පසළොස්වක මල් – 46

0
883

” දුමී.. ! දුමී..!” 

කිහිප විටක්ම මුළුතැන්ගෙහි කාර්යයන් වලට උදව් වීමට ඒ දෙසට ගියද ඒ සෑම මොහොතකම විශාඛා ඈව මුළුතැන්ගෙයින් එළවා දැමුවාය. කුස පිරෙන්නට කිරිබත් පිඟානකට වග කියූ ඈ ඉන්පසුව යහනට වැද අඩ නින්දේ පසුවූවාය. කොළඹ තරම් සිතට අවිවේකයක් නොදැනෙන රත්නපුර වටපිටාවට ඈ බොහෝ සේ පෙමින් උන්නාය. කාෂ්ඨක කොළඹට වඩා රත්නපුරයේ හමන සුළඟේ පවා නිවීමක් ඈට නිරතුරුවම දැනුණාය. අඩ නින්දේ වූ ඈ තිගැස්සී අවදි වූයේ විශාඛාගේ හඬටය. ඈ වහා පසෙක වූ ජංගම දුරකතනය අතට ගත්තාය. වේලාව උදෑසන දහය පසුවී සුළු මොහොතකි. වහා කොරිඩෝව දිගෙහි තරප්පු පෙළ වෙත දිව ගිය ඈ ආලින්දයේ වූ පිරිස දැක ප්‍රීතියෙන් පිනා ගියාය. 

” මහීකා ආන්ටී..!” 

” දුමී අක්කී…!” 

” සමන් දෙයියනේ..! කේලි මැණිකත් ඇවිල්ලා. “

ඈ වහා දිව විත් කේලිව වහා දෝතට ගත්තාය. පිළිවෙළින් නිවසට ගොඩ වූ මහීකාත් , අෂ්මිලත් , තේජ් හා උමන්දා වෙතත් දිව ගිය ඈ සිනහ පිරි මුවින් සියල්ලන්ම පිළිගත්තාය. 

” අම්මා හරි නරකයි. මට කිව්වෙ මාමගේ යාළුවො වගයක් එනවා කියල. “

” ඉතිං අපි යාළුවෝ නේන්නං “

මහීකා එසේ පවසා මිහිදුමීගේ කොපුලක් මිරිකුවාය. 

” දුමී නැතුව ගේත් එක්ක පාළුවට ගිහිල්ලා විශාඛා අක්කේ. ආයේ යද්දිනම් එක්කගෙනම යනවා ඔන්න. “

” එන්නකෝ.. එන්නකෝ.. ඔක්කොමලා ගෙට. “

විශාඛාගේ ආරාධනයෙන් සියල්ලෝම නිවස තුළට පිවිසි අතර පැමිණි සියල්ල දෙස දෑස කරකැවූ මිහිදුමී ගෙමිදුලටද බැස ඒ වටාද දෑස කරකැවූවාය.

” කාවද හොයන්නේ ?” 

උමන්දාගේ හඬට ඈ වහා පසුපස හැරුණාය. 

” ලොකු අයියා ආවේ නැද්ද ?” 

ඈ හිමින් සීරුවේ උමන්දා අසලට ළං වූවාය. පිළිතුරක් නුදුන් උමන්දා නැත යැයි පවසමින් හිස දෙපසට සැලුවාය. 

” ලොකු පුතා ආවේ නැද්ද මහීකා. ?” 

” නෑ විශාඛා අක්කේ. එයා පිළියන්දල අලුතින් සේල් එකක් ඕපන් කරනවා ලඟදි. මේ ටිකේම ඒකට මහන්සි වෙනවා. “

උමන්දාගෙන් ඇසූ පැනයට නිවස තුළින් ආ පිළිතුරත් සමඟ මුහුණ අඳුරු කරගත් තරුණිය සෙමින් සෙමින් යළි නිවස තුළට අඩි තැබුවාය. 

මහවලතැන්න නිවසේ උදෑසන තේ මේසය ඉතා සාරවත් වී තිබුණේය. භරණගේත් , තේජ්ගේ හා අෂ්මිලගේ කටහඬවල් උස් හඬින් නිවස පුරා සිනහ හඬ සමඟම පැතිර ගියේය. උමන්දාට නිදහසක් ලබා දුන් මිහිදුමී කේලි සමඟ සෙල්ලමට වැටුණාය. 

” පුතාලා දවල්ට කන්න කලින් පහළට ගිහින් එන්න. ශෝක් දොළ පාරක් තියනවා. නාන්නත් පුලුවන් .”

විශාඛා තේජ් දෙසත් , අෂ්මිල දෙසත් බලා පැවසුවාය. 

” භරණ කිව්වා ආන්ටී. අපි මේ යන්න තමා හැදුවේ. “

” ආ.. එහෙනං අද හරි. “

මිහිදුමී මුව ඇද කර භරණ දෙස බැලුවාය. කෙතරම් යහළු මිත්‍රාදීන් නිවසට පැමිණියද ඒ කිසිවෙකුට නිවස තුළ මත්පැන් සාද නොපවත්වන භරණ ඒ සියල්ලම සූදානම් කළේ වත්ත පහළට ගලා යන දොළ පහරට මායිම්ව තැනූ කුඩා කොටේජයක සිරියක් ගත් නිවසක් තුළදිය. අත්දැකීමෙන් එහි සිදුවන්නාවූ කර්තව්‍යන් පිළිබඳ දැන සිටි මිහිදුමීගේ නෝක්කාඩුවත් සමඟ භරණ මුව උල් කොට ඈ දෙස බලා සිනාසුණේය.

” සිරිතුංග.. ! ආවද,?” 

” ආවා මහත්තයා.. ඔක්කොම ලෑස්තියි. “

භරණ , තේජ් හා අෂ්මිල ගෙමිදුලට බැස ගත් අතර පළමුව ඉස්සර වූ භරණ නිවසේ වැඩ කටයුතු වලට උදව් වන සිරිතුංග සමඟ දොළ දෙසට පා එසවුවේය. 

” මහත්තයා.. ! හොඳ රා මුට්ටියක් හම්බුණා. “

සිරිතුංගගේ හඬින් භරණ වහා හැරී තරුණයින් දෙදෙනා දෙස බැලුවේය.

” අපි ඔය කොයි දේටත් ඔට්ටුයි අන්කල්. “

තේජ් මහපටැඟිල්ල ඔසවා පිළිතුරු බැන්ඳේය.

” අක්කේ..!” 

තරුණයින්ගේ කතා බහ අතර මිහිදුමී සෙමින් උමන්දා අසලට ළං වූවාය. 

” කියන්න කෙල්ල..” 

” ඇත්තටම බිසී නිසාද ආවේ නැත්තේ ?” 

කෙඳිරිලි ස්වරයෙන් නැඟුණු පැනය හමුවේ උමන්දාගේ මුව පුරා සිනහවක් නැඟුවාය. 

” බිසී කියලනං කිව්වා. “

තරුණිය නැවත වතාවක් මුව අඳුරු කර ගත්තාය. 

” කෝල් එකක්වත් ආන්සර් කරන්නෑ. “

එවර ඇගේ වදන් වලට උමන්දාගේ හදවතටද ශෝකයක් ඉපදුණි. 

” තේජ්.. ! තේජ් ..!” 

” ආ.. ?”

” පොඩ්ඩක් එන්නකෝ..”

” මොකෝ කේස් එක ?” 

” ලොකු මහත්තයා කෝල් එකක්වත් ආන්සර් කරන්නෑ කියන්නේ “

තේජ් දෑස සිහින් කරමින් තරුණිය දෙස බැලුවේය. ඈ සුපුරුදු ලෙස මුව අඳුරු කර ගනිමින් සිටියාය.

” අනේ මන්දා බං. මුං දෙන්නා මේ රණ්ඩු වෙන්නේ කසාද බැඳපු අපිවත් රණ්ඩු නොවන විදිහට. බලහන් .. එක පාරකට අරූ නාහෙන් අඬනවා මේකි කතා කරන්නෑ කියලා. දැන් මේකි මෙතන නහයෙන් අඬනවා ඌ කතා කරන්නෑ කියලා. “

තේජ් එසේ පවසමින් උමන්දාගේ කර වටා අතක් දමා ගත්තේය.

” හැබැයි මේ පාරනං වැරැද්ද ඔයාගේ ඈ. එද්දි අඩුම ගාණේ එනවාවත් කියලා එන්න තිබුණා. “

” එයාට තියා කාටවත් කියන්න පුළුවන් ප්‍රශ්නෙකද දෙයියනේ මං හිටියේ ?” 

තනිවම යටි සිතින් එසේ සිතූ ඇගේ දෙනෙතින් කඳුළු බිඳක් කොපුලකට වැටිණි. 

” කෝල් ආන්සර් කරන්නැද්ද දැන් ?” 

ඈ වහා කඳුළු බිඳ පිසදා තේජ් දෙස බැලුවාය. 

” නෑ.. ඊයේ රෑ ඉඳන් ගන්නේ. “

” මේකෙන් ගන්න. “

ඔහු එසේ පවසා තම ජංගම දුරකතනය ඈ වෙත දිගු කළේය. එයද අතැතිව පසෙකට ගිය ඈ එහි වූ ඇමතුමට සම්බන්ධ වූවාය.

” කියපං “

ගොරෝසු පිරිමි ස්වරය සවන වැකුණු සැණින් ඇගේ නෙතු තදින් පියවුණි. 

” ලො.. ලොකු අයියේ.. මේ මං.. “

” ඇයි ?” 

” හැමෝම මෙහෙ ඇවිත් “

” දන්නවා. “

තවත් කඳුළු බිඳුවක් කොපුලට වැටුණු අතර ඈ ක්ෂණිකව එය පිසදා දැම්මාය. 

” ඔ.. ඔයා ආවේ නැත්තේ ඇයි ?” 

” මං ඇවිත් වැඩක් නෑනේ ? ඔහේ මාව බලන්න කවුරුවත් නෑනේ ?” 

” අනේ.. !” 

වචන රහිත වූ ඈ හට හීල්ලිණි. 

” මං .. මං ඔයාට කෝල් ගොඩක් ගත්තා. ආන්සර් කළේ නෑනේ ?” 

අනෙක් පසින් කිසිදු පිළිතුරක් නැත.

” ඊයේ රෑ මට වචනයක්වත් කතා කරන්න ඉඩක් නොතියා එයා කියවලා කියවලා ෆෝන් එක තිබ්බා. ඒ වෙලාවේ ඉඳන් මේ කෝල් ගන්නේ. ඔයා එකකටවත් ආන්සර් කළේ නෑ. “

” කියෙව්වා.. ? කවුද ?” 

” සමන් දෙයියනේ .. ! මේ මනුස්සයාට තමන් කියවපු ඒවාවත් මතක නැද්ද ? ” 

” කවුද කියෙව්වා කිව්වේ ?” 

මිහිදුමීගේ කල්පනාව නැවත අනෙක් පසින් ඇසුණු ස්වරයෙන් බිඳී වැටිණි. 

” ඔයානේ ? ඇයි මතක නැද්ද ? එච්චරම බීලද හිටියේ ?” 

නැවත වතාවක් එහා පස ගොලු විය. 

” මං.. මං වරදකට කළේ නොකියා ආපු එක. ඒක හරි. ඒකට මෙහෙම කතා නොකර ඉන්න එක සාධාරණද? දැන් ඇති නැද්ද ? තව කොච්චරකල් මාත් එක්ක කතා නොකර ඉන්නවද ? ආ..?”

” එපා නිසානේ නොකියාම ගියේ ?” 

පෙර තිබූ ගොරෝසු හා උද්දච්ච ස්වරය වහා පළා ගොස් තිබූ අතර පවත්නා මන්ද ස්වරය හමුවේ ඇගේ තොල් පටද සැපී ගියාය. 

” මං.. මං.. එහෙම නිසා නෙමෙයි ආවේ. අනේ.. අහන්නකෝ..!” 

එවර නොදැනීම වාක්‍ය අවසානයේ ඈට ඉකි ගැසුණි. 

” කියන්න.. අහන් ඉන්නේ. “

” දැන් .. දැන් ඇති නැද්ද තරහා. ?” 

” නෑ.. “

පැනය අසා නිමවන්නටත් පෙර පිළිතුර ලැබුණු අතර ඇයට නැවත වතාවක් ඉකි ගැසුණි. 

” ගෙදර නෙමෙයිද ඉන්නේ ?” 

” ආ..?” 

” ගෙදර නෙමෙයිද ඉන්නේ ? “

” ගෙ.. ගෙදර තමා. “

” එහෙනං අඬන්නේ ? ගෙදර මිනිස්සුන්ට පේන්නැද්ද?” 

” මං.. මං .. එළියේ ඉන්නේ. “

” අඬන එක නතර කරන්න. “

” මගෙන් වරදක් උනේ. නොකියා ආපු එක වැරදියි. සමා වෙන්න..! “

පිළිතුරක් නැත. ඇගේ දෙනෙතින් නැවත වතාවක් කඳුළු බිඳුවක් කඩා වැටිණි. 

” හෙලෝ.. ! ලොකු.. ලොකු අයියේ..!” 

” අහන් ඉන්නේ. “

” ආන්ටි මහීකලා අද මෙහෙ ඉන්නවලු. “

” දන්නවා. “

” ඔයා..?” 

” මං මොකද්ද ?” 

” ගෙදර තනියමනේ ?” 

” මෙච්චර කාලයක් මං තනියම තමා හිටියේ. “

” නපුරු වෙන්න එපා දෙයියනේ.. ඇයි ඔහොම නපුරු වෙන්නේ ? මං.. මං ආවේ ඔයාව එපා වෙලා නෙමෙයි. මට ඔයාව කොච්චර ඕනෙද කියන එක ඔයාට තේරෙන්නෑ. ඒ වෙලේ මට ගෙදර එනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. “

හදවත දවනා තරම දරාගත නොහැකිය. සිදුවූ කිසිවක් ඔහුට පැවසිය හැකි මට්ටමේ ඒවා නොවූයේය. සිංදුමීගේ මතකය හදවත පසෙකින් උඩට මතු වන සෑම මොහොතකම ඊට වඩා විසල් ලෙසකට භරණගේ අවසන් වචනත්, ඔහු දෑසින් ගිලිහුණු කඳුළු බිඳුත් මිහිදුමීගේ දෑස් අද්දර මැවුණාය. ඉදින් තව දුරටත් කෙසේවත් සිංදුමීගේ මතකයක් තුළ හෝ රැඳී සිටිය නොහැක. තවද එසේ සිදු කිරීමට තමාට කිසිසේත්ම අයිතියකුදු නොමැත. තමාට ජීවයක් දුන් දෙවියන් බඳු මහවලතැන්න පරම්පරාවට අනුකූලව හැඩ ගැසෙනවා විනා කටුක අතීතය යළි යළි පාරවා ගැනීම කිසිසේත් මානුෂික ක්‍රියාවක් නොවන බවට ඈ වටහා ගනිමින් උන්නාය. 

” අයියේ.. හෙ.. හෙලෝ..!” 

” අහන් ඉන්නේ “

” අහන් ඉන්නවා විතරද ? ඇයි කතා කරන්නැත්තේ ? වෙච්ච වැරැද්දට සමාව ඉල්ලුවනේ වස්තුවේ.. ඔයා ඔහොම කතා නොකර ඉද්දි මාව නොමරා මරනවා වගේ. අනේ.. ඔහොම ඉන්නෙපා..මං හරි ආදරෙයි වස්තුවේ ඔයාට.. මහ ගොඩක් ආදරෙයි.. චුට්ටක්වත් ඒක දැනෙන්නේ නැද්ද දෙයියනේ.? මං මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නකෝ. සමාව ඉල්ලුවනේ. තවත් මොනාහරි කරන්න ඕනෙද ? ආ.. ? කියන්නකෝ..”

දුරකතනය සවනට තද කරගත් ඈ දිගින් දිගටම කඳුළු සළමින් ඉකි ගැසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here