන්නේ සිහින් මීදුමකින් වට වූ කඳු පන්තිය.පහලින් පෙනෙන ගෙමිදුල සැරසී ඇත්තේ විවිධාකාර පැහැයන්ගෙන් යුතු මල් පඳුරු වලින්ය. ඒ පැහැයන් පවා දෑස් වලට ගෙන එන්නේ සනීපයකි. ශෙනෝලි බොහෝ වේලාවක් ඒ දෙස දැඩි ලෝභකමකින් යුතුව බලා හිඳ රත් වී අවසන් වූ වතුර කේතලයෙන් උණු වතුර ස්වල්පයක් කෝප්පයට වක් කරගෙන කෝපි කෝප්පයක් සකස් කර ගෙන අනතුරුව කාමරයේ කෙළවරක වූ සුව පහසු අසුනට බර වූයේ ජංගම දුරකථනයද රැගෙනය.

දුරකතනයේ තිරය මත මුහුණු පොත වෙතින් ඇගේ නමට පැමිණි දැනුම් දීම් රාශියක් එක පේළියට තිබෙනවා ශෙනෝලි දුටුවේ දුරකථනය අතට ගනිද්දීමය. ඇය මුහුණු පොත විවර කළේ එතරම් දැනුම්දීම් රාශියක් පැමිණ ඇත්තේ ඇයි දැයි යන කුතුහලයෙනි.

ශෙනෝලි ගේ දෑස් පුදුමයෙන් මහත් වූයේ ඊළඟ තත්පරයේදීය. උදෑසන දී ඇය සමග ගත් ඡායාරූපය අශේන් විසින් ” On our way to Nuwaraeliya ” යනුවෙන් සටහන් කරමින් මුහුණු පොතට එකතු කර තිබූ අතර දන්නා නොදන්නා බොහෝ දෙනකුගෙන් එයට ප්‍රතිචාර ලැබෙමින්  තිබුණි.

“Not gonna lie, they actually look good together”

” Wait, Shenoli and Ashen ? ” 

” Festival couple loading ?? ” 

ශෙනෝලි සියල්ල කියවාගෙන ගියේ වෙව්ලමිනි. බොහෝ දෙනෙකු විසින් තවත් බොහෝමයක් එම ඡායාරූපයට යටින් සටහන් කර තිබිණි. ශෙනෝලි වහාම මුහුණු පොත වසා දමා අශේන්ගේ අංකයට ඇමතුමක් ලබා ගත්තේ නොඉවසිලිමත් හැඟීමෙනි.

දුරකථනය නාද වෙමින් පැවතුණු නමුත් අශේන් ඇමතුමට සම්බන්ධ නොවූ බැවින් ශෙනෝලි තවත් කිහිප වාරයක්ම ඔහුගේ අංකය ඇමතුවාය. එහෙත් විනාඩි ගණනාවක් යනතුරුත් ඔහු ඇමතුම හා සම්බන්ධ වූයේ නැත. 

ශෙනෝලි ගේ කාමරයේ දොරට යමෙකු තට්ටු කළේ ඇය නැවතත් මුහුණු පොතට පිවිසී ඡායාරූපයට යටින් වැටෙන ප්‍රතිචාර කියවෙමින් සිටියදීය.සැනෙකින් වාඩි වී හුන් තැනින් නැගී සිටි ඇය අඩියට දෙකට දොර වෙත ගොස් එය විවෘත කළාය.

” ශෙනෝලි ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here