තරප්පු පෙළ මතත් , කොරිඩෝව ඉදිරියෙත් එහා මෙහාත් ගමන් කරමින් උන් මිහිදුමී අසල්වැසි නිදන කාමරයේ අගුල කරකැවෙන හඬට වහා තම නිදන කාමරය තුළට පැන ගත්තාය. අගුලෙන් පසු ද්වාරය විවර වන හඬටද කන් දී සිටි ඈ අහම්බයෙන් පිටතට එන ලෙසට තම කාමරයෙන් පිටතට පැමිණියාය. අත් දිගු ලා නිල් පැහැ කමිසයකින් හා කලු පැහැයට ඉතා ආසන්න අඳුරු නිල් පැහැයට හුරු කලිසමකින් සැරසී කාර්යාලය වෙත යෑමට සූදානම් වී සිටි ඔහු දෙස බැලූ ඈ මුව පුරා සිනහවක් නැඟුවාය.
” ඔයා යන්නද ?”
” හ්ම්ම්..”
” මට ලෙක්චර්ස් දෙකට. “
” හ්ම්ම්. “
” මං මේ.. ලන්ච් එක අරන් වේලාසන එන්නද එදා වගේ. ?”
මෙතෙක් වේලා ඇසීමට මඟ බලමින් උන් පැනය ඈ නොඉවසිලිමත්ව ඔහු ඉදිරියේ තැබුවාය.
” කරදරයක් නේද?”
” නෑ.. එතකොට උණුවෙන් කන්න පුලුවන්නේ ?”
” කොහොමත් මං කන්න කලින් කෑම එක රත් කර ගන්නවා ඔෆිස් එකේදි “
ඇඹුල් වූ උවන බිමට නැඹුරු වූ අතර ඔහු මඳ සිනහවක් නඟා ඈ අසලට අඩියක් තැබුවේය.
” කාලා එන්න එපා. කන්න බලාගෙන එන්න. “
නැවත වතාවක් මුව පුරා සිනහවක් නැඟූ ඈ ඔහු දෙස බලා හිස සොළවා එකඟ වූවාය.
” අම්මා.. ! මං යනවා. “
මුළුතැන්ගෙයට හිස පෙවූ වැඩිමහලු පුත්රයා දෙස බැලූ මහීකා ඉක්මනින් ඉන් පිටතට ආවාය.
” උදේට කාලා යන්නකෝ දරුවෝ. “
” දැන් බෑ අම්මා. වේලාසන වැඩියි. මං ඔෆිස් එකෙන් මොනාහරි කන්නං. ආ.. මේ.. ලන්ච් එක දුමී අතේ එවන්න. “
මහීකා සිනහ පිරි මුවින් හිස සළා එයට එකඟ වද්දී ඔහු මඳක් නැමී ඈට වැඳ ඇගේ නළල සිප ගත්තේය.
” තුණුරුවන්ගේ සරණයි “
කඩවසම් තරුණයාගේ මවට සමුදීමේ ක්රියාව දෙස බලා පසෙක සිටි තරුණියගේ සිත ශීත හැඟීමකින් පිරුණි. කෙතරම් ළංව ඇතත් කිසිදු දිනක සිප ගැනීමකට උත්සාහයක් හෝ නොවුණු සම්බන්ධතාවයක දිග පළල පිළිබඳව ඈට කිසිදු වගක් නොවුණත් මහීකාගෙන් පසු සමුදීම තමා වෙත බව වටහා ගත් ඈ අපහසුවෙන් කෙළ පිඬක් ගිල ආලින්දයේ සිට ඉදිරිපසට අඩි තැබුවාය.
” මං යන්නම්. “
වැරැන්ඩාවේ විසල් කණුවකට බරව ගෙමිදුල දෙස බලා උන් ඈ පසුපසින් ඇසුණු හඬට ඒ වෙතට හැරුණාය.
” එද්දි මොනාහරි ගේන්න ඕනෙද ?”
” එපා. මුකුත් එපා. ඒ උනාට කමක් නෑ ඔයා කැමති දෙයක් අරන් එන්න. “
” මොකක් ?”
” එහෙම තමයි ඉතිං උදේ යද්දි බලන් ඉන්නවා වගේම ආයේ එද්දිත් බලන් ඉන්නවා කියලා දන්නවනේ . ඉතිං කොච්චර එපා කිව්වත් අරන් එන එක තමා යුතුකම. “
ඔහු හිස හරවා හිස් අවකාශය හා සිනාසුණේය.
” මං යන්නං. පරක්කු උනා. “
” යන්නං කියන්න එපා. ගිහින් එන්නං කියන්න. සමන් දෙයියන්ගේ පිහිටයි..!”
යෑමට එසවූ අඩිය ආපසු හරවා ඔහු සෙමින් ඈ දෙස බැලුවේය. දෙපයින් නැඟ එන ශීත හිරි වැටීමත් සමඟම ඈ හිස හරවා යළි නිවස දෙස බැලුවාය. ඒ සමඟම ඔහුගේ දෑසද නිවස වෙත යොමුව යළි තමා වෙතට වැටෙන අයුරුද ඈ අහම්බයෙන් දුටුවාය. ඉදින් රළු දෙතොල පමණක් නොව බර සුසුම්ද ඇගේ නළල් තලය මත තැවරිණි. ඇගේ සිහින් අතැඟිලි මත යන්තමින් දැවටුණු ඔහුගේ විසල් අතැඟිලි එකී හාදුවත් සමඟම තවත් තදවී ගියේය.
” ගිහින් එන්නං. “
දෑස ඔසවා බැලීමට තරම් ශක්තියක් නොමැතිව විළියෙන් ඇඹරුණු ඈ නැවත වතාවක් හිස සොළවා හා යැයි පැවසුවාය. ගෙමිදුලෙන් නික්මුණු මෝටර් රථයේ හඬ නෑසෙන තුරුම මාර්ගයට දෑස මෙන්ම සවනද අල්ලා සිටි ඈ අවසානයේ සැනසුම් සුසුමක් හෙළුවාය.
****************************************
මහීකා ආලින්දයේ සෝපාව අද්දර සිටගෙන මුහුණ පොළොවට බර කරමින් සිටියාය. අත රැඳි තේ කෝප්පයෙන් උගුරක් තොල ගෑ වැඩිහිටි මිනිසා එය නැවත ටීපෝව මතින් තැබුවේය.
” ආන්ටී..! මං ගිහින් එන්නං “
සෙමින් සෙමින් ඇවිද ආ මිහිදුමී අත තිබූ බෑගය පසෙකින් තබා මහීකාගේ දෙපා නැමැඳ්දාය.
” දුමී..! කෑම ටික ගත්තද ?”
” ඔක්කොම ගත්තා ආන්ටි “
ඈ පිළිතුරු බැඳ රහසින් සෝපාවේ උන් විසල් මිනිසා මතට දෑස යොමු කළාය.
” ආ.. දුමී.. ! මේ ඉන්නේ මගේ අයියා. ඊයේ තමයි ලංකාවට ආවේ. අෂ්මිලගේ රෙජිස්ට්රේශන් එකට අයියාට ඉන්න බැරි උනා. ඒ නිසා ඔයාට මීට කලින් මීට් වෙලා නෑ. “
මහීකාගේ හඳුන්වා දීමෙන් පසු ඔහු දෙස බැලූ මිහිදුමී හිස මඳක් පහත් කොට මුව පුරා හිතවත් සිනහවක් නැඟුවද කිසිදු ප්රතිචාරයක් නොපෙන්වූ ඔහු හිස් බැල්මක් පමණක් ඈ වෙතට හෙළුවේය.
” මොකද්ද නම කිව්වේ ?”
සමච්චලයක ස්වභාවයක් තැවරුණු පැනයේ ස්වරය තෝරා බේරා ගැනීමට තරුණියට කිසිදු අපහසුවක් නොවුණි.
” මිහිදුමී දම්සේයා මහවලතැන්න “
” මහවලතැන්න ?”
” ප්රොෆෙසර් භරණ මහවලතැන්න මගේ මාමා.”
ආරූඪ කරගත් ආඩම්බරකාරී ස්වරූපයකින් ඈ පිළිතුරු බැන්ඳාය.
” ම්ම්.. මං ඩොක්ටර් භරණ ගැන අහලා තියනවා. “
” ගිහින් එන්නං ආන්ටි.. ”
” තෙරුවන් සරණයි. “
” ගිහින් එන්නං “
පෙරට වඩා අඩු සිනහවකින් ආගන්තුක මිනිසා වෙත සංග්රහ කළ මිහිදුමී වහා ගෙමිදුලට බැස ඒ වනවිටත් පැමිණ තිබූ ත්රී රෝද රථයට ගොඩ වූවාය.
මහීකා ප්රධාන ද්වාරයෙන් මෑත්වී යළිත් ආලින්දය කරා පැමිණ වැඩිමහල් සොහොයුරා උන් අසලින් සිට ගත්තාය.
” මං දැන් මේවා ගිහින් කෙල්ලට කියන්නේ කොහොමද ?”
ඈ දෙසට බැල්මක් හෝ නොහෙළූ පුද්ගලයා ඉවත බලා වෙව්ලුම් කෑවේය.
” අයියේ.. ! මුල ඉඳන්ම අපි පැහැදිලිව කිව්වනේ මීෂා ගැන ලොකූගේ හිතේ තියෙන්නේ ඒ තමන්ගේ නංගි කියන හැඟීම විතරයි “
” ඒ උනාට ලොකූ හිටියේ මගේ මූණට බෑ කියන්න බැරි තැන. “
” ඒක හරි අයියේ.. ඒත්.. එහෙමයි කියලා කිසිම හැඟීමක් , ආදරයක් නැතුව කසාදයක් කරලා ඒ දරුවො දෙන්නගෙම ජීවිත විනාස කරන්න ඕනේ නෑනේ ?”
” හහ්.. ! දැන් දැන් උඹලට හැමදේටම හේතු තියනවා. අමතක කරන්නෙපා නංගි, ඒ කෙල්ල මහවලතැන්න පවුලෙන් පිනට හදාගත්තු කෙල්ලෙක්. හරියට නිකන් තමන්ගේ පාලුව මඟ ඇර ගන්න හුරතලේට හදපු සතෙක් ගාණයි. “
මහීකා එවර කෝපය පිරි දෑසින් තම සොහොයුරා දෙස බැලුවාය.
” අයියේ.. ! මොනවද මේ කියන කතා. ? ඒ තරුණ ගෑනු ළමයෙක්. ඔයත් ගෑනු දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්නේ ?”
” මටත් ගෑනු දරුවෙක් ඉන්න හින්දා තමයි මෙහෙම කියන්නේ . මට ඉන්න ගෑනු දරුවා අවුරුදු ගාණක් තිස්සේ මේ ගෙදර පිරිමි දරුවා ගැන බලාපොරොත්තුවෙන් හිටියා. කාලෙන් කාලෙට එක එක දේවල් කිය කිය මඟ ඇරියත් ඒ කෙල්ල ඒ බලාපොරොත්තු නැති කරගත්තේ නෑ. පොඩ්ඩක් එහා මෙහා උනා විතරයි ඒ ඔක්කොම දැන ගෙනත් මෙහෙම කොහෙවත් යන එකියක් එක්ක කසාද තීන්දු කර ගත්තු එක හරිද ? ”
” අයියේ.. ! මේ තීරණේ ගත්තෙ මම නෙමෙයි. ලොකූමයි. එයාමයි මේ දරුවව කසාද බඳින්න කැමති උනේ. “
” අන්න ඒක තමයි මටත් තියන ප්රශ්නේ. අහසින් කඩා වැටුණා වගේ මේ ගේ ඇතුළට පාත් වෙලා මේ ආතක් පාතක් නැති කෙල්ල මේ කොල්ලට මොනවා කළාද කියලා මෙච්චර වශී වෙන්න ?”
පිළිතුරක් නොබැඳි මහීකා සිත බොහෝ දුරට රිදවාගනිමින් සිටියාය.
” නිකමට.. නිකමට හරි ඔය කෙල්ලගේ අම්මා අප්පා කවුද කියලා හොයලා බැලුවද ? මහවලතැන්නලාගේ දුවෙක් කිව්වට අපෙ නෑයින්ට කවදහරි දවසක මේ කෙල්ලව අඳුන්නලා දෙන්නෙ කොහොමද ? ඩොක්ටර් භරණට මාමා කියලා, ඒ මනුස්සයගේ අම්මට අම්මා කියනකොට ඕන මිනිහෙක්ට තේරෙනවනෙ මොකද්ද ඒ හතරබීරී කතාව කියලා. ? මිනිස්සු ප්රශ්න අහනකොට උඹලට දෙන්න උත්තර නැති වෙයි. මැරිලයි මැරිලයි කිව්වට ඒ කෙල්ලගේ අම්මා , අප්පා කවුද අර අක්කෙක්ද කොහෙද ඔය හැමෝම මැරුණෙ කොහොමද කියන්නවත් උඹලා දන්නවද ? මේ කෙල්ල විතරක් ඉතිරි වෙලා පවුලේ අනිත් ඔක්කොම මැරුණු එකත් පිළිගන්න පුලුවන් දෙයක්ද ? රටේ ලෝකේ මිනිස්සු අහන ප්රශ්න වලට දෙන්න උත්තර උඹ ලඟ තියනවද නංගි ?”
” රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕන විදිහට අපිට ජීවත් වෙන්න බෑනේ අයියේ. මේ කොල්ලො දෙන්නා මේ වගේ තැනකට ගේන්න මං කොච්චර දුකක් වින්ඳද කියලා අයියා දන්නවා. එතකොට ඔය රටේ ලෝකේ මිනිස්සු මට උදව් කරන්න ආවේ නෑනේ ? අද උන් දෙන්නා කොච්චර ලොකු තැන්වලද ඉන්නවද ?”
” අන්න ඒ වගේ කැපකිරීම් කරලා උන්ට හදලා දීපු ජීවිතේ ඇයි උඹ මේ විනාස කරන්න හදන්නේ ? මං කියන්න ඕනේ නෑ , උඹම දන්නවා ලොකූ තරම් හොඳ කොල්ලෙක් අපේ මුලු පරම්පරාවටම නෑ. එහෙම එකාව උඹ මේ නිකන්ම නිකන් කෙල්ලෙක්ට දෙන්න හිත හදා ගත්තේ කොහොමද ?”
” මිහිදුමී කියන්නේ නිකන්ම නිකන් කෙල්ලෙක් නෙමෙයි අයියේ. ඒ කෙල්ලට මහවලතැන්නලාගේ පරම්පරාවේ කිසිම කෙනෙක්ට නැති තරමේ කෝටි ගාණක උරුමයක් තියනවා. ඒ මිනිස්සු අපිට පැහැදිලිව ඒ දේවල් පෙන්නුවා. ඔයාලගේ , අපේ හැම රුපියලක්ම එකතු කළත් ඒ තනි කෙල්ලට තියන දේවල් වලට ළං වෙන්නවත් බෑ. “
තව දුරටත් ඉවසාගත නොහැකි කෝපය හමුවේ මහීකාද පිළිතුරු බැන්ඳාය.
” අහ්.. එහෙනං ඒකයි මේ.. ? එහෙනං ලොකූටත් සල්ලි ලොකු උනා. “
කෙතරම් උත්සාහ කළත් කිසිදු දෙයක් හරියාකාරව තේරුම් නොගන්නා සොහොයුරා පිළිබඳව අප්රමාණ වූ කෝපය හා කළකිරීම මත මහීකා තව දුරටත් පිළිතුරු බැඳීම අත් හැර දැමුවාය.


