” ඕන කරන ඒවා ටික ඔක්කොම ගත්තද දුමී ?”
” ගත්තා අම්මා. ඇඳුම් ටිකක් තමයි වැඩිපුර ගත්තේ. “
” දරුවෝ..! හැමදාම තියන ඇඳුම් ටිකම අඳින්න එපා. අලුතින් ඇඳුම් ටිකක් ගන්න. අඩුපාඩු තියන ඒවා බලලා හැමදෙයක්ම ගන්න. එහෙ මෙහේ වගේ නෑනේ . අත ලඟ හැමදේම තියනවනේ”
” මං ගන්නං අම්මා. “
” අනේ ඔව්. මේං කියලම ගනී. මං දන්නැද්ද ඔයා ගැන. සල්ලි වියදම් කරන්න දෙපාරක් හිතන්න එපා දුමී. ආස කරන දෙයක් තියනවනං ඕන දෙයක් ගන්න. මොකෝ මේවා පොදි ගහගෙන අපි මැරෙද්දි අරන් යන්න කියලද ?”
” අනේ.. මොනාද අම්මා , මැරෙන කතා කියන්නේ ?”
” හරි.. හරි.. දැන් ඔක්කොම ටික ලෑස්ති කරගන්නකෝ..”
එසේ පැවසූ විශාඛා ඇඳුම් බෑගය සූදානම් කරන දියණිය දෙස තවත් මොහොතක් බලා සිටියාය. එකින් එක එකින් එක නවන ඇඳුම් මත දෑස රඳවා උන් දියණියගේ වත විටෙක දිළිසුණි. විටෙක රැළි ගැසුණි. තවත් විටෙක මුව මත සිහින් සිනා රැල්ලක් ඇඳිණි. විටෙක කෝලයෙන් පිරුණි. විශාඛා නිහඬවම දියණියගේ මුහුණේ එහා මෙහා වන හැඟීම් රේඛා දෙස බලා සිටියාය.
” ආ.. දුමී..!”
” ආ.. අම්මා..?”
” කවුද පිරිමි ළමයා..?”
” ඈ.. ?”
තුෂ්නිම්භූතවූ මිහිදුමී විසල් කරගත් දෙනෙතින් මව දෙස බලා සිටියාය.
” කැම්පස් එකේ ළමයෙක්ද?”
” අම්මා.. එ.. එහෙම කවුරුත් නෑ.. “
එවර විශාඛා හෙළූ තරවටු බැල්ම දරාගත නොහැකි වූ ඈ වහා බිම බලා ගත්තාය.
” අවුරුදු ගාණක් කෙල්ලෝ දහස් ගාණක් එක්ක වැඩ කරපු ගෑනියෙක් මං. ඔය වයසේ කෙල්ලොන්ගේ මූණු වල හිනාවට විතරක් නෙමෙයි , නැටවෙන ඇස් වලටයි , නළියන කම්මුල් වලටයි කොල්ලෙක් මිසක් වෙන හේතුවක් තියෙන්න බෑ.. “
” අම්මා..!”
” භරණ.. මං මෙහෙ.. “
” මේ පොඩ්ඩක් පහළට එන්නකෝ අම්මා. “
” එනවා.. එනවා.. මේ කෙල්ල මේ ගෙදර තියන පරණ ඇඳුම්ම ආයේ අරන් යන්න හදනවා දරුවෝ. අලුත් ඒවා ගන්න කියලා කිව්වට අහන්නෙම නෑ. “
” දෙයියනේ අම්මා.. මෙතන තියන ඇඳුම් වලින් භාගයක්වත් එක පාරක්වත් ඇඳලා නෑ”
” ඔය අම්මායි , දුවයි පහලට එනවද ඉක්මනට. “
” ඇයි ඉතිං හදිස්සිය ?”
” එන්නකෝ.. එන්නකෝ.. “
සූදානම් කර ගත් බෑගයද අතැතිව මිහිදුමී මවත් , මාමාත් පසුපසින් පහත මහල වෙත ඇවිද ගියාය.
” රත්නපුරයට සමු දීමට සූදානම් වී සිටි සියල්ලෝම ආලින්දයේ සිටි අතර කුමක හෝ අමුත්තක සේයාවක් දැනුණු මිහිදුමී උමන්දා , තේජ් හා අෂ්මිල දෙස බැලුවද ඔවුන් කිසිදු විශේෂයක් නොපෙන්වා සිටියහ.
” ආන්ටී.. !”
” ලොකු පුතා..?”
හිඳ උන් සෝපාවෙන් නැඟිට විශාඛා අසලටත් , භරණ අසලටත් පැමිණි අස්නක යළිත් හැරී තම මව දෙස බැලුවේය. ඉදිරියටම යන ලෙස දෑසින් ඉඟි කළ ඈ දෙබැම ඔසවා මිහිදුමී දෙස බැලුවාය.
” මේ.. මට .. ආන්ටිටයි , භරණටයි දෙයක් කියන්න තියනවා. “
කිසිදු විටක තමා වෙත යොමු නොවූ එකී උවන දෙස පුදුමයෙන් බලා සිටි මිහිදුමී ප්‍රශ්නාර්ථ බැල්මකින් යළිත් පසුපස උන් පිරිස දෙස බැලුවාය.
” කියන්න පුතා.. මොකද්ද ?”
ඔහු නැවත හැරී මහීකා දෙස බැලූ අතර ඈ සුපුරුදු ලීලාවෙන්ම හිඳ සිටි සෝපාවට බර වී සිටියාය.
” මං.. මේ .. මේක මෙහෙම කියන එක හදිසි වැඩි වෙන්න පුලුවන්. ඒත්.. ආන්ටිලට මේක කියන එක හොඳයි කියලා හිතුණා. මං කැමතියි මිහිදුමීව කසාද බඳින්න…”
විශාඛාගේ පමණක් නොව මිහිදුමීගේ දෑසද විශ්මයෙන් විසල් විණි.
” ආන්ටි.. මේකට හදිස්සි වෙන්න දෙයක් නෑ. මං දන්නවා මිහිදුමී තාම ඉගෙනගන්නවා කියලා. මැරි කරන්න කැමතියි කිව්වට එයා සම්පූර්ණයෙන්ම ඩිග්‍රි එක කම්ප්ලීට් කරලා යුනිවසිටි එකෙන් අවුට් වෙනකන් මට බලන් ඉන්න පුලුවන් . ඒකේ කිසිම ගැටලුවක් නෑ. මං ගැන ආයේ අමුතුවෙන් ආන්ටිලට කියන්න ඕන නෑ කියලා මම හිතනව. මට , මටම කියලා බිස්නස් එකක් තියනවා. හොඳ ආදායමක් තියනවා. දුමීව මට කිසිම අඩුපාඩුවක් නැතුව බලා ගන්න පුලුවන් . “
සියල්ල පවසා සැනසුම් සුසුමක් හෙළූ අස්නක නැවතත් පසුපස හැරී තම පිරිස දෙස බැලුවේය. තේජ් හා අෂ්මිල දෙදෙනාම එක වරම සිය මහපටැඟිලි උරුක් කරමින් ඔහුට සුභ පැතූහ.
අස්නකගෙන් දෑස මුදාගත් විශාඛා වහා මිහිදුමී දෙසට හැරුණු අතර ඈ එතෙක් විසල් කර සිටි දෑස වහා පහත හෙළා ගත්තාය. විසල් සුසුමක් හෙළූ ඈ ඊලඟට භරණ දෙසට හැරුණාය. චීත්ත ගවුම් පොඩියක් හැඳ මහවලතැන්න නිවසට පය ගැසූ කුඩා එකිය සිතුවාට වඩා ඉක්මනට වැඩී ඇති බවක් ඇයට දැනුණාය. එලෙසම දිවියේ මෙතුවක් කලකට තමා මුහුණ දුන් දරුණුම සිදුවීමෙන් පසු ගිලී උන් ආගාධයෙන් ගොඩට ගෙන යළි තමාට ජීවයක් ලබා දුන්නේ ඇයය. ඇය තමාගේ ස්වර්ණමය රන් කිරිල්ලිය ය. ඇය තමාගේ දේව දූතිකාවය. කෙසේ උවත් මෙතරම් ඉක්මනින් ඈ වෙනෙකෙකුට භාර දීමට ඈ සිහිනෙකින්වත් නොසිතුවාය. සියල්ල ගැලපී යළි යළි මතකයට එද්දී නිහඬවම සිටි ඈ දෑසින් කඳුළු වැල් ගංගාවක් කඩා හැළුණි.
” අම්මා..!”
විශාඛාගේ දෑසින් කඩා හැළෙන කඳුළු දුටු මිහිදුමීද තම දෑසෙහි කඳුළු පුරවා ගත් අතර මහීකා වහා හිඳ සිටි අසුනෙන් නැඟී සිටියාය.
” විශාඛා අක්කේ.. ! අනේ.. අපි අතින් වරදක් උනාද ?”
ඈ වහා විශාඛා අසලට පැමිණ ඇගේ අතකින් අල්ලා ගත්තාය.
” අනේ .. නෑ.. මහීකා. .”
සුරුස් හඬින් නාසය ඉහලට ඇදි විශාඛා දෙකොපුල් මත ඇති කඳුළු බිඳු සියල්ල පිසදා දැමුවාය.
” මට හිතාගන්න බෑ.. පොඩි බටු ඇටයක් වගේ සයිස් එකට මේ ගෙදරට ගෙනාපු කෙල්ල කසාද බඳින්න එන වයසටම ලොකු වෙලාද කියලා. “
” අනේ.. අම්මා.. !”
” ලොකු පුතේ..!”
ඈ නැවත හැරුණේ අස්නක වෙතටය.
” මේ කෙල්ල හරී වාසනාවන්ත කෙල්ලෙක් ලොකු පුතේ. මේ කෙල්ලට ලොකු පින් බලයක් තියනවා. අද මම , භරණ අපි දෙන්නම මෙහෙම ජීවත් වෙලා ඉන්නේ , මේ ගෙදර මේ විදිහට තියෙන්නේ , මේ වතුපිටි රැකිලා තියෙන්නේ ඒ හැමදේම මේ කෙල්ල මේ ගෙදට්ට පය ගහපු නිසා. මේ පොඩි එකී නොවෙන්න මායි , භරණයි මැරිච්ච තැන් වල ගසුත් පැළවෙලා. අපි දෙන්නට ආයේ පණ දුන්නේ මේ කෙල්ල. ඒ කෙල්ලට සෑහෙන්න මව්වත් ගුණයක් තියනවා පුතේ.. මහීකා..!”
ඈ නැවත මහීකා දෙසට හැරුණාය .
” දුමීගේ නීත්‍යානුකූල අම්මා මං. එයා මේ මහවලතැන්න පරම්පරාවේ දරුවෙක්. ඒ නිසා එයාට මහවලතැන්න පරම්පරාවේ උරුමෙට සම්පූර්ණ අයිතියක් තියනවා. එයාට අපෙන් ලැබෙන්න ඕනේ , අපෙන් කෙරෙන්න ඕනේ හැමදේම අඩුවක් නැතුවම ලැබෙනවා මහීකා.. “
” අනේ.. විශාඛා අක්කේ.. ! අපිට එහෙම කිසිම දෙයක් එපා. මගේ කොල්ලට ඔයාලගේ දරුවව විතරක් දෙන්න. ඒ හොඳටම ඇති. මට මගේ කොල්ලා ගැන විශ්වාසයි. එයා කවදාවත් දුමීව දුකක් දෙන එකක් නෑ. දුමීට ඔයාලත් එක්ක සතුටින් හිටියා වගේම අපි එක්කත් ඒ විදිහටම ඉන්න පුලුවන් . “
විශාඛා වහා මහීකාව වැළඳගත් අතර මහීකාද දෑසට ඉනූ කඳුළු බිඳුවක් පිසදා දැමුවාය. නිහඬව මොහොතක් බලා සිටි භරණ යළි හැරී නිවස තුළට ඇවිද ගිය අතර ඔහු මිනිත්තුවක් දෙකක් ඇතුළත යළිත් සාමාන්‍ය ප්‍රමාණයේ රතු පැහැ වෙල්වට් රෙද්දකින් ආවරණය කරන ලද පෙට්ටියක් හා ලිපි ගොනුවක් රැගෙන පැමිණියේය. ඉන් පසු ඒ සියල්ල අසල තිබූ ටීපෝව මත තබා යළිත් හැරී විශාඛා දෙසත්, මිහිදුමී දෙසත් බැලුවේය.
” දුමී… ! මෙහෙ එන්න.. “
” ආ.. මාමේ.. ?”
” මේකට සයින් එකක් දාන්න. “
මුදලක් සඳහන් නොකෙරූ හිස් චෙක් පතක් භරණ ඈට දිගු කළ අතර මිහිදුමි ප්‍රශ්නයක් නොනඟාම එයට තම අත්සන තැබුවාය.
” අස්නක..! මිසිස් විජේසිංහ..! මේක මං මිහිදුමී වෙනුවෙන් කාලයක් තිස්සේ කරන්න හිටපු දෙයක්. එයා වෙනුවෙන් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. ඒත්.. හරියන පාත් එකක් මට සෙට් උනේ නෑ. අස්නක.. ! මං ගැන වැරදියට හිතන්න එපා. මේ තියෙන්නේ මං වගේම අම්මත් මිහිදුමී වෙනුවෙන් එයා නමින් එකතු කරපු සල්ලි. මෙතනට අස්නකට කැමති ගාණක් දා ගන්න. මට ඒකේ ප්‍රශ්නයක් නෑ. නිකන් බෑන්ක් ලෝන් වලට ගිහින් කාලේ නාස්ති කරගන්න එපා. අපි අපිට පුලුවන් දේ කරන්න ඕනේ අපිට හැකියාවක් තියන කාලේ. මහවලතැන්න පරම්පාරාවේ මිනිස්සු හම්බ කරලා තියන දේවල් මිහිදුමීට විතරක් නෙමෙයි එයාගේ දරුවන්ගේ දරුවන්ට උනත් කවදාවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් මට්ටමට තියනවා. මටයි අම්මටයි ඉන්නේ මෙච්චරයි අස්නක.. මිහිදුමීගේ කැමැත්ත ඔයා. ඔය දෙන්නම හොඳින් ඉන්න එක අපේ කැමත්ත. ඒ නිසා මේක මිහිදුමී වෙනුවෙන් අපි ඔයාට දෙන ගිෆ්ට් එකක් කියලා හිතන් ගන්න…”
විසල් කරගත් දෙනෙත් රැසකට මැදි වූ භරණ තමා ඉදිරියේ නිහඬව උන් තරුණයා හට චෙක්පත දිගු කළේය.
” හරණ..! ඔයාට ගොඩාක් ස්තූතියි … ! ඒත්.. I’m extremely sorry… ! මට මේක ගන්න බෑ.. “
“මිහිදුමී වෙනුවෙන් අපිට එයාට දෙන්න තියන දේවල් අතරේ මේක හරිම සුළු දෙයක් අස්නක.. මීට වැඩිය තව ගොඩක් දේවල් එයා වෙනුවෙන් අපි වෙන් කරලා තියනවා. “
එසේ පැවසූ ඔහු ටීපෝව මත තිබූ රතු පැහැ වෙල්වට් රෙද්දෙන් සැරසුණු පෙට්ටිය අතට ගත්තේය.


