පසළොස්වක මල් – 68

0
235

හංගන්නට මේ වේදනා

සමුගෙන යා යුතුව වුනා

දවසක අත අතැරෙන බැව් දැන නුඹට ලංවුනා

අපි වෙනුවෙන් අපි නැවතිලා

දෙතැනක තනි වෙන්න වුනා

තව අතහැර ගනු බැරි ඇයි හිත නිතර පෑරුනා

දැනුනත් දුර බව දෙදෙනා

තවමත් ඇයි හිත බැඳිලා

අදටත් රහසෙම වැළපේ ආලේ මා

හැකි නම් ආ මඟ හැරිලා

ඇවිදන් එනු තුරුලට මා

මොහොතක් ඉන්න පෙර සේ හොවා

මේ ආදරේ රිදුම් ගෙනා

හිත ළඟ නොවේ ද වේදනා

තනිකම් මකන්න ආයේ මා

නුඹ ළඟ නිවෙන්න බැරිවුනා

ඉඳහිට නුඹේ හිත යට හොරා

මගෙ මතක ගෙන ඒද ගළපවා

මට දැනුනු සේ නුඹටත් එදා

දැනුනාද හිත කීරි ගැහෙනා නියා

දැනුනත් දුර බව දෙදෙනා

තවමත් ඇයි හිත බැඳිලා

අදටත් රහසෙම වැළපේ ආලේ මා

හැකි නම් ආ මඟ හැරිලා

ඇවිදන් එනු තුරුලට මා

මොහොතක් ඉන්න පෙර සේ හොවා

මේ ආදරේ රිදුම් ගෙනා

හිත ළඟ නොවේ ද වේදනා

තනිකම් මකන්න ආයේ මා

නුඹ ළඟ නිවෙන්න බැරිවුනා

සැහැල්ලුවට පියාගත් දෑසින් කිසිවෙකු හෝ  වෙත අවධානය යොමු නොකළ ඈ අතැති ගිටාරය මිහිරිව වයමින් හදවතින්ම ගායනයට සමවැදී සිටියාය. මිනිත්තු කිහිපයකට ඇයත්, ගීයත් අතර සාදයේ රැඳී උන් සියල්ලන්ම වශීකෘත කරමින් එයටම සමවැදී උන් ඈ ගායනය අවසානයේ නැඟෙන උස් අත් පොළසන් හඬ හමුවේ වසා උන් දෑස විවර කළාය. සියක් නද පතුරවන , මඳ අඳුර මැද උස්ව නැඟෙනා අත් පොළසන් හඬ මධ්‍යයේ නැවතත් තේජ්ගේ නිවසට අඩිය තැබූ මොහොතේ හදවත පිරී ගිය නන්නාඳුන හැඟීමෙන් ඈ පෙළෙන්නට වූවාය. 

අත් පොළසන් හා උස් හඬ සියල්ල එක්වරම ඇගෙන් ඈතට ඈතට යන සෙයක් දැනුණි. කෙතරම් ඝෝෂාකාරී වාතාවරණයක වුවද සෑම හඬක්ම එක වරම ඇගෙන් ඈතට දිවෙනි. සාදයේ සිටි සියල්ලෝම ප්‍රීතිඝෝෂා නැඟූවද ඔවුන්ගේ අංග චලන පමණක් ඈට දිස් වූ අතර සියලු ශබ්දයන් සියල්ල නිහඬ කරමින් පැවතුණේය. ඉඳිකටු තුඩක් හෝ බිම වැටෙන තරමට නිහඬව ගෙවී ගිය කාලය අතරමැද සියල්ල වේගයෙන් නතර වීමට පටන් ගත්තේය. ඊලඟ මොහොතේ පරිසරය වට කොට ගත් දැඩි නිහඬබව බිඳිමින් ඇසෙන්නට වූයේ බර අඩි ද්විත්වයක ගැටීමක්ය. දෑස් අද්දරට එකතු වූ කඳුළු දෙනෙත පුරවා දමද්දී ඈ තෙත් වූ කඳුළු වළාපට රැඳි දෑසින් ඉදිරිය දෙස බලා සිටියාය.

සුදු පැහැ ලිනන් කලිසමකින් හා නේවි බ්ලූ පැහැ ගත් වැළමිට තෙක් නැවූ අත් දිගු කමිසයකින් සැරසුණු මහා පෞරුෂය ක්‍රම ක්‍රමයෙන් ඈ ඉදිරියට අඩි තබමින් සිටියේය. එකී අඩි ශබ්දය හා ඔහුගේ ගමන පමණක්ම පරිසරය මත ඉතිරි වද්දී අන් සියළුම දේ පාෂාණීභූතවී තිබුණේය.

” දුමී..! දුමී..!” 

භරණ විසින් පිටට දැමූ තට්ටුවට පියවි ලොවට අඩි තැබූ ඈ වහා මුව හැර විසල් හුස්මක් පෙනහළු පුරා පුරවා ගත්තාය. අඩියෙන් අඩිය ඈ වෙතට සමීප වන රුව දෙස බලාම ඈ ක්ෂණිකව වාශ්ප වී යන්නේනං මැනවැයි සිතුවාය. ක්ෂණිකව නොපෙනී යන්නේනං මැනවැයි සිතුවාය. සිරුරේ කුඩා අංශුවක් අංශුවක් පාසා ඔහු පිළිගැනීමට දැඩි සූදානමකට අර ඇඳි අතර හදවත සහමුලින්ම එක තැන නතර වී තිබුණි. ඔහුගේ පියවර එක එල්ලේ තමා වෙතට බවත් , එහි අවසානය තමා අසල බවත් වටහා ගත් ඈ වෙව්ලන සුරත ළැම මත තද කර ගත්තාය. නමුදු බර අඩි ද්විත්වය ඈ සිතූ ලෙස ඈ අසලට ළං වූයේ නැත. එය ඈට ඉදිරියෙන් සිටි තේජ් අසලින් අවසන් විය. 

” වරෙං ” 

” කොහෙද ?” 

” ඇයි උඹට මගෙන් ගිෆ්ට් එකක් එපාද ?” 

ඔහු එසේ පවසා ඈ වෙතට බැල්මකුදු නොහෙළා යළි හැරී ඉදිරියට අඩි තැබුවේය. ඔහු පසුපස වැටුණු තේජ්ද ඉදිරියට අඩි තැබූ අතර නැවත වතාවක් නතර වූ තරුණයා හැරී පසුපස බැලුවේය. එකී බැල්ම තමා වෙතට වැටෙන තෙක් බලාපොරොත්තු සහගතව සිටි තරුණිය තව දුරටත් එක එල්ලයේ ඔහු දෙස බලා සිටියාය. 

” උමන්දා.. ! එන්න..!” 

නැත. යළිත් කිසි විටක එකී බැල්ම ඈ මුව මතට නොවැටුණේය. ක්ෂණිකව සිදුව ඇති සියල්ල සැකෙවින් වටහා ගනිමින් සිටි ඈ සතර වටෙහිම දෑස කරකවා තමා අසල උන් අය දෙස බැලුවාය. සැවොම හෙමි හෙමින් හිඳ උන් අසුන් මතින් නැඟිට ඔහු පසුපසට එකතු වෙමින් සිටියහ. කිසිවෙකුගේ හෝ මුහුණක් මත පුදුම වීමක් නොමැත. එසේ නම් ඔහු නිවසට පය ගසන්නට ඇත්තේද තමා මෙහි පැමිණීමටත් පෙරය. එසේ නම් ,  නිවසට පළමු වර අඩි තැබූ මොහොතේ තමා වැළඳගත් ආගන්තුක හැඟීමට හේතුවක් ඇති බව ඈට දැනිණි. ප්‍රශ්නාර්ථ බැල්මක් සහිතවම ඈ හරණ දෙසට හැරුණද කිසිවක් නොදෙඩූ ඔහුද ඉදිරියට යන තරුණයින් පසුපසින් අඩි තැබුවේය. 

” ආහ්….!” 

ඉදිරියට අඩි තැබූ උමන්දා විසල් හඬින් කෑගසා දෝතින්ම මුව වසා ගත්තාය. 

” හු#$& වැඩ කරන්නෙපා හු#%& “

මොහොතක් ගල් ගැසී තමා ඉදිරියේ ඔහු සඳහන් කළාවූ තිළිණය දෙස බලා සිටි තේජ් නැවතත් ඔහු වෙතට හැරී කෑ ගැසුවද ඔහු සිහින් සිනහවක් නැඟුවා විනා කිසිවක්ම පැවසුවේ නැත. 

” අස්.. අස්නක.. විහිළු කරනවද ඔයා ?” 

වෙළී උන් විශ්මයෙන් මඳකට මිදුණු උමන්දා යළිත් ඔහු වෙතට හැරුණාය. 

” මේ .. මං ? විහිළු කරනවා දැකලා තියනවද ඔයා..?” 

” අඩෝ..!” 

වහා හැරුණු තේජ් ඉතා තදින් වසර කිහිපයකට පසු හමු වූ මිතුරා ඉතා තදින් වැළඳ ගත්තේය. 

ගෙමිදුලේ වූ Carbon Black පැහැයෙන් දිදුළනා වූ  BMW මෝටර් රථය දෙස දෑස් දල්වා බලා සිටි සියළුම අමුත්තන් කසු කුසු හඬ නඟද්දී කඳුළු පුරවා ගත් දෑසින් තේජ් මිතුරාගේ දෙවුරින් අල්ලා ගත්තේය. 

” what the f#$&  පිස්සුවක් යකෝ මේක.. අනේ.. බං.. සිරාවට.. මේක ඕනෑවට වැඩියි බං ..”

” උඹලා මට කරපු දේවල් වල හැටියට මේක හරි පොඩි දෙයක් “

තේජ් නැවතත් තදින් මිත්‍රයා වැළඳ ගත්තේය. සියල්ලන්ගේම ප්‍රීතිඝෝෂා මධ්‍යයේ සැමටම පසුපසින් නිහඬවම බලා සිටින මිහිදුමී දුටු භරණ සෙමින් සෙමින් ඈ වෙතට පා එසවුවේය. 

” දුමී.. !” 

” ම්.. මාමේ..!” 

ආයාසයක් දරා පෙරළා ඔහු ඇමතූ ඈ වෙතට තවත් අඩියක් තැබූ ඔහු ඇගේ දෑතින් අල්ලා ගත්තේය. 

” මං.. මං .. ගෙදර යනවා.. “

” මොකක් ? පිස්සුද ?” 

” ම.. මට.. ටිකක් තනියම ඉන්න ඕනේ.. “

” නෑ.. “

භරණගේ හඬෙහි ස්වරය උස් වූ අතර එහි තරවටු ස්වරූපයක් ගැබ් වී තිබුණේය. 

” ම.. මාමේ.. !” 

” දැන් ඇති දුමී.. හොඳටම ඇති. මොකද්ද මේ විකාරේ ? ඔයා අපිටත් මේ දේවල් එපා කරවනවා. කවදා වෙනකන් තනියම පැත්තකට වෙලා අඬ අඬ ඉන්නද ?  දැන් ඇති. හොඳටම ඇති. මං මෙච්චර කල් ඔයා කියන කියන හැමදේටම හා කියලා , ඔයාටම ඉඩ දීලා පැත්තක ඉඳන් බලන් හිටියා. ඒත්.. තවත් බෑ.. දැන්වත් සිහියට එනවා. එච්චරයි. “

“ම්.. මාමේ..?” 

” ඇයි මේ.. ? මොකද කෑගහන්නේ ?” 

භරණගේ උස් හඬ ඇසුණු සුභාවි ඔවුන් විගස ඔවුන් දෙදෙනා වෙත ළං වූවාය. 

” මෙන්න මේ මෝඩ කෙල්ලට කියලා දෙන්න සුභා , මේ වෙච්ච දේවල් දැන් හොඳටම ඇති කියලා. අවුරුදු ගාණක් අපි මෙයා කියන කියන විදිහට වැඩ කළානේ. හැමතිස්සෙම හැමෝගෙන්ම ඈත් වෙලා හැංගිලා ජීවත් වෙන්න ඕනෙ නං මෙයාට අපෙන් වැඩක් නෑනේ ? “

එසේ පැවසූ භරණ කේන්තියෙන්ම නැවතත් ගෙමිදුලේ ඉදිරිපස දෙසට ඇවිද ගියේය. 

” මෙහෙ එන්න..!” 

මිහිදුමීගේ අතින් අල්ලාගත් සුභාවී නිවස තුළට ගොස් එහි කෙළවරක වූ සෝපාවකට බර වූවාය .

” ඔයා අප්සට් උනාද නංගි ?” 

දෑසින් රූරා වැටුණු කඳුළු බිඳු පිස දැමූ ඈ හිස දෙපසට සළා නැත යැයි පැවසුවාය.

”  අස්නක ආවේ අද උදේ. “

සුභාවිගේ වදන් හමුවේ ඈ තව දුරටත් නිහඬවම සිටියාය.

” භරණ කියන කතාවත් ඇත්තනේ නංගි. ඔයා කවදා වෙනකන් මෙහෙම හැමෝගෙන්ම හැංගිලා ජීවත් වෙන්නද ? ඔයාට තනියම කල්පනා කරලා හිත හදාගන්න දෙන්න ඕන කියලා හිතපු නිසා තමයි අපාර්ට්මන්ට් එකට උනත් යන එකට භරණ අන්තිමේ කැමති උනේ. ඒත්.. අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔයා තාමත් හිටපු තැනමයි. මට ඔයාව මෙහෙම දැක්කම මතක් වෙන්නෙම අවුරුදු ගාණකට කලින් ස්වීට් පාර්සල් එකක් අරන් අපේ ගෙදර ඇවිල්ලා අස්නකට අසනීපයි කියලා ගෙදර දුවන්න හදපු කෙල්ලව. එදා මං ඔය කටින් ඒ වචනේ එළියට ගත්තේ කොච්චර අමාරුවෙන්ද ? එදා ඔයාගේ මූණේ පිරෙන්න ආදරේ තිබ්බා. අදත් වෙනසක් නෑ නංගි. අදත් එහෙම තමයි. හැමෝම හිතුවට ඔයා හිත හදාගෙන කියලා ඔයා තාම ඒක කරගෙන නෑ. ඔයාට කරන්න තියෙන්නේ ඔප්ශන්ස් දෙකයි නංගි. එක්කො ඔයා සඳහටම මේ දේවල් අමතක කරන්න ඕනේ. නැත්තන් අස්නක එක්ක කතා කරන්න ඕනේ. “

” අනේ.. බෑ අක්කේ.. බෑ.. මට එයා එක්ක කතා කරන්න බෑ. අනේ මට බෑ.. “

දෙනෙතින් ගලා යන කඳුළු බිඳු පිසළීමට හෝ ඉඩක් නොගත් ඈ සුභාවිගේ දෑත අල්ලා කලබලයෙන් පැවසුවාය. 

” ඇයි ඒ.. ?” 

” මගේ අතෙයි අක්කේ වරද. සිංදුමී අක්කා ගැන දැනගත්ත වෙලේ මට එයත් එක්ක ඒක ගැන කෙලින්ම කතා කරන්න තිබුණා. මං හිතාමතාම ඒක මඟෑරියා. එයා මේක වෙන විදිහකට දැනගත්තොත් මොනවා වෙයිද කියලා මං හිතුවේ නෑ. අනික.. අනික.. බලන්න දැන් එයා ඉන්න තැන. රටේ නම්බර් වන් බිස්නස්මන් කෙනෙක් . එයාගේ නම නොදන්න කෙනෙක් ෆීල්ඩ් එකේ නෑ. අවුරුදු ගාණකට එයා කොයි තරම්නං ලොකු තැනකට ගිහිල්ලද ? ඒ හැමදේම උනේ එයා මගෙන් ඈත් උනාට පස්සේ. ඉස්සරම.. ඉස්සරම සිංදුමී අක්කයි , නෑයොයි කිව්වා වගේ මං මනුස්සයෙක්ට ළං උනොත් ඒ මනුස්සයට නැති කරදර සිද්ධ වෙන්නේ. ඒක මගේ මූසලකම. බලන්න ලොකු අයියාවම. මගෙන් ඈත් උනා විතරයි එයා කොච්චරනං සක්සස් වෙලාද කියලා ? ඒ නිසා.. මං ඈත් වෙලාම ඉන්නං අක්කේ. ආයේ එයාට නෙමෙයි , කාටවත්ම මං ළං වෙන්නෑ. මට .. මට අර ගෙදර තනියෙන් ජීවත් වෙන්න පුලුවන්. මං .. මං වගේ කෙනෙක් එහෙම ජීවත් වෙන එකම තමා හොඳ. “

” දෙයිහාමුදුරුවනේ.. නංගි..!” 

තව දුරටත් සුභාවීගේ වචන නොඈසූ ඈ ඉහල මහල වෙත වේගයෙන් දිව ගියාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here