තද නිල් පැහැ කෙටි සායකිනුත් , ලා නිල් පැහැ උඩු ඇඳුමකිනුත් සැදුම් ලත් නිල ඇඳුමෙන් පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණි අවුරුදු දොළහක පමණ කුඩා දියණියක් ගේට්ටුවෙන් මඳක් පසෙකට වී පාසල් බස් රිය එනතුරු බලා සිටියාය. තනි කරලට ගෙතූ කොණ්ඩයත් , එක් අතක පමණක් එල්ලා ගත් පොත් බෑගයත් සහිතව ඈ පාසල නිමවී යන මිතුරු කැළට අත වනමින් සමුදෙමින් සිටියාය. වටපිට බලමින් සහ දෑස කරකවමින් සිටි කුඩා දැරිය මාර්ගයේ පසෙක නවතා තිබූ සුදු පැහැ ජීප් රියෙන් බැස පාර මාරු වන පිරිමි රුව දැක සිටි තැනම ගල් ගැසී ඔහු දෙස බලා සිටියාය. තම දෑස් අද්දර මැවෙන රූපයේ දර්ශනය විශ්වාස කරගත නොහැකි වූ ඈ ඔහුගෙන් දෑස ඉවතට නොගෙනම සිටියාය. දහසක් පාසල් ළමුන් අතරින් පාර මාරු වී ගේට්ටුව අද්දරට ආ ඔහු එහි පසෙකට වී සිට ගත් අතර විශ්මයානුකුල කුඩා දෙනෙත මුවද විසල් කර ගනිමින් එකී පිරිමි රුව දැක පාෂාණීභූතවී සිටියාය.
” මයි ගුඩ්නස්..! ෆොටෝ වල දැක්කට වැඩිය එයා හරි ලස්සනයි.,”
තනිවම යටි සිතින් එසේ සිතූ ඈ දෙනෙතට ඉනූ කඳුළු බිඳු වේගයෙන් පිස දැමුවාය. තව දුරටත් වේගයෙන් ගැහෙන හදවතින් මව් වෙනුවෙන් දී තිබූ පොරොන්දු සියල්ල කඩා බිඳ දමමින් ඈ ඔහු දෙසට පාදයක් තැබුවාය.
” මාණික්යා..! ගෙදර යන්න අදහසක් නැද්ද ?”
පාසල් බස් රියෙන් නැඟුණු හඬට නැවත වතාවක් තිගැස්සුණු ඈ ඉදිරියට තැබු පය ක්ෂණිකව යළි ආපසු ගෙන පාසල් බස් රථය වෙත දිව ගියාය. ඉන්පසුව හිඳ ගත් අසුනේ සිටද යළි ගෙල හරවා පාසල අද්දර උන් පිරිමි රුව දෙස එබී බැලුවාය. ඒ මිලි තත්පරය ඇතුළත එකී පිරිමි උවනේ දෑසද කුඩා දැරිය වෙතම එක එල්ලයේ යොමුව තිබූ අතර ඇගේ දෙනෙතින් කඩා හැලුණු කඳුළු බිඳුව ඔහු ක්ෂණිකව තම දෑසට හසු කර ගත්තේය. තදබදය තුළ සිර වූ බස් රථය ඉදිරියට ඇදී ගොස් නොපෙනී යන තෙක් ඒ දෙස බලා සිටි හැඩිදැඩි පිරිමියා වහා තම ජංගම දුරකතනය අතට ගත්තේය.
” ශ.. ශමෙල්.. ! උඹ කොහෙද ඉන්නේ ? “
………………
” මචං.. ! පොඩි දරුවා මාව අඳුර ගත්තා. ඒ දරුවා මං කවුද කියලා දන්නවා බං. මං මොනවද බං මේ කරලා තියෙන්නේ. ?”
වෙව්ලන දෑතින් ජංගම දුරකතනය කිටි කිටියේ තද කරගත් භරණ මහවලතැන්න වහ වහා යළි මාර්ගයෙන් පසෙකට මාරු වී මෝටර් රථයට නැංගේය.
*******************************************
රෝහල් කොරිඩෝව දිගෙහි වේගයෙන් ඇවිද ආ මහීකා පණිවිඩයෙ සඳහන් වූ අංකය සහිත රෝහල් කාමරයේ ද්වාරයට තට්ටු කොට එයට ඇතුළු වූවාය. ඒ වනවිටත් ද්වාරය දෙසට දෑස අළවා සිටි තම සොහොයුරාත් , නෑනණ්ඩියත් වහා ඇගේ රුව දැක ඉවත බලා ගත් අයුරු ඈ හොඳින්ම දුටුවාය. ඔවුන් දෙදෙනාටම අවධානයක් නුදුන් ඈ ආ වේගයෙන්ම ඇවිද යහන අද්දරට ගොස් සිට ගත් අතර යහනේ වැතිර සිටි තරුණිය අපහසුවෙන් හිස කෙලින් කර ඈ දෙස බැලුවාය.
” මීෂා..! මොකද්ද දරුවෝ මේ කරගත්තේ ? ඔයා ඉගෙන ගත්තු දරුවෙක් නේද? ඇයි මෙහෙම මෝඩ වැඩ කරන්නේ ?”
මහීකාගේ හඬ ආ වේගයටම උච්ච වී තිබුණි.
” එයාට විතරක් නෙමෙයි අපි ඔක්කොටම දැන් වෙන්නේ වහ ටිකක් කාලා මැරෙන්න තමයි. “
මහීකා නෑනණ්ඩිය වූ සුරංජි දෙස හිස හරවා බැලුවද ඈ නැවත වතාවක් ගස්සා ඉවත බලා ගත්තාය.
” මොකද්ද අක්කේ ඒ කතාවේ තේරුම ?”
” මේ කෙල්ලෙක් නංගි. ඒ කෙල්ල අවුරුදු ගාණක් තිස්සේ ඔයාගේ පුතා ගැන බලාපොරොත්තු තියන් හිටියා. අපේ හත් මුතු පරම්පරාවම , යාලුවෝ හැමෝම දන්නවා මේ ගැන. ඒ දේවල් එච්චර දුර දිග යන්න ඉඩ දීලා අන්තිම මොහොතේ කොහෙන්වත් ආපු කෙල්ලෙක්ට ඕගොල්ලො පුතාව දුන්නා. මහවලතැන්නලගේ මැණික් මල්ලට වහ වැටිලා වෙන්නැති. අන්තිමට ලොකු ලොකු නෝට්ටු ඉස්සරහා මගේ කෙල්ල තබක්ක කාසියක් ගාණට වැටුණා. “
මහීකා ඉහලට ගත් හුස්ම නැවත පහල දැමිය නොහැකි ආකාරයට පුදුමව නෑනණ්ඩිය දෙස බලා සිටියාය. ඈට පිළිතුරු බැඳීමට ඉඩක් නොතබාම නැවත වාරයක් කාමරයේ ද්වාරයෙන් හඬක් නැඟිණි. විවර වූ ද්වාරයෙන් ඇතුළට පැමිණි රුව දුටු මීෂා තදින් දෙනෙත පියා ගත්තාය.
” ලොකූ..!”
ඉවත බලා සිටින මීෂාගේ දෙමව්පියන් දෙදෙනා දෙසත් , මව දෙසත් බැලූ අස්නක නිහඬවම යහන අද්දරට අඩි තැබුවේය.
” මීෂා..! නංගි ..! මොකද මේ ?”
ගැඹුරු ස්වරයට තව දුරටත් මීෂාගේ දෙනෙත තදට පියැවුණු අතර දෑස විවර කොට ඔහු දෙස බැලීමේ ශක්තියක් නොමැතිව ඈ හදවතින් පෙළුණාය.
” අතට අහුවෙච්ච බෙහෙත් මල්ලක්ම බීලා. ජීවත් වෙලා හිටියා ඇති වෙලා කියන්නේ. “
මවට මෙන්ම පුත්රයාටද පිළිතුරු ලැබුණේ සුරංජිගෙන්ය.
” දැන් මොකද්ද ප්රශ්නේ ?”
බැල්මක් හෝ නැන්දණිය වෙතට නොහෙළූ ඔහු යහන මත උන් ඈ දෙසටම දෑස විතැන් කරමින් ඇසුවේය. තද කර පියා සිටි දෑස විවර කළද ඇය දිගටම ඉවත බලා සිටියාය.
” ලොකූ.. ! මීෂා ඔයා ගැන සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටියා. “
මෙතෙක් වේලා නිහඬව උන් මහීකාගේ සොහොයුරා වූ වජිර දියණිය වෙනුවෙන් පිළිතුරු බැන්ඳේය.
” මීෂා..! නංගි ..! මං හිතන්නේ අපි දෙන්නා මේක ගැන මීට කලින් කතා කරලා තියනවා. මං ඔයාට පැහැදිලිවම…”
” දරුවන්ට කතා කරන්න දෙයක් මෙතන ඉතුරු වෙලා තිබුණේ නෑ ලොකු පුතා. ඒවා අපි වැඩිහිටියෝ ඔක්කොම මීට කලින් කතා බහ කරන් තිබුණු දේවල් “
අස්නකගේ කතාව අවසන් කිරීමට පෙරම මැදින් පැන ගත් සුරංජි නැවතත් මුව හැරියාය.
” වැඩිහිටියෝ මොනාද නැන්දා කතා කරන් තිබ්බේ?”
විසල් පපු ගැබ මත දෑතම එකට තබා බැඳ ගත් ඔහු සුරංජි දෙස බලා විමසුවේය. තරුණ දෑසේ වූ ඇවිළෙන සුළු බැල්මට මඳක් තැති ගත් සුරංජි එකී දෑස දෙස නොබලාම ඉවත බලා ගත්තාය.
” මං මීට කලින් මීෂා ගැනයි , ඔයා ගැනයි කතා කළා ලොකූ “
පිළිතුර ලැබුණේ සුරංජිගෙන් නොව වජිරගෙන්ය.
” ඒකට මං හා කියලා කිව්වේ නෑ ලොකු මාමේ..”
” බෑ කියලා කිව්වෙත් නෑනේ ලොකූ ?”
විසල් සුසුමක් හෙළූ ඔහු නැවත වතාවක් සුරංජි මෙන්ම වජිර දෙසද එක එල්ලේ බැලුවේය.
” ඒක මගේ වරද. මං ඒක පිළිගන්නවා. පොඩි කාලේ ඉඳන් අම්මට මාවයි , මල්ලිවයි හදාගන්න ලොකු මාමා සෑහෙන්න හයියක් උනා. ලොකු මාමා හිටියේ මගේ තාත්තගේ තැන. මට ලොකු මාමගේ මූණ දිහා බලාගෙන බෑ කියන්න බැරි කමක් තිබුණා. “
” අන්න දැක්කනේ ? දැන් තේරෙනවනේ කාගෙද වරද කියලා. ? “
සුරංජි දෑසම කරකවා දවා අළු කරවිය හැකි බැල්මක් මහීකා වෙත හෙළුවාය.
” හැමදේම හොඳින් සිද්ධ වෙලා තියෙද්දී කොහෙන්වත් ආපු කෙල්ලෙක් ඔයාලට ලොකු උනා. මේකේ සම්පූර්ණ වරද ඔයාගේ මහීකා. කොල්ලෝ දෙන්නෙක් ඉන්න ගෙදර කෙල්ලෙක් නවත්තගන්න කලින් මුලින්ම හිතන්න , කල්පනා කරන්න තිබ්බා. කාගේ කවුද , කින්ද මන්ද කියලා හොයලා බලන්නැතුව මහවලතැන්නලා පිනට හදාගත්තු එකියක් අන්තිමේ මේ කොල්ලගේ කරේ එල්ලුවේ ඔයා. මහවලතැන්නලාට පිරිලා ඉතිරිලා යන්න සල්ලි භාගේ තියන නිසයි , ඒවා ආයේ බෙදිලා යන්න කෙනෙකුත් නැති නිසයි ඔයා ලස්සනට තැනේ හැටියට ඇණේ ගැහුවා. “
” දෙයි හාමුදුරුවනේ.. අක්කේ.. ! මොනවද මේ කියන්නේ ? ඔයාලා කොහොමද අපි ගැන ඔහොම හිතන්නේ ?”
මහීකා කලබලය පිරි දෑසින් සුරංජි දෙසත් , වජිර දෙසත් බලා නැවතත් තම පුත්රයා දෙස බැලුවාය. කිසිදු කලබලයක් නොතිබූ දෑසින් ඈට සන්සුන් වන ලෙසට ඉඟි කළ ඔහු යළිත් වතාවක් මීෂා දෙසට හැරුණේය.
” මීෂා..! ලොකු මාමාගේ මූණට බෑ කියන්න බැරි කමට හිටියට දෙන්න ඕන උත්තරේ මං ඔයාට දීලා තිබුණේ. කවුරු මොන දේවල් , මොන විදිහට හිතාගෙන හිටියත් මං ඔයා ගැන හිතන් හිටියේ කොහොමද කියන්න ඔයා හොඳාකාරවම දන්නවා. එහෙම තියෙද්දිත් ඔයා මෙහෙම මෝඩ වැඩක් කර ගත්තු එකෙන් මං ඔයා ගැන ඇත්තටම කළකිරුණා නංගි. I am very disappointed in you. “
” මොකද්ද ..? මොකද්ද ලොකු පුතා ඔයා කියන්නේ ?”
තදින් බැඳ සිටි දෑත ළැම මතින් නිදහස් කළ හැඩිදැඩි තරුණයා දෑතම සාක්කු මත බහා ලමින් පැනය එල්ල කළ සුරංජි දෙසට හැරුණේය.
” ලොකු මාමා මීෂා ගැන ප්රපෝසල් එක ගෙනාපු දවස් වලම මං මීෂාට තේරුම් කරලා කිව්වා මගේ හිතේ මීෂා ගැන මගෙම නංගි කියන හැඟීමට වඩා දෙයක් නෑ කියලා. එයාටත් මං ගැන තියෙන්නේ මං එයාගේ අයියා කියන කාරණේ බව මං විශ්වාස කරනවා කියලත් කිව්වා. ලොකු මාමාට බෑ කියන්න බැරි කමට බලෙන් මේ ප්රපෝසල් එකට මීෂා කැමති වෙන්න අවශ්ය නෑ කියන එකත් මං එයාට කිව්වා. මොකද මං මේ වෙනකන්ම හිතන් හිටියේ මේ අදහස තියෙන්නේ ලොකු මාමාගේ හිතේ විතරයි කියලා. මං දැනන් හිටියේ නෑ මං මගේ නංගි විදිහට හිතන් හිටපු කෙනාත් මං ගැන හිතන් ඉඳලා තියෙන්නේ මේ විදිහට කියලා ?”
ඔහු සුරංජි වෙතින් දෑස මුදවා යළි මීෂා වෙතට විතැන් කළද ඈ තවදුරටත් එකී මුහුණ බැලීමට නොහැකිව ඉවත බලා සිටියාය.
” මීෂා..! මේ ලොකූ කියන කතාව ඇත්තද ? උත්තර දෙනවා කෙල්ලේ.”
පියාගේ උස් හඬට තිගැස්සුණු මීෂා ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තාය.
” ලොකූ..! ඔයා මට එහෙම කියපු එක ඇත්ත. ඒක හරි. ඒත්..ඔයාට මං ගැන පොඩි අදහසක්වත් නැද්ද ලොකූ ? අපිට බැරිද එකට ඉන්න ? අනේ.. නැන්දා..?”
තවදුරටත් පැහැදිලි කිරීම් වලට හෝ තේරුම් කිරීම් වලට ඉඩක් දීම ඵල රහිත බව තේරුණු ඔහු කළකිරුණු වතින් හිස දෙපසට සළා කිසිවක්ම නොපවසා රෝහල් කාමරයෙන් පිටතට අඩි තැබුවේය.


