විවර කරන ලද පෙට්ටියේ වූයේ රන්පැහැ ගත් කුඩා මංජුසාවකි. එයද අතට ගත් භරණ අස්නක ඉදිරියේ එය විවර කළේය. රන් පැහැ මංජුසාව තුළ නිල් පැහැ සිනිඳු මතුපිටක් විය. ඒ මත රෝස හා තැඹිලි වර්ණයන් දෙකම මිශ්‍ර වූ මාණික්‍යක් විය. අෂ්මිල හා තේජ් දෙදෙනාම මුහුණට මුහුණ බලා ගත් අතර බියපත් දෙනෙතකින් මහීකා කිසිදු කලබලයක් නොමැති තම වැඩිමහලු පුත්‍රයා දෙස බලා සිටියාය.
” මේක පද්මරාගයක්. Padparadscha Sapphire එකක්. පද්මරාග කියලා සිංහලෙන් කියන්නේ නෙළුම් මල කියන නමට ගැලපෙන්න. මේකේ කලර් එක බලන්න pink- orange. හරියට ඉර බැහැලා යන වෙලාවට අහසේ පාට වගේ. “
තරුණයින් තිදෙනාම දල්වා ගත් දෑසින් මාණික්‍යය වෙත දෑස් විතැන් කරමින් සිටියදී භරණ තව දුරටත් ඒ පිළිබඳව විස්තර කළේය.
” පද්මරාගයක් කියන්නේ ලේසියෙන් හම්බවෙන්නැති ගලක්. මේක හරි දුර්ලභයි . මේකේ පාටත් එහෙමයි. මේ පාට එන්නේ මේකටම විතරයි. වෙන කිසිම මැණිකක මේ පාට නෑ. මේ මැණික් ගල මහවලතැන්න පරම්පරාවේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු උරුමයක්. අපි පරම්පරා ගාණක් පහු කළත් මහවලතැන්නලා මේක එළියට දැම්මේ නෑ. අපි ලඟ මෙහෙම එකක් තියනවා කියන්න වැඩිය කවුරුත් දන්නෙත් නෑ. එහෙම දැනගෙන ආපු අයටත් ආරංචිය බොරුවක් බව අඟවන්න තමයි අපේ මිනිස්සු වැඩ කළේ. මොකද මේක අපේ අතින් ගියා කියන්නේ ආයේ කවදාවත් මේකක් අපේ අතට ගන්න ලැබෙන්නෑ. මේ වෙද්දි පද්මරාගයක කැරට් එකක් ඩොලර් ලක්ශයක් වගේ වෙනකන් යනවා. “
නැවත වතාවක් විසල් කරගත් දෑසින් අෂ්මිල හා තේජ් ඔවුනොවුන්ගේ මුහුණු බලා ගත්හ.
” මට කලින් මේක අයිති වෙලා තිබ්බේ මගේ තාත්තට.. දැන් මට. මගෙන් පස්සේ මිහිදුමීට. “
” සමන් දෙයියනේ..! මට නං එපා.. “
දෝතින්ම එපා යැයි ඉඟි කරමින් බය භිරාන්ත වූ ඇගේ මුහුණ දුටු භරණගේ මුව මතට යාන්තමින් හසරැල්ලක් මෝදු විය.
” මං මේක මේ වෙලාවේ එළියට ගත්තේ අපේ පරම්පරාවේ ලොකුකම ගැන කියන්න නෙමෙයි. මිහිදුමී වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දේවල් කොච්චරක්ද කියන එක ඔයාලට කියන්න. ඉතිං මේකත් එක්ක බැලුවම මේ හිස් චෙක් එක කියන්නේ මුහුදෙන් ගත්තු වතුර පොදක් වගේ. අස්නක.. ! ඔයාට කැමති ගාණක් මේකට දාලා ඔයාගේ වැඩේ ඉක්මනට ඉවරයක් කර ගන්න. “
එසේ පැවසූ භරණ චෙක්පත අස්නකගේ අත තබා ඔහුගේ බාහුවට තට්ටුවක් දැමුවේය.
******************************************
” අනේ.. කේලි.. ඔයා ගුඩ් ගර්ල් නේ.,? දැන් එන්නකෝ අම්මි ලඟට.. “
” අනේ.. බෑ.. මට දුමී අක්කි ඕනේ.. “
” ඔය ඉතිං ඔයා බෑඩ් ගර්ල් වෙනවනේ..?”
” කමක් නෑ අක්කේ. අපිත් එක්ක ගියපුදෙන්. “
කුඩා සිඟිත්තිය තේජ් , අෂ්මිල , මහීකා හා උමන්දා නැඟුණු මෝටර් රථය වෙත යාමට ප්‍රතික්ෂේප කරමින් මිහිදුමීගේ ගෙල තදින් වැළඳ ගෙන සිටියාය.
” කේලී..! මගෙන් ගුටියක් කන්නැතුව අම්මි අතට යන්න. “
උමන්දා හට මෙල්ල නොවන සිඟිත්තිය දෙස බලා තේජ් එවර මඳක් තරවටු ස්වරයෙන් පැවසුවේය.
” මොකද බං පොඩි එකාට සැර දාන්නේ ?”
” උඹලා දෙන්නට නිදහසක් නෑනේ මචං “
” එහෙම එකක් ඕනේ නෑ බං. දුමී ඔයා බබා එක්ක නඟින්න.. “
අස්නක තම මෝටර් රථයේ ඉදිරිපස ද්වාරය විවර කොට මිහිදුමී එයට ගොඩ වන තුරු බලා සිටියේය.
” නංගි..! වැඩි වෙලාවක් යන්න කලින්ම මෙයා නිදා ගනියි. එහෙම නින්ද ගියාම කෝල් එකක් දෙන්න. අපි අපේ වාහනේට ගන්නං. “
” හරි අක්කේ.. “
මහවලතැන්න නිවසට සමු දුන් පිරිස ඒ අනුව මෝටර් රථ ද්විත්වයට නැඟ යළි කොළඹ බලා ඒම ආරම්භ කළහ.
” දුමී අක්කිගේ ගෙදර හොඳයිද චූටි පැටියෝ..?”
මිහිදුමීගේ තුරුළට වී සිටින කුඩා සිඟිත්තිය දෙස බලා යළි මාර්ගය දෙසට දෑස විතැන් කළ අස්නක එසේ විමසුවේය.
” ම්ම්ම්.. සෝයි.. අපි ගඟෙන් නෑවා. ලොකූ එන්න කලින් “
සුරතලිය දෑස මෙන්ම උවනද නටවමින් පිළිතුරු බැන්ඳාය.
” ඒක ගඟක් නෙමෙයි පැටියෝ. ඒක දොළ පාරක්. ගඟක් කියන්නේ ඊට වඩා ගොඩාක් ලොකු එකකට. “
මිහිදුමී ඇගේ හිස පිරිමදිමින් පැවසුවාය.
” අපි කෑවා චූටි පර්පල් කලර් ඒවා. නේද අක්කි ?”
” ඒ දං පැටියෝ. “
ඈ එවර සිනාසෙමින් පිළිතුරු බැඳ රියදුරු අසුනේ වූ ඔහු දෙස බැලූ අතර මඳ සිනහවක් තවරා ගත් මුවින් ඔහු දිගටම ඉදිරිපස බලමින් සිටියේය.
බොහෝ වේලාවක් තොරතෝංචියක් නොමැතිව කියවමින් උන් සිඟිත්තිය උමන්දාගේ බස ස්ථීර කරමින් නින්දට වැටුණාය. මඳ දුරක් ගමන් කරමින් සිටින අතර නින්දෙන්ම කෙඳිරි ගෑ කුඩා දැරිය මිහිදුමීගේ ළැම මත මවගේ උණුසුම සෙව්වාය. නින්දෙන්ම මව් කිරි සොයා ඇගේ ළමැඳ මත මුහුණ එහා මෙහා කළාය.
” උ.. උමන්දා අක්කට බබාව ගන්න කියමුද ? ”
” ඇයි ?”
සිඟිත්තියගේ ක්‍රියාව නුදුටු ඔහු ඈ දෙස නොබලාම ප්‍රශ්න කළේය.
” බබා කිරි හොයනවා. “
ක්ෂණිකව ඇගේ ළැම මතට විතැන් වුණු දෑස ඒ ලෙසටම වේගයෙන් ඉවතට හැරිණි. විළියෙන් පෙඟී ගිය ඈ වහා කවුළුවෙන් පිටතට දෑස හරහා ගත්තාය. මිනිත්තු කිහිපයක් ඇතුළත අනෙක් පිරිස උන් රථයට නින්දෙන්ම දැරිය මාරු කළ මිහිදුමී යළි ඉදිරිපස අසුනට බර වූවාය.
රථය තුළ වූයේ දැඩි නිශ්ශබ්දතාවයකි. ඔහු නිහඬවම ඉදිරිය බලා රථය පදවන්නේය. කඩවසම් උවනත් , පිරුණු මාංශ පේෂී සහිත සුක්කානමට තද වූ දෑතත් , වැරදීමකින් හෝ ඈ වෙතට යොමු නොවන නිහඬ බැල්මත් දෙස යටැසින් බලා සිටි තරුණිය අවසානයේ මෝටර් රථය තුළ වූ නිහඬබව බිඳිමින් මුව විවර කළාය.
” ඔයාට රහසක් කියන්න තියනවා. “
ප්‍රති පිළිතුරක් නොමැත.
” ඇහුනද ?”
” අහන් ඉන්නේ. “
” ආහ්.. මේ මනුස්සයා නම්.. සුට්ටක් රොමෑන්ටික් වෙන්න බෑද? බුම්මගත්තු බැබුන් කෙනෙක් වගේනේ අප්පා. “
යටිසිතින් එසේ තමාටම මුමුණාගත් ඈ යළිත් වරක් හොඳින් හරි බරි ගැසී ඔහු වෙතට හැරුණාය.
” මේ.. සුභාවි අක්කා..”
කතාව ඇත්තේ ඇය තුළය. පැවසීමද ඈ සතුය. නමුදු ඇයට අවැසි කතාව පැවසීමට වඩා තමා සමඟ සංවාදයක් ගොඩ නැඟීමට බව හොඳින් වැටහුණු ඔහු මුවට නැඟි සිනහව තොල් පටින් තද කරමින් නතර කර ගත්තේය.
” හ්ම්ම්.. ඉතිං ?”
” සුභාවි අක්කාගෙයි , අපේ මාමගෙයි අතරෙ එෆෙයාර් එකක් තිබිලා තියනවා. “
” seriously ?”
” ම්ම්ම්.. “
” ඉතිං ඇයි breakup වෙලා තියෙන්නේ ?”
දෑස ඈ වෙතට නොවැටී මාර්ගය තුළම වුවද ඔහුගේ ප්‍රශ්න කිරීම ඇගේ සතුටට හේතුවක් වී තිබිණි.
” අපේ මාමාට පිස්සුනේ. මින්දුලා අක්කගේ හොඳම යාලුවා සුභාවි අක්කලු. මින්දුලා අක්කව බලන්න යන එන අතරෙදි තමයි ඒ දෙන්නා යාලු වෙලා තියෙන්නේ. මින්දුලා අක්කා නැති උනාට පස්සේ මාමා හැමදේම අතෑරලා. සුභාවි අක්කවත්. “
” හ්ම්ම්…”
” එයා පව්. අදටත් මාමා ගැන කතා කරද්දි එයාගේ ඇස් වලට කඳුළු එනවා. එතනදි අපේ මාමා හරි වැරදියි. දෙයක් උනා තමයි. ඒත්.. ඒකට දුක් වින්ඳේ කොහෙවත් හිටපු සුභාවි අක්කා. මාමා එයාව අතෑරපු එක වැරදියි. පව්..”
විසල් තුරුපතින් ගහණ වූ නිස්කලංක මාර්ගයක පසෙකට කොට මෝටර් රථය නතර කළ ඔහු සුසුමක් අත හැර ඈ දෙස බැලුවේය.
” ඇයි නතර කළේ ? මං කියවනවා වැඩිද? ඒක අහගෙන ඩ්‍රයිව් කරන්න බෑ ? සමහර වෙලාවට මාමාත් කියනවා හැබැයි මේ දුමී.. චුට්ටක් කට වහන් මට නිදහසේ ඩ්‍රයිව් කරන්න දෙනවකෝ කියලා. එහෙම ප්‍රශ්නයක්නම් කියන්න , මං කට වහන් ඉන්නං. “
” කියවනවනං වැඩියි තමා.. “
ඇඹුල් කර ගත් උවනින් තොල් පට නොපිටට පෙරළා ගත් ඈ කවුළුවෙන් ඉවත බැලුවාය.
” හැබැයි මං වාහනේ නතර කළේ ඒ නිසා නෙමෙයි. “
එසේ පැවසූ ඔහු පැළඳ සිටි ආසන පටිය ගලවා දමා ඉවත බලා උන් ඇගේ උකුළ මත ඇති ඇගේ අතින් අල්ලා ගත්තේය.
” දුමී..! මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ප්‍රශ්නෙ එක විදිහ උනත් එක එක්කෙනා ඒවට රියැක්ට් කරන විදිහ වෙනස්. ගෑනු ,පිරිමි දෙගොල්ලෝ එක වගේ නෑ. එයාලගේ දරාගැනීම වෙනස්. ප්‍රශ්නයක් , කරදරයක් උනාම ඔයාලට කෑ ගහලා අඬන්න පුලුවන් උනාට , පිරිමි අපිට එහෙම කරන්න අමාරුයි. ඇඬුවත් අපි අඬන්නේ හොරෙන්. දරාගන්න අමාරු තැන් වලදි පිරිමින්ට ගොඩක් වෙලාවට ඕනේ හැංගෙන්න. විඳවන්න පුලුවන් අන්තෙටම තනියමම විඳවලා දුක නැති කරගන්න. ඇත්තටම ඒකෙන් වෙන්නේ දුක නැති වෙන එක නෙමෙයි. ඒ දුකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන එක. “
” ඔයා මේ කියන්නේ මාමා ගැනයි , සුභාවි අක්කා ගැනයිද ?”
” හ්ම්ම්…!”
” ඒත්..සුභාවි අක්කා පව්නේ. ? එයා මේ කිසි දේකට සම්බන්ධ නැති කෙනෙක්. එයාගේ ජීවිතෙත් නාස්ති වෙලානේ ?”
” කෙනෙක්ට ප්‍රශ්නයක් උනාම ඒක එයාට විතරක් නෙමෙයි , එයා ලඟම ඉන්න අනිත් අයටත් ප්‍රශ්නයක් වෙනවා. කිසිම අදාලත්වයක් නැති උනත් එකේ බලපෑම ඒ කෙනා වටේ ඉන්න අනිත් අයටත් දැනෙන්න පුලුවන්. අවුරුදු දහයක් විතර මං ගෙවපු ජීවිතේ නිසා අපේ අම්මා තනියම කොච්චර විඳවන්න ඇතිද ? එතකොට මල්ලි , තේජ් , මගේ ලඟම අය උනත් ඒ ප්‍රශ්නේ නිසා විඳෙව්වා. ප්‍රශ්නේ උනේ මට. ඒක එයාලට අදාල නෑ. ඒත්.. ඒකෙන් එයාලට මං නිසා වෙච්ච බලපෑම නැති කරන්න ක්‍රමයක් මං දැනන් හිටියේ නෑ. හැබැයි දැන් ඒ හැමදේම ටිකෙන් ටික නැති වෙලා යනවනේ. ? සමහර ප්‍රශ්න තියනවා දුමී , ඒවට විසඳුම් නෑ. එතකොට අපිට සිද්ධ වෙනවා බලන් ඉන්න. කොයි තරම් කාලයක් ගියත් කවදහරි හොඳ උත්තරයක් ලැබෙයි කියලා හිතන් බලන් ඉන්න.. තේරුණාද .. ?”


