පසළොස්වක මල් – 64

0
1190

” මේ මිනිහට පිස්සුද ?” 

” ගෙවිච්ච මාස තුනේම ඔහොම තමා. දවල් දවසෙම කැම්පස් එක ළඟ. දුමීට පේන්නැති වෙන්න ගිහින් එයා දිහා බලන් ඉන්නවා. රෑට රාජකාරිය මේක. තේජ් හරි මං හරි ඉන්න තැනකින් මෙහෙම ඇවිත් අරන් යනවා. “

බිමට නැඹුරු කර ගත් වතින් අෂ්මිල තව දුරටත් භරණ හමුවේ තොරතුරු පැවසුවේය. 

” බිස්නස් එක ?” 

” පිළියන්දල බ්‍රාන්ච් එකේ වැඩ පටන් ගන්න ඔන්න මෙන්න තිබ්බේ. ඒක පටන් ගත්තේ නෑ. මායි ,  තේජුයි පුළුවන් විදිහට බලනවා , ඒ නිසා යන්තන් නුගේගොඩ එක තියනවා. ඒත්.. මූ කරපු හරිය කරන්න අපි දෙන්නම එකතු උනත් බෑ. බිස්නස් සෑහෙන්න අඩුයි. එතන හිටපු ස්ටාෆ් එකත් දැන් අඩුයි. වැඩි කල් ඇදගෙන යන්න පුලුවන් වෙන එකක් නෑ. එහෙම උනොත් විකුණලා දානවා. මූ දිහා බල බල අම්මත් ලෙඩින්. “

දෝතින්ම උවන පිස දැමූ අෂ්මිල මෝටර් රථයට බර වී සුසුමක් හෙළුවේය.

නිවසට පැමිණි භරණ නිදන කාමරයට නොයා මිහිදුමීගේ නිදන කාමරය වෙතට අඩි තැබුවේය.  විදුලි බුබුළ දල්වා තිබුණද ඈ නින්දට වැටී සිටියාය. සෙමින් සෙමින් ඈ අසලට පැමිණි ඔහු තවමත් තීරය දැල්වෙන ඇගේ දුරකතනය අතට ගත්තේය. එහි වූ ඇගේත් , අස්නකගේත් ජායාරූපය දුටු ඔහු තවත් මොහොතක් ඈ දෙස බලා සිට දුරකතනය පසෙකින් තබා කාමරයේ විදුලි බල්බය නිවා දමා ඉන් පිටවුණේය. 

********************************************

” කවුරුහරි ආවද ?” 

ගේට්ටුවෙන් අනෙක් පස ඇසුණු මෝටර් රථයක නලා හඬට සවන් යොමු කළ මහීකා කෑම මේසයේ හිඳ උන් අෂ්මිල දෙස බලා ආලින්දය දෙසට ඇවිද ගියාය. විවර වූ ගේට්ටුව තුළින් ගෙමිදුලට පැමිණි මෝටර් රථයෙන් බැස එන රුව දුටු මහීකා පුදුමයෙන් ඒ දෙස බලා සිටියාය. 

” කවුද අම්මා ..?” 

මහීකා නිහඬව පසුපසින් පැමිණි අෂ්මිල දෙස බැලුවාය. 

” භරණ..! එන්න..” 

” කොහොමද මිසිස් විජේසිංහ ?” 

ආලින්දයට ගොඩ වූ භරණ නිහඬවම පසෙක උන් මහීකා දෙස බලා ඇසුවේය. 

” ඉන්නවා භරණ. එන්න..” 

සතුට , සැනසීම හා ආලෝකය සොරු අරන් ගිය ලෙසකින් දිස් වූ විජේසිංහ නිවසේ ඇතුළතට දෑස යොමු කළ භරණ සොම්නසක සේයාවක් හෝ නොමැති මහීකා දෙසට හැරුණේය.

” මං ආවේ අස්නකව මීට් වෙන්න “

” තාම නිදි. මං කතා කරන්නං. එන්න…” 

” භරණව උඩට එක්කන් යන්න සුදු පුතා. මං තේ ටිකක් ලෑස්ති කරන්නං “

” ලොකූ…! ලොකූ…!” 

බොහෝ සෙයින් වැහිරී ගිය සිරුරකින් පෙර දින රාත්‍රියේ උන් ඇඟලුම් පිටින්ම නිදා වැටී සිටි අස්නක දෙස බලා සිටි භරණ නිදන කාමරයේ තිබු සෝපාවකට බර විය. 

” ම්ම්.හ්හ්…”

කෙඳිරි ගාමින් අෂ්මිලගේ හඬට අවදි වූ තරුණයා අපහසුවෙන් දෑස විවර කළේය. දෑස අද්දරම අසුන් ගෙන තමා දෙස බලා සිටින රුව දුටු ඔහු කිහිප වතාවක්ම ඇසිපිය ගසා බොඳ වූ දෙනෙත පැහැදිලි කර ගත්තේය. 

” භ.. භරණ..!” 

වහා නැඟිට යහන මත හිඳ ගත්තද ඔහු තව දුරටත් වික්ෂිප්තව භරණ දෙස බලා සිටියේය. 

” කාලෙකින් දැක්කම කොහොමද කියලා අහන්න ඕනේ. හැබැයි දැන් ඔයා ඉන්නේ එහෙම අහන්නවත් පුලුවන් මට්ටමක නෙමෙයි අස්නක. “

නිහඬ සුසුමක් හෙළූ අස්නක තව දුරටත් හිස බිමට බර කර ගත්තේය. 

” මොන විනාශයක්ද අස්නක තමුන් මේ කරගන්න හදන්නේ ?” 

හිස හරවා උරමතින් මුහුණ පිසදා ගත් අස්නක දෑස ඔසවා ඔහු දෙස බැලුවේය.

 ” හැමදේම විනාශ වෙලා ඉවරයි භරණ. ආයේ අමුතුවෙන් මට විනාශ කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.”

පෙර පැවති ගරු ගාම්භීර බව හෝ ප්‍රාණවත් බව සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් පැවතුණු පිරිමි ස්වරය භරණගේ හදවතට තවත් විසල් බරක් එකතු කළේය.

” ඇයි එතකොට තමුන්ගේ අම්මා ?  මේ මල්ලි ? මේ ගෙදර ? තමුන්ගේ වැඩ නිසා ඒ මිනිස්සුන්ගෙ ජීවිතත් විනාශ වෙනවා කියලා තේරුම් ගන්න බැරිද ?” 

භරණගේ ඉහල ස්වරයට ප්‍රති පිළිතුරක් නොලැබුණු අතර පසෙක සිට ගෙන සිටි අෂ්මිලද යහන පසෙකින් අසුන් ගත්තේය. 

” ඊයේ හවස අම්මට ආයෙම ප්‍රෙෂර් වැඩි උනා. “

අස්නක සෙමින් හිස හරවා මළණුවන් දෙස බැලුවේය. 

” ආයෙම කිව්වේ ?” 

” මේ ගෙවිච්ච මාස තුන අතරේ මේ හතර වෙනි පාර. ඔයාට කියන්න ඕන වෙලාවට එක වෙලාවකවත් ඔයා හොඳ සිහියෙන් හිටියේ නෑ “

ඉවත බලා ගත් අෂ්මිල කළකිරුණු ස්වරයකින් පිළිතුරු බැන්ඳේය. 

” ඔයා මේ කරන දේවල් නිසා අම්මට මොකක් හරි උනොත් ඔයාට ඔයාටම සමාවක් දීගන්න බැරි වෙයි ලොකූ. අවුරුදු දහයක් තිස්සේ ඒ මනුස්සයා ඔයා දිහා බල බල විඳෙව්වා මදිද ? තව දුරටත් මේවා දරාගන්න පුලුවන් තැනක එයා නෑ. “

කඳුළු බිඳු රැසක් බේරා වැටෙන කොපුල් තලය පිසදා ගැන්මට හෝ සිහියක් නොවුණු අස්නක නිහඬවම හිස් අවකාශය දෙස බලා සිටියේය. 

” අස්නක..! සිද්ධ වෙච්ච කිසිම දෙයක් අපිට ආයේ ආපස්සට හරවන්න බෑ. ඒ දේවල් වලට තව තවත් දුක් විඳින්න ගියොත් අපිට ඉතුරු වෙලා තියන දේවලුත් නැති වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නෑ. “

” මට එක චාන්ස් එකක් දෙන්න කියන්න භරණ. එක පාරක් කතා කරන්න දෙන්න කියන්න “

නැවත වතාවක් අප්‍රාණික කටහඬින් ඉල්ලීමක් පිට වූයේය. 

” මොකටද ? ගිහිල්ලා සොරි කියන්නද ?  කකුල් දෙක අල්ලලා වඳින්නද ?  එහෙම කළා කියලා එයාගෙ බිඳිච්ච හිත හැදෙයි කියලා ඔයා හිතනවද අස්නක ?  කීයටවත් නෑ. අනික.. අනික.. උඹ ඔහොමද දුමී ඉස්සරහට යන්න හදන්නේ ?  අන්තිමට කණ්නාඩියකින් මූණ බැලුවේ කවද්ද උඹ ? දුමීට ඕනේ කාලේ. මේ වෙච්ච ප්‍රශ්න කිසිම දේකට උත්තර අපි ළඟ නෑ අස්නක. දුමීට වගේම උඹටත් ඕනේ කාලේ. මං දන්නවා උඹ දුමීට පණ ඇරලා ආදරෙයි. හැබැයි එහෙමයි කියලා උඹේ කටින් පිටවෙච්ච වචනයි , ඒකට දුමී කරපු දේයි මං අමතක කළා කියලා හිතන්න එපා. අනික.. බලපන් උඹේ හැටි . කරගෙන ආපු බිස්නස් එකත් හොඳටම වැටිලා. උඹ නිකන් අවුරුදු හැටක විතර මිනිහෙක් ගාණට වයසට ගිහිල්ලා. හිටියයින් කාලක්වත් තියනවද ?  වෙච්ච දේවල් අමතක කරලා දුමී උඹට සමාවක් දුන්නත් , ඔය වගේ ඉඳගෙන, කිසිම දෙයක් නැති හිඟන්නෙක් වගේ එකෙක්‍ට මගේ කෙල්ලව දෙන්න මට කිසිම උවමනාවක් නෑ අස්නක. “

” භ.. භරණ..!” 

” ආදරෙයි ආදරෙයි කිව්වට ආදරේ විතරක් මිනිස්සුන්ට ජීවත් වෙන්න මදි අස්නක. ජීවත් වෙන්න ගියාම මිනිස්සුන්ට ඊට වඩා ගොඩක් දේවල් ඕන වෙනවා. උඹ ඉන්නේ උඹට තිබ්බ දේවලුත් නැති කරගෙන. ජීවිතේ වෙන සමහර ප්‍රශ්න වලදි අපිට හැංගෙන්න බෑ අස්නක. හැංගිලා බලන් ඉඳලා ඔක්කොම හරි කියලා හිතාගෙන එළියට එද්දි තිබ්බටත් වඩා දේවල් නැති වෙලා තියෙන්න පුලුවන් . ඒක ගැන මං තරම් හොඳට දන්නේ වෙන කවුද ?” 

” භ.. භරණ මට මොකද්ද කරන්න කියන්නේ ? මට දුමීව අමතක කරලා , මේ වෙච්ච දේවල් අමතක කරලා ජීවත් වෙන්න බෑ භරණ. මට දුමීව ඕනේ. මං කලබල උනා. ඒක හරි. දුමී කියන්නේ සිංදුමීගේ නංගි කියලා දැනගත්තට පස්සේ අවුරුදු ගාණක් තිස්සේ මං විඳපු දුක් ටික ආයේ ආයේ මගෙ ඉස්සරහට එන්න පටන් ගත්තා භරණ. හැමදේටම වැඩිය දුමී හිටියේ මේ දේවල් දැනගෙන කියන එක මට දරාගන්න බැරි උනා. “

” දැන් වෙච්ච දේවල් වෙලා ඉවරයි. අපිට ඒවට කරන්න දෙයක් නෑ. හැබැයි වෙන්න තියන දේවල් වෙනස් කරන්න අපිට පුලුවන් . උඹට දුමීව ඕනෙ නං මුලින්ම ඒකිව අමතක කරපන් අස්නක. ඊට පස්සේ කාලේ ගනින්. උඹට ඕන තරම් කාලයක් ගනින්. පිරිමියෙක් විදිහට දුමී ඉස්සරහට යන්න පුලුවන් තත්වෙක උඹ නෑ. උඹ ඒ තත්වෙට ආපු දවසට ආයේ මට කතා කරහන්. “

එසේ පැවසූ භරණ මහවලතැන්න හිඳ උන් අසුනෙන් නැඟී සිටියේය. 

***********************************************

යහන මත හිඳ ගෙන සිටි ඈ එක එල්ලයේ ඈ ඉදිරියෙන් ඇති ජනෙල් කවුළුවෙන් පෙනෙන මළ හිරු බැස යන විසල් අහස දෙස බලා සිටියාය. ඈ පසෙක හිඳ උන් සුභාවී සෙමින් ඇගේ අතක් අල්ලා ගත්තාය.

” කතා කරන්න අකමැතිමනම් බායි කියලා කියන්නවත් පහළට යමුද ? අඩුම මූණ හරි බලන්න. “

හැල හොල්මනක් නොමැති වූ ඈ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි වනම හිඳ සිටියාය.

” එයා යන්නේ අවුරුදු ගාණකට..”

සුභාවි නැවතත් පහත් හඬින් මිමිණුවාය. නැත. එයටද එකදු සෙළවීමක් හෝ නොමැත. තවත් මිනිත්තු කිහිපයක්ම නිශ්චල ඈ දෙස බලා උන් සුභාවී යහනෙන් නැඟිට තරප්පු පෙළ බැස ආලින්දය කරා ඇවිද ආවාය. ආලින්දයේ සෝපාවේ හිඳ උන් භරණ දෙස බැලූ ඈ හිස දෙපසට සළමින් නැත යනුවෙන් ඉඟි කළාය. භරණ ඉදිරියේ හිඳ උන් තරුණයා විසල් සුසුමක් හෙළා සෝපාවෙන් නැඟී සිටියේය. 

” පරක්කු උනා භරණ…!” 

” උඩට ගිහින් කතා කරලා යන්න. “

නැඟී සිටි භරණ ඉදිරියේ සිටින ඔහු දෙස බලා බිඳුණු හඬින් පැවසුවේය.

” අකමැති දේට බල කරලා තේරුමක් නෑ. මං යන්නං භරණ “

එසේ පැවසූ ඔහු වෙතට පැමිණි භරණ තදින් ඔහුව වැළඳ ගත්තේය. 

” පරිස්සමින්. තෙරුවන් සරණයි. “

දෝතින්ම ඔහුගේ අත අල්ලා ගත් සුභාවිද කඳුළු පිරුණු දෙනෙතින් ඔහු හට සමු දුන්නාය. 

පිළිවෙළින් තේජ් , අෂ්මිලද ගෙමිදුලට පිටට ගොස් මෝටර් රථයට ගොඩ වූ අතර වැළපෙන දෑස යළිත් භරණගේ නිවසේ උඩු මහල වෙතට දෑස යොමු කළේය. අවසාන මොහොතේදීත් ඔහු බලාපොරොත්තු වූ රුව දැක් ගැන්මට නොහැකි වූ ඔහු සියල්ලන්ටම සමුදී මෝටර් රථයට ගොඩ වූයේය. තරුණයින් රැගත් රිය නොපෙනී යන තෙක් බලා සිටි භරණ හද දවන ශෝකය සහිතව යළි නිවස දෙසට හැරුණු අතර වේගයෙන් දිව ආ ඈ ප්‍රධාන ද්වාරය මායිමේ නතර වූවාය. කඳුළු පේළි වැල් එක දිගට රූරා වැටෙන උවනින් ඉකි ගසමින් හඬා වැටි ඈ ද්වාරය පාමුලට කඩා වැටුණාය. 

” නංගි…!” 

අස්නක අභිනාද විජේසිංහ යළි පැමිණෙන දිනයක් සඳහන් නොකරම චීන දේශය බලා පිටව ගියේය. හදවත තුළ දරාගත නොහැකි වේදනා සෝ සුසුම් පිටතට පුපුරා හැළෙන මොහොතේ කෑ ගසමින් හඬා වැටෙන මිහිදුමී දම්සේයා මහවලතැන්න දෙස භරණත් , සුභාවීත් ඉවසාගත නොහැකි පශ්චත්තාපයකින් බලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here