එදා කිසල් ට රෝහලෙන් ගෙදර යා හැකි විය. ඕනේ නම් විශ්ව විද්‍යාලයට වුව යා හැකි වුණත්, එහෙම කරන්නට ඔහු ට ඕන වුණේ නැත. ඔහු එන තුරු බලා ඉන්නේ කවුරුන් ද? ඉස්සර නම්, අක්ෂි ට පෙම් කළ යුගයේ නම්, අසනීපයකට හෝ කිසල් ගෙදර නතර වූයේ නැත. ඈ බලා හිඳිනවා කියන සිතිවිල්ල නිසා අමාරුවෙන් හෝ එහි ගියේ ය. නමුත් කෙටි කලක් තුළ බොහෝ දේ වෙනස් වී තියේ.
ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට දැමූ ඔහු කාමරයට වැදී හොඳහැටි නිදා ගත්තේ ය. ඒ අතරේ දහ දොළොස් වතාවකට වඩා පළිඟු ඔහු ට ඇමතුම් ගෙන තිබුණා ය. දුරකතනය ක්‍රියාත්මක කරත්දී පැමිණි ‘ඇලර්ට්’ පණිවිඩ ඔස්සේ ඒ බව දැනගත් කිසල්, එවේලේ ම පළිඟු ඇමතුවේ ය.
“කතා කරල තියෙන්නෙ ඇයි…”
ඔහු එහෙම ඇහුවේ කෙතරම් නම් සැහැල්ලුවෙන් ද? පළිඟු ගේ හදවත දැවී ගියේ ය.
“අනේ දෙයියනේ…ඇයි මෙච්චර වෙලා ෆෝන් එක ඕෆ් කරගෙන හිටියෙ…මං මේ හොස්පිට්ල් එකට යන ගමං. මං බය වෙච්ච තරමක්!”
ඇය කියවා ගෙන ගොස් දිගු සුසුමක් හෙළුවා ය.
“ඇයි හොස්පිට්ල් යන්නෙ…”
“ඔයාව බලන්නනෙ. ෆෝන් එක ඕෆ් කරල තියෙද්දි මං හොඳටම බය වුණා. කරදරයක්ද කියල…”
“උදේ ඩිස්චාජ් කළා. මං ඉන්නෙ ගෙදර”
පළිඟු එහෙම ම නතර වූවා ය. ඇය ට දැනුණේ ඇය පණ පිටින් පොළොවෙහි මිහිදන් වෙන්නට යනවා මෙනි. කිසල් ගේ ජීවිතයෙහි ඇයට තියෙන්නේ මොන තරම් නො වැදගත් තැනක් ද? රෝහලින් නික්මුණ බව ඇයට දැනුම් දෙන්නට හෝ ඔහු ට උවමනා වූයේ නැත.
පළිඟු ගේ හිත නො රිදුණා නොවේ. නමුත් කිසල් එක්ක කොහොම අමනාප වෙන්න ද? ඔහු ට ඇය එකඟතා ගිවිසුමක් මත කොන්දේසි වලට යටත් වූ ව්‍යාජ පෙම්වතියක් පමණකි!
ඊළඟ උදයේ ඇගේ ඇස් ඔහු දකින්නට පතා සිටියේ ය. උදේ ම හිරි පොද වැස්සක් වහින්නට ගති. විශ්ව විද්‍යාලය ළඟ දී බසයෙන් බැස කුඩය දිගහැර ගත් පළිඟු, හෙමිහිට පිය නැගුවා ය. සරසවි බිම හරිත පැහැ තුරු ගොමු සේ ම විල්ලුද තණ පලස් ද වැස්ස නිසා ප්‍රමෝදයට පත් ව තිබිණි. පළිඟු ගේ සිතිවිලි වල වූයේ චමත්කාරයකි. බසයේ එන කාලය පුරාමත් ඇගේ හිතේ කිසල් දඟ කරමින් සිටියේ ය.
හදිස්සියේ ම කොල්ලෙක් කුඩේ යටට රිංගා ගත්තේ ය. පළිඟු හිස හරවා ඔහු ගේ මූණ දෙස බැලුවේ රවාගෙන ය. වැස්සකට වුණත් ගෑනු ළමයෙකු ගේ කුඩයක් යටට එහෙම අනවසරයෙන් එන්නට පුළුවන් කාටද?
ඇගේ රැවුම වාෂ්ප වී ගියේ කිසල් ගේ මුහුණ දුටු විටයි. ඇය පිටුපස මග දෙස බැලුවා ය. කිසල් ඇය ව වටහා ගත්තේ ය.
“තාත්ත එක්ක ආවෙ. කුඩයක් ගෙනත් නෑනෙ”
“මං කියල දැනගෙනද කුඩේ යටට රිංගුවෙ…”
ඔහු නෙතගින් බලා ඉවත බැලුවේ ය.
“නෑ”
හිතේ නැති සැහැල්ලු සෙල්ලක්කාර බවක් කිසල් විසින් මවා ගන්නා ලදී.
“කාගෙ වුණහම මොකද වැස්සට කුඩයක්නං”
“කුඩේට අයිතිකාරයෙකුත් ඉන්නවනෙ”
“හපෝ…කෙල්ලොද…කෙල්ලො ඉතිං මොන කොල්ලා කුඩේ යටට රිංගුවත් අකමැති නෑනෙ. අද එක්කෙනයි හෙට එක්කෙනයි වුණත්…”
පළිඟු මොහොතකට නිහඬ වූවා ය.ඒ කතාව සැර වැඩි යයි කිසල් ට වුව වැටහුණේ කියා නිම වූ ඉක්බිතියි. පළිඟු බරැති සුසුමක් මුදා හැරියා ය. ඒ සුසුම වැහි සිසිල තැවරුණ තෙත්බර හුළඟේ මුහු වී නො පෙනී ගියේ ය. වෙන දවසක කිසල් මෙවැන්නක් කීවා නම් බැණ වදින්නට පළිඟු දෙවරක් සිතන්නේ නැත. නමුත් දැන් එහෙම කළ නොහැකි බරක් ඇගේ හදවත මත වේ. ඒ අනෙකක් නොව ආදරයයි!
ආදරයෙන් හිතක් පිරී ගිය විට මොන තරම් නම් දේවල් උහුලා දරා ගන්නවා ද? තමන් රිදෙමින්, දැවෙමින්, පෑරෙමින් වුව අනෙකා වෙනුවෙන් හුස්ම ගන්නවාට කියන නම ආදරය බව පළිඟු උගනිමින් සිටියා ය.
“සොරි”
ඒ හඬ ඇය ට ඇසුණේ ඈත ග්‍රහ ලෝකයකින් සේ ය. පළිඟු හිස නගා බැලුවා ය. කිසල් ගේ හිස කේ මත එල්ලුණ වැහි පිනි බින්දු, දේදුනු රටා මවමින් දිළිසුණේ ය.
“අක්ෂි නිසා වෙන්නැති මං එහෙම කියන්න ඇත්තෙ”
ඔහු නිදහසට කාරණා කියන්නට හේතු කිම? කෙසේ වෙතත් තවමත්, හැම හුස්මකදී ම ඔහු ගේ හිතේ ඉන්නේ අක්ෂි ය. ඇය මොන තරම් අවාසනාවන්ත දැයි පළිඟු සිතුවා ය. මේ තරම් ආදරයක් දෙපා මුල තියා ගෙන ඈ ආදරය සොයා වෙනතක ඉගිල ගියේ ඇයි?
“ඒයි…මොන ලෝකෙද ඉන්නෙ…මාව තෙමෙනවනෙ”
පළිඟු කල්පනාවෙන් මිදුණේ කිසල් ගේ කෑ ගැසීමෙනි. ඔහු එහෙම කියමින් ම, ඇගේ අතත් සමගින් ම අල්ලා කුඩය කෙලින් කළේ ය. ඒ නිමේෂයේ දී ඇගේ දෑස් ඔහු ගේ ඇස් මත පතිත විය. පළිඟු ගේ හදවත මැද ම අකුණක් පුපුරා ගියේ ය.
ගොඩනැගිල්ලක් සෙවනේ වැස්සට වහං වී ඉන්නා අක්ෂි ව ඔවුන් දුටුවේ ඒ වෙලාවේ ම ය. කිසල් සිය වමත පළිඟු ගේ උර මඬල වටා යවා, වමත් බාහුවෙන් අල්ලාගෙන ම ඇය ව ඔහු ට ලං කර ගත්තේ ය. අක්ෂි ඊර්ෂ්‍යාවෙන් දැවෙන්නට ඇත. නමුත් පළිඟු ද දැවුණා ය. ඒ ආදරයේ ගින්දරෙනි.
කවදා හෝ ලබා ගැනීමේ අරමුණක් ඇති දෙයක් වෙනුවෙන් ඕනෑ ම දුකක් උහුලා ගැනීම මිනිස් ස්වභාවයකි. නමුත් නො ලැබෙනවා කියා හොඳට ම දන්නා දෙයක් වෙනුවෙන් මිනිසුන් දුක් විඳින්නේ අපරිමාණ ආදරය නිසාවෙනි. දෙදෙනෙකු අතර උනුන් වෙනුවෙන් වන ආදරයේ නාමයෙනි. එහෙම ආදරයක් නො වන තැනක, වෙනකෙකු කෙරේ ප්‍රේමයෙන් අන්ධ වී සිටින කෙනෙක් වෙනුවෙන් දුක් උහුලන්නට හොඳ සිහි කල්පනාව ඇති අයෙක් පෙළඹෙනු ඇත් ද?
එදා කිසල් ගේ දිවා ආහාරය මොරින් විසින් එවනු ලැබ තිබිණි. දිග හැර බලන්නේවත් නැති ව කිසල් එය උතුම් ට දුන්නේ ය.
“ඇයි…උඹ කන්නැද්ද…”
“මං මේකෙං කනව”
කිසල් කීවේ දෑසින් පළිඟු ගේ බත් පත පෙන්වමිනි. පළිඟු ගේ හිත ඇතුළේ අකුණු දහසක් එක වර පිපිරිණි. ඇය කිසල් දෙස බලන්නේ නැතිව ම බත් පත දිග හැරියා ය. නමුත් කිසල් ඊට අත පොවන බවක් පෙනෙන්නට නො තිබුණෙන් හිස නගා බලන්නට ඇය ට සිදු විය. කම්මුලක අතක් තියා ගෙන කිසල් ඇදෙස බලා සිටියේ ය. කිසිත් අසා ගත නො හැකි ව පළිඟු ගොළු ගැහී ගියා ය.
“කවනවද…”
එහෙම ඇහුවේ ඔහු ය කියා ඇය කොහොම විශ්වාස කරන්න ද?
“හොස්පිට්ල් එකේදි වගේ…”
උගුර කට වියළී යනවා පළිඟු ට දැනිණ. මේ මොහොතේ භෝජනාගාරයෙහි අක්ෂි නො සිටි වග ඇයට ඉඳුරා විශ්වාස ය. ඉතින් මේ ඇයට පෙනෙන්නට කිසල් කරන රංගනයක් නොවිය යුතු ය!
සැබවින් ම කිසල් ට ඕන වුණේ රඟපෑමක් කරන්නට නොවේ. එදා රෝහලේ දී ඇය බලෙන් වාගේ කැවූ බත් වල තිබුණේ සුවිශේෂ වූ රසයකි. ආයේ ම වතාවක් ඒ රස විඳින්නට ඔහු ට මේ මොහොතේ ඕන වී තිබුණේ ය.
“බෑ ද…”
තවමත් පළිඟු කිසිදු ප්‍රතිචාරයක් නො දක්වා සිටියදී කිසල් යළිත් ප්‍රශ්න කළේ ය. අත පත ගාමින් උන් බත් පිඬට තවත් අඩු වැඩිය එක් කොට පළිඟු ඉක්මනින් බත් කටක් කැව්වා ය.
“ඇත්තම කියන්නද…”
බත් පිඬ ගිල්ල ගමන් කිසල් කතා කළේ ය. පළිඟු සිටියේ දැඩි කැළඹුමකයි.
“ඔයා කවනකොට රහයි”
උතුම් බොරුවට හිස් මොළයේ ගිය සෙයකින් කැස්සේ ය. කිසල් ඔහු ට වතුර බෝතලයේ මූඩිය ඇර දුන්නේ ය. මුළු සිරුර පුරා ම සංසරණය වූ රුධිර දහර කම්මුල් වලට එක් රොක් වූ සෙයින් පළිඟු ගේ කම්මුල් පුපුරු ගැසුවේ ය.
“කොහොමද ඒක…ඔයාව අන්දනව පළිඟු..එතකොට හැමදාම කවාගන්න පුළුවන්නෙ”
වෙනදාට මෙහෙම වෙලාවක වක්කඩ කැඩුවා සේ කටට එන වචන, දැන් හිර වී තියෙන්නේ කොහේදැයි පළිඟු සිතුවා ය.
“අනේ හිටපං. මං කිව්වෙ ඇත්තටම”
“බලමු ඇත්තද කියල. කෝ පළිඟු මටත් කටක් කවන්න”
“අඩෝ මේ…උඹට කවන්න කාවහරි හොයාගනිං හරිද..”
රතු වූ වතින් පළිඟු ඔහු ට ඊළඟ බත් පිඬ කවනකොට ම අක්ෂි එතැනින් යමින් සිටියා ය.
“නොන්සන්ස්”
ඇය එහෙම කීවේ තමන්ට බව පළිඟු ට නො දැනුණා නොවේ. හැඳි ගෑරුප්පු වලින් මිස අතින් බත් නො කන අක්ෂි, කිසි දා කිසල් ට බත් කවා තිබුණේ නැත. කිසල් වඩාත් සතුටු වූයේ මේ ආලිංගනය ඇගේ ඇහේ කටු අනින හේතුවක් බව දන්නා නිසාවෙනි.
“දෙයක් අහන්නද…”
උතුම් නැගිට ගිය ගමන් පළිඟු හිත ට ඉඩ දුන්නා ය. කිසල් අහන්න කියා කීවේ දෑසිනි.
“ආදරේ කරපු කෙනෙක්ට රිද්දන්න පුළුවන් ද…”
කිසල් ගේ මූණේ ඉරියව් වහා වෙනස් විණි.
“කේන්ති ගන්න එපා ඉතිං. මට මේක තේරෙන්නැති නිසයි අහන්නෙ”
කිසල් බෝතලය මුව තබා වතුර උගුරු කීපයක් බී ගෙන ගියේ ය.
“අනේ…කාල ඉවරද ඉතිං ඔය…”
“ඇති”
ඒ ප්‍රශ්නය ඇසූ මෝඩ කමකැයි පළිඟු පසු තැවුණා ය. නමුත් අක්ෂි ගැන කිසිත් කතා කරන්නට කිසල් ගේ වන මේ පසුබෑමට හෝ අකමැත්තට හේතුවක් ඇයට සිතා ගත නො හැකි ය. ඔහු ඇයට වෛර කරනවා ද? නැත්නම් තවමත් ආදරය කරමින් ඇය ම පතා සිටිනවා ද?