පසළොස්වක මල් – 81

0
86

” දුමී ..! ඔයා පිටත් වුණාද දරුවෝ ?” 

” මං දැන් මේ එන්න එළියට බහින්නේ ආන්ටි. මට විනාඩි දහයක් දෙන්න “

” හරි. හරි ඒකට කමක් නෑ. පරිස්සමින් එන්නකෝ. “

මහීකාගෙන් ලැබුණු ඇමතුමට පිළිතුරු දුන් මිහිදුමී ගමන් මල්ලත් , අත් බෑගයත් ගෙන නිවසේ ප්‍රධාන ද්වාරය වසා දැමුවාය.

සතියක කාලයක් සඳහා අෂ්මිලත් , ශනුලිත් , දරු දෙදෙනාත් ශනුලිගේ දෙමාපියන් සමඟ සිංගප්පූරු සංචාරයකට නික්ම ගොස් තිබුණහ. මහීකාගේ තනියට සරෝජා සිටියද තේජ්ගේ හා අෂ්මිලගේ ඉල්ලීම මත ඔවුන් නොමැති සතිය සඳහා මිහිදුමී විජේසිංහ නිවසට යාමට එකඟ වූවාය. අතීතයේ වූ යම් යම් සිදුවීම් මත වසර ගණනාවක්ම අස්නකටත් , මිහිදුමීටත් අමතරව මහීකාද බොහෝ සේ සිත රිදවාගෙන සිටියාය. පමණට වඩා අසනීප වලින් පෙළුණාය. පෙර සිටි සැහැල්ලු , විනෝදකාමී මහීකා පළාගොස් තිබූ අතර ඒ වෙනුවට නිතර කෝප ගන්නා හා ශෝකයෙන් පෙළෙන මහීකා කෙනෙකු බිහිවී තිබුණාය. ඒ සියල්ලේම අවසාන ඵලය වූයේ ඇගේ අසනීප තත්වයන් දිනෙන් දින උග්‍ර වීම පමණි. අස්නකගේත් , මිහිදුමීගේත් ආරවුල් සියල්ල විසඳී ගිය හෙයින් අස්නක යළි පිටව යෑමට පෙර මව හා සියල්ල ඉතා කෙටියෙන් පවසා තිබූ අතර මෙවර පුත්‍රයාගේ වෙන්වීම ඒ හේතුව නිසාවෙන්ම ඈ හට කිසිදු ශෝකයක් ගෙන නුදුන්නේය. 

හදවතේ ඉපිළෙන සතුටත් , සැනසීමත් හේතු කොට මහීකා යළි පෙර සිටි තත්වයට ක්‍රම ක්‍රමයෙන් පැමිණෙමින් තිබුණු අතර සියල්ල වටහා ගෙන සිටි මිහිදුමී ගත වන දින කිහිපය ඇය හා ගෙවීමට ඉත සිතින් කැමති වූවාය. මහීකාගේ සිත තුළ ඈ කෙරෙහි තව දුරටත් කුමන හෝ ආකාරයක සිත් තැවුළක් ඉතිරිව තිබේනම් මෙකී ගමනෙන් පසුව එයද මඟ හැරී යනු ඇතැයි අෂ්මිල , ශනුලි මෙන්ම තේජ්ද විශ්වාස කළහ. විශේෂ කිසිවක් නොදොඩා මහීකාගේ තනියට පමණක් විජේසිංහ නිවසට ගොඩ වන බවට භරණටත් , විශාඛාටත් පැවසූ මිහිදුමී අත්‍යාවශ්‍යම කාරණා කිහිපය ඔවුන් හමුවේ තැබීමට අස්නක යළි පැමිණෙන තුරු සිටීමට සිත සාදා ගත්තාය. 

” දුමී.. ! එන්න පුතේ.. ඔක්කොම ඇඳුම් ගෙනාවද දරුවෝ ? ඔෆිස් යන්නෙත් මෙහෙ ඉඳන් නේද ?” 

ඈ එනතෙක් පෙර මං බලා සිටි මහීකා ඈ දුටු ඇසිල්ලේ ඇගේ දෑතින්ම අල්ලා ගනිමින් ඇසුවාය.

” ඔව් ආන්ටී.. මං ඔක්කොම ගෙනාවා. “

ඈ එසේ පවසමින් මෝටර් රථයෙන් පිටතට ගත් ගමන් මළු ද්විත්වය රැගෙන විජේසිංහ නිවසට ගොඩ වැදුණාය. 

” කෝ.. දෙන්න මාත් එකක් ගන්න.. “

” අනේ.. එපා ආන්ටි. මට පුලුවන් . “

මහීකා උතුරා හැළෙන ප්‍රීතියෙන් නිවසට ගොඩ වූ මිහිදුමී දෙස බලා සිටියාය. 

” ලොකූගේ රූම් එකට යන්න පුතේ. මට දෙතුන් වතාවක්ම කිව්වා ඔයාට එයාගේ රූම් එකම ඇරේන්ජ් කරලා දෙන්න කියලා. “

තරප්පු පෙළ නඟිමින් අස්නකගේ නිදන කාමරය වෙත පැමිණි මහීකා එහි ද්වාරය විවර කරමින් පැවසුවාය. 

” කමක් නෑ ආන්ටි. මං අනිත් රූම් එකේ ඉන්නං.”

” නෑ.. නෑ.. ඔයා ලොකූගේ රූම් එකේ ඉන්නකෝ. කොහොමටත් තව ටික දවසනේ. ලොකූ ආවගමන් අපි මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගමු. “

ඈ මුව මත හසරැල්ලක් පුරවාගනිමින් පැවසූ අතර මිහිදුමීගේ හදවත මඳ ලැජ්ජාවකින් පිරී ගියේය. 

” වොශ් එකක් දාගන්නවද දුමී..?” 

” ඔව් ආන්ටි. ඇඳුමක් මාරු කරගන්න ඕනේ. “

” හා එහෙනං. චේන්ජ් කරන් , ආවා කියලා ලොකූට කෝල් එකකුත් දීලම පහළට එන්න. අපි තේ ටිකක් බොමු. “

විටින් විට ඔහු නොමැති පෙර දින වල විජේසිංහ නිවසට ගොඩ වැදුණද මිහිදුමී උඩු මහළට පැමිණියේ වසර ගණනකට පසුවය. එයිනුත් ඔහුගේ නිදන කාමරයට අඩි තැබූ මොහොතේ සිටම හදවත පුරා පැතිර යන සන්තෝෂ රේඛා හමුවේ ඈ කුල්මත් වෙමින් සිටියාය. ඔහුගේ නිදන කාමරය ඔහු තමා අසලම බව පසක් කරමින් සිතට ආදරණීය හැඟුමක් ගෙන දුන් අතර ඈ යහන මත හිඳ ජංගම දුරකතනය අතට ගත්තාය. 

“හෙලෝ.. !” 

කිහිප වරක් නාද දුන් දුරකතනයට ඔහු අනෙක් පසින් එලෙස සම්බන්ධ විය.

” බිසීද ?” 

” ම්ම්හ්හ්.. නෑ.. කියන්න. ගෙදර ගියාද ?” 

” හ්ම්ම්.. දැන් ආවේ. “

” කොහෙද ඉන්නේ ?” 

” රූම් එකේ. “

” කාගෙද ?” 

” ඔයාගේ. “

” කාගෙන් අහලද මගේ රූම් එකට ගියේ ? “

” රූම් එකේ අයිතිකාරයම මගෙ වෙච්චි කොට ආයේ රූම් එකට එන්න මං කාගෙන්වත් අවසර ගන්නේ මොකටද ?” 

අනෙක් පසින් ඔහුගේ සිහින් සිනා හඬක් ඇසී ගියේය.

” බොරු කරන්න එපා ඉතිං . මට ආන්ටි කිව්වා ලොකු මහත්තයා කතා කර කර මට එයාගේ රූම් එක ඇරේන්ජ් කරලා දෙන්න කියලා කිව්වයි කියලා. “

පෙර ඇසුණු සිනහව මඳක් විසල්ව ඈට ඇසුණි.

” අම්මා ගම කාලනේ ඉතිං “

” හ්ම්.. ඔව් ඔව්.. උද්දච්ච ලොකු පුතාගේ වැඩ ඔක්කොම මට කිව්වා. ඒකත් හැංගිලා කරන්නේ. තියන ලොකුකමට “

” ඒයි .. ඒයි එහෙම එකක් නෑ හරිද ? “

” නැත්තේ මොකෝ..? මොන දේ වෙනස් උනත් ඒ ලොකුකමනං වෙනස් වෙලා නෑ. ලොකූ… !” 

” ම්ම්.. ?” 

” ඔයාගේ රූම් එකට ආපු වෙලාවේ ඔයා ළඟ ඉන්නවා වගේ දැනුණා. “

” seriously ..?” 

” හ්ම්ම්.. “

” මං හිටියනං රූම් එකෙන් එළියට යන්න දෙන්නෑ හැබැයි “

” අනේ ලොකූ..” 

විළියෙන් රතු වූ ඈ තදින් තොල්පට සපා ගත්තාය. 

” මොකෝ කෑගහන්නේ ?  ඇයි අපේ අම්මට කිව්වේ නැද්ද එන්න කලින් දවස් තුනේ මං හිටියේ කොහෙද කියලා ?” 

” දෙයියනේ.. ඔයා නං ..? ආන්ටි දන්නෑ නේද ? අනේ කියන්න..! ” 

” මං දන්නෑ ඒක. “

” අනේ.. ලොකූ.. “

” මං ඔයාගේ අපාර්ට්මන්ට් එකේ හිටියා කියලා අම්මා දන්නවා. “

” සමන් දෙයියනේ.. ! මං කොහොමද ඒ මනුස්සයගේ මූණ බලන්නේ ?” 

විසල් කරගත් දෙනෙතින් ඈ එක් අතක් ළැම මත තද කර ගත්තාය. 

” ඇයි දැන් ඔය ආපු වෙලේ මොනාහරි කිව්වද ?” 

” එහෙම මුකුත් කිව්වේ නෑ. අර ඉස්සරම වගේ. හොඳට හිනා වෙලා කතා කළා. මාත් එක්ක රූම් එකටම ඇවිල්ලා ඉඳලා ගියේ. “

” එහෙනං එච්චරයි. මං එන්න කලින් දවසක කිව්වා දරුවෙක් මල්ලෙක් හදපු දවසට මට දරුදුක තේරෙයි කියලා. මෙච්චර දුක් විඳපු එකේ ඒ දුකත් වින්ඳෙ නැත්තං හරි නෑනේ.  තව මාසෙකින් විතර බලමු නෙහ්. රිසාල්ට් එකක් තියනවද කියලා. ?” 

” සමන් දෙයියනේ ලොකූ.. ! මං තියනවා  . මට බෑ.  “

” ඒ.. ඒ.. දුමී.. ! තියන්නෙපා . හෙලෝ.. I was joking.. “

” මහ නරකයි ලොකූ ඔයා.. “

ඇඹුල් කරගත් උවනින් ඈ නැවතත් පිළිතුරු බැන්ඳාය. 

” හරි.. හරි. මේ.. ! අල්මාරි එකේ කී එක ඔතන ටේබල් එකේ දෙවෙනි ලාච්චුවේ. ඒක අර ගන්න.  ඔයාගේ ඇඳුම් ටික අල්මාරි එකට දාගන්න. ලෙෆ්ට් සයිඩ් එකේ දොර ඒ කී එකෙන් අරින්න පුලුවන් . රයිට් සයිඩ් එකේ දොරේ කී එක ලෙෆ්ට් සයිඩ් එකේ ලාච්චුවෙ ඇති . ඕන විදිහකට යූස් කරන්න. “

” හ්ම්ම්.. මං තියන්නං. ආන්ටි බලන් ඉන්නවා තේ බොන්න. “

” හ්ම්ම්.. පරිස්සමින් හොඳේ මගේ මැණික… “

” අම්මේහ්.. අහන්නත් සතුටුයි. “

” මොනාද ?” 

” කවදා කියපු ඒවද ඕවා.. “

” කියන්න විතරක් නෙමෙයි මට ඕනේනං…”

” අනේ.. ලොකූ මං තියනවා බායි.. “

ඔහු මුවින් ගිලිහෙන්නට ගිය වදන් වහා වැළැක්වූ ඈ විගසින් ඇමතුම විසන්ධි කළාය.

*****************************************

මහීකා සමඟ දහවල් ආහාරයද ගෙන අවසන් වූ මිහිදුමී ඈ කුඩා නින්දකට වැටෙන තුරු ඈ හා දොඩමලු වෙමින් සිටිමින් යළි උඩු මහලේ නිදන කාමරය වෙතට අඩි තැබුවාය. ඉන්පසුව අස්නක පැවසූ පරිදි ඔහුගේ ඇඳුම් අල්මාරිය විවර කර ගත්තාය. එහි තිබූ ඔහුගේ සුවඳ කැවුණු ඇඳුම් ආයිත්තම් දෙස මදහාසයක් නංවා බලා මොහොතක් හිඳ සිටි ඈ සෙමින් සෙමින් තම ගමන් මල්ලේ තිබූ ඇඳුම් සියල්ල එහි තැන්පත් කරන්නට වූවාය. 

ඉන්පසුව එහි තිබූ ලාච්චුවද විවර කර අනෙක් පස ද්වාරයද විවර කර ගත් ඈ එහිද තම බඩු බාහිරාදිය අසුරා මඳක් අපිළිවෙළ වී තිබූ ඔහුගේ ඇඳුම් කිහිපයක්ද යළි ඉවතට ගෙන නැවත නැවීමට පටන් ගත්‍තාය. සියලු ඇඳුම් ඉවත් කළ පසු එක් තට්ටුවක යටම තිබූ ලිපි කවරයක් ගත් ඈ එය එහා මෙහා හරවා බලා එකී ලියවිල්ල බොහෝ පැරණි එකක් විය හැකි බව අනුමාන කළාය. 

” ලියුම් දානවද අනේ ඇඳුම් අස්සේ ?” 

තනිවම සිතමින් එකී ලිපි කවරය නැවත එහි වූ ලාච්චුවක් මත තැන්පත් කළ ඈ සියල්ල අවසන් කර නාන කාමරයට වැදී හොඳින් නා ගත්තාය. 

වසර කිහිපයකට පසු පෙර පරිදිම සුපුරුදු මුළුතැන්ගෙය තුළ මහීකාත් , සරෝජාත් හා දොඬමලු වී රාත්‍රී කෑම පිස එය ආහාරයටත් ගත් පසු , සියල්ල පිරිසිදු කළ ඈ නැවත උඩු මහලට පැමිණෙන විට දුරකතනයේ විදෙස් රටක අංකයකින් මඟ හැරුණු ඇමතුම් ද්විත්වයක් පැමිණ ඇති බව වටහා ගත්තාය. මොහොතක් එකී අංකය දෙස බලා හිඳ නැවත එය අමතමින් ඈ යහන මත අසුන් ගත්තාය. 

” හෙලෝ.. මිහිදුමී නංගි ..! මං හසරංග. “

” කොහොමද හසරංග අයියේ ? මං දැනගත්තා ඔයා වෙන්නැති කියලා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here