5th Avenue – 32

0
347

” රිහාන් ” 

ඉශිනි ගේ හඬ ඇසුනු වහාම රිහාන් සහ ශෙනෝලි එකවරම හැරී ඇය දෙස බැලුවේ වරදකාරී හැඟීමෙනි. ඉශිනි බොහොම සැහැල්ලු ලෙස සිනාසෙමින් ඔවුන් දෙදෙනා දෙස බලා ඒ අසලට පැමිණ නැවතී ශෙනෝලි හට පැවේ ආගන්තුක සිනහවකි. ඔවුන් දෙදෙනාගේම මුහුණු වල සටහන් වී තිබුණු තිගැස්ම පැහැදිලිවම දුටුවද ඇය එකදු වදනක් හෝ කීවේ නැත.

රිහාන් වහාම වාඩි වී සිටි තැනින් නැගී සිටියේ දෙගිඩියාවෙන් යුතුවය. නමුත් ඉශිනි අශේන් සමග කතාබහ කරන අතරතුර තමා ශෙනෝලි වෙත පැමිණීම වරදක් යැයි සිතන්නට ඔහු මැළි වූයේය.

” මං ඔයාව හෙව්වා රිහාන් “

” මාව ” 

” ඔව්. මං අශේන් එක්ක කතා කරලා ඉවර වෙනකොට ඔයා නැහැ. පස්සේ තමයි බලන කොට දැක්කේ ඔයා මෙතන ඉන්නවා “

ඇගේ හඬෙහි කිසිදු වෙනසක් වූයේ නැත.එහි කිසිදු සැකයක් ගැබ් වී තිබුණේ ද නැත. නමුත් චෝදනාවක ස්වරූපයක් හෝ නොවූ එම වචන කිහිපය රිහාන් තුල වූ වරදකාරී හැඟීම තව තවත් වැඩි කළේය.

” ආ.. මේ ශෙනෝලි මෙතන ඉන්නවා දැකලා මම පොඩි චැට් එකක් දාන්න ආවා. ශෙඩූල් එක එයා ගාවනේ ” 

වාඩි වී සිටි ශෙනෝලි බලා උන්නේ පුදුමයෙනි.කිසි දිනෙක කිසිවෙකුට නිදහසට කාරණා කියන්නට හෝ නොනවතින රිහාන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී හිඳින්නේය.

” ආපහු ප්‍රැක්ටිස් කරනවද ? ” 

ඉශිනි ඇසුවේ ශෙනෝලිගෙනි. බලාපොරොත්තු නොවූ ඒ පැනයෙන් ඇය එකවරම තිගැස්සුනේ සිතුවිලි ගණනාවක පටලැවී හුන් බැවිනි.

” අ.. මං හිතන්නෙ නැහැ ඉශිනි. හෙට උදේත් rehearsals තියෙන නිසා මේගොල්ලන්ව වැඩිය මහන්සි කරන්න බැහැනේ “

ඉශිනි බොහොම සාමාන්‍ය ලෙස සිනාසුනේ රිහාන් ගේ දකුණතේ ඇඟිල්ලක් අල්ලා ගනිමිනි. එය දුටු ශෙනෝලි වහාම ඉවත බලා ගත්තාය.

” එහෙනම් අපි ටිකක් ඇවිදින්න යමුකෝ රිහාන් ? ” 

රිහාන් තත්පර කිහිපයකට පමණක් ශෙනෝලි දෙස බලා අවන්හලේ තැන තැන හුන් කණ්ඩායම් සාමාජිකයන් දෙසද බලා නැවත ඉශිනි දෙස බැලුවේ අපහසුතාවයට පත් වූ පරිද්දෙනි.

” බෑන්ඩ් එකේ evening plans මොනාද කියලා දන්නෙ නැහැනෙ ඉශිනි. කොහොමත් කට්ටියම රෑ වෙලා ඇවිදින්න යයි ” 

එම පිළිතුරෙන් ඉශිනි සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට නොවුනු අතර ඇය උත්සාහය අතහැරීමට සූදානම් වූයේද නැත.

” හරි එහෙනම් අඩු ගානේ අපි මේ රෙස්ටූරන්ට් එකෙන් එළියට හරි යමුකො අනේ ? බලන්නකෝ එලියේ ලස්සන ? ” 

ඉශිනි එසේ කියමින් රිහාන් ගේ අතින් ඇදගෙන අවන්හලේ ප්‍රධාන දොර වෙත ගොස් එය විවෘත කර කුඩා වාහන අංගනයේ කෙළවරක නොපෙනී යන ආකාරය ශෙනෝලි බලා උන්නේ අවන්හලේ විසල් වීදුරු අතරිනි.

ශෙනෝලි දිගු සුසුමක් හෙලා බලා උන්නේ ඈතින් පෙනෙනා කඳු පන්ති දෙසය. වටිනා යමක් හිමි වී තිබී අනතුරුව අහිමි වූවා වැනි හැඟීමකින් පෙළෙමින් ඇය වේදනා බර විනාඩි ගණනාවක් ගෙවා දැමුවේ නිසොල්මනේය.

කොහේදෝ සිට පැමිණි අශේන් අනාරාධිතවම ශෙනෝලි අසලින් වාඩි වූයේ ඇගේ මුහුණ මත ඇඳී තිබුණු අඳුරු වළාකුළු කිහිපයද නිරීක්‍ෂණය කරමිනි.

” ඇයි ශෙනෝ ? ” 

ශෙනෝලි ආයාසයෙන් සිනාසුනේ තම හැඟීම් හදවතේ හිරකර ගෙන අගුළු දමා ගන්නා අතරේය. 

” මුකුත් නෑ. මේ. මම මේ ඔයාලා කතා කරලා ඉවර වෙනකම් බලාගෙන හිටියේ “

” අද දවසට ප්‍රැක්ටිස් ඉවරයි කියලා මේඝ කිව්වා ” 

” එහෙමද ? ” 

ශෙනෝලි නැවත අලස සිනහවක් පා පෙනෙනා මානයේ කතාබහේ යෙදී හිඳිනා සංවිධායකවරුන් කිහිප දෙනා සහ කණ්ඩායම් සාමාජිකයන් කිහිප දෙනා දෙස බැලුවාය.

” රිහාන් කෝ ? ” 

අශේන් ඇසුවේ බලාපොරොත්තු නොවූ පැනයකි.

” අ.. ඉශිනි එක්ක එලියට ගියා ” 

ශෙනෝලි හිතාමතාම අශේන්ගේ දෑස් මගහැරියේ තම දෑස් වල සටහන්ව ඇති සැබෑ හැඟීම් ඔහු හඳුනා ගනු ඇතැයි බියෙනි.

” බලන්නකො ඉතින් කවුරුවත් කියන දේ අහන්නේ නැති අපේ bassist ව ඉශිනි එක දවසින් වෙනස් කරපු හැටි “

අශේන්ගේ එවදන් විදුලි වේගයෙන් ගොස් පතිත වූයේ ශෙනෝලි ගේ හදවතේ ගැඹුරකටය. එය බලාපොරොත්තු වූවාටත් වඩා වේදනා බර හැඟීමකට හැරවුනේ මොහොතකිනි.

” ඔයා දන්නවද ශෙනෝ.. ” 

අශේන්ගේ ස්වරය එවර වෙනස් විය. එහි වූයේ පුරුදු සිනහබර බව වෙනුවට අතිශය බැරෑරුම් බවකි.

” මට හිතෙනවා දෙවියෝ අපේ ජීවිත වලට මිනිස්සු එවන්නේ නිකම්ම නෙමෙයි කියලා.සමහරු එන්නේ අපිට පාඩමක් උගන්වන්න. සමහරු එන්නේ අපිට මෙමරි එකක් වෙන්න. තවත් සමහරු එන්නේ…” 

ඔහු මොහොතකට නතර වී මුනිවත රකිනා ශෙනෝලි දෙස බැලුවේය.

” ජීවිත කාලෙටම ඉන්න ” 

අශේන් පවසන්නේ සත්‍යයකි. ජීවිතයේ සිදුවන සියලු හමුවීම් අහම්බකාරක නොවේ. ඒ සියල්ලම සිදුවන්නේ හේතු සහිතවය.එසේ නම් රිහාන් ද තම ජීවිතයට පැමිණ ඇත්තේ හේතුවක් සහිතවය.නමුත් සිතා ගත්ත නොහැක්කේ ඔහු පැමිණ සිටින්නේ මතකයක් වී නික්මීමටද එසේත් නැත්නම් ජීවිතාන්තය තෙක් රැඳී සිටීමට දැයි කියා පමණි.

” මං ඒ ගැන ගොඩක් හිතලා තියෙනවා ශෙනෝ”

අශේන් හට කතා කිරීමට ඉඩ හැර ශෙනෝලි බලා උන්නේ සැබැවින්ම ගොලු වීය. ඇය අශේන් ගේ වදන් වලට සවන් දෙමින් සිටියත් ඇගේ සිත නතරව තිබුණේ මොහොතකට පෙර  නෙත් මානයේ හිඳ නික්ම ගිය රිහාන් අසලය.

” ඔයා දන්නවනේ, මට girls ලගෙන් කොච්චර ලොකු attraction එකක් තියෙනවද කියලා. ඒත් end of the day මට හිතෙන්නේ ඒ හැමදේම හරි තාවකාලිකයි කියලා. ඇත්තටම මේ කිසිම දේක තේරුමක් නැහැ. සමහරවිට මට එහෙම හිතෙන්නේ මගේ වටේ කොච්චර අය හිටියත් මට මගේ කියලා කියන්න පාට්නර් කෙනෙක් නැති නිසා වෙන්න ඇති “

ශෙනෝලි එවර අශේන් දෙස බැලුවේ ඔහු ගේ හඬ පෙරටත් වඩා බැරෑරුම් වූ බැවිනි. ඔහු උන්නේ ඉදිරියෙන් පෙනෙන පිංතාරු කරන ලද බිත්තියක් දෙස එක එල්ලේම බලාගෙනය.

” මට ඕනේ හැමදේම තනියම handle කරන්න පුළුවන් කෙනෙක්. තමන්ගේ ජීවිතේ තමන්ටම ගෙනියන්න පුළුවන් strong girl කෙනෙක්. පිරිමි අපි උනත් දුර්වල වෙන තැන් තියෙනවා ශෙනෝ.මට ඕනේ ඒ දුර්වල මනුස්සයට වුණත් ඕන වෙලාවක එළියට එන්න දෙන කෙනෙක්. කොටින්ම, මට backbone එකක් වෙලා ඉන්න කෙනෙක් “

අශේන් පවසනා වදනක් පාසාම ශෙනෝලි ගේ කන වැකුනත්, ඒවායේ අර්ථය ඇගේ හිතට සම්පූර්ණයෙන්ම ඇතුළු වූයේ නැත. ඇය තවමත් ඉශිනි සමඟ පිටවී ගිය සිටින රිහාන් ගැන සිතමින් අශේන් ගේ මුහුණ දෙස බලා උන්නාය.

රිහාන් තමා අසලට පැමිණි මොහොත, අනතුරුව එකිනෙකා දෙස බලාගෙන ගෙවී ගිය නිහඬ තප්පර කිහිපය සහ ඉශිනිගේ හඬ ඇසුණු විගස තිගැස්සුණු මොහොත සමග එකින් එක ඇගේ මතකයේ නැවත පිළිවෙලින් පෙළ ගැසෙන්නට පටන් ගත්තේය. 

” ශෙනෝ ? ” 

ශෙනෝලි ගේ නිහඬ බව හමුවේ අශේන් නැවත හඬ අවදි කළේය. තමා ඔහුට සවන් දුන් නමුත් ඔහු පැවසූ කිසිවක් තම මනසේ සටහන් නොවීම පිළිබඳව පසුතැවීමක් සහ වරදකාරී හැඟීමක් ශෙනෝලි තුළ ඇතිවූයේ අශේන් බලා හුන් බැල්ම පැහැදිලිව දුටු පසුවය.

” ඔයා වෙන කල්පනාවක හිටියේ “

ශෙනෝලි පිළිතුරු නොදී මෘදුව සිනාසුනාය. එහෙත් අශේන් බිඳක් හෝ එම සිනහවට එකතු වූයේ නැත.ඒ වෙනුවට ඔහු නැවත ඉදිරිය බලා මොහොතක් හිඳ නැවත ශෙනෝලි දෙස බැලුවේය.

” මට එක දේකට උත්තර දෙන්න ” 

ශෙනෝලි යටි සිතින් තිගැස්සෙමින් බලා උන්නේ අශේන් අසන්නට සූදානම් වන්නේ කුමක් දැයි සිතමිනි. එහෙත් අශේන් ඉක්මන් වූයේ නැත. මේ ගෙවී යන්නේ එළඹේ යයි බලාපොරොත්තු නොවූ වේලාවක් බැවින් එය නිදහසේ ගෙවෙන්නට ඉඩ දිය යුතු යැයි අශේන් සිතුවේය.

” ඔයා කවද හරි, කවදාවත් අයිති කරගන්න බැහැ කියලා හිතන කෙනෙකුට ආදරය කරලා තියෙනවද ශෙනෝ ? “

අශේන් එක එල්ලේම ශෙනෝලි දෙස බලා උන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි. තත්පර ගණනාවක් තුළ ඇගේ මුහුණේ වූ හැඟීම් වෙනස් වන ආකාරය අශේන් පැහැදිලිවම දුටුවේය.

” ඇ..ඇ.. ඇයි ඔයා එහෙම ඇහුවෙ අශේන් එකපාරටම ? “

ශෙනෝලි උන්නේ වචන ගලපා ගත නොහැකිවය. අශේන් පෙර වූ සන්සුන් බවෙන්ම ඉදිරිය බලා ගත්තේ තවදුරටත් ශෙනෝලි ව අපහසුතාවයට පත් නොකරන්නටය.

” මොකද මට හිතෙනවා දැනටමත් ඔයා ඉන්නේ එහෙම සිටුවේෂන් එකක කියලා ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here