පසළොස්වක මල් – 48

0
1000

” එකයි , දෙකයි , තුනයි , හතරයි. හතරක් තියනවා දුමී. “

” ඇති වෙයි අම්මා. “

” එහෙනං මේ බෙඩ්ශීට්ස් ටික උඩට ගිහින් දෙන්න. මං මේ ටික මහීකාට දෙන්නං” 

විශාඛා නවා දුන් රෙදි පෙරවන සතරද රැගෙන මිහිදුමී නිවසේ උඩු මහලට ගමන් කළාය. රත්නපුරයට පැමිණියා කියා හෝ ඔහු තවමත් එක වචනයක් හෝ තමා සමඟ කතා නොකළේය. රාත්‍රී ආහාරයෙන් පසුවද බොහෝ වේලාවක් ඔහු භරණ සමඟ කතා බස් කරමින් සිටියා විනා තමා දෙසට බැල්මක් හෝ නොහෙළුවේය. 

” හ්ම්ම්.. ඔය තරම්ම එපා වෙන්න තරම් ලොකු දෙයක් මං කළේ නෑනේ.. කමක් නෑ.. එයාට හොඳයිනම් මට මොකෝ.. “

ශෝකය දරාගත නොහැකි වූ තැන ඉපදෙන කෝපය හමුවේ තනිවම යටි සිත හා මුමුණමින් උඩු මහලේ ඔහුටත් , අෂ්මිලටත් වෙන් වූ නිදන කාමරය වෙතට ඇවිද ගිය ඈ එහි පිටතින් සිට ගෙන විසල් සුසුමක් ඉහලට ඇද ගත්තාය. 

” සුදු අයියේ..!” 

” දුමී එන්න.. “

” බෙඩ්ශීට්ස් ගෙනාවා. ඇති වෙයි නේද ?” 

ඈ අත රැඳි පෙරවන සියල්ල යහන මතින් තබා නිදන කාමරය වටා දෑස කරකැවූවාය. නමුදු බලාපොරොත්තු වූ රුව එහි නැත. දුරකතන ඇමතුමක සිටි අෂ්මිලගෙන්ද වැඩිදුර කිසිවක් නොවිමසූ ඈ බෙරි කර ගත් උවනින් යළිත් කොරිඩෝව හරහා පැමිණ වම් පසට හැරුණාය.  සැණෙකින් අත දැවටුණු රළු හස්තයක් ඈ තමා වෙතට ඇද ගෙන බිත්තිය මතට තද කර ගත්තේය. සිදුවූ අනපේක්ෂිත ක්ෂණික ක්‍රියාවෙන් බය භිරාන්ත වූ ඈ එක් අතක් ළැම මත තද කරන් විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බැලුවාය.

” සමන් දෙයියනේ..! මොනවා කරනවද ?” 

ඇගේ බිය වගකට නොගත් ඔහු අල්ලා සිටි අත අතහැර ඇගේ හිසට ඉහලින් තබා ගත් සුරත බිත්තියට බර කරමින් තවත් ඈ වෙතට බර වූ අතර ලිහිල්ව ගිය අනෙක් අතින් ඇගේ බඳින් අල්ලා තමා වෙතට තවත් ළං කර ගත්තේය. කුරුළු පිහාට්ටක් සේ ඇදී ආ තරුණිය විසල් වූ දේහධාරියාගේ සම්පූර්ණ සිරුර යට සැඟවී ගියාය. 

” මොනාද කරන්නේ ?” 

හුස්ම පොද පවා ළංව තදින් වැදෙන තරමටම ඇගේ මුව අසලට පහත් වූ ඔහුගේ රකුසු උවන පුරා දෑස කරකැවූ ඈ විළියෙන් රතුවෙමින් ඇසුවාය.

” තාම මුකුත් කළේ නෑ.. “

දෙකොපුල් මෙන්ම නාසයද රතු කර ගත්  ඈ වහා දෑස බිමට හරවා ගත්තාය. තත්පර කිහිපයක්ම එක දිගට ගෙවී ගියද කිසිවක්ම නොපැවසූ ඔහු එක දිගට  දෑස බිමට බර කර ගත් ඇගේ උවන දෙස බලා සිටියේය.

” මං.. මේ.. මං .. යන්න ඕනේ. අතාරින්නකෝ.. “

කෙඳිරිලි ස්වරයෙන් එසේ පැවසූ ඈ දෑස ඔසවා වට පිට බැලුවද ඔහුගේ විසල් සිරුරෙන් ආවරණය වී තිබූ පසුබිමේ කිසිවක් ඈට නොපෙනුණාය. 

” අතාරිනවද ?” 

නිවසට ගොඩවූ වේලාවේ සිට වචනයක් කතා කරනු තබා මුහුණ දෙස හෝ නොබැලූ ඔහු කෙරෙහි හටගත් අමනාපයෙන්ම ඈ යළිත් වතාවක් එසේ පැවසුවාය. 

” මොකටද?” 

” මොකටද අහන්නේ ? ක.. කවුරුහරි එයි” 

” ආපුදෙන් ඉතිං “

” හරි ශෝක්.. මට ගෙදර ඉන්නත් නැති වෙයි. “

” ඉතිං..? මෙහෙ නැති උනාට එහෙ තියනවනේ.?” 

නැවතත් දෑස ඔසවා බැලූ ඈ වහා එය බිමට හරවා ගත්තාය.

” හෙට යද්දි යන්න එනවද ?” 

” නෑ.. “

” ඇයි ?” 

” මූණ බලන්නෙත් නැත්තන් ? කතා කරන්නෙත් නැත්තන් ? ඇවිල්ලා මොකටද ? එපා වෙලා ඇතිනේ ?” 

ස්වරය තවත් කෙඳිරිලි සහගත වූ අතර ඔහු මුව තවත් ඇගේ උවන අද්දරට ළං කළේය. 

” එපා වෙලා හින්දද දැන් මේ ඇවිල්ලා ලඟට වෙලා ඉන්නේ ? ම්ම්..?” 

” ඒ දැන්නේ ? ආපු වෙලේ ඉඳන් මොකෝ දන්නෑ උනේ ?” 

” මෙහෙම අල්ල ගන්න චාන්ස් එකක් නැතුව හිටියේ “

නැවත වතාවක් තිගැස්සුණු දෑස ඔහු මතට යොමුවී විළියෙන් හැකිළුණි. 

” ඊයේ භරණ ආවා මාව මීට් වෙන්න. “

” ආහ්..? ” 

ඈ වහා තවමත් මුව අද්දරටම කර උන් ඔහුගේ උවන දෙස පුදුමයෙන් බැලුවාය.

” අපේ මාමා ?  කො.. කොයි වෙලාවෙද ? රෑද ?” 

” හ්ම්ම්..”

” ඒ.. ඒ.. මොකටද ? ඇයි ඔයාව මීට් වෙන්න ආවේ ?” 

” ඒක ඔයාට වැඩක් නෑ..”

” එහෙනං මොකටද කිව්වේ ? මාමා ආපු බවවත් නොකියා හිටියානං ඉවරනේ. මා.. මාමා .. ඔයාව මීට් වෙන්න ආපු නිසාද ඔයා මෙහෙ ආවේ ?” 

ඔහු සෙමින් හිස දෙපසට සළා නැත යැයි පැවසුවේය. 

” එහෙම උනානං මං එන්නේ අනිත් කට්ටියත් එක්කම උදේනේ. ?” 

” ආහ්.. ඔව් නේ.. ?” 

” මං ආවේ භරණ මාව මීට් වෙන්න ආපු නිසා නෙමෙයි. “

” එ.. එහෙනං ?” 

දෑස කරකැවී නැවතත් ඔහුගේ උවන මත නතර විය. ඔහු තව දුරටත් නිහඬවම ඇගේ උවන දෙස එක එල්ලේ බලා සිටියේය. 

” දවල් කෝල් කරපු වෙලාවේ මොනවද කිව්වේ ?” 

” ආ.. ?” 

නැවත වතාවක් තිගැස්සුණද ඈ නිහඬවම ඔහු පවසනා දෑ පිළිබඳව කල්පනා කළාය. 

” මො.. මොනවද ?” 

” ඒක තමයි මාත් අහන්නේ ? අඬ අඬා මොනවද කිව්වේ ?” 

එසේ පැවසූ ඔහු ඇගේ බඳ අල්ලා සිටි අත තවත් තද කරමින් තව දුරටත් ඈ තම සන්තකයට ඇද ගත්තේය. 

” අනේහ්.. !” 

කොපුල් පුරා ලැජ්ජා සහගත හැඟීමක ‍රක්ත පැහැය පිරී යද්දී ඈ තවත් හැකිළුණාය. 

” මං ඔයාට හරි ආදරෙයි මගේ වස්තුවේ කියලා කිව්වේ..?” 

විසල් වූ දෑස නැවතත් විවර කර ගත නොහැකිව තදින් පියැවිණි. නොදැනුවත්වම ඔහු හැඳ සිටි කමිසය ඇගේ අතින් පොඩිවී ගියාය. සිරුර පුරා දිව යන හිරිය දරා ගත නොහැකිව ඈ තව තවත් ගුලි වූවාය.

” ම.. මට යන්න ඕනේ.. “

තව දුරටත් ඔහුගේ උවන දෙස බලනවා තබා ඔහු අසල හිඳීමට පවා නොහැකිව ලැජ්ජාවෙන් ඇඹරී ගිය ඈ කෘතිම කලබලයක් මවා පෑවාය. 

” බෑ.. මට ඒක ආයේ අහන්න ඕනේ. මූණ බලාගෙන. “

” අහ්.. ආ.. ම.. මට බෑ.. “

” ඇයි ?” 

” යන්න දෙන්නකෝ..!” 

” ඇයි ..? කටට එන දේවල් ඔහේ කියන්න පුලුවන්  ෆෝන් එකෙන් විතරද ?” 

” ඒක කටට ආපු පලියට කියපු දෙයක් නෙමෙයි.”

ඈ විගසින් දෑස ඔසවා ඔහු දෙස බැලුවාය. කිසිදු වෙනසක් නොමැත. ඔහු පෙර පරිදිම ඈ මුව දෙස නොසෙල්වී බලා සිටියේය. 

” ඒක ඇහිච්ච නිසයි ආවේ. ආයේ පාරක් ඒක මූණ දිහා බලන් අහන්න ඕන උනා. “

දෙනෙතට කඳුළු පිරෙන්නේ දුකටද , සතුටටද , ලැජ්ජාවටද කියා නොදත්තාය. යටි තොල්පට වැරෙන් සපා ගත් ඈ තව දුරටත් අල්ලා සිටි ඔහුගේ කමිසය නොදැනුවත්වම තදින් පොඩි කළාය.

අල්ලා සිටි ස්ත්‍රී බඳෙන් අත නිදහස් කළ ඔහු සෙමින් එය ඇගේ කොපුලක් මතට ගෙන ආවේය. දෑසින් ගලා වැටුණු කඳුළු බිඳුවක් කොපුල මතින් පිසළූ ඔහු තව දුරටත් කඳුළු පිරි දෙනෙත දෙස බලා සිටියේය. 

” දැන් ඇයි අඬන්නේ ?” 

” ක.. කතා නොකර හිටියේ ඇයි ?” 

ඈ හැඬුම් මැදම ඔහු දෙස බලා ඇසුවාය. 

” දාලා ගියා කියලා දැනගත්තම දුක හිතුණා. මාව එපා වෙලා ගියා කියලා හිතුණේ. භරණ ඇවිල්ලා කිව්වා අඬ අඬාම මං ගැන කිව්වා කියලා. භරණ ආවේ ඔයා ගැන මාත් එක්ක කතා කරන්න. මං කිව්වනේ මාව දාලා යන්නෙපා කියලා ? ම්ම්.. ?” 

ඈ නැවත වතාවක් කඳුළු පිරි දෙනෙත ඔසවා ඔහු දෙස බැලුවාය. 

” ඔයාව එපා වෙලා ආවා නෙමෙයි. කීයටවත් එහෙම හිතන්න එපා. “

ඔහු සෙමින් පහත් කර සිටි හිස ඈ අසලට තවත් ගෙන එකී නළල මත සීරුවට තම නළල තැබුවේය. ඉන්පසුව නැවතත් ඇගේ කොපුල් මතින් ගලා ගිය කඳුළු බිඳුවක් ඔහු පිස දැමූ අතර ඈ සෙමින් ඔහුගේ එකී අත අල්ලා ගත්තාය. 

” ඔ.. ඔයා.. මාව දාලා යනවද ?” 

” දාලා යන්න ඕනෙනං එන්නේ නෑනේ ?” 

” කවදහරි මං ගැන මොකක් හරිම ප්‍රශ්නයක් උඩට ආවොත් ?” 

” මොකද්ද ?” 

” නෑ.. මං කියන්නේ කවදහරි දවසක මගේ පරණ පවුල ගැන හරි…”

” මට ඒවා වැඩක් නෑ. “

ඈ පැවසීමට ගිය කාරණය අවසන් වන්නට මත්තෙන්ම ඔහු පිළිතුරක් බැන්ඳේය.

” මොකක් හරි දෙයක් උනොත් ? මං.. මං කියන්නේ මං ගැන , පරණ දේවල් ගැන දැනගත්තොත් මාව එපා වෙන්නෑ කියලා පොරොන්දු වෙනවද ? මාව දාලා යන්නෑ කියලා පොරොන්දු වෙනවද ?” 

” හ්ම්ම්…!” 

” හොඳට හිතන්න.. “

” හිතන්න දෙයක් නෑ. ඒවා මට දැනගන්න උවමනාවක් නෑ. ඔයා ඒවා මට කියන්න අවශ්‍යත් නෑ. “

ඔහු සෙමින් සෙමින් ඇගේ වටකුරු කොපුලක් පිරිමැද්දේය. ඉන්පසුව තව දුරටත් දෑස් අග රැඳුණු කඳුළු බිඳු සියල්ල පිස දැමුවේය. 

” ආයේ අඬන්න බෑ. කවදාවත් , මොනම හේතුවකටවත් අඬන්න බෑ. 

” ලොකුවා..!” 

තේජ්ගේ හඬට තිගැස්සුණු ඈ කලබලයෙන් ඔහුගේ වත දෙස බැලුවද කිසිදු කලබලයක් නොවූ ඔහු බරව උන් බිත්තියෙන් මෑත්වී හිස පමණක් පිටතට ඇල කොට අනෙක් පස කොරිඩෝව දෙස බැලුවේය. නිදන කාමරයෙන් පිටතට ඇවිද ආ තේජ් දුම්වැටියක අවශ්‍යතාවයක් පෙන්වා දබරැඟිල්ලත් , මැඳැගිල්ලත් මුවට ළං කොට ඉඟියක් පෑවේය. 

” රූම් එකේ ටේබල් එක උඩ බලපන්. “

ඔහුගේ දෑස තේජ් වෙත යා වූ සැණින් එකී තුරුළෙන් මිදුණු ඈ වහා ඉවත් වන්නට උත්සාහ දැරුවද ඈට ප්‍රථමව ඉස්සර වූ ඔහු යළිත් වතාවක් ඇගේ බඳ වටා අතක් යවා තමා වෙතට යළිත් ළං කර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here