බීජිං නගරයේ උදෑසන උදාවන්නේ අයිස් කුට්ටි මෙන් කැටි ගැසුණු සුළඟක්ද සමඟිනි. ෂිචාහයි (Shichahai) විල දෙසින් එන සීතල සුළඟ ඇට මිදුළු දක්වාම කිඳා බසින තරමට දරුණු වද්දී විසල් ගොඩනැගිල්ලක උසම මහලේ වීදුරු ජනේලයෙන් එපිට බලාගෙන සිටි කඩවසම් රුවක් පැතිර යන තද සීතල දවා අළු කළ හැකි අන්දමේ සුසුමක් හෙළුවේය.
” කියන්න..”
” සර්.. ! අපිට ටැක්ස් එක වදිනවා මිලියන සීයත් එකසිය දහයත් අතරේ “
” දාන්න. “
” සර් .. ඒත්..?”
” මං මොකද්ද දැන් කිව්වේ ?”
” සොරි සර්. “
” අනිද්දා රෑ වෙද්දි වැඩේ කෙරිලා තියෙන්න ඕනේ. “
” ඕකේ සර්. “
ඇමතුම විසන්ධි කර දැමූ ඔහු පණිවිඩ ගොනුවේ තේජ් නමින් ඇති කෙටි පණිවිඩ කිහිපය විවර කරමින් ඊට පිළිතුරු බැන්ඳේය.
” Next week mage anniversary eka “
” congratzzz..”
” cogrtz nemei ballo mata monahari ewapan “
ප්‍රති පිළිතුරු යැවුණු සැණින් නැවතත් කෙටි පණිවිඩයක් ලැබුණේය.
” ubata monada wenna one ?”
” awith palayan ban . Wena wenna deyak na “
පිළිතුරක් නොගැලපුණු කෙටි පණිවිඩ හුවමාරුවට තිත තැබූ ඔහු මඟ හැරුණු ඇමතුම් කිහිපයක් සහිත අෂ්මිලගේ අංකය වෙත යළි ඇමතුමක් ලබා ගත්තේය.
” ගුඩ් මෝනින් ලොකූ..!”
” ම්ම්.. ගුඩ් මෝනින්. මිස් කෝල්ස් දෙක තුනක් තිබ්බා “
” අම්මට ටිකක් අසනීපයි ලොකූ “
” මොකද්ද උනේ ? මං ඊයේ හවසත් කතා කළානේ ?”
” හවස නෙමෙයි රෑ ඉඳන් . ආයෙම ප්‍රෙෂර් වැඩි උනා. “
නැවත වතාවක් ගිනියම් වූ සුසුමක් විසල් වීදුරු ද්වාරය මත වැටිණි.
” හරි හිතුවක්කාරයි. වෙලාවට බේත් ටික බොන්නෑ. කිසි දෙයක් දිහා හොඳින් බලන්නෑ. කොයි වෙලෙත් හූල්ලනවා. හේතුවක් ඇතුව හරි නැතුව හරි අපි එක්ක එල්ලෙනවා. පෙරේදා රෑත් බොන්න දීපු බෙහෙත් ටික විසි කරලා, සරෝජා නැන්දටත් කෑ ගහලා මැරෙන්න දියන් කියලා . විහිළුවට උඹ බං කිව්වට සැරෙන් අපි දෙන්නටවත් කවදාවත් උඹ කියලවත් කියලා තියෙන කෙනෙක්ද ලොකූ එයා ? මට හරි දුකයි. අම්මා ඉන්නේ ඔහොම ලෙඩ වෙවී , බෙහෙත් බිබී ජීවිතේ අල්ලන් ඉන්න ඕනේ වයසක නෙමෙයි. එයා ලෙඩ වෙන්නේ විහින් “
අෂ්මිලගේ පසින් සුරුස් හඬින් නාසය ඉහලට අදින ස්වරයක් ඇසිණි.
” කෝ පොඩ්ඩො දෙන්නා.. ?”
” තාම නිදි. “
” මං gifts packs වගයක් දැම්මා. “
” පුළුවන්නං ඇවිත් යනවා ලොකූ. වෙන මුකුත් එපා. “
අෂ්මිලගේ ස්වරයේ බිඳුණු හඬ මඳක් හෝ නොවෙනස්ව පැවතුණි.
” මං අම්මට කතා කරන්නං “
” කොච්චර දඟ වැඩ කළත් මගෙ පොඩි උන් දෙන්නා අම්මටයි , තමුසෙටයි වැඩිය කියන දේ අහනවා. ලංකාවේ නෙමෙයි ලෝකේම නම්බර් වන් බිස්නස්මන් උනත් වැඩක් තියෙයිද ලොකූ හිතේ සැනසීමක් නැත්තං ? “
කෝපයෙන් පිපිරෙමින් අෂ්මිල ඇමතුම විසන්ධි කරද්දී හේ නැවතත් වීදුරු ද්වාරය මතින් පෙනෙන උස් ගොඩනැගිලි දෙසට හිස් බැල්මක් හෙළුවේය.
**********************************************
දුමී නැන්නී… දුමී නැන්නී…!”
විජේසිංහ නිවසේ ගෙමිදුලේ නතර කරන ලද මෝටර් රථයෙන් බැස එන තරුණිය දුටු සැණින් අෂ්මිලගේ කුඩා දියණියන් දෙදෙනා තරඟයට මෙන් ඈ වෙත දිව ගියහ.
” හානේ.. ! කොහේ යන්නද අනේ මේ.. ?”
හොඳින් හැඳ පැළඳගෙන සෙල්ලම් බඩු මළු කිහිපයක්ම දෑතෙහිම එල්ලා ගෙන සිටින කුඩා දැරියන් දෙදෙනා දෙස බලා ඈ ඇසුවාය.
” අපි චූටි ආච්චිලා ගෙදල යන්න. “
” අනේ.. ඇත්තද ..? මාත් එන්නද ?”
” දුමී.. ! මට විනාඩි පහක් දෙන්න . ඇඳුමක් දාන් එන්නං “
කුඩා දියණියන් දෙදෙනා හා කතාවට වැටී උන් මිහිදුමී දුටු ශනුලි වහ වහා සූදානම් වීමට පටන් ගත්තාය.
” අතින් කටින් බඩු මළුයි , බෝනික්කොයි ඔක්කොම එල්ලගෙන පේනවා නේද ? වැක්සින් එක ගන්න හොස්පිට්ල් එකට ගියාම තමා දෙන්නගේ යුද්ධේ බලා ගන්න පුලුවන්. “
” බබාලට වැක්සින් එක දීලා මෙහෙම්මම පිළියන්දල යනවද අක්කේ ?”
” අනේ ඔව් දුමී. අපේ අම්මා ලොකු මාමාලගෙ ගෙදරට එනවා කිව්වා. මං මේ දෙන්නව එහෙන් දාලා හොස්පිට්ල් යන්න ඕනේ. අද නයිට් ඩියුටි. දෙන්නටම වැක්සින් ගහන නිසා මෙහෙ අම්මට දෙන්නවම බලාගන්න අමාරුයි. සරෝජා නැන්දත් හදිස්සියෙම ගමේ ගියානේ. තේජ්ලගේ ඇනිවසරි පාටි එකට අඳින්න ඇඳුමක් ගන්න ඕනේ දුමී. හෙට දවල්ට ශොපින් පාරක් දාමුද ?”
” ශොපින් නං රෑ උනත් කමක් නෑ “
මිහිදුමී මඳ සිනහවක් නඟමින් කුඩා දැරියකගේ ලිහිල් වූ ගවුමක බඳ පටියක් ගැට ගැසුවාය.
” කොහොමද ආන්ටි..?”
මුළුතැන්ගෙහි සිට පැමිණි මහීකා දුටු මිහිදුමී හිඳ උන් අසුනෙන් නැඟිට්ටාය.
” ඉන්නවා දරුවෝ..”
සත් වසරකට ආසන්න කාලයකට පෙර මහීකාගේ මුව පුරා සෑම මොහොතකම පැතිර ගිය සිනහව කිසිවෙකුත් යළිත් දැක තිබුණේ නැත. ඒ වෙනුවට ඈ සෑම මොහොතකම අවශ්‍ය තැන් වලදී ආයාසයක් දරා සිනාවූවා මිස හදවතින්ම තුටු නොවූවාය.
” ලොකූ ගිහින් තියෙන්නේ නිකන්ම නෙමෙයි ආන්ටි මහීකාගේ හිනාවත් අරන් “
තමාගේ පැනයට සිනහවකින් තොර පිළිතුරක් දුන් මහීකා දෙස බලා සිටි මිහිදුමීට නිතර දෙවේලේම තේජ් පවසන කාරණයක් සිහි වී විසල් සුසුමක් වැටුණාය.
” අම්මා.. ! දවල්ට කෑම හදලා තියෙන්නේ. රෑට හදන්න යන්න එපා. මං හොස්පිට්ල් යද්දි රෑට කෑම එකක් ගෙනත් දීගෙන යන්නං “
දැරියන් දෙදෙනාගේ භාණ්ඩ කිහිපයක් ගමන් මල්ලට අසුරන අතරතුර ශනුලි මව දෙස බලා පැවසුවාය.
” එපා .. ඕනෙ නෑ. මං රෑට ඔය තියන දෙයක් කන්නං”
” අම්මා ඔහොම කියලා රෑටත් නොකා , බෙහෙතුත් නොබී නිදාගන්නවා ඊට පස්සේ ”
” මං ගැන කරදර වෙන්නෙපා ශනුලි. මට මං ගැන බලාගන්න පුලුවන්. ඔයා දරුවෝ දෙන්නා ගැන බලන්නකෝ. මට නැති උනාට ඔයාට බලන්න දරුවෝ ඉන්නවනේ. “
මහීකාගේ ඊ තුඩුවන් සිත රිදවන වදන් ඇසුණු මිහිදුමී අනුකම්පා සහගතව ඈ දෙස බලා සිටියාය. මහීකා වෙත ප්‍රති පිළිතුරු ලෙස කිසිවක් නොපැවසූ ශනුලි මඳ සිනහවක් පමණක් නැඟුවාය. පස් වසරකට පෙර හැරෙන හැරෙන අතට දරු පිරිස හා විහිළු තහළු කළ , සම වයස් ගැහැනියක් මෙන් කටයුතු කළ , ඉතා කුඩාම අවස්ථාවකදී පවා සතුට පමණක්ම ප්‍රාර්ථනා කළ ගැහැනිය මේ වනවිට ඉබේම දරදඬු ගැහැනියක් බවට පත්ව සිටියාය. වචනයකින් තබා බැල්මකින් හෝ වෙනත් කෙනෙකුගේ හදවතක් නොරිද්දවූ ඈ මේ වන විට තමාවම රිදවාගනිමින් සිටි අතර හේතු සහිතව හෝ රහිතව ඇගේ ක්‍රියා හා වචන හමුවේ ඇගේ රාමුවේ උන් අනෙක් අයද සිත් රිදවාගනිමින් සිටියහ.
” අම්මට දරුවෝ නෑ කියන්නේ ඇයි අම්මේ ? අෂ්මිල ඉන්නවා , මං ඉන්නවා , මේ පුංචි උන් දෙන්නා ඉන්නවා. දෙන්නෙක් හිටපු මේ ගෙදර දැන් දරුවෝ හතර දෙනෙක්ම ඉන්නවනේ. ?”
කිසිදු පසුතැවීමක් හෝ කෝපයක් තැවරී නොතිබුණු ශනුලි නැවතත් මඳහසක් නඟමින් පැවසුවාය.
” ඒ උනාට මට ඕනම එකා මේ ගෙදර නෑනේ ? “
මහීකාගේ උස් හඬට තිගැස්සී ගිය මිහිදුමී හදවත ඇතුළෙන් මතු වූ සියුම් රිදුම බොහෝ ආයාසයෙන් දරා ගත්තාය. තමා අසලම තිබු සෝපාව මතට බර වූ මහීකා බොඳ වූ දෑසින් ප්‍රධාන ද්වාරයට එපිට ගෙමිදුල දෙස තෙත් කරගත් දෑසින් බලා සිටියාය.
” දවස ගාණේ කතා කරල අම්මා කෑවද ? බෙහෙත් බිව්වද ? ඔච්චර තමා. උඹ එන්නේ කවද්ද කියලා ඇහුවම උත්තර නෑ. දවසක්ද , දෙකක්ද අවුරුදු හතකට ළඟයි. මං මැරිච්ච දවසට ඒකාට ගෙදර මතක් වෙයි. ඒකත් ශුවර් නෑ. අම්මව මතකයි නං ඔහොම ඉඳීයෑ.. “
ඇගේ කතාව කිසිවෙකු ඉලක්ක කර නොව ගෙමිදුල වෙතට තනිවමය.
” අම්මව මතක හින්දනේ අම්මේ ලොකු අයියා දවස ගාණේ කෝල් කරන්නේ ? එක දවසක්වත් කෝල් එකක් නොදී ඉන්නෑනේ. අනික අම්මට අපි මෙහේ ඉන්නවනේ ?”
” වදාපු අම්මට දරුවෙක්ගේ මූණක් නොබලා මොන සැප සම්පත තිබ්බත් වැඩක් තියනවද ශනූ.. ? හැමෝම තම තමන්ගේ ගමන් වලින් ඉස්සරහට යනවා. මං විතරක් නොඑන එකෙක් එනකන් ගේ දොරකඩ දිහා බලන් ඉන්නවා.
මගේ ලොකූ අර ඉස්සරම වගේ කාත් එක්කවත් කතා බහක් නැතිව හිටියා වගේ හිටියානං ඉවරයි. එයාව මේ තත්වෙට දැම්මේ මං. අන්තිමට මට මගේ දරුවව නැති උනා. “
හිඳ සිටි සෝපාවෙන් නැඟිට ගත් මහීකා නිදන කාමරය තුළට ඇවිද ගිය අතර මුවට නැඟි ඉකිය පාලනය කරගත නොහැකි වූ මිහිදුමී හඬමින්ම මෝටර් රථය වෙතට දුව ගොස් ඊට ගොඩ වූවාය.
” මූසලී.. මූසලී.. යන යන තැන විනාසයි. උඹට තවත් ඇති උනේ නැද්ද ? පව්කාරී.. තව ජීවිත කීයක් නං උඹ විනාස කරනවද ? “
හිස ඇතුළෙන් නොපැහැදිලි සිංදුමීගේ හඬින් චෝදනා රැසක් ගොනු වද්දී ඈ දෝතින්ම හිස බදා ගත්තාය.

