පිනි සේල – 22

මල් ඉහිරී ගිය උපන් දින කේක් එකටත් වඩා මගේ හිතේ මල් ඉහිරෙමින් පැවතිණි. මගේ ළඟම මිතුරන්ට මා සිහි වීම මොනතරම් ආනන්දජනකදැයි සිතමින් මම හිනැහෙන්නට තැත් දැරීමි. නමුත් කඳුලක් දෙකම්මුලේ රූරා වැටුණේ මට නොදැනී ය.

“කේක් එක කපමු..”

ඊෂා මගේ මේසය දඩිබිඩියේ අස් කළා ය. අමෝද අයියා කේක් එක මේසය මත තබා දිනුක අතින් පිහිය ගෙන මට දුන්නේ ය. ඔවුන් සුබ පැතුම් ගී ගයද්දී මම කේක් කැපුවෙමි. මුල්ම කේක් කැබැල්ල ඊෂාට කලින් දිගු වූයේ අයියා ට ය. හිමල්ක ඇසක් සන් කළ ද මා ඔහු නොතකා ම ඊෂාට කේක් කැබැල්ලක් කැවූයෙමි.

” ඔන්න ගිෆ්ට් එක. ස්ක්‍රීන් ෂොට් ගහගෙන තියන් හිටිය ගවුම් වලින් තේරුවේ..”

ඊෂා සුපුරුදු දඟකාරිය වෙමින් ත්‍යාගය ඇඳ මත හැලුවා ය. පහුගිය දිනවල මා ගන්නට ආසා කළ ඇඳුම් එහි විය. ඈ තරමට මා ගැන විපරමින් ඉන්නා කෙනෙක් නැත. දිනුක පොත් කිහිපයක් මට තිළිණ කරද්දී හිමල්ක ඩ්‍රීම් කැචර් කිහිපයක් මගේ කාමරයේ එල්ලුවේ ය.

“අයියගේ තෑග්ග කෝ..”

ඊෂා අසද්දී මට ලැජ්ජාශීලි හැඟීමක් දැනෙන්නට විය.අයියා කිසිත් නොකියා සිනාවක් පැළැන්දේ ය.

“තෑගි නෑ.. කේක් එක ගෙනාවේ. අපි ඩිනර් අවුට් එකක් යං.අපි පස් දෙනා.”

“අයියෝ මොකක්දප්පා. ඔයා මහ කුණු ලෝබයෙක්නෙ.මං හිතුවා පිනීට නෙක්ලස් එකක්වත් ගෙනල්ලා ඇති කියලා..”

ඊෂා කියන්නේ සරදමටදැයි සැබෑවටදැයි තෝරා ගන්නට නොහැකි ව මා උඩ බිම බලද්දී අයියා නිහඬව ම කාමරයෙන් පිට විය.

“අයියට තරහ ගියාද..”

හිමල්ක අසද්දී දිනුක හිනැහුණේ ය.ඔහු අයියා ගියේ ඇයිදැයි දැන සිටින පාට ය. මේ මාස කිහිපය ඔවුන් වඩා සමීප සොයුරන් ද මිතුරන් ද බවට පත් කර අවසන් ය.

“මේක තමා පිනීට මං දෙන තෑග්ග. ඔයා කැමති වෙයිද නම් මන්දා..”

අයියා ඔසවාගෙන ආවේ ක්‍රමානුකූලව එතූ පින්තූරයක් වැනි යමකි.එය කුමක්දැයි බලන්නට ඊෂා මට උදව් විණි. රැපින් කඩදාසි අතරින් මතු වූ ත්‍යාගය මට ඇස් අදහා ගන්නට නොහැකි මට්ටමේ එකකි.

එහි වූයේ මගේ සිතුවමකි. කඳුකරයට වී පහළ මිටියාවත දෙස බැල්මක් හෙළමින් පසු වන මා වටා සීත මීදුම් එතී ඇත. මා එතරම් පියකරු දැරියකදැයි මට ම සැක ය.

“මේක මාර වැඩක්.. කවුද අයියා ආටිස්ට්? ෆේස්බුක් එකෙන්ද හොයා ගත්තේ..”

හිමල්ක අසයි.

“ඕක දවස් ගාණක් ඔෆිස් එකේ තියන් ඇන්දේ අයියා..”

දිනුක කියන්නේ මවෙත තියුණු බැල්මක් හෙළමිනි. මම ඒ බැල්ම මඟ හැරියෙමි.

“ඔය ඉන්නේ පිනී.. පිනි සේල වටකරගත්තු පිනී. ඔයාලා මලක් කියලා රැවටුණොත් එහෙම..”

අයියාගේ හඬ මතුව එද්දී මා රත් පැහැ වන්නට ඇත. මම ඔහු දෙස නොබලා ම “පිනි සේල පොරවා ගත් පිනී” දෙස බලා සිටියෙමි.

“මෙයා ඩ්‍රෝවින් නවත්තලානෙ හිටියේ. කාලෙකින් පටන් අරන් තියෙන්නෙ හරියටම හරියන චිත්‍රෙකින්. “

ඊෂා මා වැලඳ ගත්තා ය. ඇය මොනවා හෝ නොකියා හඟවන බව සැබෑවකි. මම ඇගෙන් දෑස් සඟවා ගතිමි.

“අපි පහළට ගිහින් විමලට කියලා කොෆී පාටි එකක් දාමු ද..?”

අයියා කතාව මඟ හැරී ය. ඔහු හිමල්ක සමඟ කාමරයෙන් පිට වූ පසු අත් පුරා තැවරුණු කේක් සෝදා ගන්නට ඊෂා මගේ නාන කාමරයට වැදුනා ය.

“පිනී…”

කාමරයේ ඉතිරි වී දිනුක මට ලොකු කතාන්දරයක් කියන්නට අර අඳින සෙයකි.

“සමහර දේවල් වෙන්න කොච්චර කල් යයිද මං දන් නෑ.. ඒත් වැඩකට නැති මිනිස්සු අමතක කරන්න කාලෙ ඇවිත්. උඹ සෑහෙන්න වටින ගෑනු ළමයෙක් කියලා අමතක වෙන ගාණේ ඔය චිත්‍රෙ දිහා බලපං. ඔය අමෝද අයියගෙ දවස් ගාණක මහන්සිය. කොල්ලෙක් එහෙම වටිනාකමක් දෙන්නෙ තමුංට වටින එකියෙක්ට විතරයි…”

විමලා සැදූ කෝපි තොල ගාන අතර ගලා එන සුබ පැතුම් වලට පිළිතුරු දෙමින් මා සිටියේ නොතේරුම් සතුටක ය.

” සුබ උපන් දිනයක් පිනී..”

බලා සිටි සුබ පැතුම මැසේන්ජර් පණිවිඩයක් ව පැමිණ නෙතේ ඇනෙන්නට විය.ස්තූතිය පිළි ගත් ඔහු අනතුරුව තවත් කතන්දර කියන්නට පටන් ගත්තේ ය.

“සර්ප්‍රයිස් පාටි දාන්නේ අපිට නොකියනෙ.මං දැක්කා ෆොටෝස්..”

මගේ කුඩා සර්ප්‍රයිස් පාටිය ඊෂා ෆේස්බුක් වෙත අප්ලෝඩ් කර ඇති බව මා දුටුවේ දැන් ය. මලිඳුට එය පවා ඇද හොයන්නට කාරණා ය.

“මං ඉන්නේ එයාලගෙ ගෙදරනෙ. අම්මලා නංගිලා නැති අඩුව එයාලා පිරෙව්වා..”

මලිඳුට වෙනදා තරම් හේතු දැක්වීම් නොකර හිඳින්නට මගේ සිත මට තරවටු කරමින් තිබිණ. එනිසා මම ඔහුට යළි පිළිතුරු නොදුන්නෙමි. ඔහු ද යළි කියවන්නට ආවේ නැත.

වඩා සුන්දර මොහොත එළැඹියේ හවස් යාමයේ ය.අමෝද අයියා අප රාත්‍රී භෝජන සංග්‍රහයක් වෙනුවෙන් සුන්දර අවන් හලකට ගෙන ගියේ ය. උපන් දිනය සුන්දර ලෙස ගෙවී යාමේ සතුට දරා ගෙන මා හුන්නේ ඇති තරම් සිනා සෙමිනි.

මලිඳුගෙන් එපිට ජීවිතයක් ඇති බව මට දැනෙන්නට පටන් ගැනීම සතුටකි. ඔහුගේ ප්‍රේමය උමතුවෙන් මෙන් ලුහු බැඳ ගිය මට අරමුණු සහ සිහින වෙත මා බලහත්කාරයෙන් හෝ රැගෙන යන මිතුරන් පිරිසක් දෛවය විසින් ලබා දී ඇත. ගැහැනු ළමයෙකුට ප්‍රේමයක් අවශ්‍ය ම නැත. වඩා තේරුම් ගත හැකි මිතුරු කැලක් හිඳීම සෑහේ. මේ මේසය වටා අසුන් ගෙන සිටින සිව් දෙනා මට අලුත් ලෝකයක් පෙන්වා දෙමින් සිටිති. මම ඒ මිත්‍රත්වයේ උණුසුමින් උණුසුම් වෙමින් සිටියෙමි. අපට කතා කරන්නට බොහෝ දෑ විය. බෙදා ගන්නට බොහෝ දෑ විය.

අවන් හලේ සමහරකගේ අවධානය එක පසෙකට යොමු වෙන හැටි මුලින් ම දුටුවේ මා ය. නමුත් ඒ ඇයිදැයි වටහා ගත්තේ ඊෂා ය.ඇගේ මුහුණ අමුතු වූ මුත් අමෝද අයියා කිසිත් නොකියා හිස් බැල්මෙන් එදෙස බලා සිටියේ ය.

“අර ඇක්ට්‍රස් නේද?”

හිමල්ක කිසිවක් දැන නොසිටියා නොවේ. ඔහු තත්ත්වය සාමාන්‍ය කරන්නට වෙර දැරී ය.

“ඒ අනිත් මනුස්සයත් ඇක්ටර් කෙනෙක්නෙ..”

අමෝද අයියා කිසිත් නොවූ ගාණට ආහාර ගන්නා ගමන් පැවසී ය. අනතුරුව මදෙස බැලී ය.

“ඔන්න ඕකනෙ මං පිනීට එදා ටීවී එක ඔෆ් කරන්න එපා කිව්වෙ.. අපිට ප්‍රශ්න වලින් ලේසියෙන්ම පැනලා යන්න බෑ.මෙහෙම ඇවිල්ලා ඇහේ හරි ඇනෙනවා..”

මට කියන්නට දෙයක් තිබුණේ නැත. නමුත් තිවංකිගේ දිස්නය දෙන රුව සමඟ ඉතා සාමාන්‍ය යුවතියක වූ මගේ පෙනුම සසඳමින් මම ඇය දෙස බලා සිටියෙමි.

අප අවන් හලෙන් පිට වන තුරුම තිවංකිත් ජනප්‍රිය නළුවෙකු වූ තාරකත් එතැනින් නික්ම ගියේ නැත. ඇය අප දකින්නට ඇති බව මට සිතිණ. නමුත් අතීතය සිහි නොකර සිටීමට ඇයට හැකි නම් අමෝද අයියාට ඉක්මනින් හිත හදා ගන්නට හැකි නොවන්නේ ද?

රිය අංගනය පැමිණි පසු අමෝද අයියා හිමල්කට ඇමතී ය.

“මල්ලි.. ඔයාට කරදරයක් නැත්නම් නංගිලා දෙන්නව ගෙදරින් ඩ්‍රොප් කරන් යනවද.. මට යාලුවෙක් මීට් වෙන්න යන්න ඕනෑ..”

“ඔයා කොහෙ යන්නද?”

ඊෂා කඩා පැන්නා ය.

“මං මාලකව මීට් වෙලා එන්නං චූටි. හිමල්කගෙ කා එකෙන් ඔයාලා ගෙදර යන්න. දිනුකව මං බස්සගෙන යන්නං..”

හිමල්ක සමඟ රාත්‍රියේ ගමනක් යාම බියට කරුණක් නොවේ. නමුත් අයියා සිටින්නේ දුකක බව මට දැනෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles