හුරු පුරුදු සමන් දෙවි අඩවිය ගතෙහි පමණක් නොව හදවතෙහිද විඩාව මෙන්ම කාන්සියද , වේදනාවද දුරු කරමින් තිබුණේය. රාත්‍රී ආහාරය ගැනීමට භරණ නිවසේ නොසිටියේය. හදිසි වැඩ කටයුත්තක් බව පවසා නිවසින් පිටව ගියද ඔහුගේ ගමන ශමෙල් හා එකතුව මධු විත සාදයක් සඳහා බව වෙන් වෙන්ව නොකීවද මිහිදුමී හා විශාඛා දෙදෙනාම තේරුම් ගනිමින් සිටියහ.
රාත්‍රී ආහාරයෙන් පසුව බොහෝ වේලාවක් මව හා දොඬමළු වූ යුවතිය නිදන කාමරයට පැමිණ එතෙක් අක්‍රිය කර දමා තිබූ ජංගම දුරකතනය අතට ගෙන එය ක්‍රියාත්මක කළාය. මඟ හැරුණු ඇමතුම් විසි දෙකකි. සියල්ල ඔහුගෙන්ය. සන්සුන්ව, සැනසිලිදායකව නිමුණු හදවත නැවත වතාවක් කැළඹිණි. වේලාව රාත්‍රී එකොළහට ආසන්නය. මේ වනතෙක්ම තමා ඔහු හා සම්බන්ධ නොවී , දුරකතනයද අක්‍රිය කර සිටීම විසල් වරදක ස්වරූපයකින් හදවතට දැනී යද්දී ඈ වහ වහා ඔහු වෙත ඇමතුමක් ගත්තාය.
” හෙලෝ.. හෙලෝ… !”
අනෙක් පසින් ඇමතුමට සම්බන්ධ වූ බවක් පෙනුණද ප්‍රතිචාරයක් නොමැත. හදවත තුළින් අලුත් රිදීමක් සියුම් ලෙස වර්ධනය වද්දී ඈ නැවත වතාවක් ඔහු ඇමතුවාය.
” හෙ.. හෙලෝ.. !”
” මාව දාලා යන්නෙපා කිව්වා නේද ?”
ගැඹුරු ස්වරය ස්ත්‍රී හදවතේ පතුළටම කිඳා බැසි අතර හදවතේ වූ වේදනාව ක්ෂණිකව දහස් ගුණයකින් වැඩි විය.
” ලො.. ලොකු අයියේ..?”
” මාව දාලා යන්නෙපා කිව්වා නේද මැණික ?”
” ඔ.. ඔයා බීලද ඉන්නේ ?”
සංවාදය අතර තුරම ඔහුගේ වචන වල උස් පහත් බවට ඕනෑකමින්ම සවන ඇල්ලූ ඈ සැණෙකින් ඔහුගේ වෙනස වටහා ගත්තාය.
” ඔව්… ම.. මට .. බොන්න එපා කියන්න කවුරුත් නෑනේ..?”
තව දුරටත් වැළපෙන දෑස් ඇත්තාගේ වැළපෙනා වදන් ඇගේ සියොළඟම ශෝකයෙන් පිරවීමට සමත් විය.
” ලො.. ලොකු ..අයියේ.. !”
” මං එන්නද දුමී.. ? ආ.. ? දැන් එන්නද ? මාත් එක්ක ආපහු එනවද ..?”
” ස.. සමන් දෙයියනේ.. ! අයියේ මේ මහ රෑ. “
” මං දන්නවා. මං ඉක්මනට එන්නං. බය වෙන්නෙපා ඔයාව පරිස්සමට ආපහු එක්කගෙන එන්නං . “
” අනේ.. !”
” බැරිද ? ආ.. ? මං කිව්වනේ හවස මං කොහෙ හරි එක්කන් යන්නං කියලා ? ආ.. ? ඇයි මං එනකන් හිටියේ නැත්තේ මැණික..?”
” අනේ.. අහන්නකෝ.. ! මං.. මං එන්නං. ඔයා මේ රෑ එන්න එපා. “
” ආදරෙයි කිව්වට මට ආදරේ නෑ නේද ?”
” මො.. මොනවද දෙයියනේ කියන්නේ ? එහෙම දෙයක් නෑ. “
” එහෙනං ඇයි ගියේ ?”
” ඔ.. ඔයා කොහෙද ඉන්නේ ? ගෙදරද ?”
” ඇයි අහන්නේ ? මොකටද ? “
” අනේ..!”
සුරුස් හඬින් නාසය ඉහලට ඇඳි ඈ කොපුලට වැටි කඳුළක් පිසුවාය.
” අඬනවද ?”
” ආ.. නෑ.. “
” අඬන්න ඕනේ මමනේ. ? දාලා ගියේ මාවනේ ? ආ .. දුමී.. ? මාව විහිළුවක් වෙලා නේද දුමී.?”
” සමන් දෙයියනේ නෑ.. මොනවද මේ කියන්නේ ?”
” මං මුලින්ම කිව්වා දුමී , මාත් එක්ක ලේසි වෙන එකක් නෑ කියලා. කමක් නෑ කිව්වා නේද ? ම්ම්..? මං බලන් ඉන්නම් කිව්වා. ඒ කියලා දවසක් ඉන්න බැරි උනානේ. ? දැන් තේරෙනවද දුමී අමාරුව ? හිත යටින් මතක් උනාද මං කසාද බැඳපු මිනිහෙක් කියලා ? ආ.. ? ඔයාට වැරැද්දක් කියන්න බෑ දුමී. මේ හැමදේටම වැරදි මම. ජීවිතේ පළවෙනි පාරට කෙල්ලෙක්ට ආදරේ කළා. ඒ කෙල්ල මාව දාලා යයි කියලා බය උනා. කියන කියන හැමදේම කළා දුමී. කියන කියන හැමදේම කළා. එයාගේ බල කිරිල්ලටයි ගිහිල්ලා මැරේජ් සෙටිෆිකේට් එකටත් අත්සන් කළේ. එහෙම කළා කියලා කවදාවත් මං එයා එක්ක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ ඉඳලා නෑ. අපි දෙන්නා අතර සෙක්ෂුවල් ලයිෆ් එකක් තිබිලා නෑ. දුමී.. ඔයාට ඇහෙනවද මං එයත් එක්ක කවදාවත් එහෙම හැසිරිලා නෑ. මං හැමදේම දුන්නා දුමී. ඉල්ලන ඉල්ලන දේ දුන්නා. කියන කියන දේ කළා. ඒක විතරයි මං නොකළේ. ඒත්.. එයා මං දිහා බැලුවේ කිසිම කොන්දක් නැති එකෙක් විදිහට. එයාගේ නැතිවීමම නෙමෙයි දුමී අවුරුදු ගාණක් මං තනියෙන් ඉන්න හේතුව. මට එපා උනා. ඇත්‍තමයි මං එපා වෙලා හිටියේ..
ඒත්.. එයා මට යන්න දුන්නෑ. එයාගේ විශ්වාසේ රකින්න කියලා හිතන්නෙ බලන්නෙ නැතුව අත්සන් කරපු කසාදේ නිසා මට කොහොමටවත්ම එයාව අත් ඇර ගන්න බැරි උනා. හැබැයි අන්තිමේ එයා මාව විතරක් නෙමයි හැමෝවම දාලා ගියා. අවුරුදු දහයක් මං තනියම ජීවත් උනා දුමී.. මට බය හිතුණා. ආපහු වතාවක් ටොක්සික් රිලේශන්ෂිප් එකක හිර වෙන්න මට බය හිතුණා. ජීවිතේටම ආයේ කවුරුවත් ඕනෙ නෑ කියලා හිතන් ඉද්දියි මට ඔයාව හම්බ උනේ. මට ඔයාව රවට්ටන්න ඕන උනේ නෑ දුමී. මං ඒකයි ඔයාට හැමදේම මුල ඉඳන්ම කිව්වේ. මුලින් මුලින් ඒ දේවල් ප්‍රශ්න නොවී තිබ්බත් , කාලයක් යද්දි ඒවා ප්‍රශ්න වෙයි කියලා මට හිතුණා. මං හිතපු විදිහ හරි නේද දුමී ? ම්ම්.. ? ඒකනේ මාව දාලා ගියේ. ? මං ඉල්ලුවේ එක දෙයයි දුමී. මාව දාලා යන්නෙපා කියලා. ආහ්.. ඔලුව රිදෙනවා දුමී.. ඔයා වැරදි නෑ. හැමදේටම වැරදි මම. මහවලතැන්නලා කවදාවත් බැඳපු මිනිහෙක්ට දුවව දෙන්නෑ. මට ඒක අමතක උනා. මං කවුද කියලා දැන දැනම නොදැන මට ළං වෙච්ච ඔයාව තව දුරටත් ළං නොකරගෙන ඉන්න මට තිබ්බා. ඒත්.. ඔයා ලඟ ඉද්දි මට මාවම අමතක උනා දුමී.. “
” අනේ.. දෙයියනේ මොනවද මේ කියන්නේ ? ඔයා.. ඔයා හිතන් ඉන්න විදිහ වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහොම කතා කරන්න එපා. “
ඈ ඉවසුම් නොදෙන වේදනාවෙන් ඉකි ගසමින් හඬා වැටුණාය.
” ආහ්.. ඔව්. කතා කළා වැඩියි. මං කවදාවත් මෙහෙම කතා කරලා නෑ. මෙච්චර ගොඩක් කතා කරලා නෑ. නිදා ගන්න දුමී.. දැන් ඇති “
“ලො.. ලොකු අයියේ..!”
” නිදාගන්න . ..! Good night “
සැණෙකින් ඇමතුම විසන්ධි විය. යළි යළිත් ඔහුගේ දුරකතනය හා සම්බන්ධ වීමට කෙතරම් උත්සාහ දැරුවද ඒ සියල්ල ව්‍යර්ථ කරමින් ඔහු එය ක්‍රියා විරහිත කොට තිබුණේය.
” මං කොහොමද දෙයියනේ ඔයාට මේ දේවල් තේරුම් කරවන්නේ ?”
*******************************************
” අම්මා..! අම්මා..!”
“දුමී.. එන්න,.. මං කිචන් එකේ..”
මහවලතැන්න නිවසේ විසල් මුළුතැන්ගෙය පිරී ඉතිරී ගොසින්ය. නිවසේ සහායට සිටිනා ශ්‍රීමාට අමතරව අසල්වැසි කාන්තාවන් දෙදෙනෙකුත් එකතුව යුහුසුලුව කාර්යයන් කිහිපයකම නියැළෙමින් සිටියහ. එක් පසෙක තෙලෙන් බැඳෙන ආහාරය. තවත් පසෙක කැපෙන කොස් ගෙඩියක්ය. තවත් පසෙක සූස් හඬ නංවමින් ක්‍රියාත්මකවන බ්ලෙන්ඩරයය. දෑස විසල් කරමින් කුඩා යුධ පිටියක සිරියක් ගත් මුළුතැන්ගෙය පීරා බැලූ මිහිදුමී ඒ ආකාරයෙන්ම විශාඛා දෙස බැලුවාය.
” මඟුල් ගේකට ලෑස්ති වෙනවද අම්මා..?”
” අද මාමාගේ යාළුවෝ වගයක් එනවලු දුමී. “
” චූටි මැණිකේ මහත් වෙලාද මන්දා. මූණත් එක්ක පිරිලා. “
හිතවත් අසල්වැසි කාන්තාවක් එසේ පවසන විට විශාඛා දියණිය දෙස බලා මුව ඇද කළාය.
” මොන.. මහතක්ද ? හිටියෑන් භාගයයි. “
” කෝ මාමා. ? ඊයේ රෑ කීයටද ආවේ අම්මා ?”
විශාඛාගේත් , කාන්තාවගේත් කතාවට සිනහ වූ මිහිදුමී යළිත් ඇසුවාය.
” රෑ ? මොන රෑද ? පාන්දර ආවේ. එළි වෙන්නත් කිට්ටුවද කොහෙද ? ”
” එහෙමද ?”
” ඔව්. “
“තේ එකක් හදන්නද චූටි මැණිකේ. ?”
” හා.. ශ්‍රීමා නැන්දා..”
” කිරිබත් තියනවා දුමී. කාලා ඉන්න..”
” අම්මා..!”
විශාඛා අසලට ළං වූ මිහිදුමී ඈ හැඳ සිටි බ්ලවුසයේ කොනක් අල්ලා ගනිමින් හුරතල් වූවාය. දියණියගේ මෙම හැසිරීම කුමන හෝ චාටු බසකට බව හොඳින්ම දන්නා විශාඛා දෑස සිහින් කරමින් ඈ දෙස බැලුවාය.
” මොකෝ..?”
” මං අද යන්නද ?”
” කොහෙද ?”
” කොළඹ. “
” අද ?”
” ඔව්. “
” නෑ. නෑ.. දවස් දෙකක් ඉඳලා යන්නේ. “
” අම්මා .. ! මට දැන් අසනීපයක් නෑ. “
” කොහෙත්ම බෑ දුමී. දවස් දෙකක් ඔයා ඉන්නවා එච්චරයි. “
මුව ඇඹුල් කරගත් මිහිදුමී යළිත් වතාවක් තරප්පු පෙළ නැඟ නිදන කාමරයට වෙතට අඩි තැබුවාය. ඉන් පසුව දුරකතනය අතට ගෙන ඉන් ඇමතුමක් ලබා ගත්තාය. පළමු , දෙවන ඇමතුම් ද්විත්වයම පිළිතුරක් නොලබාම විසන්ධි වී ගිය තැන ඇය තෙවන වතාවටත් උත්සාහයක් දැරුවාය. නැත.. එයටද පිළිතුරක් නොමැත.
” පුදුම මුරණ්ඩු කමක්නේ මේක. මං හිටපු ප්‍රශ්න ගොඩ එයා දන්නවයෑ ? මොන දේ කරන්නත් හිත නිදහස් කරගෙන ඉන්න එපැයි. පුදුම ලොකුකමක්නේ. ? කෝල් එකක් ආන්සර් කරන්න බැරිද ඔය තරමටම ? මට තිබ්බ ප්‍රශ්න ටික එයාට තිබ්බානං බලාගන්න තිබ්බා.. “
මුව ඇද කර දුරකතනයට එරවූ තරුණිය කෝපයෙන්ම එය පසෙකට දමා නාන කාමරයට වැදුණාය.


