තමා නිවසට පැමිණියේ කෙසේ දැයි කියා ශෙනෝලි හටම හරි හැටි මතකයක් වූයේ නැත. අවන්හලෙන් පිටවී නිවසට පැමිණෙන තුරු ගත වූ සුළු කාලය පුරාම ඇගේ සිත තුල දෝලනය වෙමින් තිබුණේ අශේන් සමඟ සිදු වූ කතාබහය. ඔහු ඇසූ අවසාන ප්රශ්නයත්, ඒ ප්රශ්නය ඇසූ මොහොතේ තමන්ගේ හදවත තුළ ඇති වූ නොසන්සුන්කමත් ඇගේ සිතට ඒ වන විටත් බොහෝ සේ වද දෙමින් තිබිණි.
අශේන්, ඔහු තුළ තමා කෙරෙහි ඇති හැඟීම පැවසීමෙහි කිසිදු වරදක් නැත. බොහෝ අවස්ථාවලදී ඔහු ඒ පිළිබඳව ඉඟිකර තිබූ බැවින් එහි අමුත්තක්ද නැත. නමුත් ඔහු අනපේක්ෂිත ලෙස තමාගේ හදවතෙහි රිහාන් පිළිබඳව පවතින හැඟීම හඳුනා ගෙන තිබීම ගෙන එන්නේ අපහසුව මුසු හැඟීමකි.
කෙසේ වුවත් ඒ පිළිබඳව තවදුරටත් සිතමින් තමන්වම වෙහෙසට පත් කර ගැනීමට අවශ්ය නොවන බව ශෙනෝලි සිතුවේ අවසානයේදීය.
” අපි මේ කතාව මෙතනින් නවත්තමු අශේන්. ඔයයි මමයි ගැන කිව්වොතින් මට ඔයාට කියන්න තියෙන්නේ කලින් කිව්ව දේම තමයි. ඒ නිසා මං කැමතියි ඒකට රිහාන්ව ගාව ගන්නෙ නැතුව ඉන්නවනම්.අපි කලින් වගේම ඉස්සරහටත් බෑන්ඩ් එකේ වැඩ කර ගෙන ඉමු.අද මෙතන මෙහෙම දෙයක් වුණා කියලා මෙතනින්ම අමතක කරලා දාමු “
තමා එවැනි පිළිතුරක් දුන් පසු අශේන් කිසිදු තර්කයක් නොකර ඒවා පිළිගත් ආකාරයද ශෙනෝලි හට සිහිපත් විය. ඉන් ඉදිරියට ඔහු ඒ පිළිබඳව කුමන පියවරක් ගත්තත් , ඔහු තමා කෙරෙහි කෙසේ හැසිරුණත් දෙදෙනා අතර තිබුණු සරල සම්බන්ධතාවය වෙනස් කර ගැනීමට කැමත්තක් ශෙනෝලි තුල වූයේ නැත.
ඒ නිසාම හැකිතාක් සන්සුන්ව සවස් වරුව ගෙවා දැමූ ශෙනෝලි පසු දින උදෑසන අවදි වූයේ පෙර දින කිසිවක් සිදු නොවූ ආකාරයටමය. ඇය කල් වේලා ඇතිව සූදානම් වී අතිශය කාර්යබහුල වන්නට නියමිත දිනයක් ආරම්භ කරමින් උන්නාය.
බොහෝ දිනකට පසුව 5th Avenue ස්ටූඩියෝව තුළ සාමාන්ය පුහුණුවීමේ දවසක් ආරම්භ වෙමින් තිබිනි. දින ගණනාවකට පසුව සුපුරුදු ආලෝකයෙන් ආලෝකවත් වූ ස්ටූඩියෝව තුළ නැවුම් බවක් සහ උණුසුම් බවක් ඇති බව සියලු දෙනාටම දැනුනේ පළමින් පිට පැවති අති සාර්ථක ප්රසංගයකට පසුව නැවත සියලු දෙනාම පුරුදු තැනට එක් රැස් වීමේ සතුට සම සමගිනි.
හුරුපුරුදු කතාබහත්, සිනහවත්, උපකරණ සකස් කරන ශබ්දත් එකින් එක 5th Avenue Studio අවකාශය පුරවා ගනිමින් තිබුනේ දින කිහිපයක් තිස්සේ එහි පිරී තිබුණු නිහඬ බව අවසන් කරමිනි.
ශෙනෝලිද වෙනදා මෙන් ස්ටූඩියෝවට ඇතුළු වූයේ අතරමගදී මිලදී ගත් කෙටි කෑම වර්ග කිහිපයක් සහ උණුසුම් කෝපි කෝප්ප කිහිපයක්ද අතැතිවය.
” ටික දවසකට පස්සේ ප්රැක්ටිස් එන නිසා මං හිතුවා කට්ටියටම හොඳ එනර්ජි එකක් ඕන වෙයි කියලා “
ඇය සියුම් සිනහවකින් සියල්ලන්ටම සංග්රහ කරන අතරේ ස්ටූඩියෝව කෙළවරේ වූ කුඩා මේසය මතින් සියල්ල තැබුවාය.
ඇගේ හඬෙහි කිසිදු වෙනසක් නොතිබුනු අතර මුහුණේද පෙර දින සිදුවූ කිසිවක් පිළිබඳව සලකුණක් හෝ නොතිබිණි. ඇය තමන්ගේ රාජකාරී කටයුතු පිළිබඳව කතා කරමින්, අවශ්ය දේවල් සකස් කරමින්, මේඝට අවශ්ය තොරතුරු පවා පෙර පුරුදු ආකාරයටම ලබා දෙමින් උන්නාය.
ඒ සියල්ල දෙස අශේන් බලා උන්නේ අද හා ගත නොහැකි වූ පුදුමයෙනි.පෙර දිනයේ තමන් ඉදිරියේ වාඩි වී සිටි ශෙනෝලිගේ මුහුණත්, මේ මොහොතේ තමන් ඉදිරියේ සාමාන්ය ලෙස හැසිරෙන ශෙනෝලිගේ මුහුණත් එකම කෙනෙකුගේ බව විශ්වාස කිරීමට පවා ඔහුට මොහොතක් ගත වූ අතර ඇය මෙතරම් ඉක්මනින් සියල්ල පසෙකට දමා සාමාන්ය වන්නේ කෙසේදැයි ඔහුට සිතාගත නොහැකි විය.
එහෙත් ඒ පිළිබඳව ඇයගෙන් කිසිවක් අසන්නට ද ඔහුට අවශ්ය වූයේ නැත.
කණ්ඩායමේ සියලුම සාමාජිකයන් ස්ටූඩියෝවට පැමිණ ටික වේලාවක් ගත වූ පසුව මේඝ සියල්ලන්වම එක තැනකට කැඳවා ගත්තේ ශෙනෝලි විසින් ගෙන ලද ආහාර පාන සියල්ල ද බෙදා ගන්නා අතරේය.
“හරි, අපි පොඩි මීටින් එකක් අරගෙන ඉස්සරහ දවස් ටිකේ කරන්න තියෙන වැඩ ටික ආපහු මතක් කරගමු. ගොඩක් දවසකින් අපි හැමෝම එකට වැඩ කළේ නැති නිසා වැඩ් ආපහු clear කරගන්න ඕනේ මට. මොකද ඉස්සරහ දවස් ටිකේ අපි ගොඩක් බිසී වෙන්න තියනවා “
සියලු දෙනාම එක තැනකට වට වී අසුන් ගත් අතර ශෙනෝලිද මේඝ අසලින්ම වාඩි වී ඔහු පවසනා සියල්ල පුරුදු පරිදි පිළිවෙලින් සටහන් කර ගත්තේ ඇතැම් විට ඔහුටද ඒවා අමතක වී යන බැව් අත්දැකීමෙන්ම දන්නා නිසාය. ඉදිරි වැඩසටහන්, පුහුණුවීම් පිළිබඳ කාලසටහන්, ගීත වල වෙනස්කම් සහ කණ්ඩායම වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට නියමිත නව ගීත කිහිපයක් පිළිබඳව මේඝ එකින් එක පැහැදිලි කරද්දී ශෙනෝලි ඔහුට මගහැරුණු තවත් කරුණු කිහිපයක්ද මතක් කර දුන්නාය.
රිහාන් නිහඬව මේ සියල්ල දෙස බලා උන්නේය. ශෙනෝලිගේ හැසිරීම ඔහුගේ අවධානයට ලක් වූ අතර ඇය ඕනෑවටත් වඩා සාමාන්ය වීමට උත්සාහ කරන බව ඔහුට යන්තමින් මෙන් දැනෙන්නට පටන් ගෙන තිබිනි. නමුත් ඒ පිළිබඳව වැඩිදුර සිතීමට ඔහුට අවශ්ය වූයේ නැත.
විශේෂයෙන්ම, තමන්ගේ ජීවිතය පිළිබඳව පසුගිය දිනවල ගත් තීරණය ඔහුගේ සිතේ වැඩි ඉඩක් ලබාගෙන තිබුණු අතර ඉශිනි හට තමන් ලබා දුන් වචනයෙන් පසුව තමන්ගේ අවධානය යොමු විය යුත්තේ ඇය වෙත පමණක් බව ඔහු දැඩි ලෙස තීරණය කර තිබුණේය. එතැනින් පසුව වෙනත් අයෙකුගේ හැඟීම් කියවීමට හෝ ඒවා තුළට ගොස් තවත් ගැටලු ඇති කර ගෙන වෙහෙස වීමට ඔහුට අවශ්ය වූයේ නැත.
එබැවින් රිහාන්ගේ මුහුණේ තිබුණේ වෙනදා තිබූ ඒ ස්ථාවර නිහඬ බවමය. කිසිවෙකුගේ හැසිරීමක් හෝ කතාබහක් ඔහුගේ තීරණය වෙනස් කරන බවක් පෙන්වීමට ඔහු කිසිසේත්ම සූදානම් වූයේ නැත.
මේඝ සමග කතාබහ අවසන් වූ පසුව සියලු දෙනාම පුහුණුවීම් ආරම්භ කිරීමට සූදානම් වූ අතර ශෙනෝලිද පුරුදු ආකාරයෙන් තමන්ගේ ලිපිගොනු සහ දුරකථනය රැගෙන සෝෆාව අසලට පැමිණියේ දිගු දවසක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙනි.
සාමාජිකයන් සියලු දෙනා පුහුණුවීම් සඳහා සූදානම් වන මොහොතේ අශේන් ශෙනෝලි අසලට පැමිණ නතර වූයේය.
“ඔයා නම් තේරුම් ගන්න බැරි මහ පුදුම කෙල්ලෙක් ශෙනෝ “
ඔහු සෙමින් පැවසුවේ වෙනදා තිබූ සැහැල්ලු ස්වරයට නැවත පැමිණීමට උත්සාහ කරමිනි. ඔහු දෙස හැරී බැලූ ශෙනෝලි අනතුරුව පෑවේ මද සිනහවකි.
“Yes, I am.”
ඇය එපමණක් පවසා ලැප්ටොප් පරිගණකය දිගහැර ගෙන සෝෆාව මත වාඩි වී ඒ වෙත අවධානය යොමු කළාය.
ඇය එම පිළිතුරු දුන් ආකාරයට සිනහ නොවී සිටීමට අශේන් හට හැකි වූයේ නැත.
“ඒක නම් මං දැන් හොඳටම දන්නවා.”
ඔහු එසේ පවසා කණ්ඩායම් සාමාජිකයන් සිටි ස්ථානයට ගොස් රඳවනයේ තිබූ මයික්රෆෝනය අතට ගත්තේය.
ඊළඟ මොහොතේ දී 5th Avenue ස්ටූඩියෝව තුළ දින ගණනාවකට පසුව නැවතත් පුරුදු සංගීත රිද්මය ඇසෙන්නට පටන් ගත් අතර මුල් මිනිත්තු කිහිපය තුළ සියලු දෙනාම තමන්ටම ආවේණික වූ සංගීතය සමඟ නැවත හුරු වෙමින් සිටියහ.
ශෙනෝලි ඒ අතරතුර වෙනදාටත් වඩා තමන්ගේ රාජකාරී කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් , ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ප්රසංග වල දින නැවත පරීක්ෂා කරමින්, කාලසටහන් සකස් කරමින් සහ පුහුණුවීම් සඳහා දින යොදා ගනිමින් පුරුදු කාර්ය බහුල වෙත අවතීර්ණ වෙමින් උන්නාය.
පැය ගණනාවක් පුරාවටම විවේක ගැනීමකින් තොරව පුහුණු වීම් කිරීමෙන් සාමාජිකයන් සියලු දෙනා තරමක් වෙහෙසට පත් වී සිටි නිසා අනතුරුව මේඝ සූදානම් වූයේ දහවල් ආහාරය රැගෙන ඒම සඳහා යාමටය. ඒ සඳහා කිසිවෙකුගේත් විරුද්ධත්වයක් නොවූ බැවින් ඔහු තම වාහනයේ යතුර ගෙන ස්ටූඩියෝවෙන් පිටව යාමට ප්රධාන දොරටුව වෙත පියවර තැබුවේය.
ඒ මොහොතේදීම අනපේක්ෂිත ලෙස ස්ටූඩියෝවේ දොර විවෘත වූ අතර සියලු දෙනාගේම ඒ වෙත අවධානය යොමු වූයේද, ශෙනෝලිගේ අත තිබූ පෑන මොහොතකට නතර වූයේද එකම මොහොතකදීය.
ඇය මෙන්ම රිහාන්ද වහාම බැලුවේ විවෘත වූ දොර දෙසය.
ඒ මොහොතේදී කිසිසේත්ම අපේක්ෂා නොකළ රූපයක් 5th Avenue ස්ටූඩියෝවේ දොරටුව ඉදිරියේ පෙනී සිටියේය.


