පසළොස්වක මල් – 69

0
69

” සමන් දෙයියනේ.. දුමී..!” 

හිමිදිරියේම මහවලතැන්න ගෙමිදුලට ඇතුළු වූ මෝටර් රථය දුටු විශාඛා විගසින් නිවසේ ඉදිරිපස පඩිපේළි කිහිපය බැස ගත්තාය. 

” අම්මා..!” 

” අනේ කරදරයක්ද මගේ රත්තරනේ..!” 

වෙව්ලන ස්වරයෙන් තරුණියගේ මුහුණ දෝතින්ම අල්ලාගත් විශාඛා තරුණ උවන වටා කලබලයෙන් තම දෑස යැව්වාය.

” කරදරයක් නෙමේ අම්මේ.. අනේ කලබල වෙන්නෙපා. “

” මේ පාන්දරනේ පුතේ ? තාම උදේ හතටවත් නෑ. කීයටද එහෙන් ආවේ ? අද ඔෆිස් දවසක්නේ. ? ඔයා නිවාඩු දැම්මද ?” 

” ඔව් අම්මා. මට ඔයාව මතක් උනා. ඒකයි උදෙන්ම ආවේ. ” 

” කරදරයක් නෑ නේද දෙයියෝ..? මාමා දන්නවද ඔයා මෙහෙ එනවා කියලා ?” 

” කරදරයක් නෑ අම්මා. මං හොඳින්. මාමාට කිව්වේ නෑ. මට පාන්දර ඔලුවට ආවේ ගෙදර ආවානං හොඳයි කියලා. ඊයේ රෑ වෙනකන් මාමලා තේජ් අයියගේ පාටි එකේ හිටියනේ. ඉතිං පාන්දර කතා කරන්න ගියේ නෑ. “

” යංකෝ.. යංකෝ.. ගෙට. “

එසේ පැවසූ විශාඛා තරුණියගේ අතින් අල්ලාගෙන නිවසට ගොඩ වූවාය. 

” කාලා ඉමු දුමී මොනාහරි. “

” මං එන ගමන් මඟින් කොෆී එකක් බිව්වා අම්මා. ඇඳුමක් මාරු කරන් එන්නං “

එසේ පැවසූ ඈ මවගෙන් මිදී තරප්පු පෙළ නැඟීමට පටන් ගත්තාය. මුව පුරා සිනහවක් මවා සිටියද ඈ සිටින්නේ හදවත පුරා පැතිර ගොස් ඇති ශෝකයකින් බව වටහාගත් විශාඛා දුරකතනය අතට ගෙන භරණ වෙත ඇමතුමක් ගත්තාය. 

” පුතා..! ඔයා නිදාගෙනද හිටියේ ?” 

” නෑ අම්මා.. දැන් නැඟිටලා ඉන්නේ. කියන්න “

” දුමී මෙහෙ ආවා “

” මොකක් ? මේ උදේ පාන්දර. ?” 

” හ්ම්ම්.. ඊයේ පාටි එකේදි මොනාහරි ප්‍රශ්නයක්වත් උනාද භරණ ?” 

” අස්නකව දැකලා පොඩ්ඩක් ශොක් වෙලා හිටියා අම්මා. එච්චරයි. “

” එහෙනං ඒක වෙන්නැති. කමක් නෑ මං බලන්නම්කෝ..”

” හ්ම්ම්..”

ඇමතුම විසන්ධි කළ විශාඛා ඉක්මන් ගමනින් මුළුතැන්ගෙය දෙසට අඩි තැබුවාය. 

************************************

” ලොකු මැණිකේ..! ලොකු මැණිකේ..!” 

” ඇයි සිරිතුංග මාමේ..? අම්මා නානවා. “

” අනේ චූටි මැණිකේ පහල ලී ගෙයි දොරක සරනේරුවක් දිරලා. පැත්‍තක් කැඩිලා. මට ගේ ඇතුළේ ස්ටෝරුව ඇරලා දෙන්නකෝ. “

” ලොක් කරලා දාලාද සිරිතුංග මාමේ ?” 

” ඔව්. චූටි මැණිකේ “

” පිටිපස්සේ කොරිඩෝ එක දිගේ එන්න මාමේ. මං යතුර අරන් එන්නං “

මිහිදුමී වහා නිවසේ කෑම කාමරය වෙත ගොස් එහි බිත්තියේ පසෙක එල්ලා තිබූ යතුරු එල්ලනයෙන් ගබඩා කුටියේ යතුර ගෙන දකුණු පස කොරිඩෝව දිගේ ඇවිද ගියාය. 

” ආ..! ” 

” චූටි මැණිකේ පාන්දරමෑ ආවේ ?” 

” ඔව් මාමේ. එහෙන් ආවේ පාන්දර “

මිහිදුමීගේ පිළිතුරත් සමඟම සිරිතුංග චිරි චිරි හඬින් ගබඩා කුටියේ ද්වාරය විවර කළේය. 

” අප්පාහ්..! මේකේ ඇතුළේ දූවිල්ල. සෑහෙන්න කාලෙකින් ඇරියේ නැද්ද මේක ? ” 

නාසයට දැනුණු පුස් ගඳ හා පරණ මුඩු දුගඳක් සහිතව ගලා ආ සිහින් දුමාරය අතකින් එහා මෙහා කරමින් මිහිදුමී විමසුවාය. 

” වැඩ වලට ඕන කරන බඩු ඔක්කොම එළියේ ස්ටෝරුවෙනේ තියෙන්නේ චූටි මැණිකේ. මේ ඇතුළේ කාමරේ අරිනවා සෑහෙන්න අඩුයි. ලී ගේ හදද්දි එක ජාතියෙම සරනේරු සෙට් එකක් දොස්තර මහත්තයා ගෙනාවා. ඒ දොරට ඒ ජාතියෙම එකක් දැම්මෙ නැත්‍තං සෙට් වෙන්නෑ.  මං මේ ඒකයි මේකටම ආවේ. “

සිරිතුංග එසේ පවසමින් ගබඩා කුටියේ විදුලි බල්බය දැල්වූයේය. විසල් භාණ්ඩ කන්දරාවකින් සපිරි ගබඩා කුටිය දෙස නෙත් විසල් කළ බලා සිටි තරුණිය දෑතම ඉණ මත තද කර ගත්තාය. 

” මේකේ සෑහෙන්න බඩු ගොඩක් තිබිලනේ ?” 

” ගොඩක්ම ඇත්තේ මින්දුලා මැණිකෙගේ පොත් තමයි චූටි මැණිකේ. අන්න අර කබඩ් එකේ පුරවලා තියෙන්නේ ඒවා. “

සිරිතුංග පෙන්වූ කබඩය වෙත ඇවිද ගිය මිහිදුමී දෙතුන් පාරක් උත්සාහ කර කාලයක් පුරාවට වසා දමා තිබූ එහි එක් දොර පියනක් විවර කර ගත්‍තාය. 

සටහන් පොත්, පෙළ පොත් , දුර්වර්ණ වූ නවකතා පොත් , පත්‍තර , සඟරා ආදියෙන් පිරී තිබූ කබඩයේ ඒ මේ අත පොත් පත් එහා මෙහා කරමින් සිටි ඇගේ නෙත එහි කෙළවරක වූ දිනපොතක ගැටුණාය. අන්සතු දිනපොතක් කියවීම අනුමත කළ නොහැක්කක් වුවද සිතට දැනුණු කුතුහලයත් , ආශාවත්  නිසාම එය අතට ගත් ඈ තිබූ ලෙසටම යළිත් කබඩයේ දොර පියන වසා දැමුවාය. 

” හොයපු ඒවා හම්බුණාද මාමේ ?” 

” තාම නෑ චූටි මැණිකේ. මේ බඩු පෙට්ටි අස්සේ තියෙන්නම ඕනේ. “

” එහෙනං ඒක හොයාගෙන දොර ලොක් කරලා , යතුර කෑම කාමරෙන් එල්ලලා යනවද ? ” 

” හා චූටි මැණිකේ . හා.. “

මින්දුලා සඳහංසි මහවලතැන්නගේ නම සඳහන් දිනපොතෙහි එතී තිබූ දූවිලි කටින් පිඹිමින් හා සුරතින් පිසිමින් මිහිදුමී දම්සේයා මහවලතැන්න යළි තරප්පු පෙළ නැංඟාය. 

****************************************

” දුමී රත්නපුරේ ගිහින් “

තේජ් මිත්‍රයා ඉදිරියේ වූ අසුන පසුපසට ඇද එහි වාඩි වූයේය.

” භරණ කිව්වා “

” උඹට තිබුණා ඒකි එක්ක කතා කරන්න “

” මට බය හිතුණා බං. ආයේ පාරක් මාව රිජෙක්ට් කරයි කියලා. අනික.. , එයා දැන් හොඳින් ඉන්නවා. කිසිම දෙයක් ලේසි නැති වෙන්නැති. හිත හදාගන්න අමාරු වෙන්නැති බං. එහෙම එකේ අද ඔහොම ඉන්න එකම කොච්චර ලොකු දෙයක්ද ? හැමදේම හොඳින් තියෙද්දි මං ගිහින් කතා කරලා ආයේ එයා ඩවුන් උනොත් ? තේරුමක් නෑ. හිත හදාගෙන ඉන්න එකේ ආයේ ආයේ රිද්දන්න ඕනේ නෑ. “

” මේ අහපන්.. ! ගෙවිච්ච කාලේ පොඩි කාලයක් නෙමෙයි බං. ඒ ඉන්නේ එදා මේ ගෙදර හිටපු පොඩි කෙල්ල නෙමෙයි. දෙයක් කතා කරන්න , තේරුම් ගන්න ඒ කෙල්ලට එදාට වඩා අද පුළුවන්කමක් තියනවා. “

” ඒක හරි බං. එයා එදා හිටපු පොඩි කෙල්ල නෙමෙයි. දැන් මාර ලස්සනයි “

දුම්වැටියෙන් මිදුණු දෙතොල අතර සිහින් සිනහවක් ඇඳුණු අතර ඔහු හුරු පුරුදු සඳළුතලයෙන් පෙනෙන හිස් අවකාශය දෙස බලා සිටියේය. 

” ඒ වගේම පට්ට හොට් “

තේජ්ගේ කතාවට ඔහු මුව රැඳි සිනහව තව පුළුල් වූයේය.

” පිස්සුද #$&*

” අනේ පලයන් යන්න. කෙල්ල ගෙදට්ට එනකොටත් අප්ස්ටෙයා එකේ ඉඳන් ඒකි දිහා ගිලින්න වගේ බලන් හිටපු හැටි මං බලාගෙනනේ. ? ගෙවිච්ච අවුරුදු ගාණටම ඒකි ගැන නාහපු දවසක් තියනවද උඹ මගෙන් ?  තනියම අපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ කිව්වම උඹම නෙමෙයිද ඒක හොයලා දුන්නේ ? මං නම් කියන්නේ දැන් ඇති බං. තවත් හැංගි හැංගි නටන්න දෙයක් නෑනේ ? ඒකි එක්ක කතා කරන්න බැරි නං කෙලින්ම භරණ එක්ක කතා කරහන්. “

” ආයේ පාරක් රිජෙක්ට් වෙන්න බෑ බං. එහෙම උනොත් මට ඒක දරාගන්න බැරි වෙනවා. එයා ඉන්න විදිහට ආයේ කවදාවත් මාත් එක්ක රිලේශන්ෂිප් එකකට එයි කියලා ශුවර් කරන්න බෑ.  අනික මට දැන් හතළිහක් “

” ඉතිං ? හතළිහක් කියන්නේ වයසක්ද යකෝ ?  බැරිනං ඉතිං ඒකිව වෙන එකෙක් උස්සනකන් බලන් හිටහන්. “

” ලොකූ…!” 

” අම්මා.. ! එන්න..!” 

අස්නක වහා අතැති දුම්වැටිය මල් බඳුනක් තුළට දැමුවේය. 

” තේ දෙක අරන් මං උඩටම ආවා. “

ලී මේසය මත ට්‍රේ බඳුන තැබූ මහීකා හෙමිහිට අස්නකගේ හිස පිරි මැද්දාය.

” මේ අනිත් එක්කෙනා ඈ. උඹට කියන්න මූණේ ලේ පොදක් නෑ. එකෙන්ම බට කොළ ආච්චි වගේ හිටියේ. “

” අනේ මේහ්..” 

මහීකා තේජ් දෙස බලා මුව ඇද කළාය.

” අම්මා..! මට මල්ලිත් කිව්වා. ඇයි අම්මා. ? බේත් ටිකවත් පිළිවෙළකට බීලා නෑ. ?” 

” ඔයා නැතුව මං ජීවත් වෙලා මොකටද ලොකූ ?” 

” ඔය කිව්වේ ” 

අස්නක නැවත තේජ් දෙස බලා මුව ඇද කළේය. 

” මං නැතත් අම්මට මල්ලි හිටියා. ශනූ හිටියා. අර පුංචි එවුන් දෙන්නා හිටියා. “

මහීකා බෙරි කරගත් උවනින් ඉවත බලා සිටියාය. 

” මල්ලිට උනත් දුක හිතෙනවනේ අම්මා. ? අනික ශනූට ? මේ වෙනකන් ඒ කෙල්ල අම්මට වචනෙකින්වත් වරදක් කරලා නෑනේ ?” 

” ඒක හරි ලොකූ ? ඒත්… අම්මෙක්ට දරුවෙක් ළඟ නැතිව වෙන මොන සම්පත තිබ්බත් වැඩක් නෑ . කවදහරි දවසක ඔයාටත් දරුවෙක් මල්ලෙක් ලැබුණම තේරෙයි “

අස්නකගේ මුවින් විසල් හඬකින් සිනහවක් පිට විය. 

” මොකක් ? දරු මල්ලෝ ? මට ? ” 

” ඇයි ? මුලු ජීවිත කාලෙම ඔහොමද ඉන්න හදන්නේ ? ඒවටනං ලෑස්ති වෙන්නෙපා ලොකූ හොඳේ. දැන් ඇති. හොඳටම ඇති. එක පාරක් එක කෙල්ලෙක් හින්දා අවුරුදු දහයක්ම නාස්ති කරගත්තා. ඊට පස්සේ තව අවුරුදු කීයක්ද ? උඹ මං ඇස් දෙක පියාගන්න කලින් කසාදයක් බඳින්නැද්ද ?” 

” අම්මා..! “

එවර උස්ව නැඟුණු හඬට මහීකා නිහඬව නැවත මුව ඇද කළාය.

” මං ආවේ දිගටම ඉන්න නෙමෙයි. සති හතරකින් මං ආයෙම යනවා. මේ ඉන්න ටික දවසෙ මට සැනසීමෙන් ඉන්න දෙන්න. “

” ලොකූ..?” 

කිසිවක්ම නොපැවසූ ඔහු හිඳ උන් අසුනෙන් නැඟිට සදළුතලයෙන් නික්ම ගියේය. ඔහු යන දෙස අපේක්ෂා භංගත්වයකින් බලා සිටි මහීකා කඳුළු පිරි දෙනෙතින් තේජ් දෙසට හැරුණාය. 

” අනේ මගෙ දරුවාව ආයේ යවන්න එපා තේජ් ..!” 

” අනේ.. ආන්ටී..!” 

තේජ් නැඟිට වහා ඈ තුරුළු කර ගත්තාය. 

” ලොකුවා තාම දුමී ගැන හිතනවා. “

” ඉතිං අපි ආයෙම මේ ගැන විශාඛා අක්කලා එක්ක කතා කරමුකෝ. ? දැන් මැදෑ මේ අවුරුදු ගාණක් දෙපැත්තට වෙලා හිටියා. ? ” 

” දැන් නං මේ වෙච්ච දේවල් ඇති තමයි. මේක මෙහෙම කරන්න බෑ ආන්ටි. මේකට මොකක් හරි වෙන දෙයක් කරන්න වෙනවා. “

” ඕන දෙයක් කරමු තේජ්. ඕන දෙයක්. මං ඔයාට මගේ උපරිම සපෝට් එක දෙනවා. “

සත් වසරකට පෙර තම වැඩිමහලු පුත්‍රයාගේ වෙන්වීමේ ශෝකයෙන් මහීකා විසින්ම මරා දැමූ හුරු පුරුදු සොඳුරු මහීකා විජේසිංහ යළි උත්පත්තිය ලබමින් සිටි අතර ඇගේ මුව මත රැඳි සිනහව දුටු තේජ්ගේ මුව මතද සිහින් සිනහවක් ජනිත විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here