“ඔයාලාගෙ කසාද ගැන කවදහරි කතා කරන්නෝන විත්තිය දැනගෙන උන්නට ඒව මෙච්චර ඉක්මනට කතා කරන්න වෙයි කියලා මම ඇත්තටම හිතුවෙ නෑ” කියා අම්මා උණු කිරි වීදුරුව කාමරයේ මේසය උඩින් තබා ඇඳ මතින් වාඩි වෙද්දී අම්මා හදන්නේ දිග කතාවකට අර අදින්නට බව තේරුණ නිසාවෙන්ම නෙත්මලී මෙතෙක් වේලා දිග ඇරගෙන නෙත් අලවාගෙන උන් ගංගා ශයිනි අක්කාගේ මල් බිඟුන් පොතේ කියවමින් උන් තැනින් බුක් මාක් එක රඳවා පොත සයිඩ් කබඩය මත තැබුවාය.
“අම්මා කැමති නැද්ද මං ඉක්මනට කසාද බඳිනවට?”
“ඉක්මනටද බඳින්නෙ පස්සෙද බඳින්නෙ කියන එක නෙවෙයි දරුවො කසාදෙකදි වෙන්නෝන. කසාද බඳින්නෙ හරියට ඒ ගැන දැනුං තේරුං ඇතුවද කියන එක. දෙන්නාට දෙන්න තේරුං අරගෙනද කියන එක”
“ඉතිං අම්මා හිතන්නෙ මං ඒ කිසි දෙයක් හිතලා නෑ කියලද?”
“නෑ. මං එහෙම කිව්වෙ නෑනෙ ළමයො” චන්ද්‍රා සිනාසුණාය. “මං කියන්නෙ ඔයාට තාම ජීවිතේ ගැන ඉගෙනගන්න දේවල් තියෙනවා. නලින්ද්රටත් එහෙමයි. මට ඔය දෙන්නා ගැන බයක් තියෙනවා. ඒත් ඒ බය හන්දා ඔය දෙන්නා ගන්න තීරණේ මං ගන්න ඕන නෑති විත්තිය මං දන්නවා”
“මං අම්මාගෙන් දෙයක් අහන්නද?”
“මොකද්ද?”
“තාත්තා එක්ක ආයෙත් එකතු වෙන්නෙ නෑ කියලා අම්මා කිව්වෙ අම්මා ඇත්තටම ඒ තීරණේ අරගෙන ඉවරද?”
නෙත්මලී එහෙම අහද්දී චන්ද්‍රා මොහොතක් දුව දෙස බලා සිටියාය. ඒ ප්රශ්නය අසද්දී නෙත්මලීගේ මුහුණේ තිබුණේ කුතුහලයට වඩා තමන් ගැන වූ කනස්සල්ලක් බව චන්ද්‍රාට නොපෙනුනා නොවේ
“ඔව් මං ඒ තීරණේ අරගෙන ඉවරයි.”
“අම්මා හිතනවද තාත්ත නැතුව අම්මට ජීවිතේ ඉස්සරහට මූණ දෙන්න පුළුවන් වෙයි කියලා? අම්මගෙ හිතේ තාත්තා ගැන දැන් ආදරයක් නැද්ද?”
“ආදරේ කියන එක එකපාරටම නැතිවෙලා යන්නෙ නෑනෙ පුතේ. එකට ජීවත් වුණ මනුස්සයෙක් ගැන මතකෙ ඉතින් මැරෙනකම්ම හිතේ තියෙනවනෙ. ඒ මනුස්සයා එක්ක ගත කරපු ජීවිතයක් තියෙනවා. ඔයාගෙ තාත්තා කියන්නෙ මගේ ජීවිතේ අවුරුදු ගාණක් හිටපු කෙනෙක්. මට එයා ගැන කිසිම හැඟීමක් නැතිවෙනවනම් මේ වෙච්ච එක දෙයක් හන්දා ම්ං හිතන්නෙ අපි මනුස්සයො වෙන්න විදියක් නෑනෙ”
“එහෙනම් ඇයි අම්මා ආයෙත් තාත්තා එක්ක සෙට්ල් වෙන්න හිතන්නෙ නැත්තෙ?”
“මොකද කෙනෙක් ගැන ආදරයක් හිතේ ඉතුරු වෙලා තියෙනවා කියලා ඒ මනුස්සයා එක්ක ආයෙත් ජීවත් වෙන්නම ඕන නෑ. මට එයා ගැන තරහක් නැති එකයි, මට ආයෙත් එයා එක්ක එක වහලක් යට ජීවත් වෙන්න ඕන කියන එකයි දෙකක් පුතේ”
අම්මා එහෙම කියද්දි නෙත්මලී මොහොතක් නිහඬ උනේ ඒ කිඌ වචනවල තේරුම වඩා හොඳින් තේරුං ගන්නට මෙනි.
“මං හිතන්නෙ අම්මා තාත්තාට සමාව දුන්න එක හොඳයි. ඒත් ආයෙත් එකතු වුණා නම් තවත් හොඳ නැද්ද අම්මා? අපි හතරදෙනාට ආයෙත් එකට ඉන්න පුළුවන්නෙ” කියා නෙත්මලී අහද්දී චන්ද්‍රාගේ මුහුණට සිනහවක් නැඟුණේය. එහෙත් ඒ සිනහව තුළ දුවගේ අදහසට එකඟ වීමක් තිබුණේ නැත.
“ඔයාට එහෙම හිතෙන එක මට හිතාගන්න පුළුවන් පුතේ. ඔයාට තාත්තව මතක් වෙනවා ඇති. ඉස්සර වගේ අපි හැමෝම එකට ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවත් ඇති. මටත් එහෙම හිතුණු කාලයක් තිබුණා. හැබැයි අපි ආයෙත් එකතු වුණා කියලා ඉස්සර තිබුණ ප්‍රශ්න නැතිවෙලා යනවද? මං මෙච්චර කාලයක් හදාගත්ත ජීවිතේ අතෑරලා ආයෙත් මුල ඉඳන් පටන්ගන්න ඕන. ඒකට මට දැන් හිතක් නෑ පුතේ. මං මේ ජීවිතේට පුරුදු වෙලා. මට දැන් මගේ පාඩුවෙ සතුටින් ඉන්න පුළුවන්”
“අම්මා තාත්තට තාමත් ආදරේ නම් ඒක අතෑරලා දාන්න දුක නැද්ද?”
“දුකයි දරුවො. ඒත් හැම දුකක්ම අපිට ආයෙත් ඒ දේ ළඟට යන්න කියන හේතුවක් නෙවෙයිනෙ. සමහර දේවල් අතෑරලා දාන්නෙ ඒවා ගැන කිසිම හැඟීමක් නැති නිසා නෙවෙයි. ඒවා ආයෙත් අල්ලගත්තොත් අපිට ආයෙත් රිදෙන්න පුළුවන් කියලා දන්න නිසා.”
“මං නලින්ද්‍ර අයියව තෝරගත්ත එක හන්දා අම්මගෙ හිතට පොඩි හරි දුකක් දැනෙනවද? ඒ කිව්වෙ මට ඊට වඩා හොඳ කෙනෙක් බඳින්න තිබ්බා එහෙම කියලා. එයා මට වඩා ගොඩක් වැඩිමල්. කලින් කසාද බැඳලා ඩිවෝස් වෙච්ච කෙනෙක් එහෙම හන්දා. අම්මාගෙ ජීවිතේ වෙච්ච දේවල් එක්ක අම්මාට බයක් ඇතිනෙ මං ගැන.”
“බයක් නැත්තෙ නෑ දරුවො. මං අම්මා කෙනෙක්නෙ. ඔයාට මොනවා හරි වෙනවා දකින්න මං කැමති නෑ. ඒත් මගේ ජීවිතේ වෙච්ච දේවල් ඔයාගෙ ජීවිතේටත් වෙයි කියලා මට හිතන්න බෑ. ඔයා මං නෙවෙයි. නලින්ද්රත් ඔයාගෙ තාත්තා නෙවෙයි. මගේ ජීවිතේ මං ගත්ත තීරණ වැරදුණා කියලා ඔයා ගන්න හැම තීරණයක්ම වැරදියි කියලා හිතන එක අසාධාරණයි ඔයාගෙ පැත්තෙන්”
“අම්මා හිතනවද මට එයා එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා?”
“ඒක මට දැන් කියන්න බෑ. ඒක ඔයා දෙන්නා එකට ජීවත් වෙද්දි තේරෙයි. හැබැයි මට එක දෙයක් කියන්න පුළුවන්. ඔයාට එයා ළඟ ඔයා වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔයාට දුක හිතුණාම ඒක කියන්න පුළුවන් වෙන්න ඕන. එයාගෙ වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. එයාටත් එහෙම වෙන්න ඕන. ආදරේ කරනවා කියලා හැමදාම අනික් කෙනාගෙ හොඳ පැත්ත විතරක් බලාගෙන ඉන්න බෑනෙ. එකට ජීවත් වෙද්දි අඩුපාඩු පේනවා. ඒ වෙලාවට ඒවා ගැන කතා කරගන්න බැරි නම් තමයි ප්‍රශ්න ඇතිවෙන්නෙ. කසාදෙකදි වෙන්නෝන දෙන්න එකට එක්කහු වෙලා ගෙදර වැඩ කරන එක, තුරුල් වෙලා නිදාගන්න එක විතරක් නෙවෙයි පුතේ. ඔක්කොටම වඩා වැදගත් ප්‍රශ්නයක් උනාම කතා කරන එක. ඒකෙන් පුළුව්න සෑහෙන් ප්‍රශ්න විසඳගන්න” කියා චන්ද්‍රා එතෙක් වෙලා තමන් ළඟ හිටගෙන උන් නෙත්මලීගේ අතෙන් අල්ලාගෙන ඇයව ඇඳ මතින් වාඩි කරවාගත්තාය.
“මට ඔයාගෙන් එක දෙයක් ඉල්ලන්න තියෙනවා පුතේ”
“මොකක්ද?” කියා නෙත්මලී අහද්දී චන්ද්‍රා මොහොතක් කල්පනා කළාය. මෙතෙක් කාලයක් දුවට කියන්නට නොහැකි වූ දෙයක් කියන්නට මෙන් අනතුරුව ගැඹුරු හුස්මක් ගත්තාය.
“මං සමහර වෙලාවට මගේ හිතේ තිබුණ තරහා ඔයාගෙ පිටින් යැව්ව බව මං පිළිගන්නව” කියා අම්මා කවදාවත් නැති අන්දමට කතාවට එළඹෙද්දි නෙත්මලීට උවමනා උනේ ඒ කතාව එතනින් නතර කරන්නය. “අනේ අම්මෙ ප්ලීස් ඔය කතා දැන් ඕන නෑනෙ” කියා කිව්වද චන්ද්‍රා උන්නේ ඒ කතාව එතනින් නතර කරන අදහසක නොවේ.
“ නෑ පුතේ මට කියන්න දෙන්නකො. මෙච්චර දවසක් මං මේක හිතේ තියාගෙන උන්නනෙ. මං මේක කියන්න ඕන. ඔයා මොනවා හරි කිව්වම මට තරහ ගිය වෙලාවල් තිබුණා. ඔයාගෙ වැරැද්දකට ඕනවට වඩා බැනපු වෙලාවල් තිබුණා. ඔයාට දුක හිතෙන විදිහට කතා කරපු වෙලාවල් තිබුණා. සමහර වෙලාවට ඔයා කරපු දෙයක් හන්දා නෙවෙයි මට තරහ ගියේ. මගේ ජීවිතේ ගැන මට තිබුණ දුක, තරහ, කලකිරීම ඔක්කොම එකතු වෙලා තිබුණෙ. ඒත් ඒවා ඔයාගෙ පිටින් යවන්න මට අයිතියක් තිබුණෙ නෑ. ඔයා මගේ දුව. මගේ හිතේ තිබුණ දේවල්වලට ඔයා වැරදිකාරියක් නෙවෙයි. මට එහෙම නොකර ඉන්න තිබුණා” කියා අම්මා කවදාවත් නැති අන්දමට කතා කරද්දී නෙත්මලීගේ දෑස් තිබුණේ කඳුලට උල්පතක් වෙමිනි. අම්මා තමන්ගෙන් සමාව ඉල්ලනවා අහන්නට ඇය බලාපොරොත්තු වූයේ නැති බව ඇත්තකි.
“මං ඔයාට සමහර වෙලාවට හරි නරක විදිහට කතා කළා. ඔයාට මාව තේරුං ගන්න බැරි වුණා කියලා මං ඔයාට දොස් කිව්වා. ඒත් මං ඔයාව තේරුං ගන්න උත්සාහ කළාද කියලා මං මගෙන්ම අහන්න ඕන. ඔයාටත් ඔයාගෙ ප්‍රශ්න තියෙන්න ඇති. ඔයාටත් තාත්තා නැති අඩුව දැනෙන්න ඇති. ඒ දේවල් මට පේන්න තිබුණත් සමහර වෙලාවට මං මගේ දුකෙන් ඔයාගෙ දුක වහලා දැම්මා”
“අම්මා එහෙම හිතන්න එපා අනික දැන් ඒවා වෙලා ඉවරනෙ අම්මෙ. අපි ඒව දැන් ආයෙ කතා කරා කියලා තේරුමක් නෑනෙ අම්මෙ”
“නෑ පුතේ නෑ. මගේ අම්මා මට සැලකුවෙ මං ඔයාට ඔය මුලින් සැලකුවා වගේ. ඒක හරි කියලා හිතාගෙන හරි මොකක් හරි දෙයක් හන්දා මමට්න් ඔයාට ඒ විදියටම සැලකුවා. ඔයා කොහොමද හිතන්නෙ මම අද ඔයාගෙන් මෙ විදියට සමාව ඉල්ලුවෙ නැත්තං ඔයාට කවදහරි දුවෙක් ඉන්න දවසකට ඔයා ඒ දරුවට මේ විදියට සලකන එක්ක නෑ කියලා? පරංපරාවෙන් පරංපරාවට, අම්මලගෙන් අම්මලට අන පිළිල තියෙනං අපි ඒව නතර කරන්නෝන පුතේ. ඇඟිල්ලෙන් කඩන්න තිබ්බ ඒව පොරොවෙන් කපන්න වෙලා තියෙන දුරකට අරං යන්න ඕන නෑනෙ. මොකද මං වැරදි කරලා තියෙනවා නම් ඒවා පිළිගන්නත් ඕන. ඔයා මට සමාව දෙන්න ඕන කියලා බල කරන්න මට බෑ. ඒත් මං ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන. මට සමාවෙන්න පුතේ. ඔයාට අම්මාගෙන් ලැබෙන්න ඕන ආදරේ සමහර වෙලාවට මගෙන් ලැබුණෙ නැති එකට මා සමාවෙන්න”
“අනේ අම්මෙ ප්ලීස් ඔහොම කතා කරන්න එප. ඔයා කතා කරන්නෙ තාත්තා මාව දාලා ගියා වගේ ඔයත් නිකන් යන්න වගේනෙ. අම්මා මොකටද අම්මෙ මගෙන් සමාව ඉල්ලන්නෙ?”
“ඇයි? අම්මලාට සමාව ඉල්ලන්න බැරිද දරුවන්ගෙන්? අම්මලටත් වරදිනවා දරුවො. අපිත් ඉගෙනගන්න ඕන. වයසින් වැඩි වුණා කියලා අපි හැමදේම දන්නවා කියන්න බෑනෙ. මට ඔයාගෙන් තව දෙයක් ඉල්ලන්න තියෙනවා”
“ඒ පාර මොකක්ද?”
“ඔයාට කවදාහරි දුවෙක් හම්බුණොත් ඔයා එයාට මට වඩා හොඳ අම්මා කෙනෙක් වෙන්න”
https://smartlady.lk/article/category/stories/novels/novel/page/6



