පසළොස්වක මල් – 70

0
1405

නිවාස සංකීර්ණයේ රථ ගාලෙන් තම මෝටර් රථය නතර කළ මිහිදුමී තම අත් බෑගයත් , තව ගමන් මල්ලකුත් ගෙන  රථගාල පසෙකින් වූ විදුලි සෝපානය වෙත අඩිය තැබුවාය . ක්ෂණිකව ඈ ඉදිරියේ මතුවූ උස් සිරුරැති කඩවසම් හාදයා දුටු ඈ සිටි තැනම ගල් ගැසුණාය. අතැති දුරකතනයට දෑස හෙළා පැමිණි ඔහුද තමා ඔහු දෙස බලා සිටින ආකාරය දැක විශ්මයට පත් වූ බව ඈට හොඳින් වැටහුණාය.

” හායි..!” 

ඇවිද ආ ඒකාකාරි වේගය ක්‍රම ක්‍රමයෙන් මන්ද කළ ඔහු ඈ ඉදිරියේ නැවතුණේය. 

” හ්.. හායි..!” 

” මෙ.. මෙහෙද ඉන්නේ ?” 

” අහ්.. ඔව්. “

දෙදෙනාගේම වදන් එකිනෙක පැටළෙද්දී දෙදෙනාම දිවියේ බොහෝ අසීරුම කර්තව්‍යයකට අත ගැසුවා සේ වචන අහුළමින් සිටියහ. 

” මේ.. මිස්ටර් රාජරත්නම් කියලා ලෝයර් කෙනෙක් ඉන්නවා ෆෝර්ත් ෆ්ලෝ එකේ. මං එයාව මීට් වෙන්න ආවා. “

” ආ.. මං.. මං ඉන්නේ ෆිෆ්ත් ෆ්ලෝ එකේ. “

” ආ.. “

බොහෝ අසීරු අපහසුතාවයක් දැනුණද ඉන් මතුව දෙදෙනා අතරම මොහොතකට නිහැඬියාවක් රජ විය.

” ම්ම්හ්හ්.. මං ගිහින්.. ආ.. මේ.. මං යන්නං “

ඔහු මුවට නැඟි වචන යළිත් අපහසුවෙන් වෙනසකට ලක් කරද්දී ඈ හට ඇසිල්ලකින් අතීතාවර්ජනයක් සිහි විය. ඈ එක දිගට නිහඬබවම උරගා බලද්දී තවත් කිසිවක් නොපැවසූ ඔහු ඇගෙන් මිදී අඩියක් ඉදිරියට තැබුවේය. 

” තේ.. තේකක් බොන්න එනවද ?” 

කිසිසේත්ම අපේක්ෂා නොකළ අන්දමේ ඉල්ලීමක් තම මුවින් පිටවද්දී ඒ පිළිබඳව බොහෝ සෙයින් ලැජ්ජා සහගත හැඟීමකින් ඈ සිත පුරවා ගන්නා විට ඔහු එකී ඉල්ලීම හමුවේ ඈ කෙරෙහි පුදුම වෙමින් සිටියේය. 

” ශුවර්..!” 

ඉදින් දැන් කළ යුතු කිසිවක් නොමැත. මුවින් පිටට ආ වචනය යළි මුව තුළට දමා ගැනීමට නොහැකි බව වැටහුණු ඈ ඔහුට පිටුපා විදුලි සෝපානය වෙත අඩි තැබුවාය. දණහිසට මඳක් ඉහලට වන්නට හැඳ සිටින මෙරුන් පැහැ කෙටි , හිර සායත් , අයිවරි පැහැ ගත් බ්ලවුසයත් නාරි දේහයේ හැඩ මනා ලෙස පසුපස සිටි ඔහුගේ දෑස අද්දර මවමින් තිබුණි. 

” ඒ වගේම පට්ට හොට් “

තේජ්ගේ වචන ඇසුරු සැණින් සිතට එබෙද්දී ඔහු මුවට නැඟි සිනහව වළක්වා ගනිමින් තොල් පට සපා ගත්තේය. 

” තනියමද ඉන්නේ ?” 

නිවසට ඇතුළු වී ආලින්දය පුරා දෑස යැවූ ඔහු එකී දෑස ඈ වෙත විතැන් නොකරම විමසුවේය. 

” ඔව්. මාසෙකට පාරක් වගේ අම්මා ඇවිත් දවස් හතරක් , පහක් ඉඳලා යනවා. “

තව දුරටත් ඔහු සම්මුඛයේ සිට ගෙන නොසිටි ඈ කුඩා මුළුතැන්ගෙයට වැදුණාය.  නිවසේ දිග පළල කිසිවක් අමුතුවෙන් දැන ගැනීමට ඔහුට අවශ්‍ය නොවීය. තනි නිවසක් මිලට ගැනීමට අවශ්‍ය බව ඈ තේජ් හට පැවසූ විගසම ඊලඟ මොහොතේ එය ඔහුගේ සවන වැකී තිබිණි. ඉදින් ඈට සුදුසුම ස්ථානය තෝරා දුන්නේ ඔහුය. නිවසේ සියළු කටයුතු තේජ්ට පමණක් දන්වා රහසේම සොයා බැලුවේ ඔහුය. ඈ නිවස මිලදී ගන්නා විට එහි අසල්වාසීන් පිළිබඳව පමණක් නොව නිවසේ සතර කොන් පවා ඔහු කාටත් පෙර සිටම දැන සිටියේය. 

ඈ විවර කර ගිය ජනෙල් තීරයෙන් එපිට පෙනෙන ගොඩනැගිලි දෙස හදවතේ මතු වූ සියුම් ප්‍රීතියකින් බලා සිටි ඔහු ඇගේ පැමිණීමත් සමඟම යළි කල්පනාවෙන් මිදුණේය. 

” වාඩි වෙන්න. “

“මෙහෙම හොඳයි . තෑන්ක්ස්. ගොඩක් කල්ද මෙහෙට ඇවිල්ලා ?” 

ඈ පිළිගැන්වූ තේ කෝප්පය අතට ගත් ඔහු දෑස එහිම රඳවාගනිමින් ඇසුවේය.

” ෆෝ… ෆෝ.. මන්ත්ස් වගේ “

දෙතැනින් දෙතැනට පැනයන්ද , පිළිතුරුද හුවමාරු විණිද කිසිලෙසක හෝ සිව් නෙත් එකට නොගැටුණි. ඔහු සිටි වනම වීදුරු ජනේලයෙන් එපිට අවකාශය දෙස බලා සිටි අතර දමනය කර ගත නොහැකි ඇගේ දෑස තත්පර කිහිපයකට එකී විසල් රුව මතට විතැන් විය. හැඩයද , රුවද , පරිපූර්ණ සිරුරද ඇහිපිල්ලමකින් හෝ වෙනස් වී නොමැත. සත් වසකට පෙර සිටියාට වඩා එකී දේහධාරී රුවෙන් ඉහල කඩවසම් බවක් විදහා දැක්වෙමින් තිබුණි. තේ කෝප්පය සෙමින් ඉහලට පහලට ගෙන යන වමතෙහි වැළමිට සිට මැණික් කටුව දක්වා මකරෙකුගේ රුවක් ටැටූ කොට තිබුණි. එතැනින් මිදී ඔහු රුවේ හිසේ සිට පහළට ගමන් කළ ස්ත්‍රී දෑස එක් කනක පළඳා තිබූ කළු පැහැ කුඩා කරාඹුව අසල නතර විය. එලෙසටම පෙර අතීත මතකයක් සිතට නැඟෙද්දී ඈ වහා එකී රුවෙන් දෑස ඉවතට ගත්තාය. 

එතෙක් වේලා තමා මත තිබූ ස්ත්‍රී දෑස මඳක් තිගැස්සී ඉවතට විසිවුණු බව හොඳින්ම වටහා ගත් ඔහු තේ කෝප්පයේ අවසන් උගුරත් පානය කර එය අසල තිබූ ට්‍රේ බඳුන මතින් තැබුවේය. 

” මං තව සති තුනක් වගේ ඉන්නේ “

” ආ.. හ් ?” 

පමණට වඩා උස් වූ ස්වරය හමුවේ ඈ නැවතත් ලැජ්ජාශීලී වුවද ඔහු එය නොතේරුණු සේ සිටියේය. 

” මේ.. ආ.. ආන්ටි මහීකා සෑහෙන්න අප්සට් එකේ හිටියේ. “

” හ්ම්ම්.. දාලා යන්න බැරි කමකට ඉන්නේ අම්මා විතරයි. හිතුනොත් මං අම්මවත් එක්කන් යනවා. ආපහු එන්න බලාපොරොත්තුවක් නෑ. “

තමාට පසුපස හරවා දෑතම කලිසම් සාක්කු තුළ බහා හිඳි පුද්ගලයා දෙස විසල් කර ගත් දෑසින් බලා සිටි ඈ මොහොතකින් හිස බිමට බර කර ගත්තාය.

” තේ එකට තෑන්ක්ස්. ගිහින් … ම්ම්හ්හ්… යන්නං “

නැවත වතාවක් ඈ දෙසට හැරුණු ඔහු අපහසුවෙන් මුවින් ගිලිහීමට ගිය සමු ගැනීම යළි වෙනස් කළේය. 

” ස.. සමන් දෙයියන්ගේ පිහිටයි…!” 

ක්ෂණිකව පිරිමි හදවත පුපුරු ගැසුමට පටන් ගත්තේය. ඒ වනතුරුත් ඉතා අපහසුවෙන් ස්ත්‍රී දෑස මතට විතැන් නොකර සිටි ඔහුගේ දෑස ඒ මතට පතිත විය. තත්පර කිහිපයක් පුරාවටම නිහඬව ගෙවුණු එකී සිව් නෙත් පැටළුමෙන් ආයාසයෙන් තම දෑස ගලවා ගත් ඔහු විවර වී තිබූ ද්වාරයෙන් පසුපස හැරී නොබලාම පිටව ගියේය. 

වසර කිහිපයකට පසු විසල් වැළපෙන දෑස මත පැටළුණු තරුණිය එකී දෑසේ පෙර පැවතියාටත් වඩා පැතිර තිබූ වේදනාව ක්ෂණිකව ග්‍රහණය කර ගත්තාය. දෙනෙත් මත කඳුළු බිඳු රැසක් හරි හරියට එකතු වද්දී ඈ විගසින් ද්වාරයෙන් පිටතට විත් විදුලි සෝපානය දෙස බැලුවාය.

ගොඩ වූ විදුලි සෝපාන ද්වාරය සම්පූර්ණයෙන්ම වැසෙන අවසන් මිලි තත්පරයේදී පිටතට දිව විත් ඒ දෙසට බැල්මක් හෙළූ ඇගේ රුව වැළපෙන දෑසට ක්ෂණිකව පෙනී නොපෙනී ගියේය. 

“දාලා යන්න බැරි කමකට ඉන්නේ අම්මා විතරයි.”

යළි යළිත් ඔහුගේ වදන් හදවත පුරා ඇසී නෑසී යද්දී ඈ ආලින්දයේ සෝපාව මත ගුලි වූවාය. 

” ඇත්තටම දාලා යන්න බැරි කමක් තියෙන්නේ ආන්ටි මහීකාව විතරද ? වෙන කවුරුවත්ම නැද්ද ? නැතුව ඇති. කාලේ කොච්චර ගෙවිලා ගිහිල්ලද ? ඔයා හිත හදාගෙන.. හැමදේටම වැරදි මම.. ඕන දෙයක් වෙන්න කියලා සිංදුමී අක්කා ගැන දැනගත්ත මොහොතෙම ඔයා එක්ක කතා නොකරපු එක වැරදියි. හිතේ කේන්තියට ඔයා බැන්නා කියලා එදා ආන්ටි මහීකලගේ ගෙදරින් ගිය එක වැරදියි. ඊට පස්සේ කී සැරයක්නං ඔයා මාත් එක්ක කතා කරන්න ආවද. මට තිබ්බේ ඔයා කියපු වචනේ ගැන තරහක් නෙමෙයි දුකක්. අපි ආදරේ කරන මිනිස්සු සමහර වෙලාවට අපිට කෑගැහුවම අපිට කේන්ති යනවා තමයි. ඒත්.. ඊට වැඩිය දැනෙන්නේ දුක. තරහට වඩා එතන තියෙන්නේ දුක. කැමතිම කෙනාගෙන් හිත රිද්දගන්න වචනයක් අහන්න වෙච්ච එකට දුක. එයා ඒ වෙනකන් තමන් ගැන තියාගෙන හිටපු ලස්සන ප්‍රතිරූපේ එයාගේ හිතෙන් බිඳිලා ගිහිල්ලා කියලා දැනුණම ඇතිවෙන දුක… මේ ඔක්කොම එකතු උනාම ඇස් දෙක ඇරලා ඒ මූණ දිහා ආයේ බලන්න බැරි තරමටම දැනෙන ලැජ්ජාව. මට එදා ඔයා දිහා බලන්න බැරි උනේ , ඔයාව රිජෙක්ට් කළේ ඒ ඇතිවෙච්ච දුකට , ඒ ඇතිවෙච්ච ලැජ්ජාවට. මට තරහා ගියේ ඔයා එක්ක නෙමෙයි මාත් එක්කම. හැබැයි ඒ තරහා පිට වුණේ ඔයාගෙන්. දුර දිග හිතන්නැතුව තීන්දු තීරණ අරන් අවුරුදු ගාණක් අපි දෙන්නා විඳෙව්වා නේද ලොකු අයියේ.. ? ඔයා පව්.. මට මෙහෙ හැමෝම හිටියා.. ඒත්.. ඔයාට එහේ කවුරුවත්ම හිටියේ නෑ. හැබැයි ඔයා මට වැඩිය සෑහෙන්න ඉස්සරහින් ඉන්නවා. ඔයා හිත හදාගෙන. හැබැයි තාම මං හිටපු තැනමයි… “

දෑසින් එක දිගට බේරෙන කඳුළු වැල් පිසින්නට හෝ කාලය වෙන් නොකළ ඈ දිගටම ඉකි ගසමින් හැඬුවාය. බොහෝ වේලාවකට පසු එක දිගට නාද වන දුරකතනය අතට ගත් ඈ කොපුල් මත ඇති කඳුළු පිසළා එයට සම්බන්ධ වූවාය.

” හෙලෝ.. ! ” 

” හෙලෝ.. ! නංගි ..! මං රංගි.. මතකයි නේද ?” 

” ආ.. මතකයි මතකයි අක්කේ. කියන්න. “

” නංගි.. ඔයා අර මේ මෑතකදි මාව මීට් උනු වෙලේ කිව්වනේ පරණ සිද්ධි ගැන අලුත් ආරංචි මොනාහරි තිබ්බොත් කියන්න කියලා. “

” ආ.. ඔව් අක්කේ. මට මතකයි. “

” ඔයාට මේක වැදගත්ද නැද්ද කියලා දන්නෑ. ඔයාට මතකද සිංදුමීලගේ සිද්ධියෙදි මුලින්ම නැතිඋනු ගර්ල්ව. අර ආරාධි කැකුණවෙල  කියලා හිටියේ. “

” ම්ම්.. ඔව්. අක්කේ. මට නම මතකයි. “

” එයාට ඒ දවස්වල කැම්පස් එකේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා තිසර කියලා. කොල්ලා ලංකාවේ හිටියේ නෑ කාලයක්. හැබැයි මේ මෑතකදි ඇවිල්ලා. මටත් අහම්බෙන් මීට් උනේ. මං ළඟ එයාගේ ෆෝන් නම්බර් එක තියනවා. ඔයාට එයා එක්ක කතා කරන්න ඕනෙද ? මං හිතන්නේ වෙච්ච දේවල් ගැන අපි දන්නැති දේවල් ගොඩක් තිසර දන්නවා. මොකද නැති වෙච්ච පස් දෙනාව ඒ කාලේ තිසර ළඟින්ම ආශ්‍රය කළා. අනික ඔය කේස් එක දවස්වල තිසරවත් පොලීසියෙන් අරන් ගියා ආරාධිගේ මරණෙට සැක කරලා. ආරාධිගේ මරණෙයි , ඒ වෙච්ච දේවලුයි එක්ක තිසර හිටියේ සෑහෙන්න කළකිරිලා. අන්තිමේ එයා රටින් ගියා. ඩිග්‍රි එකවත් කම්ප්ලීට් කර ගත්තේ නෑ. දැන්නං එයා මැරීඩ්. මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නේ. මට තිසරව මීට් උනාට පස්සේ ඔයාව මතක් උනා. ඔයා තිසරව මීට් උනොත් මං හිතන්නේ ඔයාට මොනාහරි දැනගන්න පුලුවන් වෙයි. “

” ම්හ්හ්.. හරි අක්කේ. මට එයාගේ නම්බර් එක දෙන්න. “

” ඕකේ නංගි. “

” අක්කේ මේ..” 

” බය වෙන්නෙපා නංගි. ඔයා මට විස්තරේ කිව්වනේ. මං කාටවත් මේ ගැන කියන්නෑ. අඩුම අපේ සංජුලටවත්. “

” තෑන්ක්ස් අක්කේ. “

දුරකතන ඇමතුම විසන්ධි කළ ඈ සෝපාවට බරව දෑස පියා ගත්‍තාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here