නාසි වධකාගාරයකින් සොයාගත් අද්භූත බෝනික්කා

බෝනික්කෝ කිව්වම ලොකු , පොඩි වෙනසක් නැතුව ගෑණු ළමයි හැමෝම ආදරේ කරන දෙයක් නේ. ඇස් නටවන, ඇස් කරකවන, එක එක ජාතියේ බෝනික්කෝ ගොඩක් ඔයාලාටත් අනිවාර්යයෙන්ම ඉන්න ඇති.තවමත් ඇඳේ කොනකට වෙලා තනි රකින රෙදි බෝනික්කෝ එහෙමත් ඔයා ළඟ ඇති. පොඩි කාලේ සෙල්ලම් කරපු බෝනික්කෝ දැන් සමහරවිට හොයාගන්නත් නැතිව ඇති. සමහර බෝනික්කෝ නම් අල්මාරි උඩ තියලාත් ඇති. ඔය කොහොම වුනත්, ඔයාලා බෝනික්කෝ ගැන තියෙන්නේ හරිම සෞම්‍ය ආකල්පයක් නේ නේද ? හැබැයි අද අපි මේ කියන කතාවේ බෝනික්කා ගැන නම් ඔයාට එහෙම හිතෙන එකක් නැහැ.

අද්භූත බෝනික්කාගේ වියරුව

අනූව දශකයේ කෙනෙක් නම් ඔයා, පොත් කියවන්න පොඩි හරි කැමැත්තක් තිබුණ කෙනෙක් නම් ඔයා, අනිවාර්යයෙන්ම ඔයාට මුණ ගැහිලා ඇති “අද්භූත බෝනික්කාගේ වියරුව” කියන මෙන්න මේ පොත. ඒ පොත කියෙව්වාම නම් බෝනික්කෝ ගැන ආදරේ හිතෙන එක නැවතුනා නේ නේද? ඇනබෙල් බෝනික්කා, රොබට් ඩෝල්,ලෙටර් ඩෝල් වගේබය හිතෙන බෝනික්කෝ ගැන නම් ඔයාලා අහලාඇති. අද මෙ කතාවෙත් ඉන්නේ අන්න ඒ වගේ බය හිතෙන , ඒත් ඔයාලා මීට කලින් අහලා නැති බෝනික්කෙක්.

වීදුරු පෙට්ටියක හිර කරලා

ප්‍රේඩින් කෞතුකාගාරයේ තියෙන, ලේසියෙන් බිඳින්න බැරි වීදුරු කුටියක, දම්වැල් දාලා හිර කරපු බෝනික්කෙක් ඉන්නවා කිව්වොත් ඔයාට් ඒක විශ්වාස කරන්න පුළුවන් ද ? බෝනික්කෙක් කිව්වට බෝනික්කාගේ හිස කොටස තමයි මේ විදියට වීදුරු පෙට්ටියක හිර කරලා කෞතුකාගාරයේ තැන්පත් කරලා තියාගෙන ඉන්නේ.

මිස්ටර් ප්‍රිස්

මිස්ටර් ප්‍රිස් කියන්නේ අපේ කතාවේ බෝනික්කාගේ නම. එක්සත් රාජධානියේ ඉන්න මයිකල් ඩයමන්ඩ් කියන අද්භූත වස්තු එකතු කරන පුද්ගලයාට තමයි මේ බෝනික්කව ලැබිලා තියෙන්නේ. ඒ යුධ හමුදා කඳවුරක තිබිලා. දෙවෙනි ලෝක යුද්ධය තිබුණ කාලේදි නාසි වධකාගාරයක දුක් විඳලා මැරිලා ගියපු ඇමරිකානු හිරකාරයෙක් තමයි මේ බෝනික්කා හැදුවා කියලා කියන්නේ. බෝනික්කාගේ කඳ කොටස් විනාශ වෙලා ගිහින්, හිස කොටස විතරයි මයිකල් ඩයමන්ඩ්ට ලැබිලා තියෙන්නේ.

අද්භූත සිදුවීම්

මයිකල් කියන්නේ අද්භූත වස්තූන් එකතු කරන්න බොහොම ආස කරන කෙනෙක් බව අපි කලින් කිව්වනේ. ඉතින් ඒ හින්දාම ඔහු මේ බෝනික්කාවත් ඔහුගේ එකතුවේ අනෙක් වස්තූන් එක්ක තියලා තියනවා. හැබැයි, හැමදාම රෑට එක දිගට සිද්ද වෙන යම් යම් නොගැලපෙන කාරණා නිසා මයිකල් ලොකු වීදුරු පෙට්ටියක් හදලා ඒ වීදුරු පෙට්ටියේ මේ බෝනික්කාගේ හිස දාලා තියනවා. රෑට නිදාගන්න කලින් පෙට්ටිය හොඳින් වහලා අඟුලු පවා දැම්මත්, පහුවෙනිදා නැගිටිනකොට වීදුරු පෙට්ටියේ දොර ඇරලයි තියෙන්නේ. මේ සිදුවීම පැහැදිලි කරගන්න ඕනි නිසාම, සැප්තැම්බර් මාසේ එක දවසක මයිකල් රෑ නිදාගන්න කලින් ඔහුගේ කුඩා වීඩියෝ කැමරාව ක්‍රියාත්මක කරලා වීදුරු පෙට්ටියට ඉස්සරහින් තියනවා.

කතා කරන බෝනික්කෙක්

පහුවෙනිදා උදේ නැගිටලා වීඩියෝ දර්ශන පරික්ෂා කරන මයිකල් පුදුමයෙන් සලිත වෙනවා. මධ්‍යම රැයේ දොළහ පහු වුණ ගමන්, බෝනික්කාගේ ඇහි පිය ගහනවා පේනවා. තොල් සෙළවෙනව පේනවා. ඒ විතරක් නෙවෙයි, අඟුලු දාලා තිබුණ දොරේ අඟුළු ගැලවිලා එක පාරටම දොර විවෘත වෙනවා.

“රෑට වහන දොර , උදේට ඇරිලා තියෙන නිසා මම විහිලුවට වගේ ඒක වීඩියෝ කරන්න හිතුවේ. ඒත් මේ සිදුවෙන දේ දැක්කම මට හිතාගන්න බැහැ…

මේ සිදුවීම ගැන මාධ්‍යට මයිකල් කියන්නේ එහෙම දෙයක්.

මේ සිදුවීමෙන් පස්සේ බෝනික්කා උන්න වීදුරු කුටිය වටේ දම්වැල් දාලා තදින් බඳින්න මයිකල් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ බෝනික්කාගේ හිස එක්ක වීදුරු පෙට්ටිය ෆ්‍රීක් රූම් කියන විශේෂ කාමරයක් ඇතුළේ තැන්පත් කරන්නත් මයිකල් කටයුතු යොදනවා. ඉන් පස්සේ බෝනික්කාගේ කිසිම වෙනසක් දැක්කේ නැහැ කියලා තමයි මයිකල් නම් කියන්නේ.

කොහොම වුනත්, මේ නාසි වධකාගාර බෝනික්කා ඇරුනම ලෝකේ පුරා තැන් තැන් වලින් අද්භූත බෝනික්කෝ ගැන කතන්දර නම් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේ බෝනික්කන්ගේ අද්භූත කතන්දර හිතලු කියලා බැහැර කරන්නත් අපිට බැහැ.

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles