5th Avenue – 45

0
370

එළඹුණු තවත් උදෑසනක ඉශිනි සම්බන්ධ මාධ්‍ය ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කරන වැඩසටහන පිළිබඳව වඩාත් හොඳ අදහසක් ලබාගැනීම සඳහා අදාල වැඩසටහන පැවැත්වීමට නියමිත වැඩිහිටි නිවාසය වෙත යාමට මේඝ සැලසුම් කරගෙන තිබුණේ පුහුණු වීම් යෙදී නොතිබුණු දිනයකය.ඒ සඳහා කණ්ඩායම් සාමාජිකයන් සියලු දෙනාමද සහභාගී වූයේ ස්ව කැමැත්තෙනි. 

එම වැඩසටහන වැඩිහිටි නිවාසය වෙත ගොස් ගීත ගායනා කර පැමිණෙන වැඩසටහනක් පමණක් නොවන බවත්, එහි සිටින වැඩිහිටියන් හට එය සැබවින්ම දැනෙන අත්දැකීමක් බවට එය පත් කළ යුතු බවත් ඉශිනි පෙර සිටම පැහැදිලිවම පවසා තිබුණු බැවින් වැඩසටහන පැවැත්වෙන ස්ථානය, සංගීත භාණ්ඩ තැබිය යුතු ස්ථාන සහ වැඩසටහන අතරතුරදී කණ්ඩායමට ඔවුන් සමඟ සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳව එහි ගොස් වඩා හොඳින් තීරණය කරගැනීම සුදුසු බව ඉශිනි ගේ තීරණය විය.

එයට මේඝ ද එකඟ වූ බැවින් ඔවුන් සියලු දෙනාම වැඩිහිටි නිවාසය වෙත පැමිණියේද ඒ අරමුණින්මය. කාර්යාලයේ කටයුත්තක් සඳහා සහභාගී වීමට තිබුණු බැවින් ඉශිනි වැඩිහිටි නිවාසය වෙත පැමිණියේ 5th Avenue කණ්ඩායම පැමිණ විනාඩි දහයකට පමණ පසුවය. 

වැඩිහිටි නිවාසයට පැමිණි පසු ඉශිනි මුලින්ම ඔවුන් සියලු දෙනාම විශාල ශාලාවක් වෙත කැඳවාගෙන ගිය අතර එහි තිබූ සරල බව සියලු දෙනාගේම අවධානයට ලක් වූ අතර බිත්තිවල පැරණි ඡායාරූප කිහිපයක්ද, එක් පසෙක පිළිවෙළට තබා තිබූ පුටු කිහිපයක්ද, ඉදිරිපසින් හිස්ව තිබූ ඉඩකඩක්ද එම ශාලාව තුළ දක්නට ලැබුණි. 

” අපේ වැඩේට වැදගත්ම තැන තමයි මේක. සාමාන්‍යයෙන් මෙයාල වෙනුවෙන් මොනවා මොනවාහරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම්, වෙන මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් ඒවා කරන්නේ මෙතන. ඒ නිසා අපිටත් මේ space එක ඒ විදිහටම use කරන්න පුළුවන් “

ඉශිනි සියලු දෙනාටම කරුණු පැහැදිලි කරමින් ශාලාවේ තවත් කෙළවරක් වෙත පියවර තබා ගියේ හුරු පුරුදු ලෙසිනි. 

” ඔයාලගේ instruments ටික මේ පැත්තෙන් arrange කළොත් හොඳයි. එතකොට මෙයාලා වෙනුවෙන් chairs ටික මේ පැත්තෙන් semicircle එකක් වගේ arrange කරන්න පුළුවන්. මට හිතෙන්නේ අපි stage එකක් හදලා, එයාලව අපෙන් ඈත් කරලා තියනවට වඩා, අපි එයාලා අතරටම ගිහින් වැඩේ කළොත් හොඳයි “

ඇගේ වචන වල තිබූ සැලසුම් සහගත බව නිසා මේඝ ඇතුළු සියලු දෙනාම නිහඬව ඇයට සවන් දුන්නේ වැඩසටහන කළ යුතු ආකාරය ඔවුන් තුළ තිබුණේද ඒ හා සමානම අදහස් බැවිනි.

” අපේ channel එකෙන් මෙහෙට අවශ්‍ය බඩු ටිකක් අරගෙන එනවා. කෑම බීම ටිකකුත් අපි arrange කරගෙන තියෙනවා. ඒ දේවල් official විදිහට hand over කරන කොටත් අපි මේ location එක තමයි use කරන්නේ. ඒ නිසා ඔයාලාගේ performance එක ඒකෙන් වෙනම දෙයක් වගේ පේන්න බැහැ. අපි මෙතනට ඇවිල්ලා songs ටිකක් කියලා, ඒ ටික ඉවර කරලා gifts ටික දීලා යන වැඩක් නෙවෙයි මේක. අපිට ඕනේ එයාලත් එක්ක කතා කරන්න, එයාලගේ stories අහන්න, පුළුවන් නම් එයාලා කැමති songs ගැන අහන්න. අපි song එකක් perform කරනකොටත් ඒක අපි වෙනුවෙන් කරන performance එකක් නොවෙයි, එයාලත් එක්ක එකතු වෙලා කරන දෙයක් වගේ දැනෙන්න ඕනේ” 

රිහාන් පුදුම වී බලා උන්නේ ඉශිනි තම රාජකාරිය වෙනුවෙන් කැප වී එය ඉතා හොඳින් සැලසුම් කර ඇති ආකාරය දෙසය. සැබවින්ම ඇය මේ ආකාරයේ තරුණියකැයි රිහාන් තුළ අදහසක් වූයේම නැත. මඳ වේලාවකට නිහඬව සිටි ඉශිනි නැවතත් රිහාන් ඇතුළු කණ්ඩායම දෙස බැලුවාය

“තව එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් young generation එකත් එක්ක concert එකක් කරන විදිහට මේක කරන්න බැහැ. එයාලා ඉන්න වයස, එයාලගේ experiences, එයාලගේ memories එක්ක මේ ප්‍රෝගෑම් එක connect වෙන්න ඕනේ. ඒ නිසා songs ටික තෝරන එකේ ඉඳන් performance එකේ අතරමැද අපි කතා කරන විදිහ වෙනකන්ම අපි හිතන්න ඕනේ. මට හිතෙනවා ඔයාලට දැන් මං කියන දේ පැහැදිලි ඇති කියලා. ඒ විදිහට තමයි අපි මේක plan කරගන්න ඕනේ “

මේඝ හිස සොලවමින් ඇගේ අදහස පිළිගත් අතර රිහාන්ද කිසිවක් නොකියා ඇගේ අදහස් වලට එකඟ වෙමින් උන්නේය. ශෙනෝලි ද ඉශිනිගේ අදහස් සමග බොහෝ දුරට එකඟ වූයේ මේ වැඩසටහනේ සැබෑ අරමුණ ඇයටද ඒ මොහොතේ තවත් පැහැදිලි වී තිබුණු බැවිනි. ඇය කාරණා කිහිපයක් ඇගේ ජංගම දුරකථනයේ සටහන් කර ගනිමින් සිටියදී අශේන් ඇය අසලට පැමිණියේය.

“ඉශිනි නම් මේ වැඩේ ගැන හොඳටම serious නේද?” 

ඔහු පැවසුවේ ඉශිනි තවත් කුමක් හෝ යමක් පවසමින් රිහාන් සමග ශාලාවේ කෙළවරක් වෙත ඇවිද යන දෙස බලමිනි. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙමින් තිබෙන සම්බන්ධය පිළිබඳව රිහාන් වචන වලින් කිසිවක් නොපැවසුවද, කණ්ඩායම් සාමාජිකයන්ගේ  සිත් තුළ ඒ පිළිබඳව තිබූ අවබෝධය මේ වන විට බොහෝ දුරට ස්ථිර වෙමින් තිබිණි. 

” එයා රිහාන් එක්කත් හැම දෙයක්ම discuss කරන්නේ මේ වැඩේ ගැන අලුත් idea එකක් එනකොට මුලින්ම රිහාන්ට තමයි කියන්නේ වගේ.”

ශෙනෝලි මොහොතකට ඔහු දෙස බැලුවාය. අශේන්ගේ හඬෙහි විහිළු සහගත බවක්  තිබුණද, ඔහු පැවසූ වචන ඇගේ සිත තුළට පැමිණ නතර වූයේ එතරම් සැහැල්ලුවෙන් නොවේ.

“ඒ දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරන් ඉන්නේ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද ශෙනෝ ?  ඒ දෙන්නා දෙන්නාගේ thoughts දන්නවා. දෙන්නෙක් අතරේ එහෙම understanding එකක් තියෙන එකත් එක අතකට හොඳයි නේද ? Specially relationship එකකදී “

අශේන් එය පවසන විට ශෙනෝලි කිසිවක් නොකියා නැවතත් තමන් සටහන් කර ගනිමින්  සිටි දේ දෙස බැලුවාය. නමුත් මීට සුළු වේලාවකට පෙර තමන් තුළ තබා ගනිමින් තිබුණු සැහැල්ලුව එක මොහොතකින්ම නැවත බිඳී ගිය බව ඇයට දැනෙමින් තිබිණි. එම නිසා  අශේන්ගේ අදහසට විරුද්ධ වීමට හෝ ඔහුගෙන් ඒ ගැන තවත් කිසිවක් අසන්නට ඇයට අවශ්‍ය නොවීය. එහෙත් රිහාන් සහ ඉශිනි එකිනෙකා සමඟ මෙතරම් සමීපව  සිටින ආකාරය දකින විට තමන්ගේ හැඟීම් තවමත් සම්පූර්ණයෙන්ම සුව වී නැති තැනක් ඇති බව ඇයට වැටහෙමින් තිබුණි.

ඉශිනි වැඩිහිටි නිවාසයේ වැඩ කටයුතු භාරව සිටි කාන්තාවක් සමඟ ශාලාවේ අනෙක් පසට ගොස් යම් දේවල් කිහිපයක් පිළිබඳව කතා කරමින් සිටින අතරතුර මේඝ සහ අනෙක් සාමාජිකයන් ද ශාලාවේ ඉදිරිපස කොටස තුළ එහා මෙහා යමින් සිටියදී රිහාන්, ශෙනෝලි අසලට පැමිණ නතර විය. ඇය ඔහු දෙස බලන විට ඔහුගේ මුහුණේ තිබුණේ වෙනදාට වඩා බැරෑරුම් බවකි.

“ශෙනෝලි, කවුරුහරි කියන දෙයක් නිසා ඔයාගේ හිත රිදෙනවා නම් ඒ දේවල් ගැන වැඩිය focus කරන්න එපා.”

ඔහු පැවසූ වචන ඇසූ මොහොතේම ඇය ඔහු දෙස බැලුවේ සෘජුවමය.ඔහු එකවරම පැමිණ එසේ පැවසීමට හේතුව ඇයට තේරුම් ගැනීමට අපහසු වූයේ නැත.

“මං හිතන්නේ කාටවත් මගේ හිත රිද්දන්න බෑ රිහාන් “

ඇය ඉතා සන්සුන් ස්වරයෙන් පැවසූ විට රිහාන්ගේ මුහුණේ සටහන් වූයේ මද පුදුමයකි. ඔහු ශෙනෝලිව දැන උන්නේ හැඟීම් සඟවාගෙන සිටීමට හැම විටම නොහැකි වූ, අතිශය සංවේදී වන යුවතියක ලෙසය. එය ඇගේ දෑස්වලින් පවා හඳුනා ගත හැකි අවස්ථා ඔහු ඕනෑ තරම් දැක තිබුණි. එහෙත් අද ඇගේ වචන වල ඇත්තේ ඒවාට හාත් පසින්ම වෙනස් වූ ස්ථිරබවකි.

“එහෙම වෙනවනම් හොඳයි ශෙනෝලි. ඒත් මං හිතන්නේ නෑ කවුරුත් කියන ඒවා ගණන් නොගෙන ඉන්න තරම් , ඇහෙන්නේ නෑ වගේ ඉන්න තරම් ඔයා තාම strong කියලා.”

රිහාන් එවැන්නක් පැවසුවේ ඇය පිළිබඳව සැබැවින්ම දන්නා නිසාය.

අනතුරුව ශෙනෝලි මොහොතක් ඔහු දෙස බලා උන්නාය. පසුව ඇගේ දෑස් ශාලාවේ අනෙක් පස සිටින ඉශිනි වෙතත්, තමන් ඉදිරියේ තිබූ හිස් පුටු කිහිපය වෙතත් යොමු විය.

“මම strong නෑ කියලා හිතන නිසා තමයි ගොඩක් අය හිතන් හිටියේ මගේ හිත රිද්දන්න පුළුවන් කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here