වසන්තය තව දුරද – 59

0
214

“ඊයෙ ඔෆිස් ආවෙ නැත්තෙ ඇයි? මං හරියට බය වුණා. ඇයි අනේ කෝල් එකක් දෙන්න බැරි නම් අඩුම ඔයාට තිබ්බා නේද මට මැසේජ් එකක්වත් දාන්න? මං බයවෙනවා කියලා ඔයා හොඳටම දන්නවනෙ? එහෙමෙකේ” කියා නෙත්මලී තම කළුපාට බෝල ඇස් දෙක නලින්ද්‍ර දෙසට හරවාගෙන කියද්දී වෙනදා මෙන් ඒ දිහා ආදරයෙන්, හුරතලෙන් පමණක් බලා සිටින්නට නලින්ද්‍රට හැකියාවක් තිබුණේ නැත.

මේ තමන් සතු වී ඇත්තේ, තමන් ආදරයෙන් හිමිකරගෙන ඇත්තේ මහත් වූ වගකීමක් බව ඔහුට හොඳින්ම තේරුණේ ඊයේ අතුල සමරසිංහ කියන්නට යෙදුණ කතාව අසාගෙන සිටියදීය. වැඩිහිටියන්ගේ තීරණවල බර හැම වෙලාවකම වැඩිහිටියන්ගේ උරහිස් මතම වැටෙන්නේ නැති බවත්  සමහර වෙලාවට ඒ බර වැඩිපුරම වැටෙන්නේ, ඒ තීරණවල කිසිම කොටසකට වග කියන්නට බැරි දරුවන්ගේ හිත මත බවත් නලින්ද්‍ර උන්නේ ඒ වෙද්දී හොඳාකාරවම තේරුම් ගනිමිනි.

නෙත්මලී ඒ කතාවට ජීවමාන උදාහරණයක් මෙන් ඔහු ඉදිරියේ වාඩි වී සිටියාය. “හොඳ වෙලාවට මමයි තාරායි අම්මලා කිව්ව වගේ ළමයි හැදුවෙ නැත්තෙ. අම්මලා කොච්චර කිව්වත් ළමේක් හදාගත්ත නම් ඔය ප්‍රශ්න විසඳෙයි කියලා එහෙම නොඋනානම් අන්තිමේ ඒ ළමයි කොච්චර අසරණ වෙනවද?” කියා නොහිතා ඉන්න ඇත්තටම ඒ වෙලාවෙ නලින්ද්‍රට පුළුවන් උනේ නැත.

එදා තමන්ටත් තාරාටත් දරුවෙකු නොසිටීම ගැන දෙපැත්තෙන්ම කවුරුත් එක එක විදිහේ කතා කියන්නට යෙදුන බව නලින්ද්‍රට අද වගේ මතකය. සමහරුන් කීවේ දරුවෙක් ලැබුණා නම් දෙන්නා අතර තිබෙන දුර අඩුවෙයි කියාය. තවත් සමහරු කීවේ දරුවෙක් හම්බුනාම මිනිස්සු වෙනස් වෙන බවය. ඒත් නලින්ද්‍ර අද කල්පනා කරද්දී ඒ කිසිම කතාවක් එතරම් සරලව පිළිගන්නට හැකියාවක් ඔහුට තිබුණේ නැත.

දෙන්නෙක් අතර නැතිවෙලා යන දේවල් දරුවෙකුට ගෙනැවිත් නැවත පුරවන්නට බැරි බව නලින්ද්‍රට තේරුම් යමින් තිබුණේය.

ඒ දෙන්නාගේ ප්‍රශ්න මැද්දට දරුවෙකු පැමිණියා නම් සමහරවිට ඒ දරුවාට තමන්ගේම නොවන බරක් උසුලන්නට සිදුවනු ඇති බව නලින්ද්‍රට නොතේරුණා නොවේ. අතුල කියූ කතාව අසාගෙන ඉද්දී නලින්ද්‍රට ඒ කාරණය තවත් තදින් දැනී තිබුණේය.

“මොකද ඉතින් මෙච්චර බනින්නෙ?”

නලින්ද්‍ර ඇගේ මුහුණ දෙස බලා මඳ සිනහවක් පෑවේ එහෙම අහමිනි. තත්ත්වය තව ටිකක් ලිහිල් කරන්නට හිතාගෙනය.

“බනින්නෙ නෑ අනේ”

“බනිනවා තමයි”

“මං බනිනවා නම් ඔයාට තේරෙන්නෙ නැද්ද ඒක? මේකට කියන්නෙ බනිනවා කියලද?”

“තේරෙනවා. ඒ හන්දනෙ මේ කියන්නෙ. ඔයා බනිනකොට ඔයාගෙ ඇස් දෙක ලොකු වෙනවා”

“ඒකත් බලන්ද ඉන්නෙ?”

“ඔයා දිහා බලන් ඉන්න එක ඉතින් මගේ වැඩක්නෙ”

“අනේ මේ…” කියා  නෙත්මලී මඳක් ලැජ්ජාවෙන් මෙන් ඉවත බලාගත්තේ නලින්ද්‍රගේ වචනවලට වඩා ඒ දෙනෙත්වල තිබුණ ආදරණීය බැල්ම දරාගන්නට බැරිවෙච්ච හන්දාය. ආදරේ සමහරවෙලාවට එහෙමය. වචනවලට වඩා විසිවෙන්නේ බැල්මකින් ය.

කෙනෙකුට මං ඔයාට ආදරෙයි කියා කියන්නට වචන ඕනය. ඒත් ඒ ආදරේ කොයි තරම්දැයි කියන්නට සමහරවිට එක බැල්මක් හොඳටම ප්‍රමාණවත්ය.

නලින්ද්‍ර නෙත්මලී දිහා බලාගෙන සිටියේත් එහෙමය.

ඒ බැල්මේ තිබුණේ ඇයව දැකීමක් විතරක් නොවේ. ඇයව හඳුනාගත් මිනිසෙකුගේ ආදරයක් තිබුණේය. ඇය කියන වචනවලටත් වඩා, නොකියා හිතේ තියාගන්නා දේවල් තේරුම් ගන්නට උත්සාහ කරන මිනිසෙකුගේ හඬක් නොවූ සෙනෙහසක් තිබුණේය. ඇය තරහ වූ හැටිත්, ලැජ්ජාවෙන් ඇස් සඟවාගත් හැටිත්, හුරතල් වෙමින් තමන්ට කරදර කළ හැටිත්, කිසිම හේතුවක් නැතුව තමන් දිහා බලාගෙන සිනාසුණු ඒ පුංචි පුංචි මොහොතවල් පවා ඔහුගේ හිතේ කොහේ හෝ තැනක ආදරයෙන් තැන්පත් වී තිබුණාක් මෙන්‍ ය නලින්ද්‍ර හැසිරුණේ

ඒ බැල්ම ඇයව වටකරගෙන තිබුණේ වචනවලින් ආදරේ කියනවාට වඩා උණුසුම් විදියකටය. තමන්ව මේ ලෝකයේ කෙනෙකු විසින් මෙතරම් ආදරයෙන් දැකිය හැකිදැයි දැනෙන තරම් මෘදු විදියකටය.

ඒ නිසාම නෙත්මලීට නලින්ද්‍ර දිහා තවත් මොහොතක්වත් කෙළින් බලාගෙන ඉන්නට පුළුවන් උනේ නැත. ඒ දෑස් දෙක තුළ තමන්ට හිමිව තිබුණු ආදරේ ප්‍රමාණය දැකගන්නට කොතෙක් ආසා වුවත් ඒ දෙනෙත් දෙස එක එල්ලේ බලාගෙන ඉන්නට නෙත්මලීට තිබුණේ ලැජ්ජාවකි.

ඇය ඉවත බලාගත්තේ ඒ ආදරයෙන් පලා යන්නට නොවේ. ඒ ආදරේ තවත් ටික වේලාවක් තමන් තුළම තියාගෙන රහසේ විඳින්නටය.

“හරි හරි. මං පිළිගන්නවා. මගේ වැරැද්ද”

“මොකක්ද?”

“කෝල් නොකරපු එක”

“ඒක තමයි”

“මං ඊයෙ කෝල් එකක් දෙන්න හිටියෙ”

“ඉතින් නුදුන්නෙ ඇයීඊඊඊ?”

“වෙලාව ගියා දැනුනෙ මැණිකෙ. වැඩ කන්දක් අස්සෙ හිරවෙලා උන්නෙ මං”

“ඒක තමයි මං කියන්නෙ. ඔයාට මං ගැන වගක් නෑ. මං කොච්චර බයෙන්ද උන්නෙ කියන එක ගැන ගානක්වත් නෑ.”

“එච්චරට බය වුණාද?”

“ඔව්”

“ඇයි?” කියා නලින්ද්‍ර හඬ වඩාත් පහත් කොට ආදරේ හිතෙන බැල්මකින් අහද්දී නෙත්මලී ඔහු දෙස මොහොතක් බලා සිටියාය.

“ඇයි කියලා දන්නෙ නැද්ද?”

“දන්නවා. ඒත් ඔය කටින් අහන්න හිතුණා.”

“ඔයා හරි නරකයි”

“ඒක මං දන්නවා. තාම මං පෙන්නුවෙ නෑ මං කොච්චර නරකද කියලා”

“මං ඊයෙ කී පාරක් ෆෝන් එක අරන් බැලුවද දන්නවද?”

“කී පාරක්ද?”

“ගණන් කරේ නෑ”

“එහෙනම් කොහොමද දන්නෙ කී පාරක්ද කියලා?”

“නිකන් අනේ කිව්වේ”

“ඒ කියන්නෙ සෑහෙන්න පාරක් බලලා තියෙනවා”

“ඔව්”

“මගේ කෝල් එකක් එනකම්?”

“ම්ම්”

“මැසේජ් එකක් එනකම්?”

“ම්ම්”

“දැන් මං නැතුව ඉන්න බැරි තරමට පාලුද?”

“අනේ මේ… මං කිව්වෙ මං බය වුණා කියලා. ඔයා නැතුව ඉන්න බැරි එකක් නෙවෙයි”

“හරි. එහෙනම් මං නැතුව ඉන්න පුළුවන්ද?”

“පුළුවන්”

“කී දවසක් ඉන්න පුළුවන්ද?”

“දන්නෙ නෑ”

“එක දවසක්?”

“ම්ම්ම්

“දෙකක්?”

“ම්ම්ම්”

“තුනක්?”

“අනේ නලින්ද්‍රඅඅඅඅඅ” කියා නෙත්මලී හුරතල් තාලෙට ඇද පැද කියද්දී නලින්ද්‍ර උන්නේ සිනාව නවත්තාගන්නට බැරුවය.

“ආ… ඒ කියන්නෙ තුනක් බෑ”

“මං එහෙම කිව්වෙ නෑනෙ”

“එහෙනම්?”

“ඔයාට දවස් තුනක් මාව බලන්නෙ නැතුව ඉන්න පුළුවන්ද?”

“බෑ” ඇය එසේ කියා සිනාසුණාය. ඒ සිනහව දෙස බලා සිටි නලින්ද්‍රගේ සිත තිබුනේ අතුල සමරසිංහ විසින් හිත අස්සෙ පැල පදියම් කරන්නට යෙදුණ බර චුට්ට චුට්ට නිදහස් කරගනිමිනි.

“හරි. ආයෙ එහෙම කරන්නෙ නෑ”

“ඇත්තටම?”

“ඇත්තටම”

“කොහෙ හරි යන්න ගියොත් කියලා යනවද එහෙනං ආයෙ”

“කියනවා”

“ඔෆිස් එන්න බැරි උනත් කියන්න”

“කියනවා”

“මට මැසේජ් එකක් දාන්න”

“දානවා”

“කෝල් එකක් දෙන්න පුළුවන් නම් කෝල් කරන්න”

“කෝල් කරනවා”

“එහෙනම් හරි”

“දැන් හරිද?”

“ටිකක්”

“තව මොනවද ඕන?”

නෙත්මලී මඳ වේලාවක් කල්පනා කළාය.

“මට ඔයා හොඳින් ඉන්නයි ඕන.” එය කියූ පසු ඇය කිසිවක් නොකියා ආපසු හැරුණේ නලින්ද්‍රගේ කැබින් කාමරයෙන් එලියට බසිනු පිණිසය. 

හිත බර වුණේ ඒ වචනවලටය. 

නෙත්මලී ඒ වචන කිව්වේ හරි සැහැල්ලුවෙන් බව ඇත්තකි. ඒත් නලින්ද්‍රට ඒ වචන එතරම්ම සැහැල්ලුවෙන් භාරගන්න පුළුවන්කමක් තිබුණේ නැත. ඒ තුළ තිබුණේ තමන් ආදරය කරන මිනිසා හොඳින් සිටිනවා දකින්නට පමණක් කැමති, කිසිවක් නොඉල්ලන ආදරයකි. ඔහුට හිතාගන්නට බැරි තරම් ගැඹුරු වගකීමක් ඒ පුංචි වචන තුන හතර ඇතුළේ තිබුණේය. 

නෙත්මලී දොරෙන් එළියට යන දෙස බලාගෙන නලින්ද්‍ර මඳ වේලාවක් නිහඬව සිටියේය.

“මං නෙත්මලීව බලාගන්නෝන මගේ වයිෆ් වගේද දරුවෙක් වගේද?”

ඔහුටම නොදැනී ඔහුගේ හිත ඇතුළින් ඒ ප්‍රශ්නය මතු වී තිබුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here