ප්රීතියත් , සැනසිල්ලත් පිරී ඉතිරෙන හදවතින් වාහන අංගනයට පිටතින් සිටින ආරක්ෂක නිලධාරීන් සමඟද ගොඩනැගිල්ලේ පළමු මහලේ පිළිගැනීමේ කවුන්ටරයේ උන් තරුණිය සමඟද වචන කිහිපයක් කතා බස් කළ මිහිදුමී කාර්යාලයේ උන් පිරිසටද සිනහවකින් සංග්රහ කරමින්ම ප්රධාන කාර්යාලයේ ද්වාරයට තට්ටු කළාය.
” ආහ්.. අද නම් යස්සයා ආරූඪ වෙලා නෑ වගේ. එදාත් ගෙදරින් එද්දි හොඳට ඇවිල්ලා මෙතනට එද්දි පිඹ පිඹ හිටියනේ. “
සිනහවක් නොවුණද , රෞද්ර පෙනුමක් නොමැති ප්රියමනාප වතෙහි ක්ෂණිකව රවුම් කිහිපයක් ගැසූ ඈ තමාටම පවසා ගත්තාය.
” විනාඩි දෙකක් දෙනවද ?”
” මං අතනින් ඉන්නම් “
තමා ඉදිරියේ තිබු ලිපි ගොනුවෙන් දෑස ඉවතට ගත් ඔහු , ඈ දෙස බලා පැවසූ දෙයට පිළිතුරු දුන් මිහිදුමී කාර්යාල මේසයට මඳක් ඔබ්බෙන් වූ සෝපාව දෙසට ඇවිද ගියාය.
ශ්වේත පැහැයට වැඩි ඉඩක් ලබා දී තිබූ කාර්යාල කුටියේ ඈ හිඳ ගත් සෝපාව කෙහෙල් දළු පැහැයක් ගෙන තිබිණි. අත්යාවශයම බඩු බාහිරාදිය පමණක් සමන්විත වූ කාර්යාල කාමරයේ පසෙකින් පෙර දින ඇස නොගැටුණු කුඩා පැන්ට්රියක් තිබූ අතර එහි කෝපි සාදන යන්ත්රයක්ද , විදුලි උඳුනක්ද විය.
” ඒක තමයි එහෙනං කෑම එක රත් කරගන්න පුලුවන් කිව්වේ. “
කාර්යාල කුටිය වටා කැරකැවුණු දෑස නැවතත් විතැන් වූයේ මේසය අසල හිඳ හිසත් යන්තමින් ඇල කොට ගනිමින් ලිපි ගොනුව පරීක්ෂා කරන ඔහු ළඟය. අඳුරට හුරු තද නිල් පැහැ කලිසමත් , ලා නිල් පැහැ අත් දිගු කමිසයත් , එක් අතක බැඳ තිබූ වටිනා අත් ඔරලෝසුවටත් අමතරව එක් කනක තිබූ කලු පැහැ කුඩා කරාඹුව මතද ඇගේ සිත පැටළිණි.
“ඒක ගෙදරින් එද්දිත් තිබුණද ? මතක නෑනේ.. ?”
තනිවම කල්පනා කළ ඈ දිගටම එකී පුරුෂ දේහයේ හැඩතල වෙත දෑස් දල්වා බලා සිටියාය.
“සුභාවි අක්කා කියපු කතාවනං හරියටම හරි. පිළිමයක් වගේ ඉන්න මේකා දිහා ගෑනු නොබැලුවොත් තමා පුදුමේ. ඒ කාලෙත් ඉන්න ඇති අන්තඃපුරේ රජ්ජුරුවෝ වගේ. මේ ඔෆිස් එකේ කෙල්ලොත් ගොඩක් වෙලාවට ඇහැ දාන් ඉන්නවා ඇත්තේ. කොහෙද ඉතිං කිසි උනන්දුවක් නෑනේ. මොකෝ ආපු මුල් දවස්වල මගේ දිහාත් හැරිලවත් බැලුවද? මංනේ දන්නේ මෙයාව දාගන්න මං විඳපු දුක. කිසි රොමෑන්ටික් ගතියක් නෑ අප්පා. දැන් උනත් මේ මායි , එයයි මෙතන ඉන්නේ තනියමනේ. ඊයේ පැය ගාණක් රත්නපුරේ ඉඳන් කොළඹ ආවේ තනියම. ඒ මදිවට කොච්චර ගෙදරත් තනියම ඉන්නවද ? මහීකා ආන්ටිට කිස් එකක් දීපු නිසා නොදී බැරි කමට වගේ දැනෙන්න නොදැනෙන්න මටත් පොඩි එකක් දුන්නා තමයි. ඒත්.. ඔහොමද කපල් එකක් උනාම ? සැක්.. හයේ හතරේ සයිස් එකට හිටියට වැඩක් නෑ. මේ සබ්ජෙක්ට් එකේදි මොන්ටිසෝරි බබෙක් වගේ. දැනුම බින්දුවයි. දහ අට පාලියම නටලා යාළු කරගත්තා වගේ අනිත් දේවල් වලටත් මටම ඉස්සර වෙන්න වෙයිද දන්නෑ.. ?
සමන් දෙයියනේ..! මොනවද මං මේ මනුස්සයා දිහා බලන් හිතන්නේ ?
නිකමට හරි මගේ හිතේ තියන දේවල් ගැන දැනගත්තොත් එහෙම මට වෙන්නේ නියඟලා අලයක් කාලා මදි පාඩුවට මුහුදේ පනින්න. “
වෛවාරණ හැඟීම් රැසක් මැද තනිවම තම හදවතට තරවටු කරගත් තරුණිය පසෙක වූ ජංගම දුරකතනය ගෙන රහසේම ඔහුගේ ජායාරූපයක් ලබා ගත්තාය.
“ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපළු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වේ..
සැඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලඳ ළියන්නේ සිහින අතරේ
මැවෙයි ඒ රූපේ..
කොච්චර දෙවිවරු , රජවරු ආවත් ස්වයංවරයෙදි තෝරගන්නේ මගේ නළ කුමාරයවම විතරයි අයියාහ්…”
හිඳි ඉරියව්ව වෙනස් කළ ඔහු ලිපි ගොනුව වසා දමා මේසය මත වූ දුරකතනයේ රිසිවරය කන තබා ගත් ඔහු දුටු ඈ තනිවම තමාට පමණක් මුමුණමින් සිටි ගීය නවතා දෙතොල තද කර ගත්තාය. ඔහුගේ ඇමතීමෙන් පසු පැමිණි තරුණියකට ලිපි ගොනුව බාර දුන් ඔහු හිඳ සිටි කාර්යාල අසුනෙන් නැඟිට ඈ වෙතට ඇවිද විත් හැඳ උන් අත් දිගු කමිසයේ අතක් නැවීමට පටන් ගත්තේය.
” අත් දෙක වොශ් කරන් එන්නම් ”
” මං කවන්නද ?”
දෙබැම මඳක් රැළි කර ගත් ඔහු ඈ දෙස එක එල්ලේ බැලුවේය.
” පුලුවන්ද ?”
” අහන හැටි විතරක්. ? පුලුවන්ද ? හරි නම් එයා නේද බබාහ්.. මට කවන්න බැරිද කියලා අහන්න ඕනේ.. ?”
යටිසිතින් බැන වදිමින් ඈ ඔහු දෙස බලා මඳ සිනහවක් නැඟුවාය.
” පුලුවන් . ප්රශ්නයක් නෑ . මාත් කනවනේ කොහොමත්. “
පසෙක තිබූ කුඩා ශිතකරණයෙන් ශිත වතුර බෝතලයක් රැගෙන ආ ඔහු එය කෑම භාජනය තිබූ ටීපෝව මතින් තබා ඈ අසලින් හිඳ ගත්තේය.
” ඔයත් කනවද ? මෙතනට වෙලා මං දිහා බලන් මාව ගිලපු හැටියට මං හිතුවා බඩ පිරිලා ඇති කියලා.?”
තද කර ගත් දෑසින් මූණ හකුළුවා ගත් ඈ විගසින් ඉවත බලා ගත්තාය.
” විලි ලැජ්ජාවේ බෑ.. “
” වැඩේමයි .. හරි ලස්සන එක්කෙනානේ බලන් ඉන්න “
සෙමින් මිමිණූ ඈ ආහාර බඳුන දිග හැරියාය.
” ඇයි ලස්සන නැද්ද ? දැකපු පළවෙනි දවසෙම භරණට කතා කරලා කිව්වේ කොහෙද පන්සලක පිළිමයක් වගේ ඉන්නවා කියලා. ?”
විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බැලූ ඈ වහා ඉවත බලා ගත්තාය.
” ඒකත් මතකද ?”
” අමතක වෙන්න මට ඩිමෙන්ශියා නෑනේ ?”
මුව ඇද කරමින්ම ඈ ඇනූ බත් කටක් ඔහුගේ මුවට ළං කළාය.
” කෝ අර ගත්ත ෆොටෝ එක ?”
” ආ..?”
නැවත වතාවක් ඈ තිගැස්සී ගියාය.
” ඔයා අහක බලාගෙනනේ හිටියේ. කොහොමද දැක්කේ. ?”
” This is my office. This is my kingdom. And I am the king of it. මට හොරෙන් මේකේ ඇතුළේ මුකුත් කරන්න බෑ. ඕනෙනං අර මාව ගිල ගිල හිතපු ඒවත් ස්කෑන් කරලා බලන්න පුලුවන් .”
” ආ..?”
නැවත වතාවක් විසල් කරගත් දෙනෙතින් ඔහු දෙස බැලූ ඇගේ බියපත් මුහුණ දුටු තරුණයා සිහින් සිනහවක් නැඟුවේය. කලාතුරකින් දක්නට ලැබෙන ඔහුගේ වතෙහි වූ සිනහවත් , එතෙක් වැළපෙන දෑස ලෙස නම් කර තිබූ ඔහුගේ දෑස එකී සිනහව තුළම දිළිසෙන ආකාරයත් දෙස ඈ ඇසිපිය නොගසා බලා සිටියාය.
” මොනාද බලන්නේ ?”
” ආ.. ?”
” මොනාද බලන්නේ ?”
” ඇස් දෙක දිහා. ඒවා ඔයා හිනාවෙනකොට දිළිසෙනවා “
ඈ තව දුරටත් එකී දෑසින් තම දෑස ඉවතට නොගෙනම පැවසුවාය. නිහඬව ගෙවුණු තත්පර කිහිපයකට පසු ඔහු ඇස් ඉඟියෙන් ආහාර බඳුන පෙන්වූ අතර ඈ තවත් ආහාර කටක් ඔහුට කැව්වාය.
” ඔයාලගේ රිලේශන් කෙනෙක් ඇවිත් හිටියා “
” කවුද ?”
” ආන්ටි මහීකාගේ අයියා කියලා කිව්වේ. “
” හ්ම්ම්..”
ඈ නිහඬවම තව මොහොතක් ඔහු දෙස බලා සිටියාය.
” සමන් දෙයියනේ මේ මනුස්සයා කෑම කද්දිත් ලස්සනයි , පිළිවෙලයි අප්පා.. කොහෙද ඉතිං එක කෑම මේසේ කෑවට ළං වෙලා මූණවත් බලන්න පුලුවන් කමක් තිබ්බද ? කොයි වෙලෙත් ඔරව ගත්තු ගමන්නේ හිටියේ හරියට කටු අත්තක් ගිලපු බැබුන් කෙනෙක් වගේ. දැන් තමයි හරියට මූණ දිහාවත් බලන්න පුලුවන් . දැන් ඉතිං මගේනේ.. “
රසයිද ?”
මුව තුළ එහා මෙහා යන කෑම පිඩ දෙස බලමින් ඈ නැවත ඇසුවාය.
” අපේ අම්මගෙයි , සරෝජා නැන්දගෙයි කෑම කොහොමත් රසයි “
” ඊඊඊව්ව්.. නෙදකින්.. කියන්න ඕනේ ඔයා කවනවානං වහ උනත් රහයි බබාහ් කියලා නේද ? මේකාව නං හදන්නම බෑ. “
මුව ඇද කළ ඔහු දෙස බැලූ ඈ නැවත කෑම පිඬක් ඔහුට කැව්වාය.
” සරෝජා නැන්දා අද ඉව්වේ බත් එකයි , චිකන් එකයි විතරයි. ඔය බටු එකයි , පරිප්පුයි , අල එකයි හැදුවේ මං. “
ඈ නෝක්කාඩු වතින්ම ඉවත බලා පැවසුවාය.
” seriously ..? උයන්නත් පුලුවන්ද ?”
” ආ.. මට ඕන දෙයක් පුලුවන් හරිද ?”
” බටු ටිකක් නිකන් කවන්න “
සන්තෝෂ රටාවක් පැතිර ගිය උවනින් අතට ගත් බටු කරියෙන් ස්වල්පයක් ඈ ඔහු මුවට ළං කළාය. ඉන්පසුව ඔහු එය රස බලනතුරු දල්වා ගත් දෑසින් බලා සිටියාය.
” හ්ම්ම්.. අවුලක් නෑ… “
” ඊඊව්ව්.. ඒක කියපු කැත. “
තනිවම මුමුණා ගත් ඈ යළිත් මුව බෙරි කර ගත්තාය.
” එච්චරද ?”
” ඇයි ?”
” අවුලක් නෑ කිව්වේ ?”
” අවුලක් නැති නිසා. “
ඔහුට පෙනෙන්නම මුව හකුළා ගත් ඈ නැවතත් ආහාර බඳුන ඇනීමට පටන් ගත්තාය. නෝක්කාඩු වත මත තම දෑස ගෙන ගිය ඔහු සෙමින් ඇගේ උවන අසලට පහත් විය.
” රසයි. ඇත්තමයි. අර මෙතනට වෙලා මුමුණ මුමුණ හිටපු සිංදුව වගේ රසයි. “
” ඒකත් ඇහුනද ?”
” කිව්වනේ මේකේ ඇතුළේ මට හොරෙන් මුකුත් කරන්න බෑ… මට කවනවා විතරනේ. කන්නැද්ද ?”
” ඔයා කාලා ඉන්න. “
ඈ නැවත වතාවක් කෑම පිඬක් ඔහු මුව මතට ළං කළාය.
” කෑම එකේ රහට මට ඔක්කොම කැවෙයි.. “
” කමක් නෑ.. ඒකෙන් මගේ හිත පිරෙයි. බඩ පිරෙනවට වඩා ඒක වටිනවා. “
දැල්වුණු දෑස ආදරණීයව ඈ මුව මත සක්මන් කළ අතර ඈ විගසින් තවත් කෑම පිඬක් ඔහුට දිගු කළාය.


