5th Avenue – 29

0
520

රිහාන් ශෙනෝලි දෙස බැලුවේ ආයාසයෙන් මවාගන්නා ලද මදහසකිනි. කිසිවෙකුත් හිඳී වී යැයි බලාපොරොත්තු නොවූ ගෙමිදුලෙහි මෙතෙක් වේලා ශෙනෝලි හිඳ ඇත.එයද අතිශය සීතලක ගිලුනු අළුයම් කාලයකය.

” මට නින්ද ගියේ නෑ “

රිහාන් එයට පිළිතුරක් දෙන්නට පෙර අවට බැලුවේය. අඳුරෙන් සහ නිහඬතාවයෙන් පිරුණු හෝටලයේ ඇතුළත විදුලි පහන් බොහෝමයක් පවා තිබුනේ නිවී ගොසිනි.ගෙමිදුලට පිවිසෙන දොරටුවෙහි සිට ගල් අතුරන ලද කුඩා අඩි පාරෙහි පමණක් ලා එළියක් සහිත විදුලි පහන් දැල්වෙමින් තිබුණි. ශෙනෝලි තම දෑත් තවත් තමා වෙතට තද කර ගත්තේ පරිසරයේ වූ සීතල දැඩිවෙමින් පැවතුනු නිසාය. 

” ඔයාට තිබුනනේ කාටහරි කතා කරන්න ? ” 

” For what ? ” 

“So you wouldn’t have to sit here alone. ” 

රිහාන් ශෙනෝලි ට මෙහායින් වාඩි වූ අතර ඇය බැල්මකින් වත් රිහාන් දෙස නොබලා ඉන්නට ප්‍රවේසම් වූවාය.

” මං මෙතන ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න හිතුවේ නැහැ “

රිහාන් ශෙනෝලි දෙස බැලුවේ උවමනාවෙනි. ඇගේ දෑස් වල මෙන්ම මුහුණේද තිබූයේ අතිශය විඩාබර බවකි. සමහර විට ඒ ඇය නිදි වර්ජිතව සිටි නිසා යැයි රිහාන් අනුමාන කළේය.

” ඔයා දැන් ඇතුලට ගියා නං හරි.එළියේ හරිම සීතලයි “

ශෙනෝලි රිහාන් දෙස බැලුවේ පුදුමයෙනි. 

” ඉතින් ඔයත් ඉන්නේ එලියේ නේ ? “

” I was on a call ” 

රිහාන් ඉදිරිය බලාගෙන පිළිතුරු දුන්නේය.එය තමා පැහැදිලිව දුටු බැවින් අමුතුවෙන් කිව යුතු නැතැයි ශෙනෝලි සිතුවාය. එම සිතුවිල්ල පවා ඇය වෙත ගෙන ආවේ අපහසුවකි.

” With Ishini ? ” 

ශෙනෝලි බලාපොරොත්තු නොවූ ආකාරයෙන් එවදන් ඇගෙන් පිටවූයේ නිරායාසයෙනි. ඊළඟ නිමේෂයේදීම රිහාන් ඇය දෙස බැලූ ආකාරයට ඇය තමා විසින් පිටවූ වචන පිළිබඳව පසුතැවිලි වූවාය. ශෙනෝලි වහාම ඉවත බලා ගත්තේ ඔහුගේ බැල්ම මගහැරීමටය. නමුත් රිහාන් ඉවත බැලූයේ නැත.

” එයා කෝල් කරා. ඉතින්.. අපි නිකන් කතා කර කර හිටියා “

සැඟවීමට යමක් නොමැති හෙයින් රිහාන් පිළිතුරු දුන් අතර ශෙනෝලි නැවතත් මද සිනහවක් පමණක් මුවගට නගා ගත්තාය.

” You don’t have to explain “

අනතුරුව එළඹි මොහොතේදී දෙදෙනාම අතර වූයේ දිගු නිහැඬියාවකි. රිහාන් සහ ඉශිනි අතර වූ දුරකථන ඇමතුම අතිශය පෞද්ගලික එකක් වූ හෙයින් තමාට ඒ පිළිබඳව වචනයක් හෝ නොපවසා ඉන්නට තිබුණා යැයි ශෙනෝලි නැවත නැවත සිතුවේ රිහාන් තමා කෙරෙහි නොරිස්සුමට පත් වී ඇත්දැයි සැකයෙනි.ඒ දුරකථන ඇමතුම තමා වෙත ගෙන එන්නේ රිදුමකි. එය පහසුවෙන් උහුලා සිටිය හැක්කක්ද නොවේ. එහෙත්, ඔහුගේ හිත නතර වී ඇත්තේ එතන නම් තමාට කළ හැකි කිසිවක්ද නැත.

” මං රූම් එකට යනවා රිහාන් ” 

ශෙනෝලි හදිසියේම වාඩිවී හුන් තැනින් නැගී සිට දෑත් බැඳ ගත්තාය. 

” ශෙනෝලි ? ” 

රිහාන් ගේ හඬට ශෙනෝලි ඉදිරියට තැබූ පය නතර කර ගත් නමුත් ඔහු දෙස තප්පරයකටවත් නොබැලූවාය.

” තාම වෙලා නැති දේවල් ගැන හිත හිත ඇහැරගෙන ඉන්න එපා ශෙනෝලි ” 

රිහාන් සරල වචන වලින් පැවසුවේ ගැඹුරු අර්ථයක් ඇති යමකි. ඔහු එවැන්නක් පැවසුවේ ඇයි කියාවත් විමසන්නට නොනැවතුණු ශෙනෝලි හැකි තාක් වේගයෙන් පියවර තබා හෝටලය තුළට පැමිණ විදුලි සෝපානය ඔස්සේ තම කාමරයට පැමිණි දොර වසා ගත්තේ දිගු සුසුමක් හෙළමිනි.

පසුදිනට එළිවන්නට තිබූයේ පැය කිහිපයක් වූ නමුත් තමා කරා නින්ද පැමිණියේ කොයි මොහොතේදීදැයි මතකයක් ශෙනෝලි තුල වූයේ නැත. විවේකයක් ලබන්නට තරම් ප්‍රමාණවත් නින්දක් නොලැබූ නමුත් ඇය අවදි වූයේ උදෑසන හතටත් පෙරය. උදෑසන අටවන විට උදෑසන ආහාරය සඳහා එක් වන්නට පෙර දිනයේදී කණ්ඩායම් සාමාජිකයන් කථිකා කරගෙන තිබුණු බැවින් ශෙනෝලි වහාම යහනෙන් බැස උණු වතුරෙන් ස්නානය කර සූදානම් වූයේ දිගු දවසකට මුල පුරන්නටය.

” තාම වෙලා නැති දේවල් ගැන හිත හිත ඇහැරගෙන ඉන්න එපා “

රිහාන් විසින් අවසානයට පැවසූ වදන් සිතින් අමතක කර දමන්නට ශෙනෝලි වෙර දැරුවත් ඒවා නැවත නැවත ඇය ගේ මතකයට පැමිණියේ නිරායාසයෙනි. ඒ මැදින් ඇයට වුවමනා වූයේ තම රාජකාරිය කෙරෙහි අවධානය යොමු කරන්නටය.

උදෑසන ආහාරයෙන් පසුව 5th Avenue සාමාජිකයන් සියලුම දෙනා සංගීත උළෙල පැවැත්වෙන පරිශ්‍රයට පැමිණියේ උදෑසන දහය වන විටය. ගතවී ගිය දිනයට වඩා සැලසුම් කටයුතු බොහෝමයක් ඒ වනවිට අවසන් වී තිබුණු බැවින් පෙර පුහුණුවීම් පැවැත්වීමට වේදිකාව සූදානම් වී තිබිණි.

අශේන් වේදිකාව මතට නැඟුනේ සන්තෝෂයෙනි. අනෙක් කණ්ඩායම් සාමාජිකයන්ද වේදිකාව මතට පැමිණ තමන් වෙත වෙන් කර තිබෙන ස්ථාන වලට ගොස් පුහුණුවීම් ආරම්භ කිරීමට යුහුසුළු වූහ. ශෙනෝලි සහ මේඝ සංවිධායකවරුන් හමුවී අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළේ හෙට දිනයේදී ආරම්භ වීමට නියමිත සංගීත උළෙල තව තවත් සාර්ථකව පැවැත්වීමේ අරමුණෙනි.

” පායා එන සඳවත මනරම්

තනිකමත් බෝම සීතයි

වාවාගෙන මහමෙරක තරම්

උණුසුමකින් තුරුලු වෙමී

දිවිය පුරා ලග හිඳ මා හා

සංසාරේ වෙලෙනා……. “

සංවිධායක මණ්ඩලයේ අයෙකු හා කතාබහක හුන් ශෙනෝලි වේදිකාව දෙස හැරී බැලූවාය. කිසිදු සංගීතයකින් තොරවම අශේන් වේදිකාව ඉදිරිපිට දෑස් පියාගෙන ගායනා කරමින් උන්නේ හැඟීම්බරවය.

” නොහඩනා දිනක් නොතිබුණාද මන්දා 

ඔබ පෙම් හසුනක ලියනා

පෙම් කවි කීවෙමි මුමුණා “

ශෙනෝලි ගේ දෑස් අනතුරුව නතර වූයේ තම බේස් ගිටාරය අතැතිව අව් කන්නාඩි යුවල පළඳිමින් වේදිකාවේ පසෙක සිටගෙන සිටිනා රිහාන් අසලය. ඔහු හැඳ සිටි කළු පැහැති ජර්සිය ඔහුගේ කඩවසම් බව මනාව ඉස්මතු කර තිබිණි. එහෙත් ඔහු කෙරෙහි තවදුරටත් ලොබ බඳින්නට තමා හට අයිතියක් නැතැයි සිතමින් ශෙනෝලි ඉවත බලා ගත්තේ හදවතට නැගෙනා ශෝකය පාලනය කර ගනිමිනි.

පැය දෙකක් පුරාවට පුහුණුවීම් කෙරුනේ ඉතා සාමාන්‍ය පරිදිය. තවත් සංගීත කණ්ඩායම් දෙකක් සහ ගායක ගායිකාවන් කිහිප දෙනෙකු එදින නුවරඑළියට පැමිණීමට නියමිතව තිබුණු බැවින් සංවිධායක මණ්ඩලයේ කිහිප දෙනෙකු පිටව ගිය අතර උළෙල පැවැත්වෙන පරිශ්‍රයේ ඉතිරි වූයේ 5th Avenue සාමාජිකයන් හැරුණු කොට තවත් සේවකයන් කිහිප දෙනෙකු පමණි. 

ප්‍රේක්ෂාගාරය වෙනුවෙන් සූදානම් කර තිබුණු අවකාශයේ ඉදිරි පෙළක වාඩි වූ ශෙනෝලි නිසොල්මනේ වේදිකාව දෙස බලා උන්නේ බලාපොරොත්තු විරහිතවය. නිසි හේතුවක් සොයාගත නොහැකි ශෝකී බවකින් හදවත බර වී වෙහෙසකාරී බවක් දැනෙමින් තිබුණු නිසා ඇය පසු වූයේ දැඩි පීඩනයකිනි. 

බොහෝ වේලාවක් වේදිකාව දෙස බලා සිටි ශෙනෝලි ඇයට එහා අසුනේ තබා තිබූ වතුර බෝතලය අතට ගෙන එය හිස්ව යනතුරු එක හුස්මට පානය කර අවසන් කළාය. අනතුරුව දිගු හුස්මක් ගෙන ඇය නැවත වේදිකාව දෙස බලද්දී රිහාන් උන්නේ ඇය දෙස බලාගෙනය. තමාගේ අසාමාන්‍ය හැසිරීම ඔහු නිරීක්‍ෂණය කරන්නට ඇතැයි යන හැඟීමෙන් ශෙනෝලි සාමාන්‍ය තත්ත්වයට පත් වන්නට උත්සාහ කරමින් වෙනතක් බලා ගත්තාය. 

දහවල් දොළහ පසුවෙමින් මහ පොළොව මතට හිරු රශ්මිය පතිත වෙමින් තිබුණද හමා යමින් තිබුණේ සීතල සුළඟකි.එහෙත් ඒ සීතල මධ්‍යයේ වුවද ශෙනෝලි නොනවත්වාම දැවෙමින් පසු වූවාය.ඇයට වුවමනා වූයේ ඒ හැඟීමෙන් මිදෙන්නටය.එහෙත් එය බලාපොරොත්තු වූවා තරම් පහසු වූයේ නැත.

” මිස් ” 

සේවකයෙකු පැමිණ ශෙනෝලි ඇමතුවේ ඒ අතරතුරය. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවේ ඔහු යමක් පවසන්නට පැමිණි බැව් දැනුණු හෙයිනි.

” ඔයාලව හම්බවෙන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ” 

” අපිව ? ” 

” අ.. මං හිතන්නේ රිහාන් ව.එයා ඉන්නවද කියලා තමයි ඇහුවේ “

ශෙනෝලි මොහොතක් කල්පනා කළාය. සමහරවිට සංගීත කණ්ඩායම පුහුණුවීම් සඳහා මෙහි පැමිණ සිටින බැව් දැන රසිකයකු පැමිණ ඇතුවා විය හැකිය.

” කෝ ? ” 

” එන්ට්‍රන්ස් එකෙන් එලියේ ඉන්නවා ” 

ශෙනෝලි සේවකයාට ස්තූති කර වාඩිවී හුන් තැනින් නැගිට සංගීත උළෙල පැවැත්වෙන පරිශ්‍රයට ඇතුල් වන තැන පිහිටා තිබෙන විශාල ගේට්ටුවෙන් පිටතට පැමිණියේ පැමිණ සිටින්නේ කවුරුන්දැයි සොයා ගැනීම සඳහා වටපිට බලමිනි.

ශෙනෝලි ගේ දෑස් පුදුමයෙන් මහත් වූයේ ඊළඟ නිමේෂයේදීය. ඇතුල්වීම අසල වාහනයකට හේත්තු වී බලා උන්නේ අතිශය සුපුරුදු රුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here