රාත්‍රී දහය පමණ වනතෙක් විජේසිංහ නිවසේ දොඩමලු වූ තේජ් , උමන්දා තම සිඟිත්තිය ඊලඟ දිනයේ පෙර පාසල් යාමට තිබෙන බැව් කීප වතාවක්ම මතක් කිරීමෙන් අනතුරුව සහ යළි හෙට දිනයේද මිහිදුමී බැලීමට කැඳවාගෙන එන පොරොන්දුව මත බොහෝ අපහසුවෙන් ඈ නිවසට කැඳවාගෙන යාමට කැමති කර ගත්හ.
” කතා කරහන් ගිහින්..”
කිහිප වතාවක්ම මිතුරා වෙතින් ඈ හමුවන ලෙසට කළ ඉල්ලීම නිවසින් පිටත් වන විටත් ඒ ආකාරයටම ඔහු වෙත තැබූ තේජ් කිසිදු පිළිතුරක් නොමැති තැන ඔහුට ඔරවා මෝටර් රථය වෙතට ඇවිද ගියේය.
කෙතරම් ඇවිටිලි කළද මිහිදුමීගේ දුක සැප බැලීම තබා ඇගේ උවන හෝ දැකීමට ඈ වෙත නොගිය වැඩිමහලු පුත්‍රයා හා අමනාපෙන් වූ මහීකාද නින්දට සැරසී අවසාන වශයෙනුත් තරුණිය දැකීමට ඇගේ කාමරයට ඇවිද ආවාය.
” දුමී..!”
” ආන්ටී.. නිදාගන්නැද්ද ?”
” නිදාගන්න ඕනේ පුතේ. ඔයාට දැන් අමාරුවක් නෑ නේද ?”
” නෑ ආන්ටී.. බෙහෙත් වලට අඩුයි. “
” තේ එකක් හදලා ගෙනත් දෙන්නද පුතේ.?”
” එපා ආන්ටී. දැන් එපා. “
” ලොකුත් තාම රෑට කෑවේ නෑ. ඇහුවම කන්න බෑලු. කාමරේට වෙලා ඉන්නවා. මං නිදාගන්න යනවා පුතේ. ඔයාට මොනාහරි ඕන උනොත් මට කතා කරන්න. “
කිසිවක් නොපැවසූ ඈ හිස සළා එයට එකඟ වූ අතර පහත් වී ඇගේ නළල යන්තමින් සිප ගත් මහීකා ඇගේ හිසද දෙතුන් වරක් පිරිමැද පහත මහල කරා පිට වූවාය.
නින්දට කෙතරම් උත්සාහ ගත්තද මහීකාගේ වචන යළි යළි සිහියට නැඟෙන ඈ යහන මත හිඳ ගත්තාය.
” ලොකුත් තාම රෑට කෑවේ නෑ.. “
යන්තමින් සුළඟ සමඟ සඳලුතලය දෙසින් හමා එන නිකොටින් ගන්ධය හදවත යළිත් වරක් අවුළුවා දැමීමට සමත් විණි.
” මං මේ කරන දේවල් වලට මට සමාවෙන්න අක්කේ.. මං ගැනම මගේ හිතට දැනෙන මේ අනුකම්පාව මට දරා ගන්න බෑ. මට හිත හදාගන්න ටික කාලයක් දෙන්න..”
දෙනෙතින් ගලා යන කඳුළු බිඳු කිහිපයක් පිසළූ ඈ සෙමින් සෙමින් තරප්පු පෙළ බැස මුළුතැන්ගෙය වෙත ඇවිද ගියාය. අපහසුවෙන් වුවද තවමත් නිසි සවියක් නොමැති සිරුරද දරා ගනිමින් ඈ විදුලි කේතලයට වතුර දමා එය රත් වන්නට තැබුවාය. විනාඩි කිහිපයකට පසු තනි සුදු පැහැ තේ කෝප්පයට තේ එකක් සාදා ගත් ඈ යළිත් වරක් සෙමින් සෙමින් තරප්පු පෙළ නැඟීමට පටන් ගත්තාය.
සඳලුතලයේ ලී පුටුවට බර වී අත රැඳි දුම්වැටියේ අවසන් උගුරත් පානය කර හමාර කළ ඔහු යළිත් දුම්වැටියක් ගෙන දල්වා ළීමට සූදානම් වූයේය. නමුදු අනෙක් පස නිදන කාමරයේ සඳලුතලයේ ද්වාරය විවර වන හඬට ඔහු වහා පසුපස බැලුවේය. ලා රෝස පැහැයක් ගත් පිජාමා ඇඳුමක් හැඳ සිටි ඈ අපහසුවෙන් සෙමින් අඩි තබමින් අඳුරේම තමා වෙතට ඇවිද එනු දුටු ඔහු වහා හිඳ උන් අසුනෙන් නැඟී සිටියේය.
සෙමින් සෙමින් ඇවිද ආ ඈ අත රැඳි වූ තේ කෝප්පය ඔහු ඉදිරියේ වූ ලී මේසය මතින් තැබුවාය. ඉන් පසුව යළි හැරී නිදන කාමරය වෙතට අඩි තැබුවාය. මේසය මත ඇති තම තේ කෝප්පයත් , පිටව යන ඈ දෙසත් බැලූ ඔහු වහා ඉදිරියට විත් ඇගේ අතකින් අල්ලා ගත්තේය.
” දුමී..! ලෙඩ තියාගෙන ඇයි මහන්සි උනේ ?”
” බඩගින්නේ නිදාගන්න එපා. “
ඇගේ හඬෙහි කිසිදු ප්‍රාණවත් බව නොමැත.
” ඔ.. ඔයාට තාම සනීප නෑ.. “
” අසනීප බලන්න ආවේ නෑනේ ? තේ එක බොන්න . මං යන්නං “
බිමට බර කර ගත් හිසින් ඈ නැවත වතාවක් නිදන කාමරය වෙතට අඩි තබන්නට උත්සාහ කළද අල්ලාගත් අත අතහැරුණේ නැත. එකී අත එලෙසම තිබියදී ඔහුගේ අනෙක් අත නැවතුණේ ඇගේ නිකට මතය. හේ සෙමින් ඇගේ නිකටින් අල්ලා කුඩා උවන තමා දෙසට ඔසවා ගත්තේය.
” මාත් ඔය අසනීපෙට හේතුවක් නේද ? මංම අසනීප කරලා දැන දැනම ඇවිල්ලා හොඳයිද අහන්නේ කොහොමද ?”
” ඒක උනේ ඔයා නිසා නෙමෙයි. නිකන් අසනීප උනා එච්චරයි. “
පෙරළා කිසිවක් නොපැවසූ ඔහු එක දිගට ඇගේ උවන දෙස බලා සිටියේය.
” සොරි..!”
” මොකටද?”
” මං දවල් ඔයාට අනවශ්‍ය දේවල් ටිකක් කිව්වේ. ඒකට.. “
” මං ඒකට මුකුත් කිව්වේ නෑනේ..,”
” ඒක ඔයාගේ හොඳකම. ඔයා හොඳ වැඩියි අයියේ.. “
දෙනෙතින් ගලා එන කඳුළු බිඳු රූරා තවමත් නිකට මත ඇති ඔහුගේ අතට වැටිණි.
” අඬන්නෙපා.. ඔයා අසනීපෙන් දුමී ඉන්නේ.. “
ඔහු සෙමින් සෙමින් ඇගේ කොපුල මත වූ කඳුළු බිඳු පිස දැමුවේය.
” තේ එක බීලා නිදා ගන්න. “
” යනවද ?”
” හ්ම්ම්..”
” මාව දාලා යන්නෙපා. “
” ආ..?”
විසල් කරගත් දෙනෙතින් ඈ අඩ අඳුරේම ඔහුගේ උවන දෙස බැලුවාය. හෘදස්පන්දනය බොහෝ අධික වූ ඈ ගැහෙන හදවතින් සවනට වැටුණු වචනය විශ්වාස කර ගත නොහැකිව සිටියාය.
හේ සෙමින් සෙමින් පහත් වී ඇගේ උවන මතට බර වී ඇගේ සිනිඳු නළල් තලය මත තම නළල තැබුවේය.
” මාව දාලා යන්නෙපා මැණික..!”
” සමන් දෙයියනේ…!”
නොදැනුවත්වම ඈට විසල් හඬින් ඉකි ගැසුණාය. දෑතම ඇගේ බඳ වටා යැවූ ඔහු තදින් ඈ තම පපුවට තුරුළු කර ගත්තේය.
*****************************************
” දුමී..!”
” ආන්ටී එන්න..”
” දොස්තර මහත්තයත් එක්ක ආවේ.”
” ගුඩ් මෝනින් දුමී..!”
” ගුඩ් මෝනින් අයියේ..!”
” දැන් කොහොමද ?”
වෙද නළාව දෙසවන මත රඳවා ගනිමින් ඔහු ඇගෙන් ප්‍රශ්න කළේය.
” ඊයෙට වඩා හොඳයි.”
” හ්ම්ම්.. එහෙම එකක්නං තියනවා තමා. ඊයෙට වඩා නං හොඳයි. ඒ උනාට රෙස්‍ට් එකේ ඉන්න. අර දීපු බෙහෙත් වලට ඇඟ වෙව්ලනවා වගේ මුකුත් නෑනේ ?”
” නෑ අයියේ..”
” හ්ම්ම්.. එහෙනං ශේප්. “
” උදේට කන්න බත් ටිකක් ගේන්නද දුමී. ? ඊයේ රෑටත් පාන් නේ කෑවේ?”
” අමුතුවෙන් දේවල් හදන්න එපා ආන්ටි. තියන දෙයක් කමු. “
අෂ්මිලත් , මහීකාත් පිටව ගිය පසු මිහිදුමී යහනෙන් බැසීමට සූදානම් වුවද ඒ අතර වාරයේ ජංගම දුරකතනයේ කෙටි පණිවිඩයක් සටහන් වූයේය.
” Good morning ..! මං ඇතුළට එන්නද ?”
දෛවය මේ තරම් තමාට කුරිරු වන්නේ මන්දැයි තරුණියට ඉබේටම සිතුණාය. පෙරදින ඔහුගේ වදනුත් ඉන් පසුව එළැඹෙන , මේ ගෙවන සෑම මොහොතක්ම මීට දිනකට පෙර වූවා නං තමා මෙලොව සිටින වාසනාවන්තම එකිය බව ඈ අවිවාදයෙන් යුතුව පිළිගන්නීය. නමුදු වාසනාව කියන දෙය තමාගේ දෛවය තුළ වැරදීමකින් හෝ සටහන් වී නොමැත. තමා තවමත් කුඩා කළ ඥාතීන්ගේ දොස් පරොස් වලටත් , ඇනුම් බැනුම් වලටත් අප්‍රමාණව මැදි වූ මූසල කෙල්ලම පමණක් බව ඈ පෙර දින රාත්‍රියේ මුළුල්ලේම සිතුවාය. විසල් සුසුමක් අත හැරි ඈ දුරකතනය අතට ගෙන කෙටි පණිවිඩයක් තැබුවාය.
” okay ..”
තත්පර කිහිපයකට පසු තද කළු පැහැ දිගු කලිසමකින්ද , සුදු පැහැ අත් දිගු කමිසයකින්ද සැරසී නිදන කාමරයට තුළට පිවිසි සන්සුන් තරුණයා දුටු ඇගේ සිත නැවත වතාවක් ඇතුළාන්තයෙන්ම හීල්ලිණි. මනා කොට උස මහත , පිළිවෙල සියල්ල ගලපා ගාම්භීර අන්දමට පුරුෂාධිපත්‍යයේ හැඩ මනා කොට ඉස්මතු කර ඇඹුවාවූ රන් පිළිමයක් සේ ඔහු ඈ ඉදිරියේ සිට ගෙන සිටියේය.
ඈ යහන මත මඳක් පසෙකට වූ අතර ඔහු සෙමින් එහි හිඳ ගත්තේය.
” දැන් කොහොමද ?”
” ඊයෙට වඩා හොඳයි. “
දෑස ඔහු වෙත එක එල්ලේ විතැන් වීම අසීරුවෙන් නවතා ගත් ඈ ඇසෙන නෑසෙන ආකාරයට පිළිතුරු බැන්ඳාය.
” ඔයා යන්නද ?”
” හ්ම්ම්.. අද මිනිස්ටර් කෙනෙක් එනවා. කාලෙකට කලින් දාපු එපොයින්මන්ට් එකක්. මට ඉන්නම වෙනවා. “
” හ්ම්ම්.. “
කලකිරීමක් , වේදනාවක් පිරී තිබුණු හදවතේ ඔහුගේ නික්ම යෑමේ පණිවිඩයද තවත් දුකක් ගෙන ආවේය.
” ඔයාට මොනා හරි ඕනෙද ?”
ඔහුගේ දෑස එක එල්ලේ තමා මතම වැටී ඇති බව තේරුම් ගත් යුවතිය ඒ දෙස කෙලින් බැලීමට නොහැකිව ඔහු ඇසූ පැනයට ඉවත බලමින්ම හිස දෙපසට සෙලවූවාය.
” මොනා හරි ඕන උනොත් අම්මට කියලා ඉල්ලගන්න. “
ඈ ඊටද හිස සළා එකඟ වූවාය. තත්පර කිහිපයක් ඈ දෙස එක දිගට බලා සිටි ඔහු සෙමින් ඇගේ සීතල ඇඟිලි කිහිපයක් තම අතෙහි දවටා ගත්තේය. එකී ස්පර්ශයෙන් සියොළඟම හිරි වැටී ගිය ඈ විසල් සුසුමක් ඉහලට ඇද්දාය.
” මාත් එක්ක තරහින්ද ඉන්නේ ?”
” නෑ..”
” එහෙනං මූණ බලන්නැත්තේ?”
තරුණිය හට නැවත වතාවක් හීල්ලිණි.
” ඔය මූණ දිහා බලන්න මට හයියක් නෑ දෙයියනේ..”
යටි සිතින් එසේ සිතමින් වුවද ඈ බොහෝ අපහසුවෙන් හිස ඔසවා ඔහු දෙස බැලුවාය.
” මොනාහරි ඕන උනොත් මැසේජ් එකක් දාන්න. නොකා ඉන්නෙපා. මල්ලි ඇවිත් බැලුවා නේද ? මං දවල් වෙන්න කලින් එන්නං”
ඔහුට නික්ම යාමට අවසර දී ඈ සෙමින් ඇගේ අතැඟිලි ඔහු අතින් මුදවා ගැනීමට සූදානම් වුවද ඔහු එය අත නොහැරම ඈ මුව දෙස බලා සිටියේය.
” ප.. පරක්කු වෙන්නැද්ද ?”
සිහින් සිනහවක් මුවඟට නඟා ගත් ඔහු වහා ඇගේ සවනක් අසලට පහත් වූයේය.
” කිසිම දෙයක් ගැන හිතන්නේ බලන්නේ නැතුව පුලුවන් තරම් හිතුවක්කාර වැඩ කරලා , මාව අල්ල ගත්තටත් පස්සෙද මූණ දිහාවත් බලන්න බැරි තරමට ලැජ්ජ වෙන්නේ. ? ම්ම්ම්..?”
නැවත වතාවක් සියොළඟම හිරි වැටී යද්දි ඔහු හිඳ උන් යහනෙන් නැඟී සිටියේය.
” ඕන දෙයක් තිබ්බොත් කතා කරලා කියන්න. “
දෑතම දෙපස සාක්කු වල බහා ගත් ඔහු ඇගෙන් දෑස ඉවතට නොගෙනම පැවසූ අතර සුපුරුදු ලෙසම ඈ හිස දෙපසට සැලුවාය.
” පරිස්සමින් යන්න.. සමන් දෙයියන්ගේ පිහිටයි..!”
නැවත වතාවක් කලාතුරකින් ඇදෙනා මුව මත සිහින් සිනා රැල්ලක් නැඟුණේය.


