5th Avenue – 31

0
681

ඉශිනිගේ ආගමනය සමග වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව ශෙනෝලි ට දැනෙමින් තිබුණේ හිත බොහෝ සේ රිදවමිනි. ඇයට ඇය වටා නිහඬ බවක් දැනෙමින් තිබුණත් ඇත්ත වශයෙන්ම කිසිවක් නිහඩ වී තිබුණේ නැත.

උදෑසන සිට නොනැවතී ඇසුණු සංගීතයත්, සංවිධායකවරුන්ගේ කලබලකාරී බවත්, සියල්ල නැවත නැවත සොයා බැලීමේ හඬවල්, කතා බහවල් සහ සිනාහඬවල් පෙර සේම ඇසෙමින් තිබුණත් ශෙනෝලි විශේෂයෙන් ඒ කිසිවකට අවධානය යොමු නොකරමින් ෆයිල් කවරයේ බහා තිබූ කඩදාසි මත ඕනෑකමින් නැවත නැවත දෑස් යවමින් කාර්ය බහුල බවක් මවා පාමින් උන්නාය.

කිහිප වතාවක්ම පරීක්ෂා කල කාරණා නැවතත් පරීක්ෂා කර බලමින් හිත නොරිදවාගෙන ඉන්නට ශෙනෝලි වෙර දැරුවේ දෑස් කොනෙන් පෙනෙන රිහාන් වෙත අවධානය නොදී ඉන්නා අතරේය. බලාපොරොත්තු නොවූ මොහොතක ඉශිනි ව දුටු පසු ඔහුගේ දෑස් වල ඇඳුණු බැල්ම නැවත සිහිවන සෑම තත්පරයකම ශෙනෝලි දෑස් තදකර පියාගෙන එම හැඟීම ආයාසයෙන් පාලනය කර ගත්තාය.

නොනවත්වා පුහුණුවීම් පැවැත්වෙන අතර වාරයේ ඉශිනි එක් මොහොතක ප්‍රේක්ෂකාගාරය මධ්‍යයේද තවත් මොහොතක වේදිකාව ආසන්නයේද හිඳිමින් පුහුණුවීම් නැරඹුවේ එම අවස්ථාවන් වරින් වර ඇගේ ජංගම දුරකථනයේද සටහන් කර ගනිමිනි. 

ශෙනෝලි මේ කිසිවක් නොදුටුවා සේ තම හැඟීම් රාජකාරී මට්ටමේම තබා ගන්නට වෑයම් කළාය. නිතරගයෙන්ම ඉශිනි රිහාන්ගේ සිත දිනාගෙන සිටින බවත් මින් ඉදිරියට තමාට කළ හැකි කිසිවක් නැති බවත් ශෙනෝලි එක් මොහොතකදී පිළිගත්තේ වෙන කල හැකි යමක් නොවූ තැනය.

ඉශිනි ගේ හදිසි පැමිණීමෙන් රිහාන්ගේ සිත තුළ උපන් උද්‍යෝගය ඒ වන විටත් පහව ගොස් තිබුණේ නැත. වේදිකාව ඉදිරියේ එහා මෙහා යමින් ප්‍රේක්ෂකාගාරයද රැඳෙමින් තමාව ජංගම දුරකථනයේ කැමරාවේ සටහන් කර ගන්නා ඉශිනිව නෙත ගැටුණත් රිහාන් එය තම පුහුණු වීම් කෙරෙහි බාධාවක් කර නොගත්තේය.  

එහෙත්, ඔහුගේ සිතිවිලි උන්නේ අවදියෙනි.

” She is the one ” 

මොහොතකට පෙර තමාට එවැන්නක් සිතුනේ ඉශිනි මේ තරම් දුර ගෙවා තමා වෙනුවෙන්ම පැමිණීම නිසාද, උත්තර ගණනාවක් තිස්සේ ඇය තමා හඹා ආ නිසාද කියා තෝරා ගැනීමට නොහැකි වුවත් රිහාන් තුළ ඒ මොහොතේ වූ සෑම සිතිවිල්ලකම උන්නේ ඉශිනි පමණි.

දහවල් ආහාරය සඳහා පුහුණුවීම් නතර කෙරුණේ දහවල් තුනට පමණය.සියල්ලෝම වේදිකාවෙන් බැස එද්දී ඉශිනි නොඉවසිල්ලෙන් මෙන් රිහාන් අසලට දිව ආවේ කුඩා ළදරියක මෙනි. කිසිවෙකු වෙතත් සඟවන්නට යමක් ඒ වන විට ඉතිරිව නොතිබූ බැවින් රිහාන් මෙතෙක් කාලයක් සංගීත කණ්ඩායම ඉදිරියේ රැකගෙන සිටි ආඩම්බරකාර තරුණයාගේ පෞරුෂය වෙනුවට පෙම්වතෙකුගේ චරිතයකට පරිවර්තනය වෙමින් උන්නේය.

” එහා පැත්තෙ තියෙන රෙස්ටූරන්ට් එකේ ලන්ච් රෙඩි කරලා තියෙන්නේ. ඔයත් යමු ඉශිනි “

මේඝ පැවසුවේ සියල්ලන්ටම ඇසෙන්නටය. සුන්දරව සහ මතක ගොන්නක් එක් රැස් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සපැමිණි දින කිහිපය ඉශිනි හට හිමි වන්නට නියමිත බව පසක් කර ගෙන හිඳි ශෙනෝලි අසීමාන්තිකව මුනිවත රකිමින්, සියල්ලන්වම මගහරිමින් සහ කාර්යබහුල බවක් පෙන්වමින් ඉස්සර වූයේ හැකිතාක් ඉක්මනින් දහවල් ආහාරය සඳහා කුමක් හෝ ගෙන පිරිසෙන් ඉවත්ව හිඳීමේ බලාපොරොත්තුව ඇතිවය.

පෙර දින වලදී තමාගේ ආහාර වේල් පිළිබඳව විශේෂයෙන් සොයා බලා , ඒ පිළිබඳව වද වෙමින්, විවේක ගන්නා ලෙස තරවටු කරමින් හිඳි තැනැත්තා තම දෑස් මානයේම මෘදු පෙම්වතෙකු වෙමින් අන් තරුණියක හා බැඳෙමින් සිටින වේදනාව ශෙනෝලි විඳිමින් උන්නාය.

තමා බැඳුනේ ඒ සොයා බැලීමටය, ඒ කරුණාවටය. ඒ කිසිවක් රිහාන් විසින් සිතා මතා කළ දේවල් නොවූවත් නොදැනීම හෝ තමා ඔහු වෙත බැඳෙන්නට හේතුවක් වූයේ ඒ සියුම් කාරණාය.

සංගීත උළෙල පැවැත්වෙන පරිශ්‍රයට ආසන්නයේ තිබූ සුන්දර අවන්හලක සියල්ලන් වෙනුවෙන්ම දහවල් ආහාරය සූදානම් කර තිබුණු අතර සංගීත කණ්ඩායම වෙනුවෙන් ලැබෙමින් තිබුණු සියලුම ආගන්තුක සත්කාර නිරායාසයෙන්ම හදිසියේ පැමිණි ඉශිනි වෙනුවෙන්ද ලැබෙමින් පැවතිණි.ඒ පිළිබඳව කිසිවෙකුත් ප්‍රශ්න නොකළ අතර ඉශිනි ද සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් බවට පත් වෙමින් උන්නාය.

හැකි ඉක්මනින් දහවල් ආහාරය අවසන් කළ ශෙනෝලි අවන්හලේ ලොබිය වෙත පැමිණියේ ඇගේ ලිපි ගොනුවද රැගෙනය. ඇගේ අසීමාන්තික නිහඬ බව නිරීක්ෂණය කළ මේඝ සුළු වේලාවකට පසුව ඇය වෙත පැමිණියේ සිදු නොවිය යුතු යමක් ඇය තුළ සිදු වෙමින් පවතින බව තවදුරටත් නිරීක්ෂණය කරමිනි 

” ශෙනෝලි ” 

ඇසිපිය නොහෙලා ලිපිගොනුව දිග හැරගෙන ඒ දෙස බලා සිටි ශෙනෝලි එක වරම තිගැස්සී මේඝ දෙස බලද්දි ඔහු ඇය අසලින් වාඩි වූයේ වෙනසක් නොපෙන්වාය.

” ශෙඩූල් එක චෙක් කරාද ? ” 

” ඔව් මේඝ ” 

“එහෙනම් ඔය ෆයිල් එක දිහා ඔච්චර බලන්න එපා. ඒක දැන් වෙනස් වෙන්නේ නෑ.”

ෂෙනෝලි ඔහු දෙස බැලුවේ තරමක් නොරිස්සුමෙනි. 

” ඔයා දන්නවනේ මම කොයික උනත් ආපහු චෙක් කරලා බලනවා කියලා “

“ඔව්. මට පේනවා.”

මේඝගේ දෑස් මොහොතකට රිහාන් සහ ඉශිනි වෙත යොමු වී නැවත ශෙනෝලි වෙත පැමිණියේ තත්පර කිහිපයක් තුළදීය.

“ඉෂිනි ආපු එක ගැන ඔයා පුදුම වෙයි කියලා මම නම් හිතුවෙ නෑ.”

ශෙනෝලි ගේ මුහුණේ ඇති වූයේ සිහින් වෙනසකි. එහි වූ හැඟීම් තේරුම් ගන්නට මේඝ හට හැකි වූයේ නැත.

“මම පුදුම වෙලා නෑ.”

“ඇත්තද?”

ඔහුගේ හඬේ ගැබ් වී තිබූයේ උපහාසයක් ද එසේත් නැත්නම් වෙනත් යමක්ද කියා සිතන්නට ශෙනෝලි වෙහෙස නොවී උන්නාය.ඒ සිදුවිය යුතු සියල්ලක්ම ඒ වන විට සිදු වී හමාර බැවිනි. මොහොතකට පසු වාඩිවී සිටි තැනින් නැගිට මේඝ කණ්ඩායම් සාමාජිකයන් හට එකතු වූයේ ඔවුන්ව නැවත පුහුණු වීම් කරා යොමු කළ යුතුව තිබූ බැවිනි.

ඉශිනි අශේන් සමග කතාබහට වැටුණු අවස්ථාවක රිහාන් අහම්බෙන් මෙන් ලොබියේ වාඩි වී ලිපි ගොනුවක් අතැතිව වීදුරු ජනේලයෙන් පිටත බලාගෙන සිටින ශෙනෝලි ව දුටුවේය. ඇයගේ මුහුණේ නිසොල්මන් බවක් මිස වෙනත් කිසිදු හැඟීමක් වූයේ නැත. පැය ගණනාවක් පුරාවට තමා ඇය සමග වචනයක් හෝ කතා නොකළ බව, වෙනදා මෙන් ඇය ආහාර ගත්තාදැයි විමසන්නට හෝ නතර නොවූ බව රිහාන්ට සිහි වූයේ ඒ මොහොතේදීය.

” Shit ” 

රිහාන් අඩියට දෙකට ශෙනෝලි වෙත ළඟා වූයේ පසුතැවීමෙනි. ඔහු එන බවක් වත් නොදැනුණු බැවින් ශෙනෝලි ඒ ඉරියව්වෙන්ම වීදුරු ජනේලයෙන් පිටත පෙනෙන මාර්ගයත් ඈතින් පෙනෙන කඳු පංතියක් දෙසත් ගල් ගැසී මෙන් බලා උන්නාය.

” ශෙනෝලි ” 

රිහාන් තමා වෙත පැමිණේ යැයි ශෙනෝලි බලාපොරොත්තු වූයේම නැත. නමුත් ඇය රිහාන් වෙත අවධානය යොමු කලේ සෙමෙනි. බලාපොරොත්තු විරහිත සහ බලාපොරොත්තු සුන් වූ බව නොපෙන්වා ඉන්නට පමණක් ඇය උත්සාහ ගත්තාය.

” ඇයි මෙතන තනියම ? ” 

රිහාන් අනවසරයෙන්ම ශෙනෝලිට අඩියක් පමණ ඈතින් වාඩිවී පිළිතුරක් බලාපොරොත්තුවෙන් බලා උන්නේය. ශෙනෝලි ගේ මුවගට නැඟුනේ සියුම් සිනහවකි.

” තනියම ? ” 

තනිකම යනු තමා හට අරුමයක් නොවේ.එය හොඳින්ම දැන සිටියදීත් රිහාන් එවැන්නක් ඇසීම ශෙනෝලි ගේ සිනහවට හේතු වූයේය.

” නෑ මං බැලුවේ ඔයා පොඩ්ඩක් කට්ටියගෙන් ඈත් වෙලා වගේ ඉන්න හින්දා. ඔයාට මේ environment එක එච්චර පුරුදු නැති හින්දද මේ ?” 

පිළිතුරු බොහෝමයක් තිබුණද ශෙනෝලි තවදුරටත් මුනිවත රකිමින් බලා උන්නේ රිහාන් වෙත ලබා දිය යුතු පිළිතුර කුමක් දැයි සිතමිනි. 

තමා ඉශිනි වෙත බැඳෙමින් පවතින බව සැබෑවක් වුවත් ශෙනෝලි කෙරෙහි පවතින හැඟීම කුමක්දැයි කියා තවමත් පැහැදිලි කර ගත නොහැකි වූ හෙයින් රිහාන් උන්නේ දෙගිඩියාවෙනි. 

දෙදෙනාම එකිනෙකා දෙස බලාගෙන තත්පර ගණනාවක් ගත කරමින් සිටියදී අශේන් සමග කතාබහ අවසන් කර රිහාන් සොයමින් සිටි ඉශිනි ගේ දෑස් ලොබියේ වාඩි වී එකිනෙකාට සමීපව එකිනෙකා දෙස බලාගෙන සිටින ශෙනෝලි සහ රිහාන් වෙත යොමු වූයේ ඊළඟ නිමේෂයේදීය.

දරා ගත නොහැකි කුමක්දෝ හැඟීමක් දැනෙද්දී එය පාලනය කර ගනිමින් ඉශිනි වේගයෙන් ශෙනෝලි සහ රිහාන් වාඩි වී සිටි තැනට පැමිණියාය.

” රිහාන් ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here