අගනුවරට සමීප නගරයක පිහිටි නිහඬ නිස්කලංක නිවාස සංකීර්ණය නංගීත් මමත් මතක ඇති කාලයේ පටන් හැදී වැඩුණු තැන ය. ඉතා සන්සුන් සහ වැදගත් අසල්වැසියන් පිරිසක් මැද ගෙවී ගිය ඒ කාලය සුන්දර ය.සෙල්ලම් කරන්නට ඕනෑ තරම් මිතුරන් සිටිය ද මට සමවයස් මිතුරියක ලැබෙන්නේ තුනේ පන්තියේ උගනිද්දී ය. තාරුකා සහ ඇගේ පවුලේ අය අපේ අසල්වැසියන් වන්නේ ශිෂ්‍යත්වය මහ ඉහළින් සමත්ව රාජකීය විද්‍යාලයට ආ තාරුකාගේ අයියාව පාසල් නේවාසිකාගාරයේ නොනවත්වා ඔහු වෙනුවෙන් ගෙයක් මිලට ගන්නට තීරණය කළ තාරුකාගේ තාත්තාගේ තීරණය නිසා ය.
මට යාන්තම් වයස අටක් වෙද්දී ලැබුණු අසල්වැසියා මේ කෙටි ජීවිතයේ මා දුටු ආදරණීයම පිරිමියා ය.
දේවක අයියා අප සමඟ සෙල්ලම් කරන්නට ආවේ නැත. නමුත් ඔහු අපට සෙල්ලම් ගෙවල් සාදා දුන්නේ ය. අයිස්ක්‍රීම් රථයෙන් අයිස්ක්‍රීම් මිලට ගන්නට ගේට්ටුවෙන් පිටතට නංගීත් මමත් කඩා බිඳගෙන දුවන්නට පෙර “දේවක අයියා ඉන්නවද බලන්න” කියමින් අම්මා නංගීටත් මටත් කෑගැසුවා ය.ඔහු අපේ ආරක්ෂකයා විය.තාරුකාගේ අයියා නංගිගේත් මගේත් අයියා වන්නට මහ කාලයක් ගියේ නැත.
නමුත් කුඩා දැරියක කාලයේ සිට මට වඩා තදින් දැනුණු හැඟීමක් විය. ඔහු මා කෙරේ විශේෂ හැඟීම් ඇත්තෙකි. පේර ගසට නැග ගෙඩි කඩා නංගිලාට බෙදද්දී ඔහු මා අත වඩා ඉදුණු ගෙඩිය තබන්නට අමතක කළේ නැත.පාසල් වැඩ පටලාගෙන නාහෙන් අඬන තාරුකාට බැන වැදුණ ද ඔහු මගේ පාඩම් වැඩට උදව් දෙමින් ඔහුගේ හෝම් වර්ක් මඟ හැර ගත්තේ ය. අම්මා උදෑසනක දුටු පැල්ලමක් නිසා ගේ මුල්ලක සිර වූ මගේ තනි රැකීම තාරුකාත් නංගීත් බාර ගත් පසු කාමරයේ ජනේලයෙන් මෙපිටට වැටුණු හැම චොකලට්ටුවකම අයිතිකාරයා ඔහු ය.
ඉතින් මා උසස් පෙළ පන්තියේ උගන්නා සන්දියේ දී සරසවි සිසුවෙකු දේවක අයියා ගෙන ආ ප්‍රේමාරාධනාව මා බොහෝ කල් මඟ බැලූ දෙයකි. වඩා ප්‍රීතියෙන් පිරී යන්නට හේතුවකි.ඒ ආදරයට කිසිම බාධාවක් වූයේ නැත. දේවක අයියාගේ අම්මාගෙන් ඒ ගැන දැනගත් අම්මා මට කිසිදු තරවටුවක් කළේ නැත.ඔහු අනුව ගොස් හොඳින් ඉගෙන ගන්නට උපදෙස් දුන්නා පමණ ය. වසර ගණනාවක් ගෙවී ගියේ සතුටිනි, සැනසිල්ලෙනි.
ඒ මගේ විසිතුන් වැනි විය උදා වූ දවස් ය. සරසවියේ සිටියදී ම විවාහයට සූදානම් වෙමින් හුන් අල්පයක් සිසුවියන් අතර මා ද විය. අල්ලපු ගෙදර පදිංචියට යන්නට මට තිබූ හදිසිය ගැන සරදම් කරන තාරුකා ද නංගී ද හැර ඒ සතුට යන්තමින් හෝ පළුදු කරන්නට කිසිවෙකු වූයේ නැත.
මම එසේ සිතා හුන්නෙමි. ඒ මූසල හවස් වරුව තෙක් එසේ සිතා හුන්නෙමි. දේවකගේ නිවස ඉදිරිපිට නැවතුණු පොලිස් රථය එන්නට හේතුව බලන්නට ගිය අපේ තාත්තා තාප්පයෙන් හිස තබා ගන්නා අයුරු දුටු මා හුන් තැනම ගල් ගැසී ගිය අතර තාරුකාත් ඇගේ අම්මාත් නගන අඳෝනාව නිහඬ නිවාස සංකීර්ණය සසල කළේ ය.සියල්ල ඉක්මනින් සිදු වී අවසන් විය. නිවස ඉදිරිපිට ඇති සුදු කොඩි මගේ හදවත මැද ඉදි වූ සෙයකි. අම්මා, නංගී සහ තාරුකා මොනතරම් ඉල්ලීම් කළ ද මම රිය අනතුරකින් මිය ගිය මගේ දේවක බලන්නට නොගියෙමි. එදින උදෑසන මා සරසවියෙන් හැරලවා යන්නට ගිය ඔහුගේ හිනැහෙන දෑස මතක තබා ගන්නට මට ඕනෑ විය. එදා කම්මුලක තැවරුණු ඔහුගේ සුසුමක උණුසුම මතක තබා ගන්නට මට ඕනෑ විය.ඔහුගේ හඬ මතකයේ තබා ගන්නට මට ඕනෑ විය.ඉතින් ඒ නිසල සිරුර බලන්නට මට ඕනෑ වූයේ නැත.
අනතුරුව කාලය ගලා ගියේ කාලයට ඕනෑ වූ නිසා ය. ඉගෙනීම අවසන් කර උපාධිය ලබා ගැනීම, රැකියාව ලබා ගැනීම සිදු වූයේ කාලය සමඟ ඔහේ ගලා ගිය බැවිනි.දේවකගේ හිස්තැන පුරවන්නට සැබෑ ප්‍රේමයෙන් ද වංචාවෙන් ද ඉදිරිපත් වූ සරසවි සගයෝ මිතුරුදම් ද අහිමි කර ගත් හ. සෑම මොහොතකම කිචි බිචි කියවිල්ලට පුරුදු ව සිටි මම දේවක ගිය දා පටන් හැසිරුණේ වචන මිලදී ගත යුතු සහ අරපිරිමැස්මෙන් පාවිච්චියට ගත යුතු දෙයක් හැටියට ය.
“අක්කි..තරිඳු මැරි කරලා එයාගේ තාත්තා ගාවට යං කියනවා.එයා ලංකාවේ ඉන්න ආස නෑනෙ.අපි ඔයාට කලින් මැරි කරාට ඔයා තරහ නෑනෙ…”
නංගී දිනක් මගෙන් ඇසුවේ පරිස්සම් කටහඬකිනි.
“මං කවුරු මැරි කරන්නද නංගි…”
එදා මා එසේ පැවසුව ද අම්මා නංගිගේ විවාහයෙන් පසු සෑම තත්පරයක් ම වැය කළේ මට මනමාලයන් සොයන්නට ය.නමුත් හඬා වැළපීමත් රණ්ඩුවක් ඇති කර ගැනීමත් ඒ හැම යෝජනාවක් ම ප්‍රතික්ෂේප කර දමන්නට මම යොදා ගතිමි.
“මං දන්නවා රත්තරනෙ ඔයාට හිත හදා ගන්න බෑ කියලා. ඒත් මගෙ දුව ඔහොම ඉන්න එකෙන් මගේ කොල්ලගෙ ආත්මෙටවත් සැනසීමක් නෑනෙ.. අම්මලා ගේන හොඳ යෝජනාවකට කැමති වෙන්න පුතේ..”
දේවකගේ වියෝවෙන් පසු පවුලේ අය අපේ අසල්වැසි නිවස හැර ගිය ද දේවකගේ අම්මා මේ හදිසියේ මා දකින්නට විත් එසේ පැවසුවා ය.බොහෝවිට ඇගේ වචන පිටුපස අපේ අම්මා හිඳින්නට ඇත.නමුත් මා “අම්මලාට ඕන එකක්” වෙන්නට හැර මගේ පාඩුවේ හිඳින තරමට සන්සුන් කරවූයේ ඇගේ වචන ය.
සංකල්ප අම්මලාගේ තෝරා ගැනීමකි. දේවක ගැන ආදරය එහෙමම හදවතේ තබා මා සංකල්පගේ බිරිඳ වූයෙමි. කලකට ඉහත දේවක සමඟ ගෙවන්නට සිහින මැවූ ජීවිතයෙන් අල්පයක් නොලැබුණ ද මම අම්මලා සතුටට පත් කළ දියණියක වූයෙමි.
“නංගිට ලැබෙන්න ඉන්නේ ට්වින්ස්ලාලු පුතේ..”
මා විවාහ වූ අලුත අම්මා මා බලන්නට පැමිණ පැවසුවා ය.ලොකු අම්මා වූ ප්‍රීතියෙන් ඔද වැඩුණු මගේ හදවත කැබලි වලට කඩා දමන තීරණය අම්මා ඉන්පසු හෙළි කළා ය.
“තරිඳු කියනවා නංගිව බලා ගන්න අපිට එහෙ එන්නලු. තරිඳුට අම්මා නෑනෙ ලොකු පුතේ.මං විතරක් ගියොත් තාත්තා පාලුවට ලෙඩ වෙයි. ඔන්නොහෙ අපි දෙන්නම යන්න කියලා.. ඔයාට දැන් සංකල්ප ඉන්නවනෙ..”
කෑගසා හඬන්නට ඕනෑ වුව ද මම නොහැඬුවෙමි.මා සහමුලින්ම තනි වූ බව සිතමින් වැළපෙමින් දවස් ගෙවූ මා හඬන බවවත් සංකල්පට වැටහුණේ නැත. නොනවත්වා වැඩ කරන, තවතවත් විභාග ලියන ඔහු මා වැළඳ ගත්තේ ආදරයෙන් බව නොදැනුණා නොවේ.නමුත් වසර ගණනකට පෙර කම්මුලක තැවරුණු දේවකගේ සුසුමක වූ උණුසුම තරම් ඔහු උණුසුම් හෝ ආදරණීය නැති බව හදවත මොර ගසද්දී මම හැඟීම් නොදැනෙන ගැහැනියක වූයෙමි.
අම්මාත් තාත්තාත් රට හැර යන්නට යාම ගැන වැලපෙමින් සිටි මා ලෙඩින් වැටුණේ හදිසියේ ය.නොකා නොබී ඉන්නා මට ඉහළම අවන්හලකින් කෑම ඕඩර එවීමත් චැනල් කර ඇති වෛද්‍යවරයා වෙත යන්නට මතක් කර කෙටි පණිවිඩ එවීමත් සංකල්ප මඟ හැරියේ නැත. නමුත් මට උවමනා වූයේ හිස අත ගාමින් ළඟ රැඳෙන්නෙකි. බලහත්කාරයෙන් වාහනයට දමාගෙන වෛද්‍යවරයා වෙත රැගෙන යන්නෙකි. ලෝචනා පැමිණ බැන අඬගසමින් සුප් උගුරු පොවද්දී මා නොනවත්වා වමනය කිරීම ඈට සැක උපදවී ය.
“ඔය නං අම්මලා ගිය ස්ට්‍රෙස් එකක් නෙවේ.චෙක් කරලා බලමු.”
ඈ මා අත තැබූ දේ මා අතට ගත්තේ ඕනෑ එපාවට ය. එහෙම නොවන වග සහතික කරමිනි.
නමුත් මගේ කුඩා සීනු ඈ පැමිණි වග කියමින් තද රත් පැහැ ඉරි දෙකක සලකුණක් මගේ දෑස මත තැබී ය.ඈ මා මේ ජීවිතයේ රැඳිය යුතු බව සිහි ගැන් වූ අතර සියල්ල දරා ගන්නා ගැහැණියක බිහි වූයේ ඒ නිමේෂයේ පටන් ය.