5th Avenue – 76

0
178

සෙනසුරාදා දිනයේ ප්‍රසංගයකට සහභාගී වීමට නියමිත බැවින් සිකුරාදා දිනය පුරාම පුහුණුවීම් පැවැත්වීමට මේඝ සහ ශෙනෝලි විසින් සැලසුම් කරගෙන තිබිණි. ඒ බව ඔවුන් දෙදෙනා විසින් පෙර දිනයේදීම කණ්ඩායම් සාමාජිකයන් වෙත දැනුම් දුන් නිසා උදෑසනින්ම අවදි වී ස්ටූඩියෝව වෙත යාමට සූදානම් වූයේය. උදෑසන අට පසු වන විටම ඉශිනි ගෙන් දුරකථන ඇමතුම් ගලා ඒම ආරම්භ වුවද රිහාන් ඒ එක් ඇමතුමකටවත් ප්‍රතිචාර දුන්නේ නැත. ඒ ආකාරයට රිහාන් ඉශිනි ගෙන් පැමිණි ඇමතුම් හයක් පමණ නොසලකා හැර බලා හුන් නමුත් නැවත දුරකථනය නාද වන විට ඔහුට තවදුරටත් එය නොසලකා හැර සිටීමට හැකි වූයේ නැත. පුහුණුවීම් වලට සහභාගී වීමට පෙරම මේ කතාබහ කර අවසන් කිරීම වඩා සුදුසු යැයි සිතූ රිහාන් ඇමතුම ක්‍රියාත්මක කලේය. 

“අනේ රිහාන්, ප්ලීස් එක පාරක් මාව මීට් වෙන්නකෝ. මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ “

රිහාන් කිසිවක් පැවසීමටත් පෙර ඉෂිනි කතා කිරීම ආරම්භ කළාය. පෙර දින රාත්‍රියේදී තමාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත නොහැකි වූ තැන ඩියෝන් මුණ ගැසීමට ගොස් තිබූ ඉශිනි හට නැවත තමා පිළිබඳව මතකයට පැමිණ ඇත්තේ උදෑසන දීය.රිහාන් තුළ ඒ පිළිබඳව වූයේ අප්‍රසන්න හැඟීමකි.

” අපි තවත් මොනවා කතා කරන්නද ඉශිනි ?” 

රිහාන් කන්නාඩිය ඉදිරිපිටට පැමිණ හිස කෙස් අතින් සකස් කර ගෙන විලවුන් ස්වල්පයක් ගෙල දෙපස තවරා ගත්තේය.

” කතා කරන්නේ මොනවද කියලා බලන්නවත් අපි මීට් වෙලා ඉමුකෝ රිහාන්. ඔයාට මං කියන දේ පොඩ්ඩක් අහන්න බැරිකමක් නැහැනේ “

රිහාන් හැකි තාක් සන්සුන්ව සිටීමට උත්සාහ ගනිමින් උන්නේ දවස ආරම්භ කිරීමටත් පෙරම කෝපයට පත් වීම නුසුදුසු බැවිනි.

” ඔයා ඊයේ රෑ හිටියෙත් ඩියෝන් එක්ක. ඉතින් තවත් මොනවද මට අහන්න කියන්නේ? “

රිහාන්ගේ වචන ඇසුණු සැණින් ඉෂිනිගේ සිත කැලඹී ගිය අතර පෙර දින රාත්‍රියේ තමා ඩියෝන්ව මුණගැසුණු බව ඔහු දැන ගත්තේ කෙසේ දැයි ඇයට සිතාගත හැකි වූයේ නැත.තප්පර කිහිපයක් ගොළු වී හිඳී ඉශිනි නැවත හඬ අවදි කලේ නොසන්සුන් බව සඟවා ගැනීමට උත්සාහ කරමිනි.

” මොනවද රිහාන් ඔයා මේ කියවන්නේ? ඔයා.. කොහොමද එහෙම කියන්නේ ? “

” එතකොට දැන් ඔයා කියන්නේ ඊයේ රෑ ඩියෝන්ව මීට් වුණේ නැහැ කියලද ඉශිනි? ඔයාට පුළුවන්ද ඒ කතාව බොරුවක් කියලා කියන්න ?”

” කවුද ඔයාට ඔය දේවල් කියන්නේ? කාට හරි අපි දෙන්නව තරහ කරවන්න ඕන වෙලාද කොහෙද මට පේන්නේ ? “

” කවුරු කිව්වත් කතාව ඇත්තනේ ඉෂිනි. තරහ කරවන්න හරි නැතුව හරි ඔයා ඇත්තටම ඩියෝන්ව එහෙම මීට් වෙන නිසානේ මට එහෙම දේවල් දැනගන්න හරි පේන්න හරි ලැබෙන්නේ. කොහොමත් දැන් මට ඔයාට කිසිම දේකට බ්ලේම් කරන්න ඕනේ නැහැ. මොකද ඔයාගේ දේවල් වෙනස් කරන්න මට කිසිම අයිතියක් නැහැනේ. හැබැයි ඔයාටයි මටයි එකට ඉස්සරහට ගමනක් යන්න බැහැ කියන එක දැන්වත් තේරුම් ගන්න. මොකද කාටවත් රැවටිලා ජීවත් වෙන්න ඕන මනුස්සයෙක් නෙමෙයි මම “

” ඒත් රිහාන්, මං .. “

ඉෂිනි තම වචන සම්පූර්ණ කිරීමටත් පෙර රිහාන් ඇමතුම විසන්ධි කළේය.තවදුරටත් මේ කතාබහ ඉදිරියට ගෙන යාමෙන් සිදු වන්නේ තමාගේ සිත තව තවත් වේදනාවට පත්වීම පමණක් නිසා එය එතනින් අවසන් කර දැමීමට රිහාන් හට උවමනා විය. අනෙක් අතට මේ මොහොතේදී ඉශිනි විසින් කවර ආකාරයේ නිදහසට කරුණු ඉදිරිපත් කළද ඇය විසින් සිදුකළ වරද නිවැරදි කළ නොහැකි බැවින් ඒ වෙනුවෙන් කාලය නාස්ති කිරීම පවා නිශ්ඵල ක්‍රියාවකැයි සිතමින් රිහාන් තරප්පු පේළිය බැස පහත මාලයට පැමිණියේය.

දුරකථනය අතේ තබාගෙනම ඉෂිනි මොහොතක් නිහඬව උන්නාය. රිහාන් තමන් පිළිබඳව මේ තරම් දේවල් දැනගන්නේ කෙසේදැයි බොහෝ වේලාවක් ගත වූ පසුත් ඇයට සිතාගත හැකි වූයේ නැත. දෙවන වරටත් තමා සහ ඩියෝන්ගේ හමුව පිළිබඳව රිහාන් දැන ගැනීම සියලු ප්‍රශ්න තවත් සංකීර්ණ කළා නොවේ දැයි ඇයට සිතිණි.

තමන් විසින් සිදුකළ දෑ එකින් එක සිහිපත් වන විට ඇගේ සිතට දැනුණේ පෙරටත් වඩා වැඩි නොසන්සුන් බවකි. රිහාන්ව අහිමි කර ගැනීමට හේතුව තමන්ගේම වැරදි බව ඉශිනි  දැන හුන් අතර එම වැරදි නිවැරදි කරගැනීමට ද තමා හට මේ වන විට කිසිදු අවස්ථාවක් ඉතිරිවී නොමැති බවද ඇය දැන උන්නාය. 

පුහුණුවීම් සඳහා පැමිණි රිහාන් තම වාහනයෙන් බැස ස්ටූඩියෝව පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලට පැමිණියේ නිසොල්මනේය. ස්ටුඩියෝවට ඇතුළු වීමට පෙර එහි ප්‍රධාන දොරටුව අසල නතර වූ ඔහු දුරකථනය අතට ගෙන අත්‍යවශ්‍ය පණිවිඩ තිබේදැයි පරීක්ෂා කර බලා එය ක්‍රියා විරහිත කළේ නැවත ඉශිනි ගෙන් ඇමතුමක් පැමිණියහොත් එය පුහුණුවීම් කෙරෙහි යොමු කළ යුතු තමාගේ අවධානයට බාධාවක් වන බැවිනි. උදෑසනදී ඇය ගෙන් ලැබුණු ඇමතුම නිසා ඒ වන විටත් තරමක් කලබල වී තිබුණු සිත තවදුරටත් කලබල කර නොගැනීම ඔහුගේ අරමුණ වී තිබිණි.

ශෙනෝලි සෝෆාවේ වාඩි වී ලැප්ටොප් පරිගණකය විවෘත කරගෙන පසු දිනයේ පැවැත්වීමට නියමිතව ඇති ප්‍රසංගයේ කාල සටහන පරීක්ෂා කරමින් උන්නාය. එළඹ තිබෙන්නේ ප්‍රසංගයට පෙර දිනය බැවින් එදින ඇය අවසන් කළ යුතු බොහෝ දෑ තිබිණි. ප්‍රසංගයට සහභාගී වන අනෙකුත් කලාකරුවන්ගේ කාලසටහන්, සංවිධායකයන් සමඟ තහවුරු කරගත යුතු විස්තර සහ තවත් අවශ්‍යතා කිහිපයක් ඇය එකින් එක නැවත නැවත පරීක්ෂා කළේ කිසිදු අඩුපාඩුවක් නොවන්නට වග බලා ගැනීමටය.

රිහාන් ඇය වෙත අවධානය යොමු කළේ ඒ අතරතුරදීය. එහෙත් ඒ බැල්ම වැඩි වේලාවක් රඳවාගැනීමට ඔහුට හැකි නොවූයේ ඉෂිනි විසින් ශෙනෝලිට අසාධාරණයක් සිදු කළ බව දැනගත් මොහොතේ පටන් ඇති වූ වරදකාරී හැඟීම නිසාය. සිදු වූ සිදුවීමට තමාගේ සෘජු සම්බන්ධයක් නොතිබුණද, තමන් සමඟ තිබූ සම්බන්ධය නිසා ශෙනෝලි වැනි තරුණියකට එවැනි අපහසුතාවකට මුහුණ දීමට සිදු වීම ඔහුට පහසුවෙන් අමතක කර දමා සිටිය හැකි වූයේ නැත. එහෙත් ඇගෙන් සමාව ඉල්ලීමට හෝ හැකියාවක් නොමැති බැවින් රිහාන් උන්නේ ඒ පිළිබඳව ද ඇති වූ දෙගිඩියාව මුසු හැඟීමකිනි.

උදෑසන දහය පසුවී විනාඩි කිහිපයක් ගතවන විට සාමාජිකයන් එකින් එක පැමිණි අතර අශේන් ස්ටුඩියෝවට ඇතුළු වූයේ අවසානයටය.

” ගුඩ් මෝනින් ගායිස්ස් “

ඔහුගේ ප්‍රබෝධමත් හඬට ශෙනෝලි ලැප්ටොප් තිරයෙන් දෑස් මෑත් කරගෙන හිස ඔසවා ඔහු දෙස බලා සිනාසුණාය.  දුරකථන ඇමතුමක් අවසන් කරමින් සිටි මේඝද ඔහුට සුබ උදෑසනක් පැතූ අතර අශේන් සෝෆාව වෙත පැමිණ ශෙනෝලි අසලින් වාඩි වූයේ සැහැල්ලු වෙනි.

” අර සෝෂල් මීඩියා ප්‍රශ්නේ එහෙම්මම යට ගිහින් නේද ශෙනෝ? “

ශෙනෝලි හදිසියේ යමක් මතක් වූවා මෙන් දුරකථනය අතට ගත්තේ එය සැබවින්ම එසේ වී ඇතිදැයි පරීක්ෂා කර බැලීමටය.

“එහෙමද? ඒක බලන්නවත් බැරි වුණා මට මේ වැඩ අස්සේ “

මේඝ අශේන් සහ ශෙනෝලි අසලට පැමිණෙන අතරේ පිළිතුරු දුන්නේය.

” ඒක එහෙම වෙච්ච එක හොඳයි. හෙට කොන්සර්ට් එකට කලින් ඒ ප්‍රශ්නේ ඉවර උනේ නැත්නම් හෙටත් එක එකා ඇවිල්ලා මගේයි ෂෙනෝලිගෙයි ෆොටෝස් අරගෙන කොහේ හරි දාන්න බැරි නැහැ. එහෙම මිනිස්සුනේ දැන් සෝෂල් මීඩියා පේජස් අටවගෙන ඉන්නේ. උන්ට ෆොටෝස් ගන්න ඕනේ නම් උන් ඒකටම හරි ටිකට් අරගෙන කොන්සර්ට් එක බලන්න එයි “

අශේන් ශෙනෝලි දෙස බලමින් පැවසූ අතර ඇය ඔහු දෙස බලා යන්තමින් සිනාසුණාය.

” කෝකටත් ඔයයි ශෙනෝලියි හෙට පොඩ්ඩක් ශේප් එකේ ඉන්න. අපි නිකන් ඉල්ලගෙන කාටවත් කියලා ගොසිප් ගහ ගන්න ඕනේ නැහැනේ “

මේඝ එසේ පැවසූ පසු රිහාන් දෙසට හැරුණේය. රිහාන් තම බේස් ගිටාරය යන්තමින් වාදනය කරමින් සිටියද ඔහු වෙනත් කල්පනාවක සිටින බව ඔහුට වැටහිණි.

“අංකල් ඊට පස්සේ ඒ ගොසිප් එක ගැන මොනවා හරි කිව්වද රිහාන්? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here