5th Avenue – 49

0
259

අලුයම තුනත් පසුවී තිබූ බැවින් රිහාන්ගේ නිවස පුරා පැතිර තිබුණේ ගැඹුරු නිහඬතාවයකි. වෙනදාට ප්‍රසංගයක් නිමා වී තම පුතු නිවසට පැමිණෙන වේලාව පසුවී බොහෝ වේලාවක් ගත වී තිබෙන බැවින් නින්දට නොගිය ශ්‍යාමලී එදිරිසිංහ පුතුගේ මෝටර් රථය ගේට්ටුවෙන් ඇතුළු වන හඬ ඇසුණු සැණින් පහළ මාලයට පැමිණියාය. දොර විවෘත කරගෙන නිවස තුළට පැමිණි රිහාන්ගේ මුහුණ දුටු ඇය මොහොතක් ඔහු දෙස බලා උන්නේ ඔහුගේ අතිශය වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබුණු බැවිනි. 

” වෙනදටත් වඩා ඔයා පරක්කු නිසා මං පොඩ්ඩක් බලන් හිටියේ පුතා ” 

ශ්‍යාමලී පැවසුවේ ඔහු අසලට පැමිණෙමිනි. රිහාන් කිසිවක් නොකියා මඳ සිනහවක් පමණක් පා සාලයේ තිබූ සෝෆාව මත වාඩි වූයේය. ඔහුට ඒ මොහොතේ තමන්ගේ කාමරයට ගොස් යහන මත වැතිරෙන්නටවත් සිතක් නොතිබූනු අතර ගතට දැනුණු වෙහෙසටත් වඩා ඔහුට දැනෙමින් තිබුනේ සිතේ වෙහෙසකාරී බවය.ඉශිනිගේ මුහුණේ අවසන් මොහොතේ දුටු බිය ඔහුගේ සිතට නැවත නැවතත් මතක් විය.

” මං හිතන්නෙ නෑ මං ඔයාට ළංවෙලා කරගත්තේ මෝඩකමක් කියලා.ඒත් එහෙම  හිතෙන තැනට වැඩ කරන්න එපා ” 

රිහාන් තුළ දක්නට තිබූයේ අසාමාන්‍ය නිහඬ බවකි. එය ඔහු දෙස බලා හුන් ශ්‍යාමලි හට වටහා ගැනීමට අපහසු වූයේ නැත.

” You look so tired, පුතා “

ඇය ඔහු දෙස බලා පැවසුවාය.

” මොනවා හරි බොන්න හදන්නද? Tea එකක් ?”

“මොකුත් එපා අම්මා. පොඩ්ඩක් මෙතන වාඩි වෙන්නකෝ “

රිහාන් එසේ පැවසූ විට ශ්‍යාමලීගේ බැල්ම මඳක් වෙනස් විය. මෙතරම් වෙහෙසකින් නිවසට පැමිණි පසු විවේක නොගෙන තම පුතු තමා හා වාඩිවී කතා කරන්නට කරනා ඉල්ලීමම ඔහුගේ සිත තුළ යම් බරක් ඇති බවට වටහා ගැනීමට ඇයට ප්‍රමාණවත් විය. ඇය ඔහු අසලින් වාඩිවී කිසිදු ප්‍රශ්නයක් නොඅසා ඔහු දෙස බලා උන්නේ මවක් ලෙස ඔහුගෙන් ඕනෑවට වඩා ප්‍රශ්න අසනවාට වඩා  ඔහුට තමන්ගේ වේලාව ලබාදීම වැදගත් බව දැනහුන් නිසාය.

” මට අම්මට කියන්න දෙයක් තියෙනවා “

රිහාන් ඇය දෙස නොබලාම පැවසු අතර ශ්‍යාමලී තවදුරටත් ඔහුට ඉඩ දී නිහඬව බලා උන්නාය. අනතුරුව රිහාන්, ඉශිනිව මුණගැසුණු ආකාරයත්, කාලයක් තිස්සේ ඇය තමන් පිළිබඳව දැන සිටි ආකාරයත්, පසුව ඇය තමන්ගේ ජීවිතයට පැමිණි ආකාරයත් සරලව පැවසුවේය. ඇය සමඟ සිටීම තමන්ට සතුටක් වූ බවත්, ඇය තමන්ගේ ජීවිතයේ වැදගත් කෙනෙකු බවට පත්වෙමින් සිටින බවත් ඔහු තම මවට සැඟවීමට උත්සාහ නොකළ අතර, ශ්‍යාමලී ඒ සෑම වචනයක්ම අතරමැදින් නතර නොකර, ඔහුගේ මුහුණ දෙස බලා ඉවසීමෙන් අසා උන්නාය.

රිහාන් කතාවේ කොටසක් පවසා අවසන් කර මොහොතක් නිහඬව උන්නේය. අනතුරුව ප්‍රසංගය අතරතුරදී ඉශිනි ගේ හැසිරීමත්, පසුව තමන් ඇයට ඒ පිළිබඳව කතා කළ ආකාරයත් ඔහු ශ්‍යාමලි වෙත පැහැදිලි කළේය. ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා තම පුතුගේ මුහුණ දෙස බලා සිටි අතර, සාමාන්‍යයෙන් තරුණයෙකු තමන්ගේ පෙම්වතිය පිළිබඳව කතා කරන විට ඔහු තුළ පෙනෙන සතුට හෝ උද්යෝගය මේ මොහොතේ තම පුතු තුළ කිසිසේත්ම නොමැති බව ඇයට පැහැදිලිවම දැනෙමින් තිබිණි. ඒ නිසාම ඔහු කියා අවසන් කළ වචනවලට වඩා ඔහු නොකියූ දේවල් පිළිබඳව ඇය අවධානය යොමු කළාය.

” ඒ ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ, පුතා?”

ශ්‍යාමලී සෙමින් විමසූ අතර රිහාන් මොහොතක් ඉවත බලා උන්නේය.

” මට එයා ගැන අවුලක් නෑ අම්මා. මං එයාට ආදරෙයි. ඒත් අද වෙච්ච දේ නිසා මම ටිකක් disappoint වුණා. මං එයාට මං ගැන විශ්වාස කරන්න කිව්වා, ඒ වගේම මං වෙනුවෙන් මගේ profession එකට ප්‍රශ්නයක් වෙන දේවල් කරන්න එපා කියලත් කිව්වා. මං වැරදි දෙයක් කරලා තියෙනවා නම් ඒකත් කතා කරලා හදාගන්න පුළුවන්නේ අම්මා . හැබැයි මේ වගේ දේවල් ආයෙත් වෙයි කියලා මට බයයි.”

ශ්‍යාමලී තවත් මොහොතක් නිහඬව උන්නාය. අනතුරුව ඇය සෙමින් හුස්මක් ගෙන රිහාන් දෙස බැලුවේ දරුවෙකුට උපදෙසක් දෙන මවකගේ ස්ථාවර සන්සුන් බවකිනි.

” පුතා. සම්බන්ධයක් පටන් ගන්නකොට අපිට කොහොමත්ම කියන්න බෑ අනිත් කෙනා මොන වගේද කියලා. එයා කැමති දේවල්, අකමැති දේවල්, එයාගේ හොඳ ගතිගුණ වගේම නරක ගතිගුණත් අපිට තේරෙන්නෙ කාලයක් ගියාට පස්සේ. ඒවා එක දවසකින්වත්, මාස කීපයක් ඇතුළෙදි වත් තේරෙන්නෙ නෑ පුතා “

රිහාන් නිහඬව තම මව දෙස බලා උන්නේය. හදවත බොහෝ නොසන්සුන් වී ඇති මොහොතක ඇගේ හඬ ඔහුට ගෙන ආවේ තරමක සැනසීමකි.

” සම්බන්ධයක් ඇතුළේ කතා කරලා විසඳගන්න බැරි, කතා කරලා හදාගන්න බැරි දේවල් හරිම අඩුයි පුතා. කෙනෙක් අපි ළඟට එනකොට එන්නේ එයාගේ හොඳ ගතිගුණ විතරක් අරගෙන නෙමෙයි. එයාගේ නරක ගතිගුණත් අරගෙන. හැම මනුස්සයෙක් ඇතුළෙම හොඳ නරක අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒක ඔයා ළඟත් එහෙමයි “

ඇය එවදන් පැවසීමෙන් පසුව මඳක් නතර වූවාය.

” හැබැයි පුතා “

ශ්‍යාමලීගේ හඬ එවර මදක් බැරෑරුම් විය.

” ඔයාගේ profession එකත් එක්ක, ඔයා ඉන්න විදිහත් එක්ක ගෑනු ළමයි ගොඩක් ඔයාට attract වෙනවා. ඉතින්, ඉශිනිත් ඒ අයගෙන් එක්කෙනෙක්ද, නැත්තං ඇත්තටම ඔයාට ආදරය කරන කෙනෙක්ද කියලා ඔයාට හිතන්න වෙනවා “

රිහාන්ගේ මුහුණ මඳක් වෙනස් වූයේ අනතුරුවය. ඉශිනි තමා පසුපස හඹා ආ ආකාරයත්, තමා වෙනුවෙන් කළ කී දෑ පිළිබඳවත් සිතුවා මිසක ඇත්තටම පා තුළ ඇත්තේ ආදරයක්ද නැතිනම් ආකර්ෂණයක්දැයි කියා තමා මොහොතකටවත් සිතා තිබුණේ නැත.

” ආදරයයි ආකර්ෂණයයි කියන්නේ දෙකක් පුතා. ආකර්ෂණයක් සමහර වෙලාවට හරිම තදින් දැනෙන්න පුළුවන්. ඒත් කාලයත් එක්ක ඒක නැති වෙලා යන්න පුළුවන්. ආදරය කියන්නේ එහෙම එකක් නෙමෙයි. කෙනෙක්ගේ හොඳ දේවල් විතරක් නෙමෙයි, එයාගේ අමාරු පැතිත් දැකලා ඒ කෙනා එක්ක ඉන්න තීරණය කරන එක තමයි ආදරය කියන්නේ “

ශ්‍යාමලීගේ වචන නතර වූයේ රිහාන්ගේ හදවතේ ගැඹුරකය. කාමරයට පැමිණ ස්නානය කර යහන මතට වී නිදන්නට උත්සාහ කළද ඒ වචන බොහෝ වේලාවක් යනතුරු ඔහුගේ මනසේ රැඳී තිබිණි. ඉශිනි සමඟ ගත කළ අවස්ථා එකින් එක ඔහුගේ මතකයට පැමිණියද, ඒවා අතරින් ඔහුට දැනුණේ ආකර්ෂණයකට වඩා වැඩි යමකි. ඇය සමඟ ඉදිරියට යාමට තීරණය කළේ ඇය තමන්ට ආදරය කරන බව පමණක් නිසා නොව, ඇය සමඟ ජීවිතය බෙදාගැනීමට තමන්ට අවශ්‍ය වූ නිසා බව ඔහුට දැනුණු බැවින් යම් ගැටලුවක් පැමිණි පමණින් ඇයව අතහැර දැමීමට ඔහුට උවමනා නොවීය. එම නිසා ඇය වෙත මේ වන විටත් ලබාදී ඇති පොරොන්දුව රැකගෙන, ගැටලු විසඳාගෙන ඉදිරියට යාමට අවසානයේ රිහාන් තීරණය කළේය.

පසුදා උදෑසන කිසිවෙකුත් නොසිතූ යමක් සමාජ මාධ්‍යවල පැතිර යමින් තිබුනේ අනපේක්ෂිත ආකාරයටය.පෙර දින රාත්‍රියේදී කොළඹ පැවති සංගීත ප්‍රසංගයකදී බේස් ගිටාර් වාදන ශිල්පියෙකුගේ පෙම්වතියක පැමිණ ප්‍රසිද්ධියේ තමාට බැණ වැදුණු බවත්, අදාළ බේස් ගිටාර් වාදන ශිල්පියා ඉන් පසුව නිහතමානීව හැසිරුණ ද, ඔහුගේ පෙම්වතිය ඉතා උද්දච්ච ආකාරයෙන් හැසිරුණු බවටත් ඉශිනි ගේ සිදුවීමට අදාළ තරුණිය facebook සටහනක් පළකර තිබිණි. එදින කොළඹ පැවතියේ එක් ප්‍රසංගයක් පමණක් වූ බැවින් සිදුවීමට අදාල වන්නේ කවුරුන්ද යන වග වැඩි වේලාවක් නොගොස් බොහෝ දෙනා තේරුම්ගෙන තිබූ අතර, එම සටහනට පහළින් රිහාන්ගේ නම සඳහන් කළ ප්‍රතිචාර කිහිපයක්ද පළවෙමින් පැවතිණි.

පුහුණුවීම් සඳහා ස්ටූඩියෝවට පැමිණ සිටි කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් මෙන්ම ශෙනෝලි සහ මේඝ ද සමාජ මාධ්‍යවල පැතිර යමින් තිබුණු සිදුවීම පිළිබඳව ඒ වන විටත් දැන හිඳි අතර පුහුණුවීම් සඳහා පැමිණි රිහාන් හැකිතාක් සන්සුන් වීමට උත්සාහ දරමින් පුහුණුවීම් ආරම්භ කිරීම සඳහා සූදානම් වෙමින් උන්නේය.නමුත් කණ්ඩායමේ ගෞරවය පිළිබඳව සෑම විටම සිතා බලන මේඝ හට එම සිදුවීම නොසලකා හැර සිටීමට හැකි වූයේ නැත.

” රිහාන්. මචං, මේක කොහොම හරි අපේ band එකට කැළලක් වෙන විදිහට යන්න දෙන්න බෑ නේද? “

මේඝ රිහාන් අසලට පැමිණියේය.

” මං ඒක වෙන්න ඉඩ තියන්නෙ නෑ. මං ඒ ගෑනු ළමයට කතා කරලා post එක අයින් කරවන්නම්. Don ‘t worry “

”  මචං අපේ profession එකයි personal life එකයි දෙකක්. උඹ කොහොමත් ඒ දෙක ලස්සනට balance කරගෙන ආපු එකෙක්නේ. උඹගේ personal දේවල් අපිට ඇත්තටම වැඩක් නෑ. හැබැයි ඒක උඹට හරි band එකට හරි ප්‍රශ්නයක් වෙනවනම් අපිටත් ඒක අවුල්. ඒකයි කියන්නේ “

රිහාන් මඳක් හිස සෙලවූයේය.

” මට තේරෙනවා. ඉශිනිත් පස්සේ ඒක තේරුම් ගනීවි “

ඔහු එතැනින් එහාට කිසිවක් නොකියා තම අවධානය නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීම කෙරෙහි යොමු කළේය.

ස්ටූඩියෝවේ අනෙක් කෙළවරක සිට මේ සියල්ල උපේක්ෂාවෙන් බලා සිටි ශෙනෝලිගේ සිතද ඒ මොහොතේ නොදැනුවත්වම අතීතය දෙසට ඇදී ගියේය. රිහාන් සැබවින්ම ආකර්ෂණීය තරුණයෙකු වූ අතර, ඔහු තමන් පිළිබඳව සැලකිලිමත් වූ ආකාරය නිසා තමන් තුළද ඔහු කෙරෙහි ආකර්ෂණයක් ඇතිවූවා විය හැකි බව ඇය සිතුවාය. එහෙත් ඒ ආකර්ෂණය පමණක් යැයි කියා තම සිත රවටා ගැනීමට ඇයට තවදුරටත් හැකි නොවූයේ, ඔහු පිළිබඳව තවමත් යම් හැඟීමක් තමන් තුළ ඉතිරිව ඇති බව ඇය හොඳින්ම දැන සිටි බැවිනි. ඒ හැඟීම තිබුණද ඔහු දැන් අන් තරුණියක හා බැඳී සිටින බැවින් සිතුවිල්ලකින්වත් ඔහුගේ ජීවිතයට වරදක් කිරීමට තමන් වෙත අයිතියක් නොමැති බව ඇය නැවතත් තමන්ටම මතක් කරගත්තාය. ඇය නිහඬව තම දෑස් පහත් කරගත්තේ ඒ හැඟීම සමඟම ජීවත් වීමට තමාට ඉගෙනගත යුතු බව සිතමිනි.

ඒ මොහොතේ රිහාන්ගේ දුරකථනය නාද වූ අතර ඔහු එය අතට ගෙන තිරය දෙස බැලූ පසු එහි දිස්වූ නම දුටු සැණින් ඔහුගේ මුහුණේ තිබූ සන්සුන් වන්නට උත්සාහ දරමින් හුන්  ස්වභාවය මඳක් වෙනස් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here