පසළොස්වක මල් – 86

0
2064

” ඔෆිස් එකේ වැඩ වැඩිද දුමී ?” 

කෑම මේසයේ හිඳ ගත් මහීකා විඩාබර තරුණියගේ මුහුණ දෙස බලා විමසුවාය. 

” මේ දවස්වල ටිකක් වැඩ වැඩියි ආන්ටි “

” ඒක තමා. මූණත් එක්ක අමුතුයි අද “

හදවත තුළ පවතින හැඟීම් සියල්ල පාලනය කරගැනීමට තනිවම උත්සාහ දැරූ මිහිදුමී මහීකා දෙස බලා මඳ සිනහවක් පෑවාය. 

” ලොකු නෝනා කෝල් එකක් “

මුළුතැන්ගෙහි තිබූ මහීකාගේ ජංගම දුරකතනය රැගෙන ආ සරෝජා එය ඈ අතට දෙමින් පැවසුවාය.

” ලොකූ..”

මිහිදුමී දෙස බලා එසේ පැවසූ මහීකා සිනාමුසු මුහුණින් ඇමතුමට පිළිතුරු බැන්ඳාය.

” ලොකූ.. ! කියන්න.. “

…………..

” ආ.. ඉන්නවා . අපි මේ කන්න ලෑස්ති උනේ “

මහීකා විගසින් දුරකතනය මිහිදුමී වෙත දිගු කළ අතර ඈ එය ගෙන සවනේ රඳවා ගත්තාය. 

” හෙලෝ..!” 

” ෆෝන් එක ආන්සර් කරන්නැත්තේ ඇයි ?” 

උදෑසන තිබූ ගෝරනාඩුව තවමත් පහව ගොස් නොතිබුණේය. 

” ෆ්.. ෆෝන් එක රූම් එකේ ලොකූ. බැට්‍රි ඩෙඩ් වෙලා. මං චාර්ජ් එකට දාලා ආවේ. “

” කාලා ඉවර වෙලා ගිහින් මට කෝල් එකක් ගන්න. “

” හා.. “

සමුගැනීමක් නොවූ ඇමතුම ක්ෂණිකව අනෙක් පසින් විසන්ධි වී ගියේය. හෝරාවකට ආසන්න කාලයක් මහීකා හා සරෝජා සමඟ දොඬමලු වූ තරුණිය නිදන කාමරය වෙත ඇවිද ගියාය. වෙනදා ඔහු ඇමතීමට නොඉවසිල්ලෙන් පසුවන හදවත අද එයට අදි මදි කරන්නේය. වෙනදා ඔහුගේ මතකය පවා සැනසිලිදායක ඔසුවක් වන විට අද ඒ මතකයම ඇගේ හදවතේ හෘදස්පන්දනය අධික කර තිබුණේය. මඳ වේලාවක් දුරකතන තීරයේ රැඳි ඔහුගේ ජායාරූපය දෙස බලා සිටි මිහිදුමී සුසුමක් හෙළා ඔහු වෙත ඇමතුමක් ලබා ගත්තාය. 

” හෙලෝ..!” 

” කාලා ඉවරද ?” 

” ඔව්. දැන් රූම් එකට ආවේ” 

ඒ පසින් නැඟෙන ගෝරනාඩු ස්වරයත් මේ පසින් නැඟෙන වෙව්ලීමත් තේරුම් ගැනීමේ හැකියාවක් දෙදෙනාටම වූ කලී ශෝකයකට වඩා හදවත වෙළා තිබූ නුහුරු බියක් හේතුවෙන් මිහිදුමීගේ දෑසින් කඳුළු කැට කඩා හැළෙන්නට විණි. 

” තරහද ?” 

ගොරහැඬි කටහඬ පිළිතුරක් අපේක්ෂා කළේය. 

” න්.. නෑ.. “

” වීඩියෝ එක ඔන් කරන්න “

වහ වහා දෙකම්මුල් දිගේ බේරෙන කඳුළු වැල් පිසදා ගත් ඈ වීඩියෝ ඇමතුමට පෙනී සිටියාය. 

” ඇඬුවානේ ?” 

එකී මුහුණ දෙස බලා සිටි තත්පර කිහිපය තුළ ඈ හඬා වැටී ඇති බවට ඉව ඇල්ලූ ඔහු යළිත් පැනයක් නැඟුවේය.

” න්.. නෑ.. “

” බොරුත් කියනවා ?” 

දෑස ඔසවා බැලුණේ පුදුමයකට නොව නුහුරු බියටම බව වටහා ගත් ඈ ඒ වන විටත් එයට ප්‍රමාද වී සිටියාය. 

” ලොකූ.. !” 

” කියන කිසිම දෙයක් නාහා පණ්ඩිත වැඩ කරලා තව ඇඬුවම ඔක්කොම හරිනේ ? නේද ? සෙල්ලං කරන්න කාලයක් නෑ දුමී. මං ඉක්මණට  එනවා. ඒ ආපු ගමන් මං භරණ එක්ක කතා කරන්නං. වෙඩින් එකක් බැරිනං registration එකකට හරි ලෑස්ති වෙන්න. “

සැර කිරීම , තරවටු වල පවා තැවරී තිබූ ප්‍රේමය අද සොරු රැගෙන ගොසින්ය. වසර ගණනාවක් පුරා ඔහුගේ පතිනිය වන්නට ඔහු මත්තේම දිවි කැප කොට සිටි ඈ අසන්නට ප්‍රියකලාවූ වදන් සියල්ල මෙවර බොහෝ කර්කශ ස්වරයක් ගෙන තිබුණේය. ඉදින් ඒ වසර ගණනකට පෙර රහසේ පෙම් බැඳි ඔහුය. තම ඒකපාර්ශ්වික ප්‍රේමයේ තනි අයිතිකරුවාය. ඉන් මතු පෙමින් බැඳුණු ස්නේහවන්තයාය. ඔහු හා අතිනත ගැන්ම දිවියේ පරම සන්තුෂ්ටිය වී තිබුණද එකී හැඟීම මේ වනවිට හදවතින් සෝදා පාළුවට ලක් වී ගොසින්ය . ඉදින් ප්‍රීතියෙන් ඉපිළ යන්නට තිබූ පණිවිඩය නිහඬව පිළිගත් ඈ නිහඬවම එයට යාන්ත්‍රිකව හිස සොළවා එකඟ වූවාය.

ඇමතුම විසන්ධි කර දැමූ තරුණ දෑත කිටි කිටියේ මිට මෙළවෙන්නට විය.

” මං ඔයාට ආදරෙයි දුමී.. මේ ලෝකේ කිසිම එකෙක්ට කෙල්ලෙක්ට කරන්න බැරි තරමට මං ඔයාට ආදරෙයි. ඒත්.. ඔයාගේ හිතුවක්කාරකම ඒ ඔක්කොම නැති කරනවා. අපිට අපි නැති වෙන්න යන්නේ දුමී. මේ පාර සඳහටම අපිට අපි නැති වෙන්න යන්නේ.. “

*********************************************

” දුමී..!” 

” අන්කල් ශමෙල් “

විසල් සාගරයට මුහුණ ලා තිබූ අවන්හලක් තුළ කල්පනා සයුරක ගිලී උන් තරුණිය ශමෙල්ගේ කටහඬට තිගැස්සී ගියාය. 

” මොකද මේ..?” 

ඇගේ වත දෙස පැහැදිලි බැල්මක් හෙළා මොහොතක් බලා සිටි ඔහු එහි වූ අපහැදිලි ස්වභාවය විගසින් වටහා ගත්තේය. 

” අසනීපෙන්ද දුමී..?” 

” නෑ අන්කල් . වාඩිවෙන්න. “

තව දුරටත් ඇගේ උවන මත වූ ශෝකි රටා වලට  සිත යොමු කරමින්ම ඔහු ඈ ඉදිරියේ වූ අසුනක පසුපසට ඇද හිඳ ගත්තේය. 

” මොකද්ද ප්‍රශ්නේ දරුවෝ. ? ඇයි මට කතා කළේ ? “

” මට අන්කල් එක්ක ටිකක් කතා කරන්න ඕන උනා. අන්කල් අන්කල් කිව්වට ඔයා ඉන්නෙත් මට අයියා කියන්න පුලුවන් වයසකනේ. මාමාට මාමා කියන්න පුරුදු උනා වගේ එයාගේ හොඳම යාලුවට අන්කල් කිව්වට ඔයා මගේ එක කුස උපන් සහෝදරයෙක් වගේ. “

ශෝකාකූල වත පරදා ශෝකාකූල කටහඬ අවදි වද්දී ශමෙල් හිඳ උන් පුටුවෙන් නැඟිට ඈ අසලම වූ පුටුවට බරව ඇගේ අතකින් අල්ලා ගත්තේය .

” ඒ ඔක්කොම හරි ළමයෝ. භරණට ඔයා කොයි වගේද ඒ වගේම මටත් ඔයා ළඟයි. කාත් කවුරුවත් නැති මට පවුලක් උනේ ඔයාලනේ මගේ දරුවෝ. “

එසේ පැවසූ ඔහු සෙමින් සෙමින් ඇගේ හිස පිරි මැද්දේය. 

” භරණටත් නොකියා මාව මීට් වෙන්න ඕනේ කිව්වම මට අමුත්තක් දැනුණා. දැන් ඔයාව දැක්කම ඒක තව වැඩි උනා. පපුවත් එක්ක රිදෙනවා දරුවෝ. මොකද්ද ප්‍රශ්නේ කියලා කියන්නකෝ. “

” අනේ.. “

කඳුළු වැල් රූරා වැටුණු දෙනෙතින් ශමෙල්ට තුරුළු වූ මිහිදුමී තත්පර කිහිපයක්ම හඬා වැටුණාය.

” මේ දවස්වල මං ඉන්නේ ආන්ටි මහීකලාගේ ගෙදර. හිතට දුක උනත් අඬන්නවත් අමාරුයි. ඊළඟට එයා කලබල වෙනවනේ. “

මිනිත්තු කිහිපයක්ම හඬා වැටුණු ඈ එය නිමාකර , ඔහුගෙන් මෑත්ව කඳුළු බිඳු පිසදා දැමුවාය . 

” මට දේවල් ටිකක් දැනගන්න ඕනේ. අන්කල් ශමෙල්ට පුලුවන්ද මට හරිම තොරතුරු ටික කියන්න. “

” හ්ම්ම්.. ඔක්කොටම කලින් පොඩ්ඩක් ඉන්නකෝ “

හිඳ උන් පුටුවෙන් නැඟිට ගිය ශමෙල් තවත් මිනිත්තු කිහිපයක් ගත වන තැන අයිස්ක්‍රීම් බඳුන් ද්විත්වයක් අතැතිව පැමිණියේය.

” තාමත් වැනිලා අයිස්ක්‍රීම් කන්නේ පැණි දාලානේ ?” 

ඔහු එසේ පවසා උඩින් පැණි සහ කජු ඇතිරූ වැනිලා අයිස්ක්‍රීම් බඳුන ඈ වෙතට ළං කළේය.

” ඔයා නං..”

කඳුළු අතරින්ම සිනාසුණු මිහිදුමී අයිස්ක්‍රීම් බඳුන ළං කර ගත්තාය. 

” හරි දැන් කියන්නකෝ. මොනවද දැනගන්න ඕනේ. ?” 

” මින්දුලා ගැන “

පිරිමි උවන තිගැස්සෙන අයුරු බලා සිටි මිහිදුමීගේ උවනේ තිබූ සිනහව සැණෙකින් අතුරුදහන් විය. 

” මින්දුලා ගැන ? ඇයි ? ඇයි ඔයා මින්දුලා ගැන හොයන්නේ ?” 

” අන්කල්‍ට මට පොරොන්දුවක් වෙන්න පුලුවන්ද ? ” 

” මොකද්ද දුමී ?” 

” අපි මේ කතා කරන කිසිම දෙයක් මාමා දැනගන්න බෑ. “

” ඔන්න කිව්වා ඉතිං “

” අනේ ප්ලීස් අන්කල් ශමෙල් “

” හරි. හරි කියන්නකෝ ඉතිං “

” කියන්නකෝ නෙමෙයි. පොරොන්දු වෙන්නකෝ”

සුසුමක් හෙළූ ශමෙල් හිතුවක්කාරියගේ උවන දෙස බලා මුව ඇද කළේය. වසර ගණනක අත්දැකීම් මත ඈ කිසිවිටකත් ඈ හට අවැසි දෙය ඉටු කර නොගෙන ඊළඟ පය නොතබන බව ඔහු දැන සිටියේය.

” Okay, okay. I promise. “

” අන්කල් ශමෙල් දන්නවද ඇයි මින්දුලා සුයිසයිඩ් කරගත්තේ කියලා ?”

” හ්ම්ම්.. “

ඔහු නැවත වතාවක් විසල් සුසුමක් පිට කළේය. 

” එයාට භරණගෙනුයි , ආන්ටිගෙනුයි වෙන්වෙලා ඉන්න බැරි උනා දුමී. කැම්පස් එකේ ළඟම හිටපු සුභාවිත් මාස ගාණක් ඇක්සිඩන්ට් වෙලා ගෙදර නැවතුණානේ. මින්දුලාට ස්ට්‍රෙස් එක දරාගන්න බැරි උනා. එයා කොහොමත් හරි අහිංසක කෙල්ලෙක් දුමී. කවුරුහරි හයියෙන් කතා කළත් ඇඬෙන ජාතියේ කෙල්ලෙක්. “

” එච්චරද ?” 

බිමට බර කර ගෙන තිබූ හිස එසවූ ශමෙල් කුතුහලය පිරි බැල්මක් මිහිදුමී වෙතට හෙළුවේය. 

” එච්චරද අහන්නේ ?” 

” ඊට වඩා දෙයක් තියෙන්නම බැරිද අන්කල් ශමෙල් ? මින්දුලාට ජීවිතේ නැති කරගන්න තරම් කරදර උනා වෙන්න බැරිද ?” 

අවසන් වාක්‍යය අවසානයේ මිහිදුමීට නැවත වාරයක් හැඬුණාය. 

” දු.. දුමී.. ! ඔයා මොනවද මේ කියන්නේ ?” 

” මින්දුලා හිතාමතා සුයිසයිඩ් කරගත්තේ නෑ අන්කල්. මින්දුලාව ඒ තත්වෙට පත් කළා. තමන්ගෙම ජීවිතේ නහ ගන්න තැනට ඒ අහිංසක කෙල්ලව පත් කළා. ඒක සුයිසයිඩ් එකක් නෙමෙයි. මිනීමැරුමක්. “

” දු.. දුමී.. ! මොනවද මේ ඔයා කියන්නේ ?” 

ශමෙල්ගේ කටහඬ මෙන්ම දෑසද වෙව්ලීමට පටන් ගෙන තිබුණේය. ඉදින් එයින් පසු අඩ හෝරාවකට ආසන්න කාලයක් මිහිදුමී පාපොච්චාරණයක් සිදු කළාය. එකී පාපොච්චාරණය මධ්‍යයේ ඈ ඉකි ගසමින් හඬා වැටුණාය. එක කුස උපන් සහෝදරියව වැරදිකාරිනියක් ලෙස නම් කළ ඈ දෑසින් හෝ නොදැක තිබූ අහිංසකාවියකගේ මරණයට හේතුව ශමෙල් හමුවේ දිග හරිමින් සිටියාය. කොපුල් කරා බේරෙන දෑසින් ගිළිහෙන කඳුළු පේළියක් හමුවේ ශමෙල් මිට මොළවා ගත් දෑත මේසයට තද කරමින් ඉමක් කොනක් නොපෙනෙන විසල් සාගරය දෙස රක්ත පැහැ දෑසින් බලා සිටියේය. 

” මට සමාවෙන්න අන්කල් ශමෙල්.. මේ හැමදේකටම මට සමාවෙන්න..! “

මිහිදුමී ඔහුගේ දෝතම අල්ලා බැගෑපත් වූ අතර ඔහු තව දුරටත් රහසින් මින්දුලාගේ නම මුමුණමින් සිටියේය.

” මින්දුලා.. ! මගේ පුංචි සුරංගනාවී.. කවදාවත් කියාගන්න බැරුව ළත වෙච්ච ඉස් ඉස්සෙල්ලා මගේ හිතේ ආදරයක් ඉපදිච්ච අහිංසක කෙල්ල.. “

මිහිදුමී තිගැස්සී ඔහුගේ රත් පැහැ දෑස දෙස බැලුවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here