සන්ධ්‍යාව ගෙවී ගියේ ඉතා සෙමෙනි. 5th Avenue කණ්ඩායම සංවිධායකවරුන් කිහිප දෙනෙක් සමග සංගීත උළෙල පවත්වන්නට නියමිත පරිශ්‍රය සඳහා පැමිණියේ ඒ වන විටත් එහි පෙර සූදානම් කටයුතු ආරම්භ වී තිබුණු බැවිනි. වේදිකාව සහ ආලෝකකරණය ඇතුළු කටයුතු කිහිපයක් ඒ වන විටත් සූදානම්ව අවසන්ව තිබිණි. අනුග්‍රාහක බව තුන් කිහිපදෙනෙකුද සැරි සරමින් තිබුණු පරිශ්‍රයේ ශෙනෝලි එහා මෙහා ඇවිද ගියේ පරිසරයේ ඇති සීතල බව නිසා දැනෙන සනීප දායක හැඟීම විඳ ගන්නා අතරේය.
සංගීත උළෙල පැමිණෙන පරිශ්‍රය වෙත පැමිණි 5th Avenue සාමාජිකයන් වේදිකාව මතට නැග අවට බැලුවේ ඉදිරියෙන් පෙනෙන ප්‍රේක්ෂකාගාරය දැනටමත් පිරී ඉතිරී ගොස් ඇති බව තම සිත් වලින් මවා ගනිමිනි. පළවන දිනය සඳහා වෙන්කර ඇති ටිකට් පත් දැනටමත් විකිණී අවසන්ව ඇති බැවින් ඒ සඳහා විශාල පිරිසක් පැමිණෙන බව සංවිධායකවරුන් විසින් කණ්ඩායම් සාමාජිකයන් දැනුවත් කර තිබීම නිසා ඔවුන් ඒ පිළිබඳව උන්නේ අතිශය උද්යෝගයෙනි.
ශෙනෝලි සංවිධායකවරුන් සහ තාක්ෂණවේදීන් මුණගැසෙමින් සියල්ල හරියාකාරව සිදු වනවා දැයි සැක හැර දැන ගත්තේ එය තම රාජකාරියේ කොටසක්ව තිබූ බැවිනි. එළඹෙන දිනයේ උදෑසන අවසාන පෙර පුහුණු වීම පැවැත්වීමට නියමිතව තිබෙන නිසා කණ්ඩායම් සාමාජිකයන් හට කිසිදු අපහසුතාවයක් ඇති නොවන පරිදි සියල්ල සූදානම් කර තිබිය යුතු බවට ඇය වග බලා ගත්තාය.
” හැමදේම හෙට උදේ වෙනකොට ලෑස්ති වෙලා ඉවර වෙනවා ශෙනෝලි. Lightnings පවා අද රෑට ඉවර කරනවා ”
සංවිධායකවරයකු ශෙනෝලි වෙත පැමිණ පැවසුවේ ඇය සියල්ලක් පිළිබඳවම විමසිල්ලෙන් සොයා බලන බව නිරීක්ෂණය වූ පසුවය.
” මට අන්තිම මොහොතේ සප්‍රයිස් නම් එපා ”
ශෙනෝලි සිනාසුනේ ඒ වන විටත් ඇත්ත වශයෙන්ම විශේෂයෙන් දක්වන්නට තරම් සැලසුම් කටයුතු වල අඩුපාඩුවක් නොදුටු බැවිනි.
” බයවෙන්න එපා හැමදේම අපේ ප්ලෑන් එකටම වෙනවා. ඒකයි අපි ඔයාලටත් කලින්ම එන්න කිව්වේ “
වේදිකාව මත සිටි රිහාන් දෑස් කරකවා අවට බලද්දි සංවිධායකවරයෙකු සමග කතාබහේ යෙදී සිටින ශෙනෝලිව දුටුවේ අහම්බෙනි. සැහැල්ලු දිගු ගවුමක් උඩට ජර්සියක් හැඳ අයිස් තොප්පියක් පැළඳ සිටින ඇය වෙතින් දිස්වන ළාබාල පෙනුම දෙස රිහාන් මොහොතක් බලා උන්නේය. දෙමව්පියන් දෙදෙනා අහිමිව බොහෝ දුක් විඳි යුවතිය ජීවිතයේ තනිවම ඉදිරියට පැමිණ ඇති ආකාරය පුදුම සහගතය. කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව වුවද ඇය තම දෙපයින් සිටගෙන සිටියි.
” ශෙනෝලි හරි කියුට් නේද ? ”
රිහාන් තිගැස්සී ගියේ අශේන් ගේ හඬටය.ඔහුද රිහාන් අසලට පැමිණ ඈතින් පෙනෙන ඇය දෙස බලා හිඳි බව රිහාන් දුටුවේ ඒ මොහොතේදීය. කිසිවක් නොකියූ රිහාන් මද සිනහවක් පමණක් පා ශෙනෝලි වෙතින් දෑස් මෑත් කර ගත්තේ වරදකාරී හැඟීමෙනි.
පැයකට පමණ පසුව කණ්ඩායම් සාමාජිකයන් රැගත් වෑන් රථය ග්‍රෙගරි වැව ආසන්නයේ නතර වූයේ රියදුරු තරුණයා සවස් යාමයෙහි එහි ඇති සුන්දරත්වය ගැන සිහිපත් කිරීමෙන් අනතුරුවය. ඒ සඳහා අන් අයගේද විරෝධතාවයක් නොවූ බැවින් ග්‍රෙගරි වැව ආසන්නයේ නතර වූ වාහනයෙන් සියලු දෙනාම බැස ගත්තේ ඉතා ආසාවෙනි.
” Let ‘ s take some photos “
සිහින ඉස්සර වූයේය. ඒ අනුව අන් අයද ඔහුට එකතු වූ අතර කණ්ඩායමේ ෆේස්බුක් පිටුවේ පළ කිරීම සඳහා ඡායාරූප කිහිපයක් ලබා ගැනීමෙන් අනතුරුව ඒ ස්ථානයේ සිටි කිහිප දෙනෙකුද ඔවුන් සමග ඡායාරූප ලබා ගැනීම සඳහා පැමිණියහ.බොහෝ දෙනෙකුට වුවමනා වූයේ රිහාන් සහ අශේන් සමග ඡායාරූප ලබා ගැනීමටය.ඔවුන් තම රසිකයන්ගේ කැමැත්ත වෙනුවෙන් ඉඩ ලබා දුන්නේ ඉතා නිහතමානීවය.
ඔවුන් නැවත හෝටලයට පැමිණෙන විට අවට පරිසරය අඳුරෙන් වෙලාගෙන තිබිණි. ඈතින් පෙනෙන බොහෝ කඳු මුදුන් මීදුමෙන් වැසී ගොස් තිබුණු අතර සීතලද උත්සන්න වෙමින් පැවතිණි. දිගු දිනයක අවසානය සනිටුහන් කරමින් සියලු දෙනාම තම කාමර වෙත ගියේ රාත්‍රී ආහාරයට පැමිණීමට සූදානම් වීම සඳහාය.
කතා කරගත් වේලාවටම සියලු දෙනාම රාත්‍රී ආහාරය සඳහා පහත මාලයට පැමිණියේ රාත්‍රී 8.30 පමණ වන විටය. සංවිධායකවරුන් නැවත හෝටලය වෙත නොපැමිණි බැවින් රාත්‍රී ආහාරය සඳහා පැමිණ සිටියේ කණ්ඩායම් සාමාජිකයන් පමණි. එවැනි අවස්ථා ඔවුන් හට ඉතාම සාමාන්‍ය බැවින් ඉදිරි කටයුතු සහ ප්‍රසංග පිළිබඳව කතාබහ කරනවා වෙනුවට ඉතා සාමාන්‍ය කතාබහක් සහ විහිලු තහලු වලින් කෑම මේසය පිරී ඉතිරෙන්නට පටන් ගත්තේ සුළු මොහොතක් තුළදීය.
අශේන් සුපුරුදු පරිදි සියලු දෙනාවම සිනහ සාගරයේ ගිල්වමින් පසු වූ අතර රිහාන් සිතිවිල්ලේ තම කෑම වේල පිළිබඳව අවධානය යොමු කරමින් ආහාර ගනිමින් උන්නේය.මේඝ රාත්‍රී ආහාරයෙන් පසුව පානය කිරීමට කෝපි ඇනවුම් කළේ දරා ගත නොහැකිව තිබෙන සීතල පිළිබඳව පැමිණිලි කරමිනි.
සියල්ලෝම තම කාමරවලට නැවත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබිණි.එළැඹෙන්නට නියමිත දින බොහෝ කාර්යබහුල වීමට නියමිත බැවින් හොඳින් විවේක ගැනීම සියලු දෙනාගේම අරමුණ විය.ශෙනෝලි තමාට වෙන් වූ කාමරයට පැමිණ ජනෙල් තිර රෙදි වලින් කාමරය අඳුරු වන්නට හැර තමාට නුපුරුදු වූ යහනට පැමිණ ඉතා ඝණ බ්ලැන්කට්ටුව තුළට ගුලි වූයේ සුව නින්දක් අපේක්ෂා කර ගෙනය.
එහෙත් පැයක් පමණ ගතවන තුරුත් ශෙනෝලි බලාපොරොත්තු වූ නින්ද ඇය කරා පැමිණියේ නැත. අනතුරුව ඇය අසල වූ ජංගම දුරකථනය ගෙන වේලාව පරීක්ෂා කර බලද්දී අලුයම එකයි දහය ලෙස එහි සටහන් වී තිබිණි.දිගු සුසුමක් හෙලා යහනෙන් බැස ගත් ශෙනෝලි ජනේලය අසලට පැමිණ තිර රෙදි මෑත් කර ජනේලය විවෘත කලාය. පහලින් පෙනෙන සුන්දර ගෙමිදුලෙහි තැනින් තැන කුඩා විදුලි පහන් දැල්වෙමින් තිබුණු අතර ඒවායෙහි මද එළිය ගෙමිදුලට එකතු කර තිබුණේ අමුතුම සුන්දරත්වයකි.
හදිසියේ සිතට නැගුනු සිතිවිල්ලකට අනුව ශෙනෝලි ඇඳුම් රාක්කය මත දමා තිබුණු ජර්සිය ගෙන එය තම වතට දමා ගන්නා අතරේ කාමරයේ දොර විවෘත කරගෙන පිටතට පැමිණ විදුලි සෝපානය ඔස්සේ පහත මාලයට පැමිණියාය. තම කාමරයේ ජනේලයෙන් පෙනුණු ගෙමිදුලෙහි සුන්දරත්වය වඩාත් සමීපව සියැසින් දැකගනු පිණිස ශෙනෝලි කුඩා ගල් අතුරා තිබුණු අඩි පාර දිගේ ඉදිරියට පැමිණියේ දෑත් බැඳ තව තවත් තමා වෙත ගුලි කර ගනිමිනි.
විශාල ගෙමිදුලෙහි එක් කෙළවරක යමෙකු එහා මෙහා ඇවිදින ආකාරය ඇය දුටුවේ අහම්බෙනි. ශෙනෝලි ඉදිරියට තබන්නට ගිය පය නතර කර ගනිමින් වඩා විමසිල්ලෙන් බැලූයේ හඬක් නොනැඟෙන පරිදිය.
” රිහාන් “
රිහාන් උන්නේ දුරකථන ඇමතුමකය. අඩි ගණනාවක් ඈතින් හුන් ඔහු වෙතින් නැගෙන සිනා හඬ ශෙනෝලි සිටින ස්ථානයට ද යන්තමින් ඇසිනි. ඔහු තම දුරකථනය කණට තදකරගෙන ගෙමිදුලෙහි ඈත කෙළවර එහා මෙහා ඇවිදිමින් සිනාසෙමින් යමෙකු හා කතා කරමින් හිඳීයි.තත්පර ගණනාවක් ඇතුළත ඔහු ඒ සිනාසෙමින් කතා කරමින් හිඳින්නේ කවුරුන් සමග දැයි ශෙනෝලි අනුමාන කර ගත්තාය.
” ඉශිනි “
තම ආත්මයම දෙපා මුලට කඩා වැටෙන්නා සේ දැනෙද්දී ශෙනෝලි ඒ ආසන්නයේම වූ බංකුවක් මත වාඩි වූයේ තමා එහි සිටිනා බවක් හෝ රිහාන් හට නොදැනෙන පරිදිය. දෑස් කඳුළින් පෙනී යන බව දැනෙන විට ඇය ඒ කඳුළු වලට නිදහසේ ගලා යන්නට ඉඩ හැරියේ ඒවාට හේතුව වත් සිතන්නට නොනැවතෙමිනි.
රිහාන්ගේ මුවින් පිටවන වචනයක් හෝ පැහැදිලිව නෑසුනත් ඔහුගේ මුහුණේ රැඳී ඇති සිනහව ශෙනෝලි පැහැදිලි ලෙසම දුටුවාය.එහි වූයේ අව්‍යාජ ආදරණීය බවකි. මෙවන් රාත්‍රියක නිදි වර්ජිතව ඔහු දුරකථන ඇමතුමක රැඳී ඉන්නේ ඔහුට විශේෂ වූ අයෙක් සමග මිස මිතුරෙකු සමඟ විය නොහැකි යැයි සිතමින් ශෙනෝලි තම කම්මුල් දිගේ රූරා යන කඳුලු අත්ලෙන් පිස දා ගත්තාය.
ඊළඟ තත්පරයේදී ඇය තම දෑස් රිහාන් වෙතින් මෑත් කර ගත්තේ රිහාන් මේ තරම් සන්තෝසයෙන් දුරකථනයෙන් යමෙකු හා කතාබහ කරනු දැකීම තම සිතට වේදනාවක් සහ අපහසුතාවයක් ගෙන දෙන්නේ ඇයි දැයි සිතමිණි.නමුත් තම සිත තුළ නැගුනු පැනයට පිළිතුරක් ශෙනෝලි හට බොහෝ වේලාවකට පසුව වුවත් ලැබුණේ නැත.
දුරකථන ඇමතුම අවසන් කළ රිහාන් තම දුරකථනය සාක්කුවට දමා ගන්නා අතරේ ගල් ඇතිරූ කෙටි අඩි පාර දිගේ ඉදිරියට පැමිණෙන විට ඒ අසල වූ බංකුවක වාඩි වී ඈතක් බලාගෙන හිඳි ශෙනෝලි ව දැක නතර වූයේ පුදුමයෙනි.
” ශෙනෝලි ? ”
ශෙනෝලි තිගැස්සී වාඩිවී හුන් තැනින් නැගී සිටියේ නිරායාසයෙනි. ඇගේ මුහුණේ වූ අපැහැදිලි බව, එහි වූ ශෝකය සහ අස්ථාවර බව රිහාන් හඳුනා ගත්තේ මොහොතක් දෙකක් ගෙවී යන විටය.
” ඔයා මෙච්චර වෙලා මෙතනද හිටියේ ? ”



