රාත්‍රිය චිත්‍රයක් බඳු සන්සුන් බවක් ගත්තේ ය. අඹ ගහේ එක කොළයක් හෝ හෙළවුණේ නැත. චලනය වන යමකට වී නම් ඒ කලබලයෙන් මග හෙළි කර ගෙන එහෙ මෙහෙ යන කණාමැදිරියෙක් ම පමණි. අඹ ගහ යට බංකුව මත ඉදි වූ පිළිමයක් සේ අවකාශය දෙස බලා ගෙන, පළිඟු මෙතැන ඉන්නේ බෝ වෙලාවක සිට ය.
සියල්ල මායවකැයි ඇය සිතුවා ය. අප මේ ගාල කඩා ගෙන දුවන්නේ කුමක් පස්සේ ද? ඒ දිවීමෙන් අපට හිමි වන්නේ කවරක් ද? බොහෝ විට හති වැටීම පමණක් විය හැක. ජීවිතයක් කියා දෙයක් ලැබී තියෙන්නේ එහෙම දුවා හති වැටී අන්තිමේ විඩා පත් ව මිය යන්න ද? ජීවත් වන්නට තියෙන ටික කාලය සතුට හා සැනසුම සොයා ගනු වස් වැය කිරීම වඩා උචිත යයි හදිසියේ ම ඇය ට සිතිණි. පළිඟු ඉක්මනින් කිසල් ගේ දුරකතනය ට ඇමතුමක් ගත්තා ය.
“හෙලෝ”
ඔහු ගේ හඬෙහි නිදිමත ගතියක් විය. කිසල් හිටියේ ඇඳ බදා ගෙන අලස සුවයේ කිමිදෙමිනි.
“අපි මේක නවත්තමු. මට ස්කොල් එක ඕන නෑ”
නිදි මත කොහේ අතුරුදන් වූවාද කියා කිසල් දන්නේවත් නැත. ඔහු ඇඳෙන් බිමට පැන දෙපයින් සිටගෙන සිටියේ ය.
“ආ යූ මෑඩ්…මොනාද මේ කියවන්නෙ…”
“ඔව් කිසල්. මට මේක කරන්න ඕන නෑ”
“මේ හලෝ. දැං ඒක කියල හරියන්නෙ නෑ හරිද”
කිසල් ගේ කේන්තිය ඉහ වහා ගොස් තිබුණේ ය.
“මං බලෙං මේක කරන්න කිව්වෙ නෑනෙ. මං කිව්වෙ කැමතිද බලන්න කියල විතරයි. තමුංනෙ මට කතා කරල කැමතියි කියල කිව්වෙ. ඇග්‍රිමන්ට් එක කඩනවනං ඒ මං කැමති දවසක විතරයි. ඒක තීරණේ කරන්න දැං ඉතිං තමුන්ට බෑ”
ඉකි ගසා හඬන්නට පළිඟු ට සිතිණ. නමුත් ඕ නො හඬා දරා ගත්තා ය. එම දරා ගැනීම තුළ ඇය ගොළු ගැහී ගිය බවක් ද පළිඟු ට දැනිණ. දුරකතනය කනේ තියා ගෙන සිටියා ට කතා කරන්නට එක වචනයක් හෝ හිතට ආවේ නැත. බැණගෙන යාමෙන් පසු කිසල් වේගයෙන් හුස්ම ගන්නා හඬ පමණක් දුරකතනය ඔස්සේ ඇසිණි.
ටික වෙලාවක් නිහඬ සම්බන්ධතාවයක රැඳී උන් කිසල්, අන්තිමට සුසුමකින් කතා කළේ ය.
“ඇයි දැං හදිස්සියෙ එහෙම හිතුවෙ…අක්ෂි මොකක් හරි…”
“නෑ නෑ එයාගෙ කිසි සම්බන්ධයක් නෑ ඒකට”
කිසල් අහන්නට ගිය දේ පවා සම්පූර්ණ කරන්නට නොදී පළිඟු මැද්දෙන් පැන්නා ය. ඇගේ කට හඬ වෙව්ලන බවක් කිසල් ට දැනිණ.
“එහෙනං…”
ඔහු වඩාත් මුදු ලෙස කතා කළේ ඇය කේන්තියෙන් හෝ දුකෙන් හිඳින බව ඉවෙන් වාගේ දැනුණ නිසාවෙනි.
“මුකුත් නෑ”
පළිඟු මුරණ්ඩු ලෙස කීවා ය. මේ වෙලාවේ තව මොනවා දෙඩුවත් ලොකු ප්‍රයෝජනයක් නො ලැබෙන බව වටහා ගත් කිසල් නිහඬ වූයේ හෙට සරසවියේ දී ඈ හා කතා කරන්නෙමැයි සිතා ගෙන ය.
නමුත් උදා වූ දිනයේ පළිඟු සරසවි බිමෙහි දැකිය හැකි වූයේ, පහු ගිය රාත්‍රියේ කිසිත් නො වුණා වැනි නැවුම් ප්‍රබෝධයකිනි. ඇගේ ඇස් වල දීප්තිය වෙනදා වගේ ම වන බව කිසල් දුටුවේ ය. ඒ සිනහවේ ප්‍රභාව ද නො වෙනස් ව පැවතිණ. ඒ හින්දා ම කතාව කොතැනින් අරඹන්නද කියා වුව කිසල් ට සිතා ගත හැකි නො විණ. නමුත් විවේකයේ දී භෝජනාගාරයට ගිය වෙලාවේ පළිඟු ගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ඔහු සිතා සිටියේ ය.
“මං මොනාහරි අරං එන්නං”
“එපා”
පළිඟු වහා කීවා ය.
“ඔය තරං ජන්ක් ෆූඩ් ගිලලයි බොට්ල් ඩ්‍රිංක්ස් බීලයි වෙනම ලෙඩක් හදා ගන්නව. මං ගෙදරිං කෑම අරං ආව. බත්.”
“මටත් එක්ක…”
“නැතුව ඉතිං…මේ ඇක්ට් කිරිල්ල ඉවර වෙනකල් මට තනියම කන්න විදිහක් නෑනෙ”
කිසල් පුටුවක් ඇද හිඳ ගත්තේ රිදුණු හිතකිනි. පළිඟු බත් පත දිග හැරියත්, කෑම කන උනන්දුව කිසල් වෙතින් පළා ගියා සේ ය.
“මට තේරෙනව. ඔයාට දැං මේක වදයක් වෙලා ඇති. ඒත්…”
“හරි හරි දැං කාල ඉන්න”
“පුළුවන් තරං ඉක්මනට ඔයාව නිදහස් කරන්නං”
“කෝ උතුම් අයිය…මං ඔය දෙන්නටම එක්කයි කෑම බෙදං ආවෙ”
පළිඟු ගේ සිතේ උතුම් පිළිබඳ අදහසක් වේ දැයි වහා ම කිසල් ට සිතිණ. එසැනෙන්, එදා උතුම් කී කතාව, කිසල් ගේ මව් වන මොරින් ගේ බලපෑමට පළිඟු ලක් විය හැකි නිසා ඇගෙන් ඈත් වී ඉන්නයි උතුම් කී කතාව කිසල් ට සිහි විය.
“ආ අර එන්නෙ. එන්න එන්න. අද බත් කමු”
පළිඟු සිනා වතින් උතුම් ට ආරාධනා කළේත් මොන තරම් උනන්දුවෙන් ද? ඇතැම් විට ඔවුන් ගේ සිත් වල උනුන් වෙනුවෙන් හැඟීමක් ඇති ව තිබෙනවා විය හැකැයි කිසල් සිතුවේ ය.
“මොකද මූ මූණ දෙක කර ගෙන…දෙන්න වලියක්වත් දාගත්තද…”
උතුම් කිසල් ගේ මූණේ වූ වෙනස වහා දුටුවේ ය. නමුත් එවැන්නක් නො හඟවන්නට කිසල් උත්සාහ කළේ ය.
“පිස්සුද බං…මොන වලිද…”
“උඹටනං ඉතිං දෙයියනේ කියල මොනවයිං අඩුපාඩුද…”
කෙසෙල් කොළයේ එතූ සුවඳ හමන බත් පතට උතුම් අත තැබුවේ එහෙම කියමිනි.
“ඇයි…”
“ඇයි කියන්නෙ බං…පොළොස් ඇඹුලයි ගොටු කොළ සම්බෝලයි චිකනුයි එක්ක කෙසෙල් කොළේට ගෙදර උයපු බත් බැඳං එන්න කෙල්ලෙක් අපිට කොහෙන්ද ඉතිං…”
“ඉතිං උඹට ජෙලස්ද…”
පළිඟු වහා නෙතු ඔසවා බැලුවා ය. කිසල් ගේ මූණේ ඒ මොහොතේ තිබූ ඒ හැඟීම වෙන කිසිදු වෙලාවක ආයේ දැකිය හැකි නො වනු ඇතැයි ඇය ට සිතිණ. අඩවන් බැල්මත්, ලා සිනහවත්, ආඩම්බරකාර බවත් එකට කැළතුණ විට එතැන ඉපිද තිබුණේ අමුතු ම කතාවකි. ඒ කතාව තේරුම් ගැනීමේ උත්සාහයක් ගනිමින්,ඔහු ගේ කොපුල් මත තද කොළ පාටින් මෝදු වී ඇති රැවුල් කොට දෙස බලා සිටියදී කිසල් සිය බැල්ම වෙනතක හරවා ගත්තේ ය.
“අනේ ජෙලස් නං නෑ. උඹට හරි ගියා කියන්නෙ ඉතිං මට හරි ගියා කියන එකනෙ”
“එහෙම කොහොමද…බත් බැඳල ගෙනත් දෙන කෙල්ලෙක් උඹටම කියල හොයාගනිං”
“ආ ඒ කියන්නෙ පළිඟු ගේන බත් මට කන්න එපා කියලද…”
“නෑ නෑ කන්න පුළුවන්. හැබැයි කෙනෙක් හොයාගන්නකං”
මිතුරන් දෙදෙනා ගේ කතා බහ කන වැකුණත්, පළිඟු ගේ සිත්හි ඒ කිසිත් නො රැඳුණේ ඇය කිසල් ගේ බැල්ම තුළ තව දුරටත් අතරමං ව සිටි නිසාවෙනි.
“අනේ…මගෙ සෙරෙප්පු දෙක නෑ”
කෑම කා නිම වීමෙන් පසු අත සෝදා ගනු පිනිස නැගිටින්නට ගිය පළිඟු ට කියවිණ. මේ ආයතනයට එන බොහෝ ගැහැනු ළමයින් සිය ඇඳුම් ආයිත්තම් ගැන විශේෂ උනන්දුවක් දැක්වූවත්, පළිඟු ඒ ගැන ඒ හැටි සැලකිලිමත් වූයේ නැත. කොහොමටත්, කවදටත් ඈ සරල වූවා ය. ඩෙනිම් කලිසම හා ටී බැනියමත්, රබර් සෙරෙප්පු යුගලත් ඇයට වඩා සුවපහසු හැඟීමක් දනවන ලදී. කෑම කත්දී රබර් පාවහන් වලින් මුදා ගත් දෙපා ඇය මේසයේ දෙපා තබන දාරයෙහි තියා ගත්තා ය. සෙරෙප්පු අතුරුදන් ව ඇත්තේ ඒ වෙලාවේයි.
පළිඟු සේ ම කිසල් හා උතුම් ද වට පිට විපරම් කරමින් පාවහන් යුගල සෙවූහ. නමුත් එය පේන මානයක වූයේ නැත. යාබද මේසයක තවත් යුවතියන් දෙදෙනෙකු සමග හිඳ සිටිනා අක්ෂි ගේ මූණේ වූ හංගා ගත් සිනහව හැඳින ගන්නට කිසල් අපොහොසත් වූයේ නැත. ඔහු සිතුවා සේ ම මේ වැඩේ කළේ ඇයයි. ඇගේ කාණ්ඩයේ කෙල්ලන් ලවා රහසිගත ලෙස මේස යටින් ගෙන්වා ගත් පාවහන් යුගල ඇය කුණු බාල්දියට එබුවා ය. පළිඟු අපහසුතාවයට පත් වීම මත කිසල් රිදවීම අක්ෂි ගේ අරමුණ වූයේ ය.
“පව් අප්ප…කට්ටිය හැට් කලෙක්ෂන් එකක් දාලවත් රබර් ස්ලිපර්ස් දෙකක් අරං දෙමුද ළමයි…”
අක්ෂි ගේ සමච්චලයෙන් සැබවින් ම රිදුණේ පළිඟු ට නොවේ. ඇය ඔය වාගේ බාල පළිදැරීම් වලින් සැලෙන විදිහේ කෙල්ලක නොවේ. අනික සෙරෙප්පු නැතිව හෝ මහ පාරේ වුව ඇවිදිය හැකි තරම් ඇගේ දෙපා ශක්තිමත් ය. ඒවා වූ කලී විල්ලුද මත ඇති දැඩි වූ ලා රෝස පාට සිනිඳු දෙපා නොවේ. නමුත් කිසල් ට රිදී තිබිණි.
“මේක දාගන්න”
ඔහු කාටත් පේන්නට සිය පාවහන් ගැලවූයේ ය. බොහෝ දින වල සපත්තු දැම්මත්, අද අහම්බෙන් ඔහු සෙරෙප්පු දමා විත් තිබිණි.
අක්ෂි ගේ පමණකුදු නොව භෝජනාගාරයේ වූ හැම කෙනෙකු ගේ ම නෙත් කිසල් හා පළිඟු වෙත හැරවිණ.
“එපා. මට සෙරෙප්පු නැතුව ඇවිදින්න පුළුවන්. ඔයා දාගන්න”
ඒ තමන්ගේ හඬ ද කියා පළිඟු ට වුව විශ්වාස කර ගත නො හැකි වූයේ ය. ඒ ස්වරය එපමණට ම මුදු මෙළොක් විණි. නමුත් කිසල් ඈ වෙතට හෙළුවේ දැඩි බැල්මකි.
“කිව්වහම අහල මේක දාගන්නවද…”
ඒ හඬ ඒ තරම් උස් නො වූවත්, ඒ වෙලාවේ භෝජනාගාරයේ වූ දැඩි නිහඬ බව නිසා කාටත් ඒ විධානය ඇසිණ. පළිඟු සසැලී ගියා ය. ඔහු ට අවනත නොවී ඉන්නට බැරි තරමට ඒ අණ කිරීම ඈ කෙරේ බලපෑවේ ය. යුවතිය හෙමිහිට සෙරෙප්පු දෙකට කකුල් ඔබා ගත්තා ය. ඒවා බාච්චු සේ ඇයට ලොකු ය. නමුත් කකුල් අද්ද අද්දා ඈ ජල නලය වෙත ගියා ය. ගේ ඇතුළේ වත් සෙරෙප්පු නැතිව නො ඇවිදින කිසල්, කිසි වගක් නැතිව නග්න දෙපයින් පළිඟු ළඟින් පිය තැබුවේ ය. මුළු භෝජනාගාරය ම බලා උන්නේ හුස්ම ගන්නේ වත් නැතිව ය.
පළිඟු ට දැනුණේ මින් පෙර කිසි දා ඇය ට දැනී නැති විදිහේ හැඟීම් සමුදායකි. හිස වඩාත් බිමට හරවා ගෙන භෝජනාගාරයෙන් නික්ම යත්දී, ඇසින් ගිලිහුණ කඳුළක් ‘ටක්’ ගා ටයිල් පොළොව මතට වැටුණේ ය. උතුම් ඇගේ මූණට එබුණි. පළිඟු ‘මුකුත් නෑ’ කියන්නට හිස දෙපසට සැලුවා ය.