වසන්තය තව දුරද – 60

0
137

හවස් වරුව තිබුණේ සැඳෑ ඉර එළියේ රත්තරන් තැඹිලි පාට අහස පුරා තවරාලමිනි. ඒ හැන්දෑ ඉර එළියට වැටී නෙත්මලීගේ මූණ තිබුණේ තවත් දිලිසෙමිනි. හුළඟට එහා මෙහා වන ඇගේ කෙස් රොදවල් අතරින් ඒ රත්තරන් එළිය ඇගේ මුහුණට වැටෙද්දී, ඇය දිහා බලාගෙන ඉන්න එක පවා නලින්ද්‍රට ඒ වෙලාවේ වෙනමම සතුටක් වී තිබුණේය.

ඒ දිලිසෙන මූණ දිහා බලාගෙන ඉද්දී ඇගේ නළලත්, කම්මුල් දෙකත්, ඒ හුරතල් දෙතොලත් අතොරක් නැතුව සිපගන්නට තරම් සිතුවිලි කොච්චරක් හිතට ආවදැයි නලින්ද්‍රටම ගණන් කරන්නට නොහැකිය. ඒ හැම සිතුවිල්ලක්ම එළියට එන්නට නොදී ඔහු බොහෝ අපහසුවෙන් මෙන් හිත අස්සේම ගුලිකරගෙන උන්න බව ඇත්තකි.

මොක උනත් මේ පොඩි කෙල්ලෙකි.

තමන්ට වඩා අවුරුදු ගණනාවක් බාල, තමන් දිහා අපමණ විශ්වාසයෙන් බලාගෙන ඉන්න, තමන්ට ආදරේ කරන මේ කෙල්ලව දැක්කාම හිතට එන ආදරේ සමහර වෙලාවට නලින්ද්‍රටත් දරාගන්නට බැරි තරම්ය. අනෙක් අතට තමන්ට දැන් මේ කෙල්ල ගැන වෙනදාට වඩ වගකිමක් තිබෙන බව නලින්ද්‍රට අමතක කරන්නටද බැරිය.

“ඇයි?” කියා  නෙත්මලී එකවරම හැරී නලින්ද්‍ර දෙස බැලුවේ නලින්ද්‍ර බොහෝ වෙලාවක් තිස්සේ මුකුත් නොකියා තමන් දිහාම බලාගෙන උන්න බව තේරුණ හන්දාය..

“ඇයි?”

“ඔහොම මං දිහා බලන් ඉන්නෙ.”

“ඉතින් බලන් ඉන්න බැරිද?”

“බැරි නෑ”

“එහෙනම්?”

“නිකන් ඇහුවෙ”

“මංත් නිකන් බලන් හිටියෙ.”

“බොරු අනේ ඔයාගෙ”

“ඇයි?”

“ඔයා නිකන් බලන් ඉන්න මනුස්සයෙක් නෙවෙයි” කියා නෙත්මලී මූන නොරොක් කරගෙන කියද්දී  නලින්ද්‍ර සිනාසුණේය.

“එහෙනම්  මං මොන වගේ මොන මනුස්සයෙක්ද?”

“දන්නෙ නෑ”

“දන්නෙ නෑ කියලා බේරෙන්න බෑ”

කියා නලින්ද්‍ර ආයෙමත් ඇය දිහා බලාගෙනම සිටියේය. මේ මොහොත මෙච්චරම ලස්සන වෙන්නට හේතුව අහසද, හැන්දෑ ඉරද, නැත්නම් තමන් ළඟින් හිඳගෙන ඉන්නා මේ කෙල්ලද කියා හරියටම තේරුංගන්නට පුළුවන්කමක් ඇත්තටම නලින්ද්‍රටවත් තිබුණේ නැත.

ඒත් නලින්ද්‍රට හරියටම තේරුණ එක් දෙයක් තිබුණේය. ඒ තමන් මේ කෙල්ලට ආදරය කරන්නේ ඇය ලස්සන නිසා විතරක් නොවන බවය.නෙත්මලී තමන් ළඟ ඉද්දි තමන් තුළ හිඳින මිනිසාව වෙනස් විදියකට අවදි කරන්නට හේතුවන නිසාත්  ඇය හිනාවෙන විට තමන්ටත් හිනාවෙන්න හිතෙන නිසාත්,  ඇය දුක් වෙන විට තමන්ගේ හිතටත් ඒ දුක දැනෙන නිසාත් ය.

නලින්ද්‍ර හෙමින් සැරේ නෙත්මලීගේ සුදු මුදු අත අල්ලා ගත්තේ ඒ සිතුවිලි ඔස්සේ හිත පත් මහා ආදරයකිනි.

“ඇයි?”

“නිකන්”

“ඔයා නිකන් කියලා කියනවා වැඩියි අද”

“එහෙමද?”

“ම්ම්ම්ම්” කියා නෙත්මලී සිනාසෙද්දී ඒ සිනාවට සිනාවකින් එක්වන්නට ඇත්තටම නලින්ද්‍රට පුලුවන්කමක් තිබුණේ නැත. ඒ සිනහව දිහා බලාගෙන සිටි නලින්ද්‍රගේ හිතට ඊයේ අතුල සමරසිංහ කියූ වචන මතක් නොවුණා නොවේ.

ඒත් ඒ බර මූණ මත තවරන්නට නලින්ද්‍ර හිතට ඉඩ දුන්නේ නැත. ඔහුට අවශ්‍ය වූයේ මේ මොහොතේ ඇයව ආදරයෙන් බලාගැනීම පමණි. ඒත් හිතේ කොහේ හෝ තැනකින් එක ප්‍රශ්නයක් නැගී එමින් තිබුණ බව නලින්ද්‍රට නොතේරුණා නොවේ.

“ආදරෙන් බලාගන්න එක විතරක් ඉතින් ඇතිද? නෙත්මලී හිත අස්සෙ සෑහෙන ලොකු ට්‍රෝමා එකක් හිරකරගෙන ඉන්න ළමයෙක්. එයා තාම මං එක්ක ඒ කිසිම දෙයක් ගැන කිව්වෙ නෑ. මං එයාට ආදරෙයි කියලා මං හිතාගෙන ඉන්නවා. එයා මාව විශ්වාස කරනවා කියලත් මං හිතනවා. ඒත් කෙනෙක්ව ආදරෙන් බලාගන්න එකයි, ඒ කෙනාව ඇත්තටම තේරුම් අරගෙන ඉන්න එකයි දෙකක්නෙ.

 මං ඇත්තටම නෙත්මලීව කොච්චර දන්නවද? 

එයා මට කියන දේවල් විතරනෙ මං දන්නෙ. එයා මං ඉස්සරහා හැසිරෙන විදියෙන්නෙ මං හැමදේම ජජ් කරන්නෙ. ඒත් ඒ හැමදේකට යටින් එයා හිතේ තියාගෙන ඉන්න දේවල් මං දන්නෙ නෑනෙ. සමහරවිට එයාට ඒ දේවල් මට කියන්න තාම හිත හදාගන්න බැරුව ඇති. එහෙම නම් ඒකත් මට පිළිගන්න සිද්ද වෙනවනෙ. ආදරේ කරනවා කියලා කෙනෙක්ගෙ හිත ඇතුළට බලෙන් ඇතුල් වෙන්න බෑනෙ. එයාට කවදාහරි කියන්න හිතුණ දවසක කියයි. එතකම් මං කරන්න ඕන එයාට මං ඉන්නවා කියලා දැනෙන්න සලස්වන එක. එයාගෙ හැම ප්‍රශ්නයක්ම මට විසඳන්න පුළුවන් කියලා මං හිතන්නෙ නෑ. ඇත්තටම මට ඒක කරන්නත් බෑ. මට කරන්න පුළුවන් දේවල් තියෙනවනෙ.

 දැන් අතුල අංකල් කියන විදියට එයා එයාගෙ අම්මා හන්දත් හරියට ට්‍රෝමා වල උන්න ළමේක්නෙ. එහෙම ළමේක් එයාට ආදරෙන් උන්න තාත්තා නැති උනාම සෑහෙන මෙන්ටලි වැටෙන එක මාර නැචුරල් නෙ.

මට තියෙන ප්‍රශ්නෙ මේ ළමයා මේ මගෙන් හොයන්නෙ එයාට තාත්තා හන්දා මිස් වෙච්ච ෆාදර් ෆිගර් එකද කියන එක. ඒක එහෙම නං මම එයාට දෙන්න හදන ආදරෙයි එයා මගෙන් බලාපොරොත්තු වෙන ආදරෙයි අතරෙ ලොකු ගැප් එකක් තියෙනවනෙ. 

ඒ දෙක මැච් කරගන්න පුලුවන් වෙයිද? එහෙම බැරි උනොත් මේ සම්බන්ධෙ එයාට තව දුකක් බරක් වේවිද?” කියා හිත තිබුණේ නලින්ද්‍රව විමසමිනි. 

ඒ දෙක මැච් කරගන්න පුලුවන් වෙයිද? එහෙම බැරි උනොත් මේ සම්බන්ධෙ එයාට තව දුකක් බරක් වේවිද? කියා හිත තිබුණේ නලින්ද්‍රව විමසමිනි.

ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න නලින්ද්‍රට හදිස්සියක් තිබුණේ නැත. මොකද ආදරේ කියන්නෙ හැම ප්‍රශ්නයකටම ඒ මොහොතෙම උත්තර හොයාගන්න එක නොවෙයි කියා නලින්ද්‍ර දැනගෙන උන්නේය. සමහර දේවල් තේරුම් ගන්න මිනිස්සුන්ට කාලය ඕනෑය. සමහර දේවල් අහන්නත් හරි වෙලාවක් ඕනෑය. ඒ නිසාම නෙත්මලීගේ හිත ඇතුළට තමන්ගේ ප්‍රශ්න අරගෙන බලෙන් රිංගන්න නලින්ද්‍රය ඕනෑ වූයේ නැත.

ඒත් ඇය ගැන තව ටිකක් දැනගන්නට නලින්ද්‍රට පුදුමාකාර උවමනාවක් තිබුණේය.

“නෙත්…”

“ම්ම්ම්?”

“ඔයාගෙ ගෙදර ගැන ඔයා මට හරිම අඩුවෙන් නෙ කියල තියෙන්නෙ?”

“ඒ කිව්වෙ?”

“අම්මා තාත්තා ගැන එහෙම”

“අම්මා නම් ඉන්නවා ඉතින්”

“ඒක මං දන්නවා ළමයො. මං ඇහුවෙ එයාලා හොඳින්ද කියලා”

“හොඳින් තමයි ” කියා කියද්දී ඒ පිළිතුර පැමිණියේ වෙනදාට වඩා මඳක් ඉක්මනින්ය බව නලින්ද්‍රට තේරුණේය. නලින්ද්‍ර ඒ වෙනස අල්ලාගත්තේය. ඒත් ඒ ගැන තවත් අහන්නට ගියේ නැත.

“ඔයා අම්මා වගේද?”

“මං?”

“ම්ම් නෑ අනේ”

“එහෙනම් කා වගේද?”

“මං මං වගේ”

“ඒකත් හොඳ උත්තරයක්”

“ඇයි?”

“නිකන්. මට හිතුණා ඔයාගෙ ගෙදර අයගෙන් කාට හරි ඔයා වැඩියෙන් සමාන ඇතිද කියලා දැනගන්න”

“මං තාත්ත වගේ කියලා අම්මා ඉස්සර කියනවා”

“ඉස්සර?”

“ම්ම්.”

“ඇයි දැන් කියන්නෙ නැද්ද?”

නෙත්මලී හිස දෙපසට සෙමින් වැනුවේ නෑ කියන්නටය.

“තාත්තත් ඔයා වගේද?”

“කොහොමද?”

“නිකන්… ඔයාට හිනාවෙන්න හේතුවක් නැති වෙලාවකත් හිනාවෙන්න පුළුවන්නෙ. ඒ වගේද කියලා ඇහුවෙ, ඔයා හරි සැහැල්ලුවෙන් නෙ දේවල් දිහා බලන්නෙ”

“තාත්තා නම් එහෙම නෑ”

“එහෙනම්?”

“තාත්තා හරි සීරියස්”

“තාත්තටද වැඩිපුර ආදරේ?”

“ම්ම්ම්ම්” නෙත්මලී ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත.නලින්ද්‍රට තවත් කිසිවක් අහන්නට හිතුණේත් නැත. ඒ වචන දෙක තුන ඇතුළේ ඇය නොකියපු දේවල් තිබෙන බව දැනුණ නිසාම නලින්ද්‍ර එතකින් නිහඬ විය.

“ දැන් කියන්නකො ඔයා මේ ඔයාගෙ තාත්තගෙ වගේ වයසෙ ඉන්න මං වගේ නාකි මිනිහෙක්ට කැමති උනේ ඇයි කියලා?”

“මොකක්?”

“ඔයා නාකි නෑ අනේ”

“ ඒ උනාට මං ඔයාට වඩා ගොඩක් වැඩිමල් මනුස්සයෙක්නෙ. ඔයාට වඩා වෙනස් ජීවිතයක් දැකලා තියෙන මනුස්සයෙක්. මං කියන්නෙ ඔයාට වඩා අවුරුදු ගාණක් ඉස්සරහින් ඉන්න මනුස්සයෙක්. එහෙම කෙනෙක් එක්ක ඔයාට යාලු වෙන්න හිතුණෙ ඇයි?”

“ඒක ඔයාට ඇත්තටම දැනගන්න ඕනද?”

“ඔව්”

“අනේ මන්දා”

“ඔය ඉතින්. ඔය දන්නෙ නෑ කියන උත්තරේට මං එච්චර ආස නෑ. ජීවිතේ ගැන සීරියස් ඩිසශන් එකක් ගන්න යද්දි පොඩ්ඩක් සිරියස් වෙන්න ඕනනෙ”

“ඒක ඇත්තටම දන්නෙ නෑ. මුලින්ම ඔයාට මං කැමති උනේ ඇයි කියලා මටවත් හරියට මතක නෑ. හැබැයි පස්සෙ”

“ම්ම්ම්ම්”

“ඔයා ළඟ මට මං වගේ ඉන්න පුළුවන් කියලා මට තේරුණා. මට වෙන කෙනෙක් වෙන්න ඕන උනේ නෑ. ඔයා ඉස්සරහා මං පොඩි ළමයෙක් වගේ හිටියත් ඔයා මාව එහෙම ජජ් කරේ නෑ. මං මොනවා හරි මෝඩ දෙයක් කිව්වත් අහගෙන හිටියා. මට දුක හිතුණාම මට ඒක හංගන්න ඕන උනේ නෑ. ඒක මට පුරුදුයි වගේ දැනුණා. හරියට තාත්තා ළඟ වගේ” 

නලින්ද්‍රගේ හිත බර කරේ අන්න ඒ අන්තිමට තිබුණ වචන ටිකය.

මේ කෙල්ල තමන්ට ආදරේ කරන්නේ කොතැනකින්දැයි තේරුම් ගන්නට කලින් තමන් ඇයට ආදරේ කරන්නේ කොහොමදැයි තේරුම් ගත යුතු බව නලින්ද්‍රට පවා වඩා හොඳින් තේරුම් ගියෙ එවෙලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here