පසළොස්වක මල් – 60

0
646

” ආ.. සුදු අයියා..!” 

” හෙන අමාරුයි ඕයි “

දින එකහාමාරක පමණ වැඩ මුරයක් අවසන් කර පැමිණි අෂ්මිල මුව ඇද කරමින් මිහිදුමී හිඳ සිටි කෑම මේසයේ පසෙකින් හිඳ ගත්තේය. 

” තේ එකක් බොමුද සුදු පුතා. “

” අම්මා කෝපි එකක් බොමුකෝ. “

” හ්ම්ම්.. මේ වැස්ස ඉවරයක් නෑ අනේ. වැස්ස කොච්චර ලස්සන උනත් වැඩක් නෑ මෙහෙම එක දිගට කඩං හැළෙද්දි “

මහීකා ජනේලයෙන් පිට වැටෙන අනෝරා වර්ෂාව දෙස බලා පවසා මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය.

” ආ.. දුමී.. එහෙටත් ගංවතුර එනවද ?” 

” අපේ ගෙවල් හරියට එන්නෑ සුදු අයියේ. ඔයාට මතකද අර මේන් රෝඩ් එකෙන් හැරිලා එද්දි පාලමක් හම්බ වෙන්නේ. අන්න ඒ හරියනං එක දිගට වැස්සොත් යට වෙනවා. “

” ඒකත් සෑහෙන්න අමාරු ඇති නේද? ඔය කියන හරියේ ගෙවල් එහෙමත් තිබුණනේ. “

” මිනිස්සුන්ට පුරුදු වෙලා. දවස දෙක වහිද්දි තේරෙනවා තමන්ගේ හරිය යට වෙනවද නැද්ද කියලා. “

” හ්ම්ම්.. ලොකූ අදත් ඔෆිස්ද ?” 

” හ්ම්ම්”

තොල් පට නොපිටට පෙරළා ඈ මුව ඇඹුල් කරමින් දුන් පිළිතුරට අෂ්මිලට නොදැනුවත්වම සිනහවක් මතුවිය.

” ඇයි මොකෝ ?” 

” වැඩක් නෑ හලෝ. මාසෙන් එනවා කියලා ගිහින් මාස එකහාමාරකින් ආවේ. ඊයේ ආවා අද ඔෆිස් ගියා. බලනවකෝ මේ ක්ලයිමේට් එකත් එක්ක ගෙදර හිටියනං මොකද කියලා. පුදුම සීතලක් තියෙන්නේ. හිටියානං චුට්ටක් ළඟට වෙලා ඉන්නවනේ “

” යකෝ.. ! මේකි පැහිලා තියන තරමක්. ?” 

අෂ්මිල නැවතත් විසල් හඬකින් සිනාසුණු අතර එකී සිනහවේ අවසානයේ නිවසේ ගේට්ටුව විවර වන හඬත් , අස්නකගේ මෝටර් රථයේ හඬත් ඇසුණේය.

” ඔය ආවේ කියනකොටම “

මිහිදුමී ඔහු දෙස බලා මුව ඇද කළාය.

” දෙයියනේ.. රජෙක් වගේ හිටපු කොල්ලා. මෙහෙම ගිහිල්ලා තමුසේ ඌට මොන බාලාපරාධයක් කරයිද මන්දා. ?”

” ආ.. ඇයි ඔයා හිතන් ඉන්නේ ඔයාගේ ලොකු අයියා උපාසක මහත්‍තයෙක් කියලද ? මේ දොස්තර මහත්තයා.. ! උපාසක බළල්ලු තමා මීයෝ ඩබල් ඩබල් අල්ලන්නේ ඈ.. “

” මේකි යකෝ..! “

අෂ්මිල එසේ පවසමින් යළිත් හිඳ උන් අසුන පසුපසට කොට නැඟී සිටියේය. 

” ලොකූ ආවද ?” 

එසේ අසමින් මහීකාද ආලින්දය වෙත අඩි තැබූ අතර හිඳ උන් අසුනෙන් නැඟී සිටීමට නොහැකි වූ මිහිදුමී ඒ මතම ගල් ගැසී සිටියාය. 

” ලොකූ..!” 

ඇවිද එන ආකාරයටම ඔහු බීමතින් බවත් , දරාගත නොහැකි කෝපයකිනුත් බවත් හොඳින් හඳුනා ගත් මහීකා ඇසිපිය නොගසා ඔහු දෙස බලා සිටියාය. මව දෙසට බැල්මක් හෝ නොහෙළූ ඔහු දිගටම ඇවිද කෑම කාමරය වෙත ගොස් එතෙක් හිඳ සිටි තරුණියගේ බාහුවෙන් අල්ලා ඈව නැඟිටුවා තමා වෙතට ඇද ගත්තේය. 

” ලොකූ..!” 

” ලොකූ.. ! ඇයි මේ ?” 

” තමුසේ කවුද ?” 

” ලො.. ලොකු අයියේ ඇයි මේ..?” 

දරාගත නොහැකි භීතියත් , විමතියත් , අෂ්මිලගේ ප්‍රශ්න හමුවේ ඇති වූ කලබලයත් හමුවේ වෙව්ලමින් සිටි තරුණියගේ දෑසින් එක දිගට කඳුළු කඩා හැළෙන්නට විය. 

” සිංදුමී කියන්නේ තමුසෙගේ කවුද ?” 

” අනේ.. ලොකූ..! “

එසේ නම් ඔහු සියල්ල දැන හමාරය. කිසි ලෙසකින්වත් මෙවැනි මොහොතකට මුහුණ දීමට සූදානම් නොවී සිටි ඈ ඇතුළාන්තයෙන්ම වෙව්ලා ගියාය. 

” ලො.. ලොකූ.. මං කියන දේ ටිකක් අහන්න ?” 

” ලොකූ..! මොකද්ද ප්‍රශ්නේ ? සිංදුමී ගැන ඇයි දුමීගෙන් අහන්නේ ?” 

භය බිරාන්ත වී සිටින මවත් , වෙව්ලන තරුණියත් , කෝපාවිශ්ට සොහොයුරාත් දෙස බලා සිටිය නොහැකි වූ අෂ්මිල වහා ඉදිරියට ආවේය. 

අල්ලා සිටි ඇගේ බාහුව තදින් ගසා දමා අත හැරිය අස්නක වහා මව දෙසටත් , සොහොයුරා දෙසටත් හැරුණේය.,

” මං හිටියේ සිංදුමීව කසාද බැඳලා. “

” ලොකූ..!” 

මහීකා එවර විසල් හඬින් කෑගැසුවාය. 

” ඒ දවස්වල සිංදුමී හැසිරිච්ච විදිහට මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. හැබැයි.. හැබැයි මං මෙයාට ඒක මුලින්ම කිව්වා. මං කසාද බැඳපු මිනිහෙක් කියලා මං මුලින්ම මෙයාට කිව්වා. එක වචනෙකින්වත් මං මෙයාව රැවැට්ටුවේ නෑ. “

මහීකා හා අෂ්මිල දෙස බලාම ඉකි ගසා හඬා වැටෙන තරුණිය වෙත දබරැඟිල්ල දිගු කළ ඔහු විසල් හඬින් කෑ ගැසුවේය.

” සමන් දෙයියනේ.. මගේ අයියේ.. ! අනේ මං ඒ වෙනකොට මේ කිසි දෙයක් දැනන් හිටියේ නෑ. “

ඈ හඬ හඬාම අපහසුවෙන් වුවද වචන ගැලපුවාය. ඇගේ වචන හමුවේ තව තවත් ප්‍රකෝපකාරී වූ ඔහු යළිත් රක්ත වර්ණ දෑසින් වෙව්ලමින් ඈ දෙසට හැරුණේය. 

” ඊට පස්සේ දැනගත්තනේ ?  ආ.? තමුසේ .. තමුසේ මුලින්ම රංගි මීට් වෙන්න ගියා. එයාගෙන් සිංදුමී මැරි කරපු බව දැනගත්තා. ඊට පස්සේ රෙජිස්ටර් ඔෆිස් එකෙන් සිංදුමීගේ මැරේජ් සෙටිෆිකේට් එක පවා ගත්තනේ ?  ඒක දැකලත් තමුසේ මට මේ ගැන එක වචනයක් කිව්වේ නෑ. තමුසේ මං මොකෙක් කියලද හිතන් හිටියේ ?  අක්කව කසාද බැඳලා නංගිත් එක්ක නිදිය ගන්න තිරිසනෙක් ගාණට තමුසේ මාව දැම්මා. “

” ලොකූ…!” 

නැවත වතාවක් මහීකා විසල් හඬින් කෑගැසුවාය. 

” අනේ.. නෑ දෙයියනේ නෑ.. මගේ වස්තුවේ.. ! හරි මං වැරදියි. මං .. මං ඒක දැන ගෙනත් හැංගුවා තමා. ඒත්.. දැන් අක්කා නෑනේ දෙයියෝ.. අක්කා නැති වෙලාත් අවුරුදු දහයක් . මං.. මං ඔයාට ආදරෙයි මගේ අයියේ.. මං .. මං.. ඔයාව රවට්ටන්න හිතුවේ නෑ. පහුගිය දේවල් අමතක කරලා දාන්නකෝ.. “

නැවත වතාවක් හඬා වැළපෙන ඈ දෙස කෝපාවිශ්ට දෑසින් බැලූ ඔහු කෑම මේසය අසලම තිබු වීදුරු කැබිනෙට්ටුව වෙත දැඩි පා පහරක් එල්ල කළේය. සළාං යන හඬින් නිවසම දෙදරවමින් කැබිනෙට්ටුව පුපුරා එහි වූ වීදුරු භාණ්ඩ බොහෝමයක් බිමට පතිත විය. නමුදු ඒ වෙත එකදු බැල්මක් හෝ නොහෙළූ ඔහු ක්ෂණිකව මිහිදුමීගේ ගෙලෙන් අල්ලා ගත්තේය .

” ලොකූ.. ! ලොකූ..! පිස්සුද උඹට..?” 

අෂ්මිල වහා පැමිණ ඔහුගේ අත අල්ලා ගත්තද ඔහුව මායිම් නොකෙරූ අස්නක ගිනිළන දෑසින් තරුණියගේ මුහුණට එබුණේය. 

” තමුසෙගේ අක්කා මගේ ජීවිතේ හොඳම කාලේ අවුරුදු ගාණක් කාලකණ්නි කරලා දැම්මා. තමුසේ .. තමුසේ මගේ මුළු ජීවිතේම අපායක් කළා. “

එසේ පවසා ඇගේ ගෙල අත හැරි ඔහු වේගයෙන් යළි ඇවිද ගොස් මොර සූරන වැස්සේම ගෙමිදුලට බැස්සේය. මොහොතක් හෝ පමා නොකළ මිහිදුමී වර්ෂාව මැදම දිව ගොස් ඔහුගේ අතෙහි එල්ලුණාය.

”  අනේ.. එපා ලොකූ එපා.. මාව දාලා යන්නෙපා. අනේ.. ඔහොම කරන්නෙපා. මං කියන දේත් චුට්ටක් අහන්න මගේ රත්තරනේ.. ! මාව දාලා යන්නෙපා. මගේ පපුව පැළෙයි. මාව මැරිලා යයි.. අනේ මාව දාලා යන්නෙපා. “

දැඩි වර්ෂාව මධ්‍යයේම ගෙමිදුලේ ඊට මැදිව තමාගේ අතේ එල්ලී හඬා වැටෙනා තරුණිය දෙස අවසන් වරට ඔහු බැල්මක් හෙලුවේය. 

” මැරෙනවා.. එහෙනං ගිහින් මැරෙනවා.. මගේ ඇස් දෙකට පේන්නැති වෙන්න කොහෙටහරි ගිහින් මැරෙනවා. “

ක්ෂණිකව අල්ලා සිටි විසල් හස්තය ඇයට අත හැරිණි. සිටි තැනම වාරු නොමැතිව ගෙමිදුම මැදම පොළොවට කඩා වැටුණු ඈ දෙසට බැල්මක් හෝ නොහෙලූ ඔහු මෝටර් රථය පණ ගන්වා වේගයෙන් යළි නිවසින් පිටව ගියේය. වහ වහා වර්ෂාව මැදිව හඬා වැටෙන තරුණිය අල්ලා ගෙන නිවසට පැමිණි මහීකාත් , අෂ්මිලත් ඈව අසුනකට බර කළහ. 

” දුමී..! මේ අහන්න.. ! හිතේ.. හිතේ.. ආවේගෙට පුතේ ලොකූ එහෙම කිව්වේ. ඒ ගැන හිතන්න එපා. වැරැද්දක් වෙලා තියනවනේ දරුවෝ. ඇයි ඔයා මේ දේවල් දැනගෙනත් හංගගෙන හිටියේ. අඩුම .. අඩුම මේ අපිටවත් ඔයාට මේ ගැන කියන්න තිබ්බනේ. ? ලොකූ.. ලොකූට කේන්ති යන්නැත්තේ ඔයා මේ දේවල් හංගන් හිටපු නිසානේ පුතේ. අපි .. අපි දැනන් හිටියේ නෑ එයා.. මේ කසාද බැඳපු කතා. අනේ.. දරුවෝ.. !” 

දෑසින් කඳුළු ගලා හැලෙද්දීම මහීකා බොහෝ ඉවසීමෙන් මිහිදුමීගේ හිස පිරිමදිමින් කතා කළාය. මෙතෙක් වේලා හඬා වැළපෙමින් සිටි තරුණිය ඔහුගෙන් පිටවූ අවසන් වචනත් සමඟම සෙල් රුවක් සේ ගල් ගැසී උන්නාය. මහීකාත් , අෂ්මිලත් කෙතරම් ඈ සැනසන්නට උත්සාහ ගත්තද ඒ කිසිවකට ඇහුන්කම් නුදුන් ඈ නිහඬවම තරප්පු පෙළ නැඟ නිදන කාමරයට අඩි තැබුවාය. 

එතුවක් කල්  සතුටින් සිනහවෙන් පිරී ඉතිරි ගොස් තිබූ විජේසිංහ නිවස මිනිත්තු කිහිපයක් තුළ අමු සොහොනක සිරියක් ගෙන තිබුණේය. තේජ් ඇමතූ අෂ්මිල ඔහු සමඟ අස්නක සොයා පිටව ගියේය. නිදන කාමරයට වැදුණු මිහිදුමී රාත්‍රී ආහාරයට හෝ පිටතට පැමිණියේ නැත. දරාගත නොහැකි හිස රදය හමුවේ මහීකා ආලින්දයේ සෝපාවේම නින්දට වැටී සිටි අතර නිවැසියන්ගේ දුක් අඳෝනා මැද සරෝජාද ශෝකයෙන් කිසිවෙකු හෝ අත නොතැබූ රාත්‍රී කෑම වේල නැවත ශීතකරණයට ඇසුරුවාය. 

තේජ්ගේ හා අෂ්මිලගේ කර මතින් ප්‍රමාණයට වඩා බීමත් වූ අස්නක නිවසට පැමිණියේ අළුයම උදාවට ඔන්න මෙන්න කියා තිබියදීය. රාත්‍රියේද අහරක් නොමැතිව සිටි මිහිදුමී සොයා ඇගේ නිදන කාමරය වෙතට ගොස් දෙතුන් වරක් හඬ නැඟුවද ඈ ද්වාරය විවර නොකළ හෙයින් මහීකා එය විවර කරමින් ඇතුළට පිවිසියාය. නිදන කාමරයේ , නාන කාමරයේ හෝ සැඳැල්ලේ නොමැති තරුණිය කෙරෙහි අප්‍රමාණව බිය වූ ඈ වහ වහා ආලින්දයේ හිඳ කතා බස් කරමින් උන් තේජ් හා අෂ්මිල වෙත දිව ආවාය.

” දරුවෝ..! දුමී ගෙදර කොහෙවත් නෑ.. ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here