නැන්දම්මයි, මමයි, කළුකුමයි – පරිවර්තන කෙටිකතාව

මේ හැමදේම පටන් ගත්තේ මීට හරියටම අවුරුදු දෙකකට කලින් මට ආර්නෝල්ඩ් කියන කඩවසම්, කාරුණික තරුණයාව මුණ ගැහුනට පස්සෙයි. මම ඔහු වැඩ කරන කාර්‍යාලයට අළුත් කෙනෙක් වුනත් ආර්නෝල්ඩ් කියන්නෙ මට ගැළපෙන හොඳම කෙනා කියල පිළිඟන්න මට වැඩි කාලයක් ඕනැ කරේ නෑ. 

ඔහු මම මීට කලින් ආශ්‍රය කරපු පෙම්වතුන්ට වඩා වෙනස් කෙනෙක් කියල මට ඔහුව මුණගැහුණු මුල් කාලෙම තේරුණා. 

මම කතා කරද්දි හරිම ඉවසීමෙන් අහන් ඉන්න, මන් ගැන පුංචි පුංචි දේවල් පවා හොඳින් මතක තියාගෙන ඉන්න, හැමවෙලේම මාව අගය කරන ඔහු වගේ කෙනෙක් හිමිවුනේ මගෙ වාසනාවට කියලයි මන් හැමදාම හිතන් හිටියෙ. 

මන් කැමතිම කෝපි කෝප්පයක් එක්ක පුංචි කහ පාට රෝස මලක් හැම සඳුදම මගේ කාර්‍යාලයේ මේසය උඩ දකිද්දි, කාර්‍යාලයේ වැඩත් එක්ක මම පීඩනයට පත්වෙලා ඉන්න වෙලාවට හෙමීට මගෙ අතින් අල්ලන් මගේ අත් උණුසුම් කරද්දි මට දැනුනේ ජීවිතේ කවදාවත් නොදැනුණු ශක්තියක්. 

හැබැයි, අපේ ආදර සබඳතාවය පටන් අරන් අවුරුද්දකට විතර පස්සෙ දවසක ඉඳල අපේ

මේ සැනසිලිදායක ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ මන් හිතුවෙවත් නැති විදිහටයි.

ඔහුගෙ ජීවිතේට ගැළපෙනම කෙනා මම බව තහවුරු වුනාට පස්සෙ ආර්නෝල්ඩ්ට ඕනැ කරා මාව ඔහුගෙ පවුලෙ අයට මුණගස්වන්න. ආර්නෝල්ඩ්ගෙ තාත්ත ඔහු සහ ඔහුගේ සොයුරිය කුඩා කාලෙදිම මිය ගිහින් තිබ්බේ පිළිකාවක් නිසයි. 

එතනින් පස්සෙ, සුපිරි වෙළඳ සංකීර්ණයක මුදල් අයකැමිවරියක් විදිහට වැඩ අරපු ආර්නෝල්ඩ්ගෙ අම්ම, ඔහුවයි නංගිවයි හදාගන්න තනිවම ලොකු සටනක් කරා කියල ආර්නෝල්ඩ් නිතරම මන් එක්ක කියලයි තිබුණේ. 

ඇත්තටම, ඔහු වගේ ආදරණීය දරුවෙක් හදපු ඒ ශක්තිමත් අම්මව මුණ ගැහෙන්න මටත් ලොකු උවමනාවක් තිබ්බ කීවොත් හරියටම හරි. 

අම්මලාව මුණ ගැහෙන්න යන දවස ගැන ආසාවෙන් වුනත් මම හිටියෙ හරිම කලබලෙන්. පුංචි නිල්පාට මල් වැටුණු සුදු පාට දිග ගවුමකින් සැරසුනු මම පුංචි නිල් පාට ගල් අල්ලපු කරාබු සහ ආර්නෝල්ඩ් මට තෑගි කරපු සිහින් රිදී මාල පොටක් දැම්මේ මම කවදත් චාම් බවට කැමති නිසා වගේම ඒ විදිහට සැරසුනාම මට දැනෙන සුවපහසුව නිසාමයි. 

කීපපාරක් කරපු අත්හදා බැලීම් සහ තහවුරු කිරීම් වලින් පස්සෙ මම හදපු රසම රස චොකලට් කුකීස් ටිකකුත් මම ආර්නෝල්ඩ්ගෙ අම්මට ගෙනියන්න සූදානම් කරගත්තේ හරිම ආසාවෙන්. 

අපිව ආදරෙන් නිවසට පිළිඟත්ත වුනත්, වාඩිවුනු වෙලාවෙ ඉඳලම ආර්නෝල්ඩ්ගෙ අම්මගෙ කටින් නිතරම පිටවුනේ එකම එක වචනයක් විතරයි. 

ඒ ස්කාලට් !

ස්කාලට් කියන්නෙ කවුද කියල මම මුලින්ම කියන්නන්කො. ස්කාලට් කියන්නෙ ආර්නෝල්ඩ්ගෙ කලින් පෙම්වතියගෙ නම. පාසල් කාලයේදී මුණගැහිල අවුරුදු නවයක් තිබ්බ දීර්ඝකාලීන සම්බන්ධයක් වුනත් තවදුරටත් ඔවුන් නොගැළපෙන බව තේරුම් ගත්ත නිසාම ඔවුන් බොහොම සාමදානයෙන් කතාබහ කරගෙන වෙන්වුනු බවයි ආර්නෝල්ඩ් මට කියල තිබ්බෙ. 

ඔවුන්ගෙ ආදර සබඳතාවය ඒ විදිහට ඉවර වුනත් ස්කාලට් පසුකාලීනව විවාහ වෙලා ඔස්ට්‍රියාවේ පදිංචියට ගියා වුනත් දැන් ඔවුන් අතරේ නත්තල් සුභ පැතුම්පතක්වත් හුවමාරු නොවුණා වුනත් ස්කාලට්ව අමතක කරන්න තාමත් ආර්නෝල්ඩ්ගෙ අම්මට බැරිවෙලා තියෙනව කියල මට හිතුනේ අපි ආලින්දයේ වාඩිවෙලා විනාඩි 05 ක් වගේ පොඩිම පොඩි කාලෙකට පස්සෙයි. 

“ස්කාලට් හරිම ලස්සන ගෑණු ළමයෙක්, එයා අපේ පවුල ගැන හැමදේම දැනන් හිටිය” ආර්නෝල්ඩ්ගෙ අම්ම මෙලීසා කීව. 

මන් හෙමීට හිනාවෙලා, “මමත් හරි උවමනාවෙන් ඉන්නෙ ආර්නෝල්ඩ්ගෙ පවුල ගැන විස්තර දැනගන්න” කියල කීව.

ඒත් මෙලීසා හිටියෙ මගෙ උත්තරේ නෑහුණු ගානටයි. තමන්ගෙ පවුලෙ අය ගැන මන් එක්ක තොරතුරු බෙදාගන්න එක පැත්තක තියල අපි රාත්‍රි කෑමට වාඩිවුනාට පස්සෙත් මෙලීසා දිගටම ස්කාලට් ගැන කතා කරන්න පටන් ගත්ත. 

මන් කෑම මේසය පිළියෙල කරන්න උදව් කරන්න හදද්දි මාව සම්පූර්ණයෙන් නොසලකා හැරපු ඇය ස්කාලට් ඇයට ගෙදර දොරේ වැඩ වලට උදව් කරපු විදිහත්, මගේ චොකලට් කුකීස් මේසෙ උඩ ඔහේ පැත්තකට දාල තියෙද්දි ස්කාලට්ගෙ රසම රස ඇපල් පයි එක ගැනත්, පිටස්තරයෙක් වගේ මන් ඔහේ පැත්තක වාඩිවෙලා අපහසුවෙන් ඉද්දි ස්කාලට් ඇයට දුවෙක් වුන හැටිත් මෙලීසා දිගින් දිගටම විස්තර කරේ හරියට මගෙ මූණ දිහාවත් නොබලයි. 

මුලින්ම මම හිතුවෙ ආර්නෝල්ඩ්ට වගේ ඉක්මණින් ස්කාලට්ව අමතක කරන්න මෙලීසා හැකියාවක් නැති නිසා මෙහෙම කරනව වුනත්, මෙලීසා ඊළඟට කරන්න පටන් ගත්ත දේ නිසා මගෙ ඉවසීම වගේම ධෛර්‍යත් සම්පූර්ණයෙන් දියවෙලා යන්න පටන් ගත්ත. 

“ස්කාලට් ! ස්කාලට් ! ස්කාලට්!” කීප පාරක් එක දිගටම ඒ නම කියනව ඇහෙද්දි මම මෙලීසා දිහා බැලුවෙ ස්කාලට් ඇත්තටම ඇවිල්ලද කියලම හිතුන නිසයි. 

නෑ. මෙලීසා ස්කාලට් කියල කතා කරල තිබ්බෙ මට කියල ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? 

ඒත් මම හරිම ඉවසීමෙන්, “සමාවෙන්න මෙලීසා, මම ජස්මින්, ස්කාලට් නෙමෙයි” කියල හරි අමාරුවෙන් මවාගත්ත හිනාවක් එක්ක කීවෙ තවමත් ඇයට වැරදෙන්නට ඇතැයි හිතුණ නිසාමයි. 

“ආ මොකක් හරි” ඇය උත්තර දුන්නෙ එහෙමයි. ඒ වෙලාවෙ එතනට ආව ආර්නෝල්ඩ්ට නොකීවත් මගෙ හිත සම්පූර්ණයෙන් රිදිල මන් ජීවිතේ කවදාවත් නැති තරමටම කඩා වැටිලයි හිටියෙ. 

කෝමවුනත් එදා රාත්‍රියෙන් පස්සෙ කියාගන්න අපහසු මොකක්දෝ නුපුරුදු හැඟීමකින් මගෙ ජීවිතේම පිරිලා ගියා කියල මට හොඳටම මතකයි. ආර්නෝල්ඩ් එක්ක ගතකරන හරිම ආදරණීය මොහොතවල් වල පවා මෙලීසාගෙ වචන මගෙ කන්වල දෝංකාර දෙන්න පටන් ගත්ත. 

ඊට පස්සෙ, කීපවරක් මෙලීසත් අපිත් මුණගැහුනට ආර්නෝල්ඩ් පොඩ්ඩක් එහෙමෙහ වෙනකන් ඉඳල මට ස්කාලට් කියල කතා කරන්න මෙලීසා අමතකම කරේ නෑ. 

අන්න ඒ නිසයි, මේ දේවල් ආර්නෝල්ඩ්ට කියන්න ඕන කියල මම අන්තිමට තීරණය කරේ. 

ආර්නෝල්ඩ් පුරුදු විදිහටම හරිම ඉවසීමෙන් මගෙ සම්පූර්ණ කතාවම අහන් හිටිය. ඊට පස්සෙ ඔහුගෙ නීවී සැනසෙන හිනාව මන් දිහාට පා කරපු ආර්නෝල්ඩ් මගෙ නළලෙ පුංචි හාදුවක් තිබ්බ. 

“මම අම්ම එක්ක කතා කරන්නම් ජස්මින් !” ඔහු කීවෙ එච්චරයි. 

දුරකථනය අරන් ආලින්දයට ගියපු ආර්නෝල්ඩ් අම්ම එක්ක කතා කරන හඬත්,

ආයෙ ස්කාලට් කියල මට කතා කරොත් අපි එහෙ යන එක නතර කරන බව ආර්නෝල්ඩ් කියනව මට හරිම පැහැදිලිව කීව බවත් මට ඇහුණා. 

මන් කරේ හරි වැඩක්ද කියල කල්පනා කරත් හිතට සහනයක් ලැබුණ නිසා මේ ප්‍රශ්නෙ මෙතනින් ඉවර වෙලා යයි කියලයි මට හිතුණේ. ‘

ඒත්, මට ආයෙමත් වැරදුණා කියල මන් තේරුම් ගත්තේ නෑදෑයන්ට සන්ධ්‍යා සාදයක් සංවිධානය කිරීම ගැන කතා කරන්න මෙලීසා අපිට එහෙ එන්න කීවට පස්සෙයි. 

එකිනෙකාට වගකීම් බෙදා දෙන අතරේ මෙලීසා මට මෙහෙම කීව. 

“ආර්නෝල්ඩ් කියනව ඔයාගෙ කෑම හරි රසයි කියල. ඉතිං ජෙනිෆර් ඔයාට බැරිද එදාට කළුකුමාව ටෝස්ට් කරල දෙන්න” 

ඒ වෙලාවෙ මාව හිරිවැටිලා ගියා කියල මට හොඳට මතකයි. 

ජෙනිෆර් ! ඔව්, මෙලීසා මට කතා කරේ එහෙමයි. මන් අමාරුවෙන් හිනාවුණා. වචනයක්වත් කීවෙ නෑ. 

මගෙ නිහඬබවෙන් උද්දාමයට පත්වුණ මෙලීසා රෝස්, කයිලි, ඇන්ගස්, අනීකා වගේ එක එක නම් වලින් එදා දවසම මට කතා කරන්න පටන් ගත්ත. 

කිසිම හේතුවක් නිසා මම නිකරුනේ පීඩාවට පත් නොවිය යුතු බව මට මේ වෙලාවේ හොඳින්ම තේරුම් ගිහිනුයි තිබ්බෙ. අන්න ඒ නිසා, නිශ්ශබ්දව හැමදේම බලන් ඉන්න අතරෙම මගේ ක්‍රමයටම මේ ප්‍රශ්නෙ විසඳගන්න විදිහක් මම කල්පනා කරා.

ඒ කල්පනාවට ඒකාග්‍ර වෙලාම හිටිය නිසා මෙලීසා එදා දවසෙ කරපු කියපු කිසිදේකින් මට වැඩි හානියක් වුණේ නෑ. 

කොහොම වුනත්, පහුවදා උදේ වෙද්දී හොඳ සැලැස්මක් නිර්මාණය කරගන්න මට පුළුවන් වුණා. ඊට පස්සෙ මගෙ හිතට දැනුනේ හරිම සැහැල්ලුවක්. 

ඊළඟ දවසේ කාර්‍යාලයේ වැඩ ඉවර වෙලා එද්දී ඉවුම් පිහුම් සම්බන්ධ සඟරා සහ පොත් කීපයක් මිලදී ගත්ත මම ඒවගෙ තිබ්බ කළුකුම් මස් උයන ක්‍රම අත්හදා බලන්න මගෙ විවේකය වැයකරා. 

දවස් කීපෙකට පස්සෙ මටම ආවේණික හරිම රසවත් සුවඳ ඉතිරෙන බාබකියු ක්‍රමයට කළුකුම් මස් පිළියෙල කරන ක්‍රමයක් මන් හොයාගෙනයි තිබ්බෙ. 

සන්ධ්‍යා සාදය පවත්වන්න කලින් දවසෙ සාප්පු සවාරියෙ ගිය අපි එකිනෙකාට ගැළපෙන ඇඳුම්, සාදය සඳහා ආර්නෝල්ඩ්ට භාරදීල තිබ්බ වයින් සහ සොසේජස් මිලදී ගන්න අමතක කරෙත් නෑ. 

එදා රාත්‍රියේ පිටතින් ආහාර ගත්ත අපි පහුවදා බොහොම සැනසිල්ලේ ලකලෑස්ති වෙලා අවශ්‍ය සියළු කළමණා අරගෙන මෙලීසගෙ ගෙදරට ගියා. මන් හරිම සතුටින් සැහැල්ලුවෙනුයි හිටියෙ. 

අපි ගෙනාව කළමණා මේසෙ උඩ අසුරනව බලන්න ආව මෙලීසා. ටික වෙලාවකින් මෙහෙම ඇහුව. 

“කෝ ඔයාගෙ කළුකුමා?” 

මන් හරි පරිස්සමට උත්තර දුන්න. “මගෙ කළුකුමා, මන් කළුකුමෙක් ගෙනාවෙ නෑනෙ!”

මෙලීසගෙ කට බාගෙට ඇරෙනව මන් හොඳටම දැක්ක. 

“මන් ඔයාට කීව කළුකුමා හදන එක ඔයාගෙ වගකීමක් කියල, ඇයි දැන් මේ විකාර කතා කියන්නෙ”

මමත් හිනාවෙන්ම උත්තර දුන්න.

“නැහැ මෙලීසා ඔයා මට කළුකුමා උයන්න භාර දුන්නෙ නෑ. ඔයා කළුකුමා උයන්න භාර දුන්නෙ ජෙනිෆර් කියල කෙනෙක්ට මට මතක විදිහට. මමත් ඇත්තටම ඒ කවුද කියල දන්නෙ නෑ. මම හිතුවෙ ඔයාලගෙ පවුලේ හිතවතෙක් කියලයි.” 

“නෑ. මන් ජෙනිෆර් කීවෙ ඔයාට. ඔයා කීව හා කියල” මෙලීසා ආයෙමත් කීව.

“මන් කොහොමද හා කියන්නෙ මෙලීසා. මන් ජෙනිෆර් නෙමෙයිනෙ. මම ජස්මින්. ජෙනෙෆර්ට භාර දුන්න වැඩක් මම භාරගන්නෙ ඇයි? අනික මම හා කීව කියල ඔයාට හොඳටම විශ්වාසද?” 

මෙලීසා ගල් ගැහිල බලන් හිටිය. 

ආර්නෝල්ඩ්ගෙ නංගි හයියෙන් අඬන්න පටන් ගත්ත. ඇවිල්ල හිටිය අමුත්තොත් අපි දිහා බලන් හිටියෙ මේ සිද්ධියේ අඟක් මුලක් නොදන්න නිසයි. 

ආර්නෝල්ඩ් මගෙ ලඟට ආව. පුරුදු විදිහටම මගෙ අතින් අල්ල ගත්ත. ඊට පස්සෙ මෙලීසා දිහා බලල මේම කීව. 

“හැමදේටම සීමාවක් තියෙන්න ඕන අම්ම. ජස්මින් කියන්නෙ මගෙ ජීවිතේ ඉතුරු කාලෙ ගත කරන්න මම තෝරගත්ත කෙනා. ජස්මින්ට ලැබෙන්න ඕන ගෞරවය තැන එයාට දෙන්න කියල මන් ඔයාගෙන් ඉල්ලුව. ඒත් ඔයාට ඒම කරන්න ඕන වුනේ නෑ.” 

“මට සමාවෙන්න අම්ම, ඒත් මේ හැමදේම ඔයා කරේ ඔයා කරන්නෙ මොකක්ද කියල හරියටම දැනගෙනයි. ඒත් ඔයා කරන දේවල් වල ප්‍රතිඵල කෝමවෙයිද කියල ඔයා හිතුවෙම නෑ. ඉතිං, මේ හැමදේටම වගකියන්න ඕන ඔයා විතරයි”

අපි මෙලීසගෙ ගෙදරින් එදා පිටත් වෙලා ආව. 

“මට සමාවෙන්න” එනගමන් මම ආර්නෝල්ඩ්ට කීව. 

“ඔයා වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔයා කාගෙන්වත් සමාව ඉල්ලන්න ඕන නෑ ජස්මින්. මට ඔයා ගැන ආඩම්බරයි” ආර්නෝල්ඩ් කීවෙ වෙනද පුරුදු ආදරෙන්මයි. 

මේ සිදුවීම වෙලා දැන් ටික කාලයක්. සමහරවිට දැන්වත් මෙලීසට මගෙ නම මතක ඇති. 

ඒ කොහොම වුනත් මම කළුකුමෙක් බාබකියු කරගන්න හොඳම විදිහ ඉගෙන ගත්තනේ. ඒ ඇති. 

Amomama inspirational stories ඇසුරින් දුලානි නවෝද්‍යා 

More Stories

Don't Miss


Latest Articles