5th Avenue 80

0
66

Episode 80

” සම්බන්ධකම් ඇතිවෙනවා තමයි දුව. හැබැයි ඒවා නොගැළපෙනවා නම් තරහා මරහා ඇති කරගන්නේ නැතුව වෙන් වෙන්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ. පුතා ඔයාට පැහැදිලිවම එයාගේ තීරණය කියලා තියෙද්දි ඔයා මෙහෙම කරන එක හරි නැහැ නේද? “

ශ්‍යාමලී කතා කළේ බොහෝ ඉවසීමෙනි. රිහාන්ගේ දුරකථනයට පැමිණි ඇමතුමට ඇය පිළිතුරු දී තිබුණේ පුතුට තවදුරටත් ඉෂිනි සමඟ කතා කිරීමට අවශ්‍ය නොවන බව දැන සිටි බැවිනි. එහෙත් ඇය මේ මොහොතේ උත්සාහ කළේ ඉෂිනිට දොස් පැවරීමට නොව, රිහාන්ගේ තීරණය නැවත ඇයට පැහැදිලි කර දීමටය.

රිහාන් අසුනට හේත්තු වී නිහඬව උන්නේය. තම මව ඉෂිනි සමඟ කතා කරන ආකාරය ඔහුට පැහැදිලිවම ඇසුණද, ඒ සංවාදයට මැදිහත් වීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. දැනටමත් තමන් පැවසිය යුතු සියල්ල ඉෂිනිට පවසා අවසානය. නැවත නැවතත් ඒ කාරණා පැහැදිලි කිරීම සඳහා උත්සාහ කිරීමෙන් සිදුවන්නේ දෙදෙනාටම තවදුරටත් රිදවා ගැනීමට පමණක් බව ඔහුට සිතිණි.

” ආන්ටි, මම දන්නවා මගෙන් වැරැද්දක් වුණා කියලා. ඒත් මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි. මට එක අවස්ථාවක් දෙන්න කියලා විතරයි මම කියන්නේ. මම ආපහු එහෙම කිසිම වැරැද්දක් කරන්නේ නැහැ. අනේ මට රිහාන් නැතුව ඉන්න බැහැ ආන්ටි “

ඉෂිනිගේ හඬෙහි වූයේ අසරණ බවකි. රිහාන්ගේ මව තමන්ට කතා කිරීමට අවස්ථාවක් ලබා දී තිබීම ඇයට තුළ බලාපොරොත්තුවක් ඇති කර තිබිණි. රිහාන් ඇමතුමට පිළිතුරු නොදුන්නද, ඔහුගේ මවගේ මාර්ගයෙන් හෝ ඔහුගේ සිත වෙනස් කරගත හැකි වේ යැයි ඇය සිතුවාය.

” දරුවෝ, වැරැද්දක් වුණාට පස්සේ සමාව ගන්නවට වඩා වැරැද්දක් නොකර ඉන්න එක නේද ලේසි? “

ශ්‍යාමලී ඇසුවේ සන්සුන්වය.

” මම ඒක පිළිගන්නවා ආන්ටි. මම කළේ වැරැද්දක් තමයි. ඒත් මම රිහාන්ට තාමත් ආදරෙයි . ඒක වෙනස් වෙලා නැහැ. මට එයාට ඒක පැහැදිලි කරන්න ඕනේ. එයා මට එක පාරක් කතා කරන්නවත් කැමති නැති එකයි මට දරාගන්න බැරි “

” ආදරය කරනවා කියන්නේ අපිට ඕනේ විදිහට අනිත් කෙනාගේ තීරණ වෙනස් කරගන්න එක නෙමෙයිනේ දුව. ඔයාට රිහාන් ගැන හැඟීමක් තියෙනවා වගේම එයාටත් එයාගේ හිත ගැන තීරණයක් ගන්න අයිතියක් තියෙනවා. ඒක ඔයාට පිළිගන්න අමාරු ඇති. ඒත් එයාගේ තීරණයට ගරු කරන්නත් ඔයාට සිද්ධ වෙනවා”

ශ්‍යාමලීගේ වචන ඉෂිනිගේ සිතට බරක් එක් කළේය. ඇය මෙතරම් වේලාවක් උත්සාහ කළේ රිහාන් තමන්ගෙන් ඈත් වීම වැළැක්වීමටය. එහෙත් ඔහුගේ මව පවා තමන්ට පැහැදිලි කර දෙන්නට උත්සාහ කරන්නේ ඔහුගේ තීරණය පිළිගත යුතු බව නම්, තමන් තවදුරටත් කුමක් කළ යුතුදැයි ඇයට සිතාගත හැකි වූයේ නැත.

” ආන්ටි, මම එයාට මෙච්චර කාලයක් ආදරේ කළේ බොරුවට නෙමෙයිනේ. මම දන්නවා මම එයාගේ විශ්වාසය නැති කරගත්තා කියලා. ඒත් මට ඒක ආපහු හදාගන්න එක අවස්ථාවක්වත් නැද්ද? “

අවසන් වචන කිහිපය පැවසූ පසු ඉෂිනි මොහොතක් නිහඬ වූයේ තමන්ගේ හඬ වෙව්ලන බව ඇයටම දැනුනු බැවිනි. රිහාන් සමඟ ගත කළ කාලය, ඔහු තමන් පිළිබඳව විශ්වාසයෙන් කතා කළ අවස්ථා සහ අනාගතය ගැන සිහින මැවූ ආකාරය ඇගේ මතකයට පැමිණියේ එකින් එකය . ඒ සියල්ල නැවත ලබා ගැනීමට තිබෙන එකම මාර්ගය රිහාන්ගේ සිත වෙනස් කරගැනීම බව ඇය විශ්වාස කළාය.

” මේක හිතන්න දුව. ඔයාට රිහාන්ව ආපහු ඕනේ වෙලා තියෙන්නේ එයා නැතුව ඉන්න බැරි නිසාද ? එහෙම නැත්තම් ඔයා කරපු දේ ගැන ඔයාට පසුතැවීමක් දැනෙන නිසාද ? “

ශ්‍යාමලීගේ ප්‍රශ්නයට ඉෂිනි වහාම පිළිතුරු දුන්නේ නැත.

ඇයට රිහාන්ව අහිමි කරගැනීමට අවශ්‍ය වූයේ නැත. එය ඇත්තකි. එහෙත් ඔහුට රිදවූ තමන්ගේ හැසිරීම පිළිබඳව සිතන සෑම අවස්ථාවකම ඇයට දැනෙමින් තිබුණේ වරදකාරී හැඟීමකි. තමන් කළ දේ නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබුණහොත් ඒ සඳහා ඕනෑම දෙයක් කිරීමට ඇය සූදානම්ව උන්නාය. නමුත් රිහාන් ඒ අවස්ථාව ලබා දීමට තබා තමා සමග කතා කිරීමටවත් උත්සාහ කරන්නේ නැත.

” මම එයාට ආයෙත් රිද්දන්නේ නැහැ ආන්ටි. මට ඒක විශ්වාසයි “

” ඔයාට එහෙම හිතෙනවා ඇති දුව. ඒත් රිහාන්ට දැන් ඔයා ගැන එහෙම විශ්වාසයක් නැහැ. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔයාට ඔයාගේ පැත්තෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ වෙනස එයාට පිළිගන්න බැහැ. පිළිගන්න කියලා අපිට බල කරන්නත් බැහැ “

ශ්‍යාමලීගේ වචනවලට එරෙහිව කිසිවක් පැවසීමට ඉෂිනිට හැකි වූයේ නැත . ඇය මොහොතක් දුරකථනය තදින් අල්ලාගෙන බලා උන්නාය . රිහාන්ගේ මව තමන්ට සවන් දෙන බව දැනුණද ඇය පැවසූ කිසිවකින් තමන් බලාපොරොත්තු වූ පිළිතුර නොලැබීම ඉශිනි ට ඉවසිය හැකි වූයේ නැත .

වාහනය තුළද නිහඬතාවය පැතිර යමින් තිබුණු අතර රිහාන් තම දෑස් මාර්ගය වෙත යොමු කරගෙන උන්නේය. තමන්ට පැවසීමට අපහසු වූ දෙයක් තම මව ඉතා සන්සුන්ව ඉෂිනිට පැහැදිලි කරමින් සිටින බව ඔහුට වැටහිණි. එහෙත් ඒ වචන ඇසෙන අතරතුර පවා ඔහුගේ සිතට දැනුණේ නිදහසකට වඩා වෙහෙසකි. කාලයක් තිස්සේ තමන් ආරක්ෂා කරගෙන සිටි සම්බන්ධතාවයක් මෙතරම් පහසුවෙන් බිඳී යාමට ඉශිනි ඉඩ හැරියේ ඇයිදැයි ඔහු තේරුම් ගැනීමට උත්සාහ කරමින් උන්නේය.

” අනේ ආන්ටි, මට එක පාරක් රිහාන් එක්ක කතා කරන්න දෙන්නකෝ. එයා මට මොනවා කිව්වත් මම අහගෙන ඉන්නම්. මට එයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා “

ඉෂිනි යළිත් බැගෑපත්ව ඉල්ලා සිටියාය.

ශ්‍යාමලී මොහොතක් නිහඬව උන්නාය. ඇයට ඉෂිනිගේ සිතෙහි ඇති වේදනාව තේරුම්ගත හැකි වු අතර තමන්ගේ පුතුට ආදරය කළ තරුණියක් ලෙස ඇය පිළිබඳව අනුකම්පාවක්ද ඇයට දැනිණි. එහෙත් ඒ අනුකම්පාව නිසා රිහාන්ගේ තීරණය වෙනස් කිරීමට ඔහුට බලපෑම් කිරීම සාධාරණ නොවන බවද ඇය දැන උන්නාය.

” මම ඔයාට එක දෙයක් කියන්නම් දුව. මේ වෙලාවේ ඔයා රිහාන්ට තව තවත් කතා කරන එකෙන් එයාගේ හිත වෙනස් වෙයි කියලා මම හිතන්නේ නැහැ. සමහර වෙලාවට අපි ආදරය කරන කෙනෙක්ව ළඟ තියාගන්න පුළුවන් එකම විදිහ එයාට යන්න ඉඩ දෙන එක වෙන්නත් පුළුවන්. ඔයා ටිකක් හිත සන්සුන් කරගන්න. මේ දේවල් ගැන හිතන්න ඔයාටත් කාලය ඕනේ “

ඉෂිනිගේ දෑස්වලට කඳුළු පිරුණු අතර ඇය තවදුරටත් කිසිවක් පැවසීමට උත්සාහ නොකළාය. ශ්‍යාමලීගේ වචන වලින් තමන්ට රිහාන් වෙත ළං වීමට මඟක් විවර නොවන බව ඇයට වැටහෙමින් තිබිණි.

“හරි ආන්ටි.මට තේරෙනවා ඔයා කියන දේ “

අවසානයේ ඇය පැවසුවේ එපමණකි.

” හිත හදාගන්න බලන්න දුව. ඔයාට හොඳක් වෙන්න කියලා තමයි මමත් ප්‍රාර්ථනා කරන්නේ”

ඇමතුම අවසන් කිරීමට පෙර ශ්‍යාමලී පැවසුවාය.

දුරකථනය විසන්ධි වූ පසු ඇය එය රිහාන් වෙත දිගු කළ අතර ඔහු දුරකථනය අතට ගත්තේ කිසිවක් නොකියාය.

” ඔයාට තේරෙනවා නේද පුතා, මම එයාට එහෙම කිව්වේ ඇයි කියලා? “

ශ්‍යාමලී පුතු දෙස බැලුවාය.

“ඔව් අම්මා. මම දන්නවා”

“එයාටත් මේක දරාගන්න අමාරු ඇති. ඒත් ඔයාට රිදුණු දේවල් අමතක කරලා හැමදේම කලින් තිබුණා වගේ තියෙන්න දෙන්න කියලා කාටවත් ඔයාට කියන්න බැහැ. ඔයාගේ හිතට එකඟව ඔයා තීරණයක් ගන්න “

රිහාන් හිස සැලුවේය. තමන්ට අවශ්‍ය වූයේද එයමය. ඉෂිනි පිළිබඳව කෝපයෙන් හෝ වෛරයෙන් ජීවත් වීමට ඔහුට අවශ්‍ය නොවූ අතර ඇය සමඟ නැවත සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට තරම් විශ්වාසයක්ද ඔහු තුළ ඉතිරිව තිබුණේ නැත.

” මට දැන් ඕනේ මේ හැමදේම ටිකක් අමතක කරලා කලින් වගේම සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න අම්මා “

ඔහුගේ හඬෙහි වූ වෙහෙස ශ්‍යාමලීට හොඳින් වැටහිණි.

“ඒකට ඔයා ඔයාටම කාලය දෙන්න පුතා. හැමදේම එක දවසින් හරියන්නේ නැහැ නේ “

රිහාන් නැවතත් වාහනය පණ ගැන්වූ අතර ඔහුගේ සිතෙහි පැවති බරින් කොටසක් හෝ වචනවලට මුදා හැරීමට ලැබීම ඔහුට යම් සහනයක් විය.

කල්පනාවේ නිමග්නව වාහනය පදවමින් සිටි රිහාන්ට ශෙනෝලි ව සිහි වූයේ හදිසියේය. ඇය සමග කතා කිරීමට සිතා සිටියද, මේ දක්වා ඒ සඳහා අවස්ථාවක් සොයාගැනීමට නොහැකි වීම වීම පිළිබඳව ඔහුට ඇති වූයේ කනස්සල්ලකි. තිබිණි. ඇය සමග කතා කිරීම ප්‍රමාද කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ සිතෙහි ඇති පශ්චාත්තාපය තවදුරටත් සඟවා ගෙන සිටීමට සිදුවීම පමණක් බව රිහාන්ට වැටහිණි.

ඒ නිසාම එදින සවස නිවසට පැමිණි පසු ඔහු මුලින්ම කළේ තම කාමරයට ගොස් දුරකථනය අතට ගෙන ශෙනෝලි හට ඇමතුමක් ගැනීමය.

සාලයේ සෝෆාවේ දිගා වී තම දුරකථනයෙන් යූටියුබ් ඔස්සේ වීඩියෝවක් නරඹමින් සිටි ශෙනෝලිගේ දුරකථනය නාද වූයේ අනතුරුවය. තිරය මත දිස් වූ නම දුටු ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.

රිහාන් !

ඇය වහාම ඇමතුමට සම්බන්ධ වූවාය.

” හෙලෝ රිහාන් “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here