5th Avenue – 33

0
141

හෝටල් කාමරයේ දොර වසා දැමූ පසු ශෙනෝලි තත්පර කිහිපයක් නිසොල්මනේ එතැනම සිටියේ ඉන් පසුව කළ යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකි වූවාක් මෙනි. අවන්හලේදී තමන්ව පාලනය කරගෙන සිටි ආකාරය ගැන ඇයටම පුදුමයක් දැනුණද, කිසිවෙකුගේ දෑස් තමා දෙසට එල්ල නොවෙන කුඩා කාමරය තුළදී ඇය තුල වූ සියලු ශක්තිය එකවරම ඇගෙන් ගිලිහී ගියාක් සේ දැනුණි. ඇය සෙමින් විසල් යහන වෙත ගොස් වාඩි වූයේ බර වූ හදවතත් සමඟය.

අශේන්ගේ අවසන් වදන් ඒ වන විටත් ශෙනෝලි ගේ දෙසවන් තුළ දෝංකාර දෙමින් තිබුණි.

” මොකද මට හිතෙනවා දැනටමත් ඔයා ඉන්නේ එහෙම සිටුවේෂන් එකක කියලා “

ඔහු එය සරලව පැවසුවද, ඒ වචන කිහිපය ශෙනෝලි හට දැනුනේ ඔහු ඇගේ හදවතේ සැඟවී තිබුණු සත්‍යයක් එළියට ඇද දැමුවා සේය. ඇය වහාම දෑස් වසාගෙන දිගු සුසුමක් හෙළුවේ ඒ සිතුවිල්ලෙන් පලා යන්නට උත්සාහ කරමිනි. 

මේඝ ඒ මොහොතේදී එතනට පැමිණ සියලු දෙනාවම හෝටලයට කැටුව නොඑන්නට, තමා අශේන් හට පිළිතුරක් දෙන්නට නොහැකිව අසරණ වන ආකාරය පිළිබඳව ශෙනෝලි සිතුවේ තව තවත් වේදනාවට පත් වෙමිනි.

” නෑ ” 

ශෙනෝලි ඉතා සෙමින් තමන්ටම පැවසුවාය. එහෙත් ඒ වචනය මුවින් පිටවූ විගසම ඇගේ දෑස් කඳුළින් පිරී ගියේය.අනතුරුව ඇය වහාම හිස පහත් කරගෙන දෑස් පිස දැමුවද, එවර ඇය හට ඒ කඳුළු නවතා ගැනීමට නොහැකි විය. දින ගණනාවක් තිස්සේ සිත තුළ සඟවාගෙන සිටි බිය, නොපැවසූ හැඟීම් සහ පිළිගන්නට අකමැති වූ ආදරයක් වැනි යමක් එකවරම පිටතට පැමිණෙන්නට පටන් ගත්තේ ශෙනෝලි කිසිසේත්ම අපේක්ෂා නොකළ ආකාරයටය.

” රිහාන් ” 

ඒ නම ඇගේ සිත තුළට පැමිණියේ කිසිදු අවසරයකින් තොරවය. ඔහු පළමු වතාවට තමන් අසලට පැමිණි ආකාරය, තමන් සමඟ කතා කළ ආකාරය, කිසිවක් නොකියා හෝ තමන්ගේ නිහඬ බව තේරුම් ගත් අවස්ථා, තමන්ට නොදැනුවත්වම ඔහු වෙනුවෙන් බලා සිටීමට පුරුදු වූ ආකාරය ඇතුළු බොහෝ දේ එකින් එක ඇගේ මතකයට පැමිණෙන්නට විය. එහෙත් ඒ සියල්ලට වඩා ඇගේ හදවතට වේදනාවක් වූයේ මීට බොහෝ වේලාවකට  පෙර රිහාන් ඉශිනි සමඟ පිටව යන අයුරු ඇගේ දෑස් ඉදිරිපිටම දුටු මතකයයි.

ශෙනෝලි යහනේ වාඩි වී දෑතින්ම මුහුණ වසාගෙන නිහඬව හැඬුවාය. කිසිවෙකුට ඇසෙන්නට තරම් හඬක් නොවූ ඒ හැඬීම තුළ තිබුණේ වේදනාවට වඩා තමන්ටම පිළිගැනීමට සිදුවී ඇති කටුක වූ සත්‍යය පිළිබඳ බියකි. 

තමා උන්නේ රිහාන් තමන්ට අයිති නොවන බව පසක් කර ගෙනය. තමන්ට වඩා ඔහුගේ ජීවිතයට ඉශිනි කෙසේ හෝ සමීපව සිටින බවත්, ඔවුන් අතර තිබෙන බැඳීම තමන්ට කිසිදු අයිතියක් නොමැති දෙයක් බවත් තමා නොදැන උන්නේ නැත. එහෙත් එය තම හදවත පිළිගන්නට සූදානම් වී උන්නේ කොපමණ දුරකටද?

ශෙනෝලි සෙමින් හිස ඔසවා කාමරයේ විශාල කණ්ණාඩිය දෙස බැලුවාය. හැඬීම් නිසා රතු වූ දෑස්, අවුල් වූ හිසකෙස් සහ කිසිදා තමන්ම දැකීමට අකමැති වූ දුර්වල බවක් ඇගේ මුහුණේ සටහන් වී තිබුණි. ඇය කණ්ණාඩිය ඉදිරිපිටට ගොස් ඇය දෙසම බලාගෙන මොහොතක් නිහඬව සිටියාය.

” මේක නවත්තන්න ඕනේ “

ශෙනෝලි වෙතින් නික්මුනේ දුර්වල සහ වෙව්ලන හඬකි. 

” එයා මට අයිති කෙනෙක් නෙමෙයි “

එය තමාටම පවසා ගැනීමෙන් පසුව ඇය දෑස් වසාගෙන නැවතත් දිගු සුසුමක් හෙළුවාය. එය සත්‍යයකි. රිහාන් කිසිදා තමන්ට පොරොන්දුවක් දී නොතිබුණු අතර තමන් ද ඔහුගෙන් කිසිවක් ඉල්ලා තිබුණේද නැත. එසේ නම් මෙතරම් වේදනාවක් දැනෙන්නේ ඇයි දැයි ඇයටම තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයකට ශෙනෝලි පත්ව උන්නාය.

අහම්බයකින් වුවද අශේන් පැවසූ දේ නිවැරදිය. සමහර මිනිසුන් අපේ ජීවිතයට පැමිණෙන්නේ පාඩමක් වී යන්නටය. තවත් සමහරු පැමිණෙන්නේ මතකයක් වී ඉතිරි වන්නටය. තවත් සමහරු පැමිණෙන්නේ ජීවිත කාලය පුරාම රැඳී සිටින්නටය. එසේ නම් රිහාන් තමන්ගේ ජීවිතයට පැමිණියේ ඒ අතරින් කුමක් වීමටද?

තවත් බොහෝ වේලාවක් කල්පනා කළද ශෙනෝලි හට ඒ ප්‍රශ්නයට පිළිතුරක් තිබුණේ නැත.

රාත්‍රී ආහාරය සඳහා පහත මාලයට යා යුතු වේලාව එළඹියේ ශෙනෝලිටත් නොදැනීමය.නමුත් කාමරයෙන් පිටතට යාමට තරම් සූදානමක් ඇගේ සිත තුළ නොවූ අතර ඇයට අවශ්‍ය වූයේ තනිව සිටීමටය. ඒ පිළිබඳව කිසිවෙකුටත් වෙනසක් නොදැනෙනු පිණිස ඇය කාමරයටම රාත්‍රී ආහාරය ගෙන්වා ගැනීමට හෝටල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නේ සුප් බඳුනක් පමණක් ඇණවුම් කරමිනි.

රාත්‍රී 8 පමණ වන විට සියලු දෙනාම රාත්‍රී ආහාරය සඳහා පහත මාලයට පැමිණියේ නැවත ඉක්මනින් තම කාමරවලට ගොස් විවේක ගැනීමේ අරමුණෙනි. ඉශිනි එම හෝටලයෙන්ම කාමරයක් වෙන් වෙන් කරවාගෙන නවාතැන් ගෙන සිටි නිසා ඇයද කණ්ඩායම් සාමාජිකයන් සමඟ රාත්‍රී ආහාරය ගැනීම සඳහා එකතු වී උන්නාය. 

ශෙනෝලි රාත්‍රී ආහාරය සඳහා පැමිණ නැති බව මුලින්ම සිහිපත් වූයේ මේඝ හටය. ඇය දුරකථනයටද ප්‍රතිචාර නොදුන් බැවින් මේඝ ඇයව කැටුව එන ලෙස හෝටල් සේවිකාවකට දැනුම් දුන්නේය. ඒ වන විටත් ඇය රාත්‍රී ආහාරය කාමරයට ඇනවුම් කර අවසන් බව සියල්ලෝම දැනගත්තේ ඉන් අනතුරුවය.

” සුප් එකක් විතරද ? ” 

අශේන් ඇසුවේ පුදුමයෙනි රිහාන්ගේ මුහුණේ තිබූ සාමාන්‍ය බව ද එකවරම වෙනස් වූයේ කවර තත්ත්වයකදී වුවද ශෙනෝලි සාමාන්‍ය ලෙස හැසිරීම පුරුද්දක් කරගෙන තිබෙන නිසාත්, කණ්ඩායම් සාමාජිකයන් සියල්ලම එකතු වන තැනකට නෑවිත් හිඳීම ඇය කිසි දිනක නොකළ දෙයක් වූ බැවිනි.

” ඔව් සර්. මැඩම් එහෙම තමයි කිව්වේ “

රිහාන් තවත් කිසිවක් නොවිමසා නිහඬ වී හුන් අතර ශෙනෝලිගේ මුහුණ ඔහුගේ මතකයට පැමිණියේ අනවසරයෙනි. අවන්හලේදී ඇය තමන් දෙස බලා හුන් ආකාරයත්, ඉශිනි තම අත අල්ලාගෙන සිටියදී ඇය වහාම ඉවත බලාගත් ආකාරයත් ඔහුට අමතක කර දැමිය නොහැකි විය.

” එයාට මහන්සි ඇති. අද දවසම ගොඩක් බිසී උනානේ. සමහරවිට දැනටමත් නිදිද දන්නේ නෑ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැත්තේ “

මේඝ ගේ සරල වදන් හමුවේ අනෙක් අයගේ අවධානය වෙනතකට හැරුනු අතර අශේන්ද එය එතරම් ගැඹුරින් නොසිතා හිස වැනුවේය. නමුත් රිහාන් හට එය එතරම් සරල දෙයක් නොවීය.ඉශිනි ඇතුළු සියලු දෙනාම තමන් වටා සිටින බැවින් කෑම මේසයෙන් නැගිට ගොස් ශෙනෝලි පිළිබඳව සොයා බැලීමට හෝ නොහැකි වීම පිළිබඳව ඔහු තුළ වූයේ වරදකාරී හැඟීමක් මුසු පසුතැවීමකි.

හෝටලය පුරාවූ කලබලකාරී ගතිය ක්‍රමයෙන් පහව යමින් එය නිහඬතාවයේ ගිලී යන්නට පටන් ගත්තේ මධ්‍යම රාත්‍රිය ආසන්න වන විටය. කාමරයේ විදුලි පහන් නිවා දැමූ ශෙනෝලි ජනේලය අසලට ගොස් ජනෙල් තිර මඳක් පසෙකට කළේ හදවතේ වූ බර මඳකට හෝ අඩු කර ගැනීමට ඈතින් පෙනෙන සුන්දර පරිසරය දෙස බලා සිටීම හෝ ප්‍රමාණවත් වේ යැයි සිතමිනි. කඳු අතරින් වැටෙන මඳ සඳ එළියත්, හෝටලයේ ගෙමිදුල දිගේ දැල්වුණු කුඩා විදුලි පහන් කිහිපයත් හැරුණු විට අවට පරිසරය බොහෝ දුරට අඳුරෙන් වැසී තිබුණි.

එහෙත් ඊළඟ මොහොතේ ඇගේ දෑස් හුරුපුරුදු රුවක් මත නතර විය.

” රිහාන් “

ඔහු ඉශිනි සමඟ හෝටල් පරිශ්‍රයේ ගෙමිදුලේ වූ කුඩා අඩිපාර දිගේ සෙමින් ඇවිදිමින් සිටියේය. ඔවුන් දෙදෙනා අතර තිබූ දුර පවා ශෙනෝලිට පැහැදිලිව පෙනෙන්නට තිබුණු අතර ඉශිනි යමක් පවසමින් සිනාසෙද්දී රිහාන්ද ඇය දෙස බලා සිනාසෙමින් සිටියේය. ඒ දර්ශනය දුටු මොහොතේ ශෙනෝලිගේ හදවත නැවතත් පෙරටත් වඩා බර වී ගියේ තප්පර කිහිපයක් ඇතුළතදීය.

ඇය තවදුරටත් ඒ දෙස බලා සිටීමට උත්සාහ කළේ නැත. ජනෙල් තිර රෙද්ද වහාම වසා දැමූ ශෙනෝලි යහන වෙත පැමිණ බ්ලැන්කට්ටුව තුළට ගුලි වූයේ කුඩා දරුවෙකු තමන්ගේම දෑසින් ලෝකය වසන් කර ගැනීමට උත්සහ කරන ආකාරයටය.ජනෙල් තිර රෙදි වසා දැමූ නමුත් , දෑස් තදින් පියාගත් නමුත් ඇගේ සිත තුළ ඇඳුනු ඒ දර්ශනය මකා දැමීමට ඇය අපොහොසත් වූවාය.

රිහාන් සහ ඉශිනි හෝටලයේ ගෙමිදුලෙහි ඇති කුඩා අඩි පාර දිගේ සෙමින් ඉදිරියට ගමන් කරමින් සිටියේ ඔවුන් දෙදෙනාට බාධා කිරීමට කිසිවෙකුත් නොවූ බැවිනි. දවස පුරා තිබූ කලබලය අවසන් වී තිබූ බැවින් දෙදෙනාටම ඒ මොහොත ගෙනවිත් දී තිබුනේ අතිශය සැහැල්ලු බවකි. ඉශිනි තමා වෙනුවෙන්ම පැමිණීම කිසිවෙකුටත් රහසක්ව නොතිබූ නිසා ඇය සමඟ ගැවසීම පිළිබඳව චකිතයක් රිහාන් තුළ ඒ වන විට නොතිබුනු තරම්ය.

” මට නිකං කාලයක් තිස්සේ හිතේ තිබිච්ච ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ට උනා වගේ දැනෙනවා රිහාන් ” 

රිහාන් මද සිනහවක් පෑවා මිස කිසිවක් කීවේ නැත. උදෑසන සිට සිදුවූ සියල්ලක්ම අනපේක්ෂිතය.තවමත් ඒ සියල්ලක්ම සැබවින්ම සිදුවූවා දැයි සිතා ගැනීමටත් නොහැක.

” ඔයා මොකුත් කියන්නෙ නැත්තේ ඇයි රිහාන් ?” 

ඉශිනි නතර වූවාය. 

” කියන්නේ මොනවද කියලා මං තාම හිතනවා “

” ඇයි ? ” 

” කෙල්ලෙක් මාව බලන්න කොළඹ ඉඳලා නුවරඑළියට ආව කියන එක මං තාමත් හිතාගන්න බැරුව ඉන්නේ “

ඉශිනිගේ මුහුණේ ඇඳුනේ පුළුල් වූ සිනහවකි. ඇය මොහොතක් රිහාන් දෙස බලා සිටියේ ඔහුගේ වචන තුළ තමන්ට අවශ්‍ය වූ යම් තහවුරු කිරීමක් සොයන්නාක් මෙන් ය. නමුත් ඊළඟ මොහොතේ දී ඇගේ මුහුණේ වූ ඒ සිනහව මඳක් අඩු වී ගියෙ එකවරම සිතට පැමිණි දෙයක් නිසාය.

” රිහාන් ” 

ඇය තවත් පියවර කිහිපයක් ඔහු සමඟ ගමන් කර නිහඬ වූවාය. අනතුරුව රිහාන් දෙසට හැරී, පෙර තිබූ සිනහව වෙනුවට යම් බැරෑරුම් බවක් මුහුණට නගා ගෙන ඔහු දෙස බලා සිටියාය.

” ඔයාට ශෙනෝලි ගැන මොකද හිතෙන්නේ? “

රිහාන්ගේ පියවර මොහොතකට එතැනම නතර විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here